Skip to content

පටුනට යන්න

පසුගිය වසරෙන්

නන් දෙසින් වාර්තා - ලොව වටා සිදුවීම්

නන් දෙසින් වාර්තා - ලොව වටා සිදුවීම්

සිමෙන්ති ගල් බාන්න පොලීසියේ අයත් උදව් වුණා

ජෝර්ජියාවේ විශාල නගරයක් වන කුටේසිවල අවුරුදු 13ක් පුරා සමුළු පැවැත්තුවේ පරණ ගොඩනැඟිල්ලකයි. වහින කාලයට ශාලාව ඇතුළට වතුර වැටෙන එක වළක්වන්න ආසනවලට ඉහලින් සිවිලිමක් වගේ ප්ලාස්ටික් ෂීට් අතුරලාත් තිබුණා. ඒත් දැන් සහෝදරයන්ට සමුළු පවත්වන්න ලස්සන, හොඳින් වාතාශ්‍රය ලැබෙන ශාලාවක් ලැබිලා තියෙනවා. එය ඉදි කරන කාලයේදී එක් අවස්ථාවක සහෝදරයන් 50දෙනෙක් සිමෙන්ති ගල් බාමින් සිටියා. එතන සිදු වෙන්නේ කුමක්ද කියලා හොයලා බලන්න ආව පොලිස් නිලධාරීන් සහෝදරයන් සතුටින් සහ උනන්දුවෙන් වැඩ කරන ආකාරය දැකලා පුදුම වුණා. ඔවුන්ව අගය කළ පොලිස් නිලධාරීන් ගල් බාන්නත් උදව් කළා. කවුරු හරි වැඩවලට බාධාවක් කළොත් ඉක්මනින්ම දන්වන්න කියා පැවසූ ඔවුන් එම ස්ථානයේ පවත්වන මුල්ම සමුළුවට අනිවාර්යෙන්ම සහභාගි වෙනවා කියාත් සහෝදරයන්ට පොරොන්දු වුණා.

ඔහු බයිසිකලය විකුණුවා

මැලකයි කියන්නේ බුරුන්ඩි රටේ ජීවත් වන වැඩිමහල්ලෙක්. ඔහු ජීවත් වෙන්න මුදල් උපයා ගත්තේ බයිසිකලයෙන් බඩු එහා මෙහා ගෙන යෑමෙන් සහ වගා කිරීමෙන්. නමස්කාර මධ්‍යස්ථාන ඉදි කිරීමේ වැඩකටයුතුවලට සහයෝගය ලබා දෙන්න මැලකයිටත් ඕන වුණා. ඒත් එහෙම කරන්න නම් ඉදි කිරීම් වැඩ සිදු වන මාස දෙකේදී පවුලේ අයගේ අවශ්‍යතා සඳහා මුදල් හොයාගන්න ඔහුට සිදු වුණා. ඒ නිසා ඔහු බයිසිකලය විකුණලා, ලැබුණු මුදලින් කොටසක් ගෙදර වියදම්වලට බිරිඳට දුන් අතර ඉතිරි කොටස සම්මාදම් කළා. ඉදි කිරීම් වැඩවල නියැලිලා හිටිය සහෝදරයන්ගෙන් මැලකයිට හොඳ පුහුණුවක් ලැබුණා. ඒ නිසා නමස්කාර මධ්‍යස්ථානය හදලා ඉවර වුණාට පස්සේ මැලකයි දක්ෂ විදිහට වැඩ කරනවා දැක්ක අය ඔවුන්ගේ ගොඩනැඟිලි ඉදි කිරීමේ වැඩ ඔහුට භාර දුන්නා. ඒ නිසා මැලකයිට බයිසිකලයක් ගන්නත් පුළුවන් වුණා!

ඔවුන්ටත් උදව් කරන්න ඕන වුණා

මලාවි රටේ දුෂ්කර ගම්මානවල නමස්කාර මධ්‍යස්ථාන ගොඩනඟන එක පහසු වැඩක් නෙමෙයි. පසුගිය සේවා වසරේ එක් නමස්කාර මධ්‍යස්ථානයක් ගොඩනඟපු ප්‍රදේශයේ පාරවල් හරිම අබලන්. ඒ නිසා ශාඛා කාර්යාලයේ සිට ඒ ස්ථානයට ගොඩනැඟිලි ද්‍රව්‍ය යවන්න ඒ වගේ පාරවල්වල යන්න පුළුවන් වාහන යොදාගන්න සිදු වුණා. දුෂ්කරතා තිබුණත් අවට හිටිය මිනිස්සුන්ගෙන් සහෝදරයන්ට හොඳ සහායක් ලැබුණා. සාක්ෂිකරුවන් නොවන අයත් රෑ වෙන කල් ගල්, වැලි, සිමෙන්ති වගේ දේවල් බාන්න සහෝදරයන්ට උදව් කළා. සමහර අවස්ථාවලදී සාක්ෂිකරුවන්ට වඩා සාක්ෂිකරුවන් නොවන අය උදව් කරන්න ඇවිත් හිටියා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මේ වගේ දුෂ්කර ගම්මානවලත් ලස්සන ශාලාවක් හදන එක ගැන ඔවුන්ට ලොකු සතුටක් දැනුණා. ඒ නිසයි ඔවුන් කැමැත්තෙන්ම උදව් කරන්න පෙලඹුණේ.

ළමයි ටොෆී විකුණුවා

අයිවරි කොස්ට්වල සිටින විශේෂ පුරෝගාමි යුවළක් බෙටේ භාෂාවෙන් දරුවන් 10දෙනෙක් සිටින පවුලක් සමඟ බයිබල් පාඩමක් පැවැත්තුවා. 2013 මැයි මාසයේ පළමු වතාවට බෙටේ භාෂාවෙන් ඩාලොආ නගරයේ පැවැත්වූ සමුළුවට ඒ පවුලේ අයටත් සහභාගි වෙන්න ඕන වුණා. ඒත් ඒ සමුළුවට යන්න එන්න එක් කෙනෙකුට විතරක් ෆ්‍රෑන්ක් 800ක් (රුපියල් 200ක් පමණ) ඕන වුණා. පවුලේ හැමෝම වෙනුවෙන් වැය වන මුදල හොයාගන්න පියාට හැකියාවක් තිබුණේ නැහැ. ඒත් ඔවුන්ට සමුළුවට යන්න ලොකු ආශාවක් තිබුණ නිසා පියා, ලොකු දුවට මුදල් ටිකක් දීලා ටොෆී හදලා විකුණන්න කියලා කිව්වා. ඇය ටොෆී විකුණලා ගමන යන්න ඕන කරන මුදල හොයාගත්තා. පියා, ඒ විදිහට හැම දරුවෙකුටම ටොෆී විකුණලා තමන්ගේ මුදල හොයාගන්න සල්ලි දුන්නා. ඒ නිසා තවත් කිහිපදෙනෙක් සමඟ එකතු වෙලා සමුළුවට යන්න ඔවුන්ට පුළුවන් වුණා. තමන්ගේම භාෂාවෙන් සමුළුවේ කතා අහද්දී ඔවුන් කොයි තරම් සතුටු වෙන්න ඇද්ද!