Skip to content

පටුනට යන්න

පසුගිය වසරෙන්

නීතිය හා සම්බන්ධ වාර්තා

නීතිය හා සම්බන්ධ වාර්තා

ආර්මේනියාව පොදු සේවාවන් කරන්න අවසර ලැබුණා

ආර්මේනියාව: හමුදා සේවය වෙනුවට පොදු සේවාවන් කරන්න සමහර සහෝදරයන්ව ඈත ප්‍රදේශවලට රජයෙන් යවා තියෙනවා. ඔවුන් ඒ ප්‍රදේශවල දේශනා සේවයේත් උද්‍යෝගයෙන් හවුල් වෙනවා

හෘදය සාක්ෂිය නිසා හමුදා සේවය ප්‍රතික්ෂේප කරන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට 2013දී ආර්මේනියාවේ රජයෙන් යම් සහනයක් සලස්වා දී තියෙනවා. ඒ නිසා සාක්ෂිකරුවන්ට හිර දඬුවම් විඳිනවා වෙනුවට වෙනත් පොදු සේවාවන්වල නිරත වෙන්න අවසර ලැබුණා. 2014 ජනවාරිවලදී ඒ සැලැස්මෙන් ප්‍රයෝජන ගත් සහෝදරයන් 71දෙනෙක් පොදු සේවාවන්වල නිරත වුණා කියලා ආර්මේනියාවේ ශාඛා කාර්යාලය පවසනවා. සමහර සහෝදරයන්ව රජයේ රෝහල්වල මුළුතැන්ගෙයි වැඩ කරන්නත් තවත් අයව හෙද සේවකයන්ට උදව් කරනනත් යොදවලා තියෙනවා. මේ සේවාවන් අමාරු වුණත් සහෝදරයන් ඉතා හොඳින් ඒවා ඉටු කරනවා කියලා ඔවුන්ව අධීක්ෂණය කරන අය වාර්තා කළා. මේ වගේ සේවාවක් කරන්න අවසර දීලා තියෙන නිසා තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව දේවල් කරන්න පුළුවන් වෙලා තියෙන එක ගැන සහෝදරයන් සතුටු වෙනවා. * සහෝදරයෙක් මෙහෙම කිව්වා. “අපිට මේ වගේ පොදු සේවාවන් කරන්න ඉඩ දීලා තියෙන එක ගැන අපි ඇත්තෙන්ම යෙහෝවා දෙවිට ස්තුති කරනවා. හෘදය සාක්ෂියට එකඟව දේවල් කරන්න විතරක් නෙමෙයි දැන් අපිට නිදහසේ දෙවිට නමස්කාර කරන්නත් පුළුවන්.”

ඩොමිනිකන් ජනරජය සාක්ෂිකරුවන්ටත් විවාහයන් ලියාපදිංචි කරන්න අවසර ලැබුණා

1954දී ඩොමිනිකන් ජනරජය වතිකානුවත් එක්ක ඇති කරගත්ත ගිවිසුමකට අනුව විවාහයක් ලියාපදිංචි කරන්න අවසර තිබුණු එකම ආගම කතෝලික ආගමයි. පල්ලියෙන් විවාහ නොවන අය විවාහය ලියාපදිංචි කළේ රජයේ රෙජිස්ට්‍රාර් කෙනෙක් මාර්ගයෙන්. ඒත් 2010දී රජය නිකුත් කළ අලුත් ව්‍යවස්ථාවකට අනුව වෙනත් ආගම්වලටත් විවාහ ලියාපදිංචි කිරීමේ අවස්ථාව ලැබුණා. ලියාපදිංචි කිරීමට අවසර ලබාගන්න කැමති අයට රජයෙන් පුහුණුවක් ලබා දෙන්නත් සැලසුම් කළා. ඩොමිනිකන් ජනරජයේ ශාඛා කාර්යාලයෙන් වැඩිමහල්ලන් 30දෙනෙක්ව ඒ පුහුණුවට ඉදිරිපත් කළා. ඒකට 2,000කට වඩා වැඩිදෙනෙක් ඉදිරිපත් වුණත් විවාහ ලියාපදිංචි කිරීමේ සුදුසුකම් ලැබුණේ 32දෙනෙක්ට විතරයි. ඒ අතරේ අපේ සහෝදරයන් 30දෙනාම හිටියා. ඒ නිසා දැන් ඔවුන්ට සාක්ෂිකරුවන්ගේ විවාහ ලියාපදිංචි කරන්න පුළුවන්.

ඉන්දියාව නිර්භීතව සේවය කරන්න අධිෂ්ඨාන කරගත්තා

සන්දීප් සහ දීපාලක්ෂ්මි මුනිස්වාමි

2014 ජනවාරි 27වෙනිදා කර්ණාටක ප්‍රාන්තයේ මානව හිමිකම් කොමිසම, හුබ්ලි නගරයේ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙක්ට විරුද්ධව තීන්දුවක් දුන්නා. ඒකට හේතුව 2011 ජූනි 28වෙනිදා සහෝදර සන්දීප් මුනිස්වාමිව මැර කණ්ඩායමකින් ආරක්ෂා නොකිරීමයි. පොලිස් පරීක්ෂකවරයා මානව හිමිකම් උල්ලංගනය කළ නිසා ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන්න කියලත් සහෝදර මුනිස්වාමිට ඉන්දියානු රුපියල් 20,000ක වන්දියක් ගෙවන්න කියලත් කොමිසම කර්ණාටක රජයෙන් ඉල්ලා සිටියා. ඒ විතරක් නෙමෙයි වන්දිය පොලිස් පරීක්ෂකගේ වැටුපෙන් කපාගන්න කියලත් කිව්වා.

සාමාන්‍යයෙන් කෙනෙක්ට ලැබෙන්නේ නැති ඒ වගේ තීන්දුවක් තමාට ලැබුණු එක ගැන සතුටු වන සහෝදර මුනිස්වාමි හා ඔහුගේ පවුලේ අය යෙහෝවා දෙවිට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ සිද්ධිය නිසා ඔවුන්ගේ විශ්වාසය වැඩි වුණා විතරක් නෙමෙයි නිර්භීතකමත් වැඩි වුණා. යෙහෝවා දෙවිට තම සෙනඟව ආරක්ෂා කරන්න පුළුවන් කියන එක ගැනත් ඔවුන්ට දැන් ස්ථිරයි. විශේෂයෙන්ම ඒ තීන්දුව නිසා කාර්ණාටක ප්‍රාන්තයේ ඉන්න සාක්ෂිකරුවන්ගේ මානව අයිතීන් ගැන තමන් මීට වඩා සැලකිලිමත් වෙන්න ඕන කියන පණිවිඩයත් බලධාරීන්ට ගියා.

කිර්ගිස්තානය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සාක්ෂිකරුවන්ට පක්ෂව ලැබුණු තීන්දුවක්

හෘදය සාක්ෂිය නිසා හමුදා සේවයට නොබැඳුණු අයට 2013 නොවැම්බර් 19වෙනිදා අමතක නොවන දවසක්. හමුදා සේවයට බැඳුණේ නැති සාක්ෂිකරුවන් 11දෙනාට ආණ්ඩුව නියම කරලා තිබුණු විකල්ප සේවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා එදා ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා. කලින් ඔවුන්ට හමුදා සේවය වෙනුවට විකල්ප සේවයක් කරන්න අවසර දීලා තිබුණත් ඒ අයට හමුදා ක්‍රියාකාරකම් වෙනුවෙන් මුදලක් ගෙවීමට සිද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි හදිසි අවස්ථාවකදී හමුදා සේවයට යන්නත් ඔවුන්ට සූදානමින් ඉන්න වුණා. තමන්ගේ හෘදය සාක්ෂිය නිසා හමුදා සේවය නොකරන අයට ඒ වගේ දේවල් කරන්න බල කිරීම ආගමික නිදහස උල්ලංගනය කිරීමක් කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වා. 2014 වසරේ දුන් එම තීන්දුව නිසා සාක්ෂිකරුවන් 14දෙනෙකුට නිදහස ලැබුණා. ඔවුන්ට මේ වගේ ජයග්‍රහණයක් ලැබුණේ ආගමික නිදහස වෙනුවෙන් අවුරුදු 7ක් පුරා කළ සටනක ප්‍රතිඵලයක් විදිහටයි. විවිධ පීඩාවලට මුහුණ දෙන්න සිදු වුණත් ඒ යෞවනයන් සන්සුන්ව හිටපු නිසා යෙහෝවා දෙවිගේ නාමය ප්‍රශංසාවට ලක් වුණා විතරක් නෙමෙයි කිර්ගිස්තානයේ නමස්කාර කටයුතු නිදහසේ කරගෙන යෑමටත් සාක්ෂිකරුවන්ට අවස්ථාව උදා වුණා.

කිර්ගිස්තානය: ශ්‍රේෂ්ඨාධ්කරණය ඉදිරියට ගිය සාක්ෂිකරුවන්

නයිජීරියාව “දිනුම දුන්නේ යෙහෝවා දෙවියි”

අබියා ප්‍රාන්තයේ ගම්වල තියෙන සමහර සමිතිවල * සාමාජිකයන් සැහැසික ක්‍රියාවල හා භූතවාදී ක්‍රියාවල නියැලෙනවා. සාක්ෂිකරුවන් ඒවාට බැඳුණේ නැති නිසා ඔවුන් සාක්ෂිකරුවන්ට තර්ජනය කළා. ඒ වගේම ඔවුන්ව කොන් කළා. 2005 නොවැම්බර් මාසයේ දවසක ඒ සමිතියක අය සහෝදර ඉමැනුවල් ඕග්වෝගේ ගෙදරට කඩාවැදිලා ඔහුගේ ගෙදර තිබුණු හැම දෙයක්ම බලෙන් අරං ගියා. ඔහු සමිතියට බැඳිලා නැති වුණත් සාමාජික මුදල් වෙනුවටයි මේ බඩු ගත්තේ කියලා ඔවුන් කිව්වා. සහෝදර සහ සහෝදරි ඕග්වෝට ඉතුරු වුණේ ඇඳි වත විතරයි. 2006දී ඔවුන්ව ඒ ගමෙනුත් පන්නලා දැම්මා. ඒ නිසා මේ යුවළට රැකවරණය ලබා දුන්නේ අසල ගමක හිටපු සහෝදරයෙක්. ඊළඟ අවුරුද්දේ සහෝදර ඕග්වෝ ඔහුගේ ගෙදරට නැවත ගියාමත් ඒ සමිතියට බැඳෙන්න කියලා ඔහුට දිගින් දිගටම බල කළා. ඔහුගෙන් පැහැරගත්ත දේවල් දෙන්න කියලා ඔහු කොච්චර ඉල්ලුවත් කිසිම වැඩක් වුණෙත් නැහැ.

2014 අප්‍රියෙල් 15වෙනිදා අබියා ප්‍රාන්තයේ මහාධිකරණය සහෝදර ඕග්වෝට පක්ෂව තීන්දුවක් ලබා දුන්නා. ඔහුට කැමති කණ්ඩායමකට එකතු වෙන්න හෝ ඉන් ඉවත් වෙන්නත් කැමති ආගමක් අදහන්නත් නිදහසක් තියෙනවා කියලා ඔවුන් කිව්වා. ඕග්වෝගෙන් පැහැරගත් හැම දෙයක්මත් ඔහුට ආයිත් ලැබුණා. දැන් ඒ ගමේ අය සාක්ෂිකරුවන්ට දැඩි විරුද්ධවාදිකම් එල්ල කරන්නේ නැති නිසා ඔවුන් නිදහසේ සේවය කරනවා.

උසාවියේ තීන්දුව දුන්න වෙලාවේ තමන්ට හැඟුණු දේ ගැන සහෝදර ඕග්වෝ මෙහෙම කිව්වා. “මං සතුටට උඩ පැන්නා. ඒක යෙහෝවා දෙවි ලබපු දිනුමක් වගෙයි මට දැනුණේ. දේවදූතයෝ මාත් එක්ක හිටියා. මේ දිනුම දුන්නේ යෙහෝවා දෙවියි.”

රුසියාව jw.org වෙබ් අඩවියට පක්ෂව ලැබුණු තීන්දුවක්

රුසියාවේ සහෝදරයන් නීතික ප්‍රශ්නවලට මුහුණ දුන්නත් හුඟක් අවස්ථාවලදී ඒ “දේවල් ශුභාරංචියේ දියුණුවට දායක වුණා.” (ෆිලි. 1:12) සමහර ආණ්ඩු බලධාරීන් හා ආගමික නායකයන් අපේ වැඩකටයුතුවලට නිතරම විරුද්ධ වුණත් සහෝදරයන් දිගටම ඔවුන්ගේ විශ්වාසයට එකඟව වැඩ කරනවා. ඒ වගේම යෙහෝවා දෙවිත් ඔවුන්ගේ උත්සාහයන්ට ආශීර්වාද කරනවා.

ටිව්යේ නගරයේ සාක්ෂිකරුවන් ලබපු ජයග්‍රහණය ඒකට කදිම උදාහරණයක්. 2013දී jw.org වෙබ් අඩවිය රුසියාවේ තහනම් කරන්න කියලා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පහළ උසාවියට පැමිණිලි කළා. ඒ ගැන සාක්ෂිකරුවන්ට කිසිම දැනුම් දීමක් නොකර උසාවිය නීතිපති දෙපාර්තමේන්තුවට පක්ෂව තීන්දුවක් ලබා දුන්නා. ඒක දැනගත්ත අපේ සහෝදරයන් අභියාචනයක් ඉදිරිපත් කළා. ඒ අනුව 2014 ජනවාරි 22වෙනිදා ඉහළ උසාවියෙන් කලින් දුන් තීන්දුව වෙනස් කළා. මුළු ලෝකයේම ඉන්න සහෝදර සහෝදරියන් කළ යාච්ඤාවලට ස්තුතිවන්ත වෙන්න රුසියාවේ ඉන්න අපේ සහෝදරයන් බොහෝදෙනෙකුට දැන් jw.org වෙබ් අඩවියෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්වෙලා තියෙනවා.

තුර්කිය හෘදය සාක්ෂියට එකඟව හමුදා සේවය නොකිරීම දිගටම නොසලකා හරියි

හෘදය සාක්ෂිය නිසා හමුදා සේවයට නොබැඳුණු සාක්ෂිකරුවෙක් වන බැරිස් ගෝමස්ට අවුරුදු 4ක් සිරදඬුවම් විඳින්න සිද්ධ වුණා. හමුදා සේවය ප්‍රතික්ෂේප කරපු නිසා හමුදා භටයන්ගේ දැඩි පහර දීම්වලටත් ලක් වුණු ඔහු හිරගෙදරදිත් ගොඩක් පීඩාවලට මුහුණ දුන්නා. ඔහු අඩි 7ක් උස සහෝදරයෙක් නිසා ඔහුට දීපු ඇඳ නිදාගන්න ප්‍රමාණවත් එකක් වුණේ නැහැ. ඒත් ඔහුට වකුටු වෙලා නිදාගන්න කියලා ඔවුන් බල කළා. අවසානයේදී සභාවේ සහෝදරයන් ගෙනත් දුන්න ලොකු මෙට්ටයක් තබාගන්න ඔහුට අවසර ලැබුණා.

ගෝමස් සහ තවත් සහෝදරයන් තුන්දෙනෙක් තමන්ගේ ආගමික නිදහස උල්ලංගනය කළා කියලා 2008දී තුර්කි රජයට විරුද්ධව මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. 2014 ජූනි 3වෙනිදා ඔවුන්ට පක්ෂව තීන්දුවක් ලැබුණා. * ඒ වගේම ඒ අයට වන්දියක් ගෙවන්න කියලත් යුරෝපීය අධිකරණය තුර්කියේ රජයට නියෝග කළා. මෙය තුර්කි රජයට විරුද්ධව හා සාක්ෂිකරුවන්ට පක්ෂව යුරෝපීය අධිකරණය තීන්දුවක් දුන් තුන්වෙනි අවස්ථාවයි. දැනට සාක්ෂිකරුවන් සිර භාරයේ නැති වුණත් ඔවුන් හමුදා සේවයට බැඳෙන්නේ නැති හේතුව තුර්කි රජය සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න තුරු විටින් විට ඒ වගේ ප්‍රශ්න මතු වෙන්න පුළුවන්.

කලින් වසරවල වාර්තා හා සම්බන්ධයි

අසර්බයිජානය: පොලීසිය දිගින් දිගටම රැස්වීම් වෙලාවල්වලදී නමස්කාර මධ්‍යස්ථාන වටලනවා. සාක්ෂිකරුවන්ගේ පොත් පත් තහනම් කරනවා. දේශනා සේවයේ යද්දී අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම ඔවුන් තවමත් වැඩ කරන්නේ මානව හිමිකම් උල්ලංගනය වෙන විදිහටයි. ඒ විතරක් නෙමෙයි සාක්ෂිකරුවන්ගේ ආගම ලියාපදිංචි කිරීමට නැවත අවසර ඉල්ලුවත් රජය දිගටම ඒක ප්‍රතික්ෂේප කරනවා. මේ සම්බන්ධයෙන් සොයා බලන්න කියලා පැමිණිලි 19ක් මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. මේ මොන පීඩා තිබුණත් යෙහෝවා දෙවිගේ ආශීර්වාදය නිසා එහි ලොකු වර්ධනයක් සිදු වෙන අතර අසර්බයිජාන භාෂාවෙන් ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ මුදාහැරීමටත් හැකි වුණා.

එරිත්‍රියාව: දරුණු පීඩා යටතේ සාක්ෂිකරුවන් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරනවා. පාවුලොස් ඉයාසු, ඊසක් මොගොස් සහ නෙගඩෙ ටෙක්ලමරියම් යන සහෝදරයන් තුන්දෙනා 1994 සැප්තැම්බර් 24වෙනිදා සිට මේ දක්වා අවුරුදු 20ක කාලයක් පුරා සිරගත වී ඉන්නවා. 2014 අප්‍රියෙල් 14වෙනිදා සිහි කිරීමට ආපු සාක්ෂිකරුවන් 150දෙනෙක්ව හා නවකයන්ව පොලිස් අත්අඩංගුවට ගත්තා. ඒ අය අතරේ මාස 16ක දරුවෙක් වගේම වයස අවුරුදු 85ට වඩා වැඩි අයත් හිටියා. ඒ වගේම සාක්ෂිකරුවන් හා නවකයන් 30දෙනෙක්ව විතර 2014 අප්‍රියෙල් 27වෙනිදා විශේෂ දේශනයට ආපු අවස්ථාවේදීත් අත්අඩංගුවට ගත්තා. ඉන් බොහෝදෙනෙක්ව දැන් නිදහස් කරලා.

කසක්ස්තානය: ආගමික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව අපේ ප්‍රකාශන 14ක් ගෙන්වාගැනීම හා බෙදාහැරීම තහනම් කළා. නමස්කාර මධ්‍යස්ථානයෙන් පිටතදී සාක්ෂිකරුවන්ගේ විශ්වාසයන් ගැන කතා කරන එකටත් ඔවුන් සීමා දැමුවා. ඒ විතරක් නෙමෙයි සහෝදරයන් 50දෙනෙකුට මිෂනාරි සේවයේ යෙදෙනවා කියලා බොරු චෝදනාත් එල්ල කළා. මේ දේවල් නිසා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දෙන්න කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි 26ක් ඉදිරිපත් කරලා තියෙනවා.

^ 4 ඡේ. පොදු සේවාවන් තෝරගන්නවාද නැද්ද කියන එක කෙනෙක් තමන්ගේ හෘදය සාක්ෂියට අනුව ගන්න තීරණයක්.

^ 13 ඡේ. ඒ සමිතිවලට සාමාන්‍යයෙන් අයිති වුණේ එකම ගමේ එකම වයස් කාණ්ඩයකට අයිති පිරිමි අයයි.

^ 21 ඡේ. බුල්ඩු සහ පිරිස එදිරිව තුර්කිය, අංක 14017/08, 2014 ජූනි 03.