Skip to content

පටුනට යන්න

1954දී සුරබයාවල තිබුණ සභාව

ඉන්දුනීසියාව

මිෂනාරිවරුන්ගේ පැමිණීම

මිෂනාරිවරුන්ගේ පැමිණීම

1951 ජූලි මාසයේදී සහෝදර පීටර් වොන්ඩහාකන් ඉන්දුනීසියාවට ආවා. ගිලියද් පුහුණුව ලබා ඉන්දුනීසියාවට ආව මුල්ම මිෂනාරිවරයා ඔහුයි. ඒ අවුරුද්දෙම අවසාන හරිය වෙද්දී තවත් මිෂනාරිවරුන් 13දෙනෙක් ඕස්ට්‍රේලියාවෙන්, ජර්මනියෙන් සහ නෙදර්ලන්තයෙන් ඉන්දුනීසියාවට ආවේ හිටපු ප්‍රචාරකයන් ගණන දෙගුණයකින් විතර වැඩි කරමින්.

ෆ්‍රෙඩ්රිකා රෙන්ස්කර්ස් ලන්දේසි මිෂනාරිවරියක්. “වෙන රටකට ගිහින්, භාෂාව දන්නේ නැතුව සංඥාවලින් දේශනා කරන විදිහ මට මැවිලා පෙනුණා. ඒත් ඉන්දුනීසියාවේ හුඟක් අය ලන්දේසි කතා කරපු නිසා මට ඒ භාෂාවෙන් දේශනා කරන්න පුළුවන් වුණා” කියලා ඇය කිව්වා. ඕස්ට්‍රේලියාවෙන් ආව සහෝදර රොනල්ඩ් ජැකා කිව්වේ මෙහෙමයි. “ඉන්දුනීසියානු භාෂාවෙන් බයිබල් පණිවිඩය තිබුණු කාඩ්පත් අපේ සේවෙට ලොකු උදව්වක් වුණා. හැම ගෙදරකටම යන්න කලින් ඒ කාඩ් එකේ තිබුණු පණිවිඩේ කියවලා මං ඒක මතකෙන් කියන්න උත්සාහ කළා.”

මිෂනාරිවරුන් පෙරමුණ අරගෙන සේවය කළ නිසා අවුරුද්දක් ඇතුළත ප්‍රචාරකයන් ගණන 34 සිට 91 දක්වා වැඩි වුණා. 1951 සැප්තැම්බර් 1වෙනිදා ජකාර්තාවල තිබුණු සහෝදර ආන්ඩ්‍රේ ඉලයාස්ගේ ගෙදර ශාඛා කාර්යාලයක් පිහිටෙව්වා. ඒකේ වැඩ බලාගන්න පත් කළේ සහෝදර රොනල්ඩ් ජැකාවයි.

ශුභාරංචිය තව තවත් පැතිරෙයි

1951 නොවැම්බර්වලදී සහෝදර පීටර් වොන්ඩහාකන්ට සුලවෙසිවල මනැඩෝ ප්‍රදේශයේ සේවය කරන්න පැවරුමක් ලැබුණා. ඒ වෙනකොට සහෝදර තියඩොරස් රටූ සහ ඔහුගේ බිරිඳ එහෙ පුංචි කණ්ඩායමක් පිහිටුවලයි තිබුණේ. එහෙ හිටපු හුඟක් අය ක්‍රිස්තියානි ආගම් අදහපු, බයිබලයට ගොඩක් ගරු කරපු අය. ඒ නිසා ඔවුන් ආසාවෙන් අපේ සහෝදරයන්ගෙන් බයිබලයේ තියෙන දේවල් ඉගෙනගත්තා. සේවෙදී එක් කෙනෙක්ට කතා කරනවා වෙනුවට සහෝදරයන්ට එක සැරේ 10දෙනෙක්ට විතර කතා කරන්න වුණා. විනාඩි 15ක් යද්දි එතනට 50ක් විතර එකතු වෙනවා. පැයක් යද්දි 200ක් විතර එනවා.

1952 මුල් කාලයේදී සහෝදර ඇල්බට් මල්ට්බී සහ ඔහුගේ බිරිඳ ජීන් ජාවාවල සුරබයා නගරයට ගියා. ඔවුන් ඔවුන්ගේ නිවස මිෂනාරි නිවසක් කළා. පස්සේ ගර්ට්රූට් ඔට්, ෆ්‍රෙඩ්රිකා රෙන්ස්කර්ස්, සූසි ස්ටූවේ, මේරියන් ස්ටූවේ, ඉව්ලන් ප්ලැට් සහ හර්මිනැ හාප් කියන මිෂනාරි සහෝදරියන් 6දෙනාත් ඒ මිෂනාරි නිවසට ආවා. “මෙහෙ ඉන්න හුඟක් අය මුස්ලිම්. හැබැයි එයාලා අන්තවාදී නැහැ. හරි මිත්‍රශීලීයි. එයාලා හරියට සත්‍යය ලැබෙන කල්ම බලාගෙන හිටියා වගේ. ඒ නිසා බයිබල් පාඩම් පටන්ගන්න හරිම ලේසි වුණා. අවුරුදු 3ක් යද්දී සුරබයාවල තිබුණු සභාවේ ප්‍රචාරකයන් ගාණ 75ක් වුණා” කියලා සහෝදරි රෙන්ස්කර්ස් කිව්වා.

ජකාර්තාවල හිටිය මිෂනාරිවරුන්

ඒ කාලෙදිම වගේ පැංඩෑංග්වල හිටිය මුස්ලිම් භක්තිකයෙක් වුණ අසිස්, බයිබලය ගැන තවත් දැනගන්න ආසයි කියලා ශාඛා කාර්යාලයට ලියුමක් දැම්මා. ඔහු 1930දී විතර ඕස්ට්‍රේලියාවෙන් ආව පුරෝගාමීන් එක්ක බයිබලය ඉගෙනගෙන තිබුණත් ජපන් පාලන කාලයේදී ඔහුට ඒක මඟහැරිලා. දවසක් ඔහුට අපේ පොතක් හම්බ වුණා. ඔහු ලියපු ලියුමේ සඳහන් වුණේ මෙහෙමයි. “මට හම්බ වුණ පොතේ ජකාර්තාවල ලිපිනය දැක්කම මට ආයෙත් බයිබලය ඉගෙනගන්න ආස හිතුණා.” ප්‍රතිඵලයක් විදිහට චාරිකා සේවකයෙක් වුණ සහෝදර ෆ්‍රාන්ස් වැන් ව්ලිට්ව ශාඛා කාර්යාලයෙන් ඉක්මනින්ම පැංඩෑංග්වලට යැව්වා. අසිස් ඔහුගේ අසල්වැසියෙක් වුණ නසාර් රිස්ට සත්‍යය ගැන කියලා තිබුණා. මේ දෙන්නාගෙම පවුල්වල අයත් සත්‍යය පිළිගත්තා. පස්සේ කාලෙකදී සහෝදර අසිස් වැඩිමහල්ලෙක් වුණ අතර සහෝදර නසාර් විශේෂ පුරෝගාමි සේවය කළා. සහෝදර නසාර්ගේ දරුවන් අදටත් යෙහෝවා දෙවිට උද්‍යෝගයෙන් සේවය කරනවා.

ෆ්‍රාන්ස් වැන් ව්ලිට් සහ ඔහුගේ බාල සහෝදරි නෙල්

මේ අතර සහෝදර වැන් ව්ලිට් අක්‍රියාශීලී වෙලා හිටිය ලන්දේසි සහෝදරයෙක්ව හම්බ වෙන්නත් ගියා. ඒ සහෝදරයා කලිමන්තන් දූපතේ තිබුණ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයක අලුත්වැඩියා කටයුත්තක් සඳහා ඇවිල්ලයි හිටියේ. සහෝදර වැන් ව්ලිට් මේ සහෝදරයාව සේවේ එක්කරගෙන ගියා. බයිබල් පාඩම් පවත්වන්නත් දිරිගැන්නුවා. ආයෙත් උද්‍යෝගයෙන් සේවය කරපු ඒ සහෝදරයා නෙදර්ලන්තෙට යන්න කලින් බාලික්පාපන්වල පුංචි කණ්ඩායමක් ඇති කරන්නත් මහන්සි වෙලා වැඩ කළා.

අලුත බව්තීස්ම වුණු සහෝදරි ටිටී කූටින් කලිමන්තන්වල බන්ජාර්මිසින් ප්‍රදේශයට ආවා. සහෝදරි කූටින් ඇගේ නෑදෑයන්ට ශුභාරංචිය කියපු නිසා ඔවුනුත් සත්‍යය ඉගෙනගත්තා. ඒ නෑයන්ගෙන් සමහර අය ඔවුන් ජීවත් වුණ ඈත ගම්මානවලට ගිහිල්ලා දේශනා කළා. ඒ ප්‍රදේශවලත් පොඩි පොඩි කණ්ඩායම් බිහි වෙලා පස්සේ කාලෙකදී ඒවා සභාවන් දක්වා වර්ධනය වුණා.

ඉන්දුනීසියානු භාෂාවෙන් පොත් පත්

ශුභාරංචිය පැතිරෙද්දී සහෝදරයන්ට ඉන්දුනීසියානු භාෂාවෙන් තවත් පොත් පත් ඕන වුණා. ඒ නිසා 1951දී “ලෙට් ගෝඩ් බී ටෘ” (සිංහලෙන් නැත) කියන පොත ඉන්දුනීසියානු භාෂාවට පරිවර්තනය කළා. ඒ කාලෙදී ඉන්දුනීසියානු අක්ෂර වින්‍යාසයේ සංශෝධනයක් වුණ නිසා ඒ පොතත් ඒ අනුව වෙනස් කළා. * පොත නිකුත් කළාම ඒක කියවපු හුඟක් අය සත්‍යය ගැන හෙව්වේ හරිම ආසාවෙන්.

අවුරුදු 12ක් පුරා ඉන්දුනීසියානු භාෂාවෙන් ‘මුරටැඹ’ සඟරාව මුද්‍රණ කළේ නැහැ. ඒත් 1953දී ශාඛා කාර්යාලයෙන් ‘මුරටැඹ’ සඟරාවේ පිටපත් 250ක් මුද්‍රණය කළා. පිටු 12ක් තිබුණු ඒ සඟරාවේ මුලින් ආවේ පාඩම් ලිපි විතරයි. අවුරුදු 3කට පස්සේ එහි පිටු ගණන 16 දක්වා වැඩි කළ අතර වෙනත් මුද්‍රණාලයකට දී සඟරා පිටපත් 10,000ක් හැම මාසෙම මුද්‍රණය කළා.

1957දී ‘පිබිදෙව්’ සඟරාව ඉන්දුනීසියානු භාෂාවෙන් මුල් වරට නිකුත් කළා. වැඩි කල් යන්න කලින් ඒ සඟරාවේත් පිටපත් 10,000ක්ම බෙදාහරින්න පුළුවන් වුණා. රට පුරාම ඇති වුණ කඩදාසි හිඟය නිසා කඩදාසි ලබාගන්න බලපත්‍රයක් ඕන වුණා. ඒක ඉල්ලුම් කරන්න ගිය වෙලාවේ ඒ සම්බන්ධව වැඩ කරපු නිලධාරියා සහෝදරයන්ට කිව්වේ මෙහෙමයි. “ඔයාලාට මං ඕන සහයෝගයක් දෙන්නම්. ‘මනාරා පංගවාල්’ (‘මුරටැඹ’) කියන්නේ ඉන්දුනීසියාවේ තියෙන හොඳම සඟරාවලින් එකක්.”

^ 1 ඡේ. 1945 සිට ඉන්දුනීසියානු අක්ෂර වින්‍යාසයේ සංශෝධනයන් 2ක් සිදු වුණා. එහෙම කළේ ලන්දේසි ආභාසය තිබුණු අක්ෂර වින්‍යාසය ඉවත් කරන්න.