Skip to content

පටුනට යන්න

පසුගිය වසරෙන්

ශාඛා කාර්යාල කැප කිරීම්

ශාඛා කාර්යාල කැප කිරීම්

2012 ඔක්තෝබර් 20වෙනිදා කොරියාවේ ශාඛා කාර්යාලයේ අලුත්වැඩියා කළ සහ අලුතින් ඉදි කළ ගොඩනැඟිලි කැප කළා. තවත් විශේෂත්වයක් වුණේ කොරියාවේ සාක්ෂිකරුන්ගේ වසර සියයක අතීතය ගැනත් එදා සිහි කිරීමයි. ඒ වගේම 2012දී කොරියාවේ සිටින ප්‍රචාරකයන් සංඛ්‍යාව 1,00,000 ඉක්මවීමත් සුවිශේෂී දෙයක් වුණා. අලුතින් නේවාසික ගොඩනැඟිල්ලක්, මුද්‍රණ කටයුතු සඳහා ගොඩනැඟිල්ලක්, ශබ්දාගාරයක් සහ වාහන අලුත්වැඩියා කිරීමට ස්ථානයක් ගොඩනැඟීම සඳහා එරටේ ස්වේච්ඡා සේවකයන් 1,200ක්ද රටවල් 9කින් පැමිණි ජාත්‍යන්තර සේවකයන් හා ස්වේච්ඡා සේවකයන් 239ක්ද හවුල් වුණා. ඊට අමතරව දැනටමත් තිබෙන ගොඩනැඟිලි බොහොමයක්ද අලුත්වැඩියා කළා.

කැප කිරීමේ උත්සවයට පැමිණි සහෝදර සහෝදරියන් 3,037දෙනා අමතා පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ඇන්තනි මොරිස් දිරිගන්වනසුලු කතාවක් ඉදිරිපත් කළා. ඊළඟ දවසේ පැවැත්වූ විශේෂ වැඩසටහනට අන්තර්ජාලය ඔස්සේ රට පුරා තිබෙන සභාවන් 1,300කට වඩා වැඩි ගණනක් සම්බන්ධ වූ අතර එයට සවන් දුන් මුළු ගණන 1,15,782යි.

ලයිබීරියාවේ සිටින සාක්ෂිකරුවන්ට 2013 මාර්තු 9වෙනිදා අමතක නොවන දවසක්. එදින ඔවුන් රටවල් 11කින් පැමිණි අමුත්තන් සමඟ ශාඛා කාර්යාලයේ අලුත්වැඩියා කළ සහ විශාල කළ ගොඩනැඟිලි කැප කිරීමේ උත්සවය පැවැත්තුවා. කැප කිරීමේ කතාව දුන්නේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ගයි පියර්ස්. අවුරුදු 10කට වඩා ඒ රටේ පැවති අර්බුදකාරී තත්වය නිසා ගොඩනැඟීමේ කටයුතු ප්‍රමාද වුණා. ශාඛා කාර්යාලය පුළුල් කරද්දී කැරලිකරුවන්ගේ කඳවුරක් තිබූ යාබද ඉඩමද ලබාගන්න සහෝදරයන්ට හැකි වුණා. 51දෙනෙක්ගෙන් යුත් බෙතෙල් පවුලට දැන් කාමර 35කින් යුත් නේවාසික ගොඩනැඟිල්ලක්, අලුත්වැඩියා කළ කාර්යාල ගොඩනැඟිල්ලක්, පොත් පත් ගබඩා කිරීමට ගොඩනැඟිල්ලක්, නඩත්තු කටයුතු සඳහා ගොඩනැඟිල්ලක්, නව මුළුතැන්ගෙයක් සහ කෑම කාමරයක් ලැබී තිබෙනවා.

ජෝර්ජියාව සෝවියට් පාලනයෙන් මිදී වෙනම රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක වෙන්න පටන්ගත් විට සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතුවල විශාල වර්ධනයක් සිදු වුණා. ඒත් එක්කම ඔවුන්ට දරුණු පීඩාවලටත් මුහුණදෙන්න වුණා. නමුත් කාලයක් යද්දී පීඩා තරමක් අඩු වුණා. 2013 අප්‍රියෙල් 6වෙනිදා ජෝර්ජියාවේ සාක්ෂිකරුවන්ගේ ඉතිහාසයේ සුවිශේෂී දිනයක්. විශාල කළ සහ අලුත්වැඩියා කළ ශාඛා කාර්යාල ගොඩනැඟිලි සංකීර්ණයත් සමුළු ශාලාවත් චාරිකා සේවකයන්ගේ පාසැල සහ ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල වැනි පාසැල් පැවැත්වීමට සෑදූ ගොඩනැඟිල්ලත් කැප කළේ එදිනයි. කැප කිරීමේ කතාව දුන්නේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ඩේවිඩ් ස්ප්ලේන්. එම උත්සවයට රටවල් 24කින් පැමිණි 338දෙනෙක් සහ ජෝර්ජියාවේ සාක්ෂිකරුන් 800කට වඩා වැඩිදෙනෙක් සහභාගි වුණා.

ජෝර්ජියාව

ඊළඟ දවසේ සහෝදර ස්ප්ලේන් දුන් විශේෂ කතාවට ජෝර්ජියාවේ සිටින 15,200දෙනෙක් සභා රැස්වීම් පවත්වන ස්ථානවල සිට සවන් දුන්නා. විවිධ රටවල්වලින් පැමිණි සහෝදරයන්ගේ සහභාගිත්වයෙන් පැවති මේ උත්සවය ගැන එක් යෞවනයෙක් මෙහෙම කිව්වා. “පාරාදීසය කොයි වගේ තියෙයිද කියලා දැන් මට තේරෙනවා.”

2013 ජූනි 29වෙනිදා මියන්මාරයේ ශාඛා කාර්යාලයට අයිති තට්ටු තුනකින් යුත් නව ගොඩනැඟිල්ල කැප කළා. රටවල් 11කින් පැමිණි අමුත්තන් ඇතුළුව එම උත්සවයට සහභාගි වූ 1,013දෙනා අමතා පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ගයි පියර්ස් කැප කිරීමේ කතාව ඉදිරිපත් කළා. උත්සවයට පැමිණි අමුත්තන්ව පිළිගන්න “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව සාදරයෙන් පිළිගනිමු” කියා සඳහන් කළ බෝඩ් අතැතිව සහෝදරයන් යැන්ගොන් ගුවන් තොටුපොළට වී බලා සිටියා. සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කර තිබෙන රටකින් පැමිණි පුද්ගලයෙක් ඔවුන් ළඟට ඇවිත් මෙහෙම ඇහුවා. “ඔයාලා සාක්ෂිකරුවන් එනකල් බලන් ඉන්නේ මොකක් හරි නඩුවකට ගෙනියන්නද?” “නැහැ, එයාලා අපේ යාළුවෝ” කියලා සහෝදරයන් කිව්වා. එවිට ඔහු “කවුද ඔය යෙහෝවා කියන්නේ” කියලා ඇහුවාම සහෝදරයන්ට හොඳ සාක්ෂියක් දරන්න අවස්ථාව ලැබුණා. කැප කිරීමේ උත්සවයට පසුවදා තවත් විශේෂ රැස්වීමක් පැවැත්තුවා. එහිදී සහෝදර ගයි පියර්ස් දුන් දිරිගන්වනසුලු කතාවට දුරකථන මාර්ග ඔස්සේ රට පුරා ස්ථාන 6ක සිට සහෝදරයන් සවන් දුන් අතර කතාවට සවන් දුන් මුළු ගණන 2,963යි. වැඩසටහන පැවැත්වූ ශාලාවට සහෝදරයන් කණ්ඩායමක් රැගෙන ගිය එක් බස් රියදුරෙක් මෙහෙම කිව්වා. “වෙන ආගම්වල අයට වඩා ඔයාලා හරිම වෙනස්. ඔයාලා හරිම විනීත, හොඳට හැසිරෙන කට්ටියක්. අනිත් අයටත් කාරුණිකව සලකනවා. මම කාලයක් තිස්සේ මේ රස්සාව කරනවා. ඒත් කවදාවත් ඔයාලා වගේ අයව මට මුණගැහිලා නැහැ.”

මියන්මාරය: සාක්ෂිකරුවන්, කැප කිරීමේ උත්සවයට පැමිණෙන අමුත්තන්ව පිළිගනිමින්

මෝල්දාවියාවේ සිටින සාක්ෂිකරුවන්ට 2013 ජූලි 3වෙනිදා විශේෂ දිනයක් වුණේ එදින ශාඛා කාර්යාලයේ ගොඩනැඟිලි කැප කළ නිසයි. කැප කිරීමේ කතාව දුන්නේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන සහෝදර ස්ටීවන් ලෙට්. එම ගොඩනැඟිලි පුළුල් කිරීමේ ව්‍යාපෘතියට කාමර 10ක් හා පොත් පත් ගබඩා කිරීමේ ස්ථානයක් සහිත මහල් තුනකින් යුත් ගොඩනැඟිල්ලක්ද මහල් දෙකකින් යුත් නමස්කාර මධ්‍යස්ථානයක්ද ඇතුළත් වුණා. ජර්මනිය, අයර්ලන්තය, නෙදර්ලන්තය, රුමේනියාව, රුසියාව, යුක්රේනය සහ එක්සත් ජනපදය වැනි රටවල්වලින් පැමිණි අමුත්තන්ව බෙතෙල් පවුලේ සාමාජිකයන් 33දෙනා පිළිගත්තේ හරිම ආදරෙන්. කැප කිරීමට සහභාගි වූවන් අතර එම රටේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කර තිබූ කාලයේදී විශ්වාසවන්තව සේවය කළ සහෝදර සහෝදරියන් හිටියා. ඒ වගේම සෝවියට් පාලනය යටතේ සාක්ෂිකරුවන්ට පීඩා එල්ල වූ කාලයේදී දෙමව්පියන් සමඟ සයිබීරියාවට පිටුවහල් කළ බොහෝදෙනෙක්ද ඒ අය අතර සිටියා. ඉරිදා දිනයේදී සහෝදර ලෙට් පැමිණ සිටි 14,705දෙනා අමතා දිරිගන්වනසුලු කතාවක් ඉදිරිපත් කළා. රුමේනියානු සහ රුසියානු භාෂාවට පරිවර්තනය කළ එය මෙතෙක් මෝල්දාවියාවේ සාක්ෂිකරුවන් පැවැත්වූ විශාලම රැස්වීමයි.

අත්නෑර දිගටම යාච්ඤා කරන්න

“නිතරම යාච්ඤා කිරීමේ අවශ්‍යතාව ගැනත් අධෛර්යය නොවී සිටීමේ අවශ්‍යතාව ගැනත්” යේසුස් කාවැද්දුවා. (ලූක් 18:1) ඔබ දෙවිට යාච්ඤාවෙන් කතා කරද්දී ඔබේ බලාපොරොත්තුව දවසින් දවස ශක්තිමත් වෙනවා. ඒ නිසයි බයිබලයේ “නොකඩවා යාච්ඤා කරන්න” කියා සඳහන් වෙන්නේ. (1 තෙස. 5:17; රෝම 12:12) ඔබ එසේ කරද්දී සමාදානයේ දෙවි, යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔහුගේ කැමැත්ත කිරීම සඳහා අවශ්‍ය සෑම යහපත් දෙයක්ම ඔබට ලබා දෙයි.—හෙබ්‍රෙ. 13:20, 21.