Skip to content

යොවුන් සිතේ ගැටලු

ඉස්කෝලේ යන්න ආස නැත්නම් මොකද කරන්නේ?

ඉස්කෝලේ යන්න ආස නැත්නම් මොකද කරන්නේ?

 වස ගුරුවරු, යාළුවන්ගෙන් එන කරදර, විභාග කාලෙට දැනෙන පීඩනය, ඉවරයක් නැති ගෙදර වැඩ. ඔය වගේ දේවල් නිසා ඔයාට ඉස්කෝලේ යන එක එපා වෙලා නම් ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. a රේචල් b කියන යෞවනිය මෙහෙම කියනවා.

 “ඉස්කෝලේ යන්නේ නැතුව වෙන ඕනම තැනක මං යන්න කැමතියි. බීච් එකට, යාළුවෝ එක්ක කොහේ හරි ගමනක් යන්න, ඒ මුකුත්ම නැත්තං ගෙදරට වෙලා අම්මා තාත්තාට උයන්න පිහන්න උදව් කරන්න හරි මං කැමතියි!”

 ඔයාටත් දැනෙන්නේ රේචල්ට දැනෙනවා වගේමද? එහෙනම් ඉස්කෝලේ යන එක ඔයාව හරියට හිරේට දාලා වගේ කියලා දැනෙන්න පුළුවන්. ඉස්කෝලෙන් අවුට් වෙන දවසට තමයි ඒ හිරෙන් නිදහස් වෙන්නේ කියලා ඔයාට හිතෙයි. එහෙම හිතන්නේ නැතුව ඉස්කෝලේ යන්න ආසාවක් ඇති කරගන්න පුළුවන් කොහොමද?

 මේක දැනගෙන හිටියාද? ඔයා ඉස්කෝලේ යන්න ආසාවක් ඇති කරගත්තොත් ඉස්කෝලේ තියෙන ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න ඔයාට පුළුවන් වෙනවා. එතකොට ඉස්කෝලේ යන එක ඔයා අකමැත්තෙන් වුණත් කරන්න ඕන දෙයක් විදිහට දකින්නේ නැතුව ඒක ප්‍රයෝජනවත් දෙයක් විදිහට දකින්න ඔයා ඉගෙනගනියි. ඇත්තටම ඉස්කෝලේ යද්දී ඔයාට තියෙන දක්ෂතා තවත් දියුණු කරගන්න ඔයාට පුළුවන් වෙනවා. වැඩිහිටියෙක් වුණාට පස්සෙත් ඒ දක්ෂතා ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

 ඉතින් ඉස්කෝලේ යන්න ආසාවක් ඇති කරගන්න නම් මේ ප්‍රයෝජන ගැන හිතලා බලන්න.

 ඔයා ඉගෙනගන්න දේවල්. ඔයා ඉස්කෝලේදී හොඳින් ඉගෙනගන්න තරමටම ඔයා රස්සාවක් කරන කාලේදී එන ප්‍රශ්න නැත්නම් වෙනත් ප්‍රශ්න විසඳන්න ඔයාට පුළුවන් වෙනවා. එතකොට ඒවා විසඳගන්න අනිත් අය මත යැපෙන්න ඕන වෙන එකක් නැහැ. ඉතින් මේ ගැන හිතන්න. ‘ඉස්කෝලේ මං ආස නැති ගොඩක් දේවල් තිබුණත් එහෙදි මං ඉගෙනගන්න දේවල් නිසා මට ලැබෙන ප්‍රයෝජන මොනවාද?’

 බයිබල් ප්‍රතිපත්තිය: “ප්‍රඥාවද ඔබේ සිතීමේ හැකියාවද රැකගන්න.”—හිතෝපදේශ 3:21.

 තව තොරතුරු දැනගන්න කැමති නම් “ලකුණු අඩුයි නම් මොකද කරන්නේ” කියන ලිපිය බලන්න.

 හොඳ පුරුදු. ඉස්කෝලේ යද්දී කාලේ නාස්ති කරන්නේ නැතුව ඒක හොඳින් පාවිච්චි කරන විදිහ, තමන්වම පාලනය කරගන්න විදිහ, මහන්සි වෙලා වැඩ කරන විදිහ වගේ දේවල් ඉගෙනගන්න පුළුවන්. වැඩිහිටියෙක් වුණාට පස්සේ ඒ දේවල් ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මේ ගැන හිතන්න. ‘මාවම පාලනය කරගන්න එක, මහන්සි වෙලා වැඩ කරන එක වගේ හොඳ පුරුදු ඉගෙනගන්න ඉස්කෝලේ යන එක උදව් වෙන්නේ කොහොමද? ඒ පැති මට තව දියුණු කරගන්න පුළුවන් කොහොමද?’

 බයිබල් ප්‍රතිපත්තිය: “වෙහෙස මහන්සි වී කරන සෑම වැඩකින්ම ප්‍රයෝජන අත් වෙයි.”—හිතෝපදේශ 14:23.

 තව තොරතුරු දැනගන්න කැමති නම් “කාලය හොඳින් පාවිච්චි කරන්නේ කොහොමද” කියන ලිපිය බලන්න.

 අනිත් අය එක්ක හොඳ බැඳීම් ඇති කරගන්න විදිහ. පන්තියේ අය එක්ක ඉද්දී අනිත් අයව තේරුම් අරන් වැඩ කරන්න, අනිත් අයට ගෞරවය පෙන්නන්න ඔයා ඉගෙනගන්නවා. යොෂුවා කියන යෞවනයා මෙහෙම කියනවා. “අනිත් අය එක්ක කතාබහ කරන්න ඉගෙනගන්න එක ඉතිහාසය, විද්‍යාව වගේ විෂයන් ඉගෙනගන්න එක තරම්ම ජීවිතේට වටිනවා. ඒක ඇත්තටම ඔයාගේ ජීවිත කාලෙටම උදව් වෙන දෙයක්.” ඉතින් මේ ගැන හිතන්න. ‘අනිත් අය එක්ක, ඒ කියන්නේ මට වඩා වෙනස් පසුබිමකින් එන අය එක්ක, මට වඩා වෙනස් අදහස් තියෙන අය එක්ක වුණත් හොඳින් වැඩ කරන්න ඉස්කෝලේ යන එක මට උදව් වෙලා තියෙන්නේ කොහොමද?’

 බයිබල් ප්‍රතිපත්තිය: ‘සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටීමට දැඩි උත්සාහයක් දරන්න.’—හෙබ්‍රෙව් 12:14.

 තව තොරතුරු දැනගන්න කැමති නම් “අනිත් අයත් එක්ක මීට වඩා හොඳට කතාබහ කරන්න පුළුවන් කොහොමද” කියන ලිපිය බලන්න.

 ඔයාගේ අනාගතය. ඔයාගේ හැකියාවන් අඳුරගන්නත් ඒවාට ගැළපෙන ඉලක්ක තියලා වැඩ කරන්නත් ඉස්කෝලේ යන එක ඔයාට උදව් වෙනවා. බෘක් කියන යෞවනිය මෙහෙම කියනවා. “ඉස්කෝලේ යද්දී මගේ දක්ෂතා දියුණු කරගන්න උදව් වෙන විෂයන් මං තෝරගත්තා. ඔයාටත් පුළුවන් ඒ වගේ දෙයක් කරලා බලන්න. එතකොට ඉස්කෝලෙන් අවුට් වුණාම රස්සාවක් කරන්න ඕන කරන සුදුසුකම් ඔයා ළඟ තියෙයි.” ඉතින් මේ ගැන හිතන්න. ‘ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ මගේ වියදමට ඕනෙ කරන සල්ලි මං හොයාගන්නේ කොහොමද? මං කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න රස්සාව කරන්න මට උදව් වෙන විෂයන් මොනවාද?’

 බයිබල් ප්‍රතිපත්තිය: “ඔබ යා යුතු මඟ හිතාමතා සලසාගන්න.”—හිතෝපදේශ 4:26, නව අනුවාදය.

a මේ ලිපියේ තියෙන ප්‍රතිපත්තිවලින් වැඩි හරියක් ගෙදර ඉඳන් ඉගෙනගන්න අයටත් ප්‍රයෝජනවත්.

b සමහර නම් වෙනස් කරලා තියෙනවා.