Skip to content

දේවරාජ්‍යය මිනිසුන්ගේ හිත්වල තියෙන දෙයක්ද?

දේවරාජ්‍යය මිනිසුන්ගේ හිත්වල තියෙන දෙයක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 දේවරාජ්‍යය කියන්නේ මිනිසුන්ගේ හිතේ තියෙන දෙයක් නෙමෙයි. a බයිබලයේ “ස්වර්ගරාජ්‍යය” කියලා ඒක හඳුන්වලා තියෙන එකෙන්ම පැහැදිලියි දේවරාජ්‍යය තියෙන්නේ කොහේද කියලා. (මතෙව් 4:17, ‘පැරණි අනුවාදය’) එහෙම කියන්නේ ඇයි කියලා බලමු.

  •   දේවරාජ්‍යයට පාලකයන් සහ යටත්වැසියන් ඉන්නවා. ඒ වගේම නීති මාලාවකුත් තියෙනවා. ඉදිරියේදී ඒ රාජ්‍යය මගින් දෙවියන්ගේ කැමැත්ත ස්වර්ගයේ වගේම පොළොවෙත් ඉටු වෙනවා.—මතෙව් 6:10; එළිදරව් 5:10.

  •   දේවරාජ්‍යය පොළොවේ ඉන්න “සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන්ව” පාලනය කරයි. (දානියෙල් 7:13, 14) පාලන කටයුතු කරන්න බලය ලැබෙන්නේ දෙවියන්ගෙන්.—ගීතාවලිය 2:4-6; යෙසායා 9:7.

  •   යේසුස් ඔහුගේ නියෝජිතයන්ට කිව්වේ ඔවුනුත් ස්වර්ගයේ “සිංහාසනවල ඉඳගෙන” යේසුස් සමඟ පාලනයට හවුල් වෙනවා කියලයි.—ලූක් 22:28, 30.

  •   දේවරාජ්‍යයට සතුරන් ඉන්නවා. හැබැයි ඒ රාජ්‍යය ඒ හැම කෙනෙක්වම විනාශ කරනවා.—ගීතාවලිය 2:1, 2, 8, 9; 110:1, 2; 1 කොරින්ති 15:25, 26.

 දේවරාජ්‍යය තියෙන්නේ මිනිසුන්ගේ හිත්වල කියලා බයිබලේ උගන්වන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලයේ තියෙන්නේ “රාජ්‍යය පිළිබඳ පණිවිඩයට” නැත්නම් “රාජ්‍යය පිළිබඳ ශුභාරංචියට” කෙනෙක්ගේ හිත වෙනස් කරන්න පුළුවන් කියලයි.—මතෙව් 13:19; 24:14.

“දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා ඇතුළේ” කියලා බයිබලයේ තියෙන්නේ ඇයි?

 ලූක් 17:21වෙනි පදය සමහර බයිබල්වල පරිවර්තනය කරලා තියෙන විදිහ නිසා දේවරාජ්‍යය තියෙන්නේ කොහේද කියලා ගොඩක් අයට තේරෙන්නේ නැහැ. උදාහරණයකට, ‘පැරණි අනුවාදයේ’ කියන්නේ “දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා ඇතුළේ” කියලයි. ඇත්තටම ඒ පදයෙන් අදහස් කරන දේ ගැන දැනගන්න යේසුස් ඒක කිව්වේ මොන වගේ අවස්ථාවකද කියලා බලමු.

යේසුස්ව මරන්න කුමන්ත්‍රණය කරපු අයගේ හදවත්වල දේවරාජ්‍යය තියෙන්න පුළුවන්ද?

 යේසුස් ඒක කිව්වේ ඒ කාලේ හිටපු ආගමික නායකයන් කණ්ඩායමක් වන පරිසිවරුන්ටයි. ඔවුන් යේසුස්ට කොච්චර වෛර කළාද කියනවා නම් යේසුස්ව මරන්න පවා කුමන්ත්‍රණය කළා. (මතෙව් 12:14; ලූක් 17:20) එහෙමනම් ඒ වගේ අයගේ හදවත් ඇතුළේ දේවරාජ්‍යය තියෙන්න පුළුවන්ද? ඇත්තටම ඔවුන්ගේ හදවත් තිබුණු තත්වය ගැන යේසුස් කිව්වේ “ඔබේ සිත කුහකකමින් හා අධර්මිෂ්ඨ දේවලින් පිරී තිබෙනවා” කියලයි.—මතෙව් 23:27, 28.

 නමුත් සමහර බයිබල්වල ලූක් 17:21 අදහස නිවැරදිව පරිවර්තනය කරලා තියෙනවා. උදාහරණයකට, ‘නව අනුවාදයේ’ තියෙන්නේ “දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබ අතරෙහි ය” කියලයි. ඒ වගේම ‘නව ලොව පරිවර්තනය’ කියන බයිබලෙත් තියෙන්නේ “දෙවිගේ රාජ්‍යය තිබෙන්නේ ඔබ අතරෙහියි” කියලයි. එහෙමනම් යේසුස් ඒ වගේ දෙයක් කිව්වේ, දේවරාජ්‍යයේ රජු වෙන්න නියමිතව හිටපු ඔහු ඒ වෙලාවේ පරිසිවරුන් අතර හිටපු නිසයි.—ලූක් 1:32, 33.

a ගොඩක් ක්‍රිස්තියානි ආගම්වලින් උගන්වන්නේ දේවරාජ්‍යය තියෙන්නේ මිනිසුන්ගේ හිතේ කියලයි. උදාහරණයකට, එක්සත් ජනපදයේ තිබුණු දකුණු බැප්ටිස්ට් බැතිමතුන්ගේ සමුළුවකදී කිව්වේ, “දේවරාජ්‍යය කියන්නේ මිනිසුන්ගේ සිත් තුළ දෙවියන් කරන පාලනයක්” කියලයි. ඒ වගේම XVIවෙනි බෙනඩික් පාප්වරයා ලියපු පොතක සඳහන් වුණේ මෙහෙමයි. “අපි හදවතින්ම දෙවිට කීකරු වෙනවා නම්, අපි ඉන්නේ දේවරාජ්‍යයේ.”—Jesus of Nazareth.