Skip to content

පටුනට යන්න

ලොව වටා සේවය

ඕෂනියාව

ඕෂනියාව
  • රටවල් ගණන 29

  • ජනගහනය 4,02,08,390

  • ප්‍රචාරකයන් ගණන 97,583

  • බයිබල් පාඩම් ගණන 64,675

සඟරා පාර්සල් තියලා ගියා

මයික්‍රෝනීසියාවේ තියෙන හුඟක් දූපත්වලට දේශනා කරන්න කෙනෙක් යන්නේ කලාතුරකින්. ඒ නිසා මාෂල් දූපත්වලට අයිති දූපතක් වන මෙජූරෝ දූපතෙන් ප්‍රචාරකයන් පිරිසක් සති දෙකක් ඒ අවට දූපත්වලට ගිහින් ශුභාරංචිය කියන්න සැලසුම් කළා. ඔවුන් ගියේ වාට්ජෙ සහ ඔර්මෙඩ් කියන දූපත්වලටයි.

සාක්ෂිකරුවන් ආයෙ කවදා මේ දූපත්වලට එයිද කියලා දන්නේ නැති නිසා ඒ කණ්ඩායම මෙහෙම දෙයක් කළා. ඔවුන් සඟරා 2ක් සහ මාසික සඟරා 4ක් ගාණේ දාපු පාර්සල් කිහිපයක් උනන්දුව දක්වපු අයට දුන්නා. එහෙම දීලා කිව්වා පවුලේ අයටයි යාළුවන්ටයි ඒවා බෙදලා දෙන්න කියලා. ඔවුන්ට ඕන වුණේ ඒ දූපත්වල ඉන්න හැමෝටම ශුභාරංචිය දැනගන්න සලස්වන්නයි. ඒ සති දෙක ඇතුළත ප්‍රචාරකයන් සඟරා 531ක් මාසික සඟරා 756ක් සහ පොත් 7ක් දීලා තිබුණා.

“ඔයාට අපිව අමතක වුණේ නෑ”

පැපුවා නිව් ගිනියාවේ සාක්ෂිකරුවන් 6දෙනෙක් අසල තියෙන කාකාර් දූපතට ශුභාරංචිය දේශනා කරන්න ගියා. දවස් 10ක් ඒ දූපතේ සේවය කරපු ඔවුන් පොත් පත් 1,064ක් බෙදා දුන්නා. ඒ අය ලබපු අද්දැකීම ගැන රෙල්වි කියන සහෝදරිය මෙහෙම කිව්වා. “අපි පළවෙනි දවසේ හවස 3 වෙන කල්ම සේවයේ ගියා. කතා කරලා අපේ උගුර කට හොඳටම වේලිලයි තිබුණේ. කොච්චරද කියනවා නම් ගෑනු ළමයෙකුට බයිබල් පදයක් කියවන්න මට ඕනකම තිබුණත් ඒක කියවගන්නත් බැරි වුණා.”

එක ගමකින් එන්න කලින් දවසේ රෑ ඔවුන් ලොකු රැස්වීමක් තිබ්බා. ඒ රැස්වීමට පල්ලියේ නායකයොත් ඇවිත් හිටියා. ඒ ගැන රෙල්වි මෙහෙම කියනවා. “ස්තේපන් යුදෙව් අධිකරණය ඉස්සරහා කතා කරපු එක මට ඒ වෙලාවේ මතක් වුණා. ඒත් මට කතා කරන්න වුණේ එහෙම දරුණු අයට නෙමෙයි.” ඔවුන් හයදෙනාම කතා කරලා ඉවර වුණාට පස්සේ ලුතරන් පල්ලියේ දහම් පාසැලේ උගන්වන ගුරුවරියක් ඔවුන් අතර හිටපු ඇගේ ලොකු අම්මාට මෙහෙම ස්තුති කළා. “සමරිතානු ස්ත්‍රිය යේසුස්ගේ පණිවිඩේ අහපු ගමන් ගිහිල්ලා පවුලේ හැමෝටම ඒක කිව්වා. ඒ වගේ ඔයත් අපිට පණිවිඩේ කියන්න ආවා. ඔයාට අපිව අමතක වුණේ නෑ.”

ළමයි පොඩි වැඩියි

කිරිබාති: ටියාරිකි සහ තාත්තා

කිරිබාතිවල දූපතක ඉන්න අවුරුදු 7ක් වයස ටියාරිකි දවසක් එයාගේ තාත්තා එක්ක දේශනා සේවයේ ගියා. ඔවුන්ට විසිගණන්වල ඉන්න තරුණ තරුණියන් කිහිපදෙනෙක්ව ගෙදරකදි හම්බ වුණා. ටියාරිකිගේ තාත්තා ඔවුන්ට පණිවිඩය කියලා ඉවර වුණාට පස්සේ ඒ කණ්ඩායමේ කෙනෙක් මෙහෙම ඇහුවා. “අපි හැමතිස්සෙම දකිනවා ඕගොල්ලන් ළමයින්වත් එක්කන් යනවා. ඇයි පොඩි ළමයින්ව එක්කන් යන්නේ. ඔය වගේ වැඩවලට මේ ළමයි පොඩි වැඩියිනේ. මේ අයට පුළුවන්ද දෙවියන් ගැන කියලා දෙන්න?”

එතකොට තාත්තා මෙහෙම කිව්වා. “මම චුට්ටක් මෙතනින් එළියට වෙලා ඉන්නම්. දෙවියන් ගැන කතා කරන්න මෙයා පොඩි වැඩිද කියලා ඔයාලම පුතත් එක්ක කතා කරලා බලන්න.” ඒ යෝජනාවට හැමෝම කැමති වුණා.

තාත්තා ගියාට පස්සේ ටියාරිකි ඒ අයගෙන් මෙහෙම ඇහුවා. “ඔයාලා දෙවියන්ගේ නම දන්නවද?”

“ඔව්. යේසුස්” කියලා එක්කෙනෙක් කිව්වා. තව අය “දෙවියන්,” “ස්වාමීන්” වගේ උත්තර දුන්නා.

එතකොට ටියාරිකි මෙහෙම කිව්වා. “අපි බලමු බයිබලයේ කියන්නේ මොකක්ද කියලා. අපි යෙසායා 42:5 කියවමුද?” බයිබල් පදය කියෙව්වට පස්සේ “මේ පදයේ කියන්නේ කා ගැනද” කියලා ඔහු ඇහුවා.

“දෙවියන් ගැන” කියලා තරුණයෙක් කිව්වා. “ඔව්, දැන් බලන්න 8වෙනි පදයේ මොකක්ද කියන්නේ කියලා. එතන කියන්නේ ‘මාගේ නාමය යෙහෝවාය. මට හිමි ගෞරවය වෙන කිසිවෙකු සමඟ මම බෙදා නොගන්නෙමි’ කියලයි. එතන කියන විදිහට දෙවියන්ගේ නම මොකක්ද?”

“යෙහෝවා” කියලා හැමෝම කිව්වා.

හැමෝම හොඳින් අහගෙන ඉන්නවා දැක්ක ටියාරිකි මෙහෙම ඇහුවා. “අපි දෙවියන්ගේ නම දැනගන්න ඕනේ ඇයි? ක්‍රියා 2:21 මෙහෙම කියනවා. ‘යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවාගනු ලබන්නේය.’ එහෙනම් ඇයි අපි දෙවියන්ගේ නම දැනගන්න ඕන?”

“ගැලවීම ලබන්න නේද” කියලා එතන හිටපු තරුණයෙක් කිව්වා.

ඒ වෙලාවේ ටියාරිකිගේ තාත්තා ආයිත් ඇතුළට ආවා. ඊටපස්සේ එයා ඒ අයගෙන් මෙහෙම ඇහුවා. “දැන් ඔයාලා මොනවද හිතන්නේ, අපේ පොඩි අයටත් දෙවියන් ගැන කියලා දෙන්න පුළුවන්ද? එයාලව මෙහෙම ගේන එක ගැන දැන් මොනවද ඔයාලා හිතන්නේ?” දරුවන්ටත් දෙවියන් ගැන කතා කරන්න පුළුවන් කියලා එතන හිටපු හැමෝම පිළිගත්තා. ඊටපස්සේ තාත්තා ඔවුන්ට මෙහෙම කිව්වා. “බයිබලයේ තියෙන දේවල් ඉගෙනගත්තොත් ඔයාලටත් පුළුවන් තවත් අයට ඒ වගේ කියලා දෙන්න.”

කඳුකරයටත් ශුභාරංචිය

සාන් පියර් කියන සහෝදරයා සේවය කරන්නේ වානුවාටුවලට අයිති දූපතක පරිවර්තන කාර්යාලයකයි. 2013 නොවැම්බර්වලදී ඔහු සමුළුවකට සහභාගි වෙන්න ඔහුගේ ගම තියෙන දූපතට ගියා. ඔහු ඒ දූපතට ගිය ගමන්ම බයිබලය ගැන දැනගන්න ආස කට්ටියක් ඇවිල්ලා ඔහුගෙන් පොත් පත් ඉල්ලුවා. ඔහු බෑග් එකේ තිබුණු පොත් ටික ඔක්කොම වගේ දුන්නා. එතන හිටපු පාස්ටර් කෙනෙකුත් එයාගෙන් පොත් ඉල්ලගෙන මෙහෙම කිව්වා. “බයිබලය ගැන දැනගන්න අපිත් ඉන්නේ පුදුම ආසාවකින්. ඔයාට පුළුවන්ද අපේ ගමට ඇවිල්ලා අපිට බයිබලය කියලා දෙන්න.” ඒ නිසා සමුළුවෙන් පස්සේ දවසේ උදේ පාන්දරින්ම සාන් පියර්, කඳු මුදුනක තිබුණු ඒ ගමට ගියා. ඒ ගමේ අය ඔහුව ආදරෙන් පිළිගත්තා. “මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?” කියන ‘රාජ්‍ය ආරංචි’ අංක 38 පත්‍රිකාවේ තියෙන තොරතුරු ඔහු ඒ අයත් එක්ක සාකච්ඡා කළා. ඔහු කියන බයිබල් පද ඒ අයගේ බයිබලයෙන්ම බලන්න කියලත් ඔහු කිව්වා. එදා ඔහු එතනට ඇවිත් හිටිය 30දෙනෙක් එක්ක පැය 7ක් විතර සාකච්ඡා කළා. “මැරුණු කෙනෙක්ට වෙන දේ ගැන මේ තරම් පැහැදිලි විස්තරයක් මං මීට කලින් කවදාවත් අහලා තිබුණේ නැහැ” කියලා අවුරුදු 70ක කෙනෙක් කිව්වා. ඔවුන්ට ඇත්තටම බයිබලය ගැන දැනගන්න තිබුණේ පුදුම ආසාවක්.

සාන් පියර් එදා රෑ පාස්ටර්ගේ ගෙදර නතර වුණා. පහුවෙනිදා උදේ නැඟිටලා බලද්දී පාස්ටර් සඟරාවක් කියවකියවා ඉන්නවා ඔහු දැක්කා. මොන ලිපියද කියවන්නේ කියලා ඇහුවම දේවරාජ්‍යය ගැන කියලා ඔහු කිව්වා. පල්ලියේ උගන්වන්නේ දේවරාජ්‍යය මිනිස්සුන්ගේ හිතේ තියෙන දෙයක් කියලයි. මේ සඟරාවේ, දේවරාජ්‍යය තියෙන්නේ පරිසිවරුන්ගේ හිත්වල නෙමෙයි කියලා පෙන්නන්න ලූක් 17:21 යේසුස් කියපු දේ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා පල්ලියේ උගන්වන විදිහට දේවරාජ්‍යය මිනිසුන්ගේ හිත්වල තියෙන දෙයක් නෙමෙයි කියලා දැන් මට පැහැදිලියි කියලා ඔහු කිව්වා. සාන් පියර් ඒ ගමෙන් ගියාට පස්සේ දිගටම ඒ අයත් එක්ක දුරකථන මාර්ගයෙන් බයිබලය සාකච්ඡා කළා. ඒ ගමේ සිහි කිරීම පවත්වන්න සහෝදරයන් තුන්දෙනෙක් ගිය අතර ඒකට 109දෙනෙක් සහභාගි වුණා.

වානුවාටු