Skip to content

පටුනට යන්න

සෝදිසියෙන් ඉන්න!

යුක්රේනයේ වැසියන් මිලියන ගාණක් සරණාගතයන් වෙයි!

යුක්රේනයේ වැසියන් මිලියන ගාණක් සරණාගතයන් වෙයි!

 2022 පෙබරවාරි 24වෙනිදා රුසියාව යුක්රේනයට විරුද්ධව යුධ අරගලයක් පටන්ගත්තා. මේ ආක්‍රමණය මිලියන ගාණකගේ ජීවිත අනතුරේ දැම්මා. ඒ නිසා යුක්රේනයේ හිටපු හුඟදෙනෙක්ට තමන් හැදුණු වැඩුණු ගම, රට දාලා පලා යන්න සිද්ධ වුණා. a

 “එදා හැම තැනම බෝම්බ පිපුරුවා. ඒක මතක් වෙද්දී තාමත් පපුව ගැහෙනවා. අපිට ආරංචි වුණා කට්ටියව කෝච්චිවලින් ආරක්ෂිත තැන්වලට ගෙනියනවා කියලා. ඉතින් අපි පුළුවන් තරම් ඉක්මනට යන්න තීරණය කළා. අන්තිමට අපිට ගෙදරින් එළියට බහින්න වුණේ පුංචි බෑග් එකක් විතරක් අතේ තියාගෙන. ඒ බෑග් එකෙත් දාගන්න පුළුවන් වුණේ අවශ්‍ය ලියකියවිලි, බෙහෙත්, වතුර, මඟදී කන්න පුංචි කෑමක් විතරයි. අනිත් හැම දේම අපිට දාලා එන්න සිද්ධ වුණා. අපි ස්ටේෂන් එකට දුවගෙන යද්දීත් වටේටම බෝම්බ පිපුරුවා.”යුක්රේනයේ කාර්කිව්වල නටාල්යා.

 “අන්තිම මොහොත වෙන කල්ම මං හිතුවේ නෑ යුද්ධයක් ඇති වෙයි කියලා. හැබැයි පස්සේ නගරේ හැම තැනම බෝම්බ පුපුරනවා ඇහුණා. අපේ ගෙදර ජනෙල් හෙල්ලෙන්න ගත්තා. එතකොට මං හිතුවා පුළුවන් තරම් ඉක්මන්ට මෙහෙන් යන්න ඕනෙ කියලා. ඉතින් උදේ අට වෙද්දී මං කෝච්චිය අල්ලගෙන ලවිව්වලට ගියා. එතනින් බස් එකේ පෝලන්තෙට ආවා. ගෙදරින් එද්දී ගෙනාවේ අත්‍යවශ්‍යම දේවල් ටික විතරයි.”—යුක්රේනයේ කාර්කිව්වල නාඩියා.

මේ ලිපියෙන්

 ඇත්තටම මිනිස්සු සරණාගතයන් වෙන්නේ ඇයි?

 යුක්රේනයේ ඉන්න අය සරණාගතයන් වුණේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කරපු නිසයි. ඒත් ලෝකේ පුරාම ඉන්න මිනිස්සු සරණාගතයන් වෙන්න මුල් වෙලා තියෙන හේතු බයිබලේ පැහැදිලිවම කියලා තියෙනවා.

  •   අද ලෝකේ පුරාම තියෙන මිනිස් ආණ්ඩු අසාර්ථකයි. මොකද මිනිස්සු ආණ්ඩුවලින් බලාපොරොත්තු වෙන කිසිම දෙයක් එයාලට කරගන්න බැරි වෙලා තියෙනවා. එයාලා මිනිස්සුන්ට සහනය දෙනවා වෙනුවට කරන්නේ බලය අයුතු විදිහට පාවිච්චි කරලා මිනිස්සුන්ව පාගලා දාන එකයි.—දේශනාකාරයා 4:1; 8:9.

  •   මේ “ලෝකයේ පාලකයා” තමයි සාතන් කියන යක්ෂයා. එයා ගොඩක් දුෂ්ට කෙනෙක්. එයා මිනිස්සුන්ට ගොඩක් බලපෑම් කරනවා. ඉතින් “මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තියෙන” නිසා තමයි අද මිනිස්සු ගොඩක් දුක් විඳින්නේ.—යොහන් 14:30; 1 යොහන් 5:19.

  •   මිනිස්සු කවදත් ප්‍රශ්න ගැටලුවට මුහුණ දීලා තියෙනවා. හැබැයි බයිබලේ කියනවා “අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක්” එනවා කියලා. (2 තිමෝති 3:1) අපි දැන් ජීවත් වෙන්නේ ඒ කාලේ නිසා වෙනදාටත් වඩා වැඩියෙන් යුද්ධ, ස්වාභාවික විපත්, ආහාර හිඟකම්, වසංගත ඇති වෙනවා. ඒක හින්දා තමයි මිනිස්සුන්ට තමන් හැදී වැඩුණු ගම, රට දාලා පලා යන්න සිද්ධ වෙලා තියෙන්නේ.—ලූක් 21:10, 11.

 සරණාගතයන්ට සරණක් පතන්න පුළුවන් කාගෙන්ද?

 බයිබලේ කියනවා අපිව නිර්මාණය කරපු යෙහෝවා b දෙවියන්ට යන එන මං නැතුව අසරණ වුණ අය ගැනත් සරණාගතයන් ගැනත් ලොකු ආදරයක්, අනුකම්පාවක් තියෙනවා කියලා. (ද්විතීය කතාව 10:18) ඔහු පොරොන්දු වෙලා තියෙනවා ළඟදීම දේවරාජ්‍යය මාර්ගයෙන් ඒ කියන්නේ ඔහුගේ ආණ්ඩුව මාර්ගයෙන් මේ පොළොවේ තියෙන ආණ්ඩු විනාශ කරලා අසරණ වුණ අයගේ හැම ප්‍රශ්නයක්ම විසඳනවා කියලා. (දානියෙල් 2:44; මතෙව් 6:10) ඒ විතරක් නෙවෙයි ඒ ආණ්ඩුවෙන් යෙහෝවා දෙවියන් සාතන්වත් විනාශ කරනවා. (රෝම 16:20) දෙවියන්ගේ රාජ්‍යය එක රටකට විතරක් සීමා වුණ එකක් නෙවෙයි. එදාට මේ මුළු ලෝකෙම පාලනය කරන්නේ ඒ ආණ්ඩුවෙන්. ඒ කාලේදී ජාති භේද නිසා මිනිස්සු දාගෙන තියෙන වැටකඩුලු, සීමා කිසිම දෙයක් තියෙන්නේ නැහැ. මේ ලෝකේ ඉන්න හැමෝම එක පවුලක් වෙනවා. එදාට කාටවත් තමන්ගේ ගෙවල් දොරවල් අත්හැරලා පාරට බහින්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද බයිබලේ මේ වගේ පොරොන්දුවක් දීලා තියෙනවා. “ඔවුහු එක් එක් කෙනා තම තමාගේ මිදිවැල යටද අත්තික්කා ගස යටද සුව සේ කල් ගෙවනු ඇත. කිසිවෙක් ඔවුන්ව බියගන්වන්නේ නැත. මේ සෑම දෙයක්ම පොරොන්දු වී ඇත්තේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”—මීකා 4:4.

 සරණාගතයන් අද මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුමක් ගේන්න පුළුවන් දේවරාජ්‍යයට විතරයි. දේවරාජ්‍යය පාලනය කරන කාලේදී මේ පොළොවේ කිසිම කෙනෙක් සරණාගතයෙක් වෙන්නේ නැහැ. මොකද මිනිස්සු සරණාගතයන් වෙන්න බලපාලා තියෙන හේතු දෙවියන් ළඟදීම අයින් කරලා දානවා.

  •   යුද්ධ. ‘[යෙහෝවා දෙවියන්] යුද්ධ නවත්වා දමන්නේය.’ (ගීතාවලිය 46:9) දෙවියන් මේ ලෝකේ තියෙන මතගැටුම්, යුද්ධ නවත්වන්නේ කොහොමද කියලා දැනගන්න “ලෝකයට සාමය උදා වෙන්නේ කොහොමද?” කියන ලිපිය බලන්න.

  •   පීඩා සහ සැහැසික ක්‍රියා. ‘පීඩාවලින්ද සැහැසික ක්‍රියාවලින්ද [යෙහෝවා දෙවියන්] ඔවුන්ව මුදවාගන්නේය. ඔවුන්ගේ ජීවිත ඔහුට බොහෝ සේ වටින්නේය.’ (ගීතාවලිය 72:14) මුල් බැහැගත්ත වෛරය වුණත් මිනිස්සුන්ට අයින් කරගන්න පුළුවන්. ඒ කොහොමද කියලා දැනගන්න “වෛරයේ ගිනිදලු නිවලා දාමු!” කියන සඟරාව බලන්න.

  •   දුප්පත්කම. “උපකාරය පතා හඬ නඟන දුප්පතාව [යෙහෝවා දෙවියන්] ගලවාගන්නේය.” (ගීතාවලිය 72:12) දුප්පත්කමට හේතු වෙලා තියෙන දේවල් දෙවියන් නැති කරන්නේ කොහොමද කියලා දැනගන්න “හැමෝටම එක සමානව දේවල් ලැබෙන කාලයක් එයිද?” කියන ලිපිය බලන්න.

  •   කෑම හිඟකම. “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි.” (ගීතාවලිය 72:16) අනාගතයේදී කාටවත් බඩගින්නේ දුක් විඳින්න දෙවියන් ඉඩ දෙන්නේ නැහැ. ඒ කොහොමද කියලා දැනගන්න “කාගෙත් කුසගිනි නිවෙන දා!” කියන ලිපිය බලන්න.

 සරණාගතයන්ට බයිබලෙන් සහනයක්!

 අපි බලපු විදිහට සරණාගතයන්ට අනාගතය ගැන ලස්සන බලාපොරොත්තුවක් බයිබලේ දීලා තියෙනවා. හැබැයි ඒ විතරක් නෙවෙයි එයාලට දැන් තියෙන අභියෝගවලට හොඳට මුහුණ දෙන්න උදව් වෙන මඟ පෙන්වීමුත් බයිබලේ තියෙනවා.

 බයිබල් ප්‍රතිපත්තිය: “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”—හිතෝපදේශ 14:15.

 තේරුම: සරණාගතයෙක් විදිහට ඔයාට මොන වගේ අනතුරුවලට මුහුණ දෙන්න වෙයිද, ඒවායින් ආරක්ෂා වෙන්න පුළුවන් කොහොමද කියලා හොඳට හිතන්න. ඔයා නුහුරු නුපුරුදු පැත්තක ජීවත් වෙන නිසා සමහරවිට ඒ තරම් ආරක්ෂාවක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඔයාගේ අසරණකමෙන් අයුතු ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න දුෂ්ට මිනිස්සු ගැන අවධානයෙන් ඉන්න.

 බයිබල් ප්‍රතිපත්තිය: “එහෙයින් අපට කෑම බීම, ඇඳුම්පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු.”—1 තිමෝති 6:8.

 තේරුම: හැම වෙලේම කෑම බීම ගැන, ඇඳුම් පැළඳුම් ගැන, ඉන්න තැන ගැන හිතහිතම හිටියොත් ඔයා තවත් කලකිරෙයි. තියෙන දේවල්වලින් සෑහීමට පත් වෙන්න ඔයා ඉගෙනගත්තොත් ඔයාට සතුටින් ඉන්න පුළුවන්.

 බයිබල් ප්‍රතිපත්තිය: “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.”—මතෙව් 7:12.

 තේරුම: හැම වෙලේම ඉවසීමෙන්, කරුණාවන්තව වැඩ කරන්න. එහෙම කළොත් ඔයාට පුළුවන් වෙයි ඔයා ඉන්න පැත්තේ අයගේ හිත දිනාගන්න. එතකොට ඔයාගේ උදව්වට ඔයා ළඟ හුඟක් අය ඉඳියි.

 බයිබල් ප්‍රතිපත්තිය: “කාටවත් නපුරට නපුර නොකරන්න.”—රෝම 12:17.

 තේරුම: අනිත් අය ඔයාට නරක විදිහට සැලකුවා කියලා කේන්ති අරන් එකට එක කරන්න එපා. මොකද ඒකෙන් තවත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අන්තිමට වෙන්නේ කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක්.

 බයිබල් ප්‍රතිපත්තිය: “මන්ද මට බලය දෙන තැනැත්තාගෙන් සෑම දෙයකටම මුහුණ දීමට මට ශක්තිය ලැබේ.”—ෆිලිප්පි 4:13.

 තේරුම: මොන ප්‍රශ්නෙට මුහුණ දුන්නත් යෙහෝවා දෙවියන්ව අමතක කරන්න එපා. හැම වෙලේම ඔහුට යාච්ඤා කරන්න. එතකොට ඔයාට දරාගන්න ඕන කරන ශක්තිය ඔහු අනිවාර්යයෙන්ම ඔයාට දෙයි.

 බයිබල් ප්‍රතිපත්තිය: ‘කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න. ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින් ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න. එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න. එවිට දෙවි ලබා දෙන සමාදානය අද්දැකීමට ඔබට පුළුවන. එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයකි. ඒ සමාදානය ඔබේ හදවතටත් මනසටත් ආරක්ෂාවක් වේ.’—ෆිලිප්පි 4:6, 7.

 තේරුම: මොන දේ වුණත් හිත සන්සුන්ව තියාගන්න, දිගටම සතුටින් ඉන්න උදව් කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න. ඒ ගැන තව විස්තර දැනගන්න “ෆිලිප්පි 4:6, 7 - ‘කිසිවක් ගැන කනගාටු නොවන්න’” කියන ලිපිය බලන්න.

a රුසියාව යුක්රේනයට පහර දීපු දවසට පස්සේ දවසෙම සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා (UNHCR) ප්‍රකාශයක් නිකුත් කළා යුක්රේනය දැන් තියෙන්නේ ගොඩක් දරුණු, අවදානම් සහිත තත්වයක කියලා. දවස් 12ක් ඇතුළත ලක්ෂ 20කටත් වඩා වැඩි ගාණක් සරණාගතයන් විදිහට වෙනත් රටවල්වලට ගියා. ඒ වගේම තවත් ලක්ෂ 10කට සිද්ධ වුණා ගෙවල් දොරවල් අත්හැරලා ආරක්ෂාව හොයාගෙන රටේ තවත් පැතිවලට පලායන්න.

b යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.