Skip to content

ගිලියද් පාසැලේ 135වෙනි පන්තිය පැවරුම් ලැබූ දවස

ගිලියද් පාසැලේ 135වෙනි පන්තිය පැවරුම් ලැබූ දවස

ගිලියද් මුරටැඹ බයිබල් පාසැලෙන් පුහුණුව ලැබූ 135වෙනි පන්තියේ ශිෂ්‍යයන් තම පැවරුම් ලබාගැනීම සඳහා 2013 සැප්තැම්බර් 14වන දින නිව් යෝර්ක් පැටර්සන්වල තියෙන අධ්‍යාපන මධ්‍යස්ථානයට රැස් වුණා. එම අවස්ථාවට 10,500දෙනෙක් සහභාගි වුණා. එම පාසැලෙන් කරන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ අද්දැකීම් ලත් සේවකයන්ට තව තවත් හොඳින් තම පැවරුම් ඉටු කිරීමට අවශ්‍ය පුහුණු ලබා දෙන එකයි.

සභාපති ලෙස කටයුතු කළ පාලක මණ්ඩලයේ සමාජිකයෙක් වන ගයි පියර්ස් තම දේශනය ආරම්භ කළේ මතෙව් 28:19, 20 සඳහන් “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. . . . මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න” කියන වචනවලිනුයි.

යේසුස් පටන්ගත්ත දේ නොනැවතී අපේ කාලය දක්වාම ආපු විදිහ ගැන සහෝදර පියර්ස් පෙන්නුවා. අපි ගෝලයන් වෙන්න අනිත් අයට උපකාර කරද්දී යේසුස් කියලා දුන්න දේවල් පිළිපදින විදිහ ගැන මිනිසුන්ට කියලා දෙනවා. මෙයට “රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය” දේශනා කරන විදිහ ගැන කියලා දීමත් ඇතුළත්. (මතෙව් 24:14) එතකොට අලුතෙන් යේසුස්ගේ ගෝලයන් වෙන අයත් දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ කාර්යයේ හවුල් වෙනවා. ඒකේ ප්‍රතිඵලය මොකක්ද? “ලෝකයේ ජනගහනය වැඩි වෙද්දී දෙවියන්ගේ සෙනඟත් වැඩි වෙනවා.”

“ඔවුන්ගේ හැකියාවට වඩා වැඩි දෙයක් කළා.” ඇමරිකා එක්සත් ජනපදයේ ශාඛා කමිටුවේ සාමාජිකයෙක් වන සහෝදර තෝමස් චිකීගේ දේශනය පදනම් වුණේ 2 කොරින්ති 8:1-4 මතයි. පළවෙනි ශතවර්ෂයේ මැසිඩෝනියාවේ තිබුණු සභාවල්වල හිටපු අයට අගහිඟකම් තිබුණත් යෙරුසලමේ අවශ්‍යතා තියෙන සහෝදරයන්ට දේවල් දෙන්න තමන්ටත් අවස්ථාවක් දෙන්න කියලා ඔවුන් මහත් ඕනෑකමින් ඉල්ලා හිටියා. ගිලියද් පාසැලේ ශිෂ්‍යයනුත් ඒ වගෙයි. ඔවුන් ත්‍යාගශීලීයි. ඒ වගේම අනිත් අය වෙනුවෙන් තමන්වම කැප කරන්න සූදානම්.

ඒත් මැසිඩෝනියාවේ හිටිය අය ඒ දේ කරද්දී කල්පනාකාරී වුණා. එයාලා පවුලේ අයට හානියක් වෙන විදිහට, යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරයට බාධාවක් වෙන විදිහට අනිත් අයට උපකාර කරන්න ගියේ නැහැ. ත්‍යාගශීලිකම පෙන්වද්දී සමබරව කටයුතු කිරීමෙන් මැසිඩෝනියාවේ හිටිය සහෝදරයන්ව ආදර්ශයට ගන්න කියලා සහෝදර චිකී ශිෂ්‍යයන්ට උපදෙස් දුන්නා.

“පාසැල් කාලය ඉවරයි.” පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන සහෝදර සැමුවෙල් හර්ඩ් ගිලියද් පාසැලෙන් ලබපු පුහුණුව මතක තබාගන්න ඕනේ ඇයි කියලා පහදලා දුන්නා. උදෑසනින් ඇහෙන ලස්සන සින්දුවක් දවස පුරාම මනසේ රැව් පිළිරැව් දෙනවා වගේ ගිලියද් පාසැලෙන් ලබපු පුහුණුවත් ඔබේ මතකයේ තියෙනවා නම් බොහෝ කාලයක් පුරා ජීවිතයේ මතු වෙන ඕනෑම දෙයක් දරාගන්න ඒක උදව් වෙයි කියලා ඔහු කිව්වා.

ඒ වගේම යෙහෝවා දෙවියන්ට තියෙන්නේ අසීමිත මතක ශක්තිය කියලා සහෝදර හර්ඩ් ශිෂ්‍යයන්ට මතක් කරලා දුන්නා. යෙහෝවා දෙවියන් බිලියන ගණන් තරුවලට නම් දීලා තියෙනවා. ඔහුට ඒ එක තරුවක්වත් අමතක වෙන්නේ නැහැ. (ගීතාවලිය 147:4) එහෙම නම් ගිලියද් පාසැලෙන් පුහුණුව ලබන්න ශිෂ්‍යයන් දරපු වෙහෙස දෙවියන්ට අමතක වෙයිද! ඔවුන් “ස්වර්ගයේ වස්තු” ගොඩක් රැස් කරගෙන තියෙන නිසා ඒ අය ගැන දෙවියන්ට තියෙන මතකය කාටවත් සොරාගන්න බැහැ.—මතෙව් 6:20.

ශිෂ්‍යයන් කරපු වැඩ සහ දෙවියන්ට පෙන්වපු ප්‍රේමය දෙවියන්ගේ මතකයේ තියෙන නිසා පාසැලේ හිටපු කාලය ගැන මතක් කරලා සතුටක් ලබන්න ශිෂ්‍යයන්ටත් පුළුවන්. “පාසැලේ මතකයන් හැම දවසකම ඔබව ප්‍රබෝධමත් කරද්දී ඔබට ඒ සතුට ලැබුණේ කවුරු නිසාද කියලා අමතක කරන්න එපා. ඉගෙනගත්ත දේවල් දිගටම මතකයේ තියාගන්නවා නම් ඔබට ඒකෙන් ලැබෙන ප්‍රයෝජන කියලා නිම කරන්න බැහැ” කියලා සහෝදර හර්ඩ් ශිෂ්‍යයන්ට කිව්වා.

“වචනයෙන් විස්තර කරන්න බැරි දෙවිගේ බලය අපිට මහත් සහනයක්.” ශිෂ්‍යයන්ට අභියෝග එද්දී තමන්ගේ ශක්තිය මත රඳා ඉන්නේ නැතුව දෙවිගේ ශක්තිය මත රඳන්න කියල සහෝදර සෑම් රොබසන් කිව්වා. එෆීස 3:20 තියෙන විදිහට “අප ඉල්ලන ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් අපට සිතාගත හැකි ඕනෑම දෙයකට වඩා වැඩියෙනුත් දේවල් කිරීමේ හැකියාව” දෙවියන්ට තියෙනවා. ඒ කියන්නේ යෙහෝවා දෙවියන්ට මොන තරම් බලයක් තියෙනවාද කියනවා නම් ඒක අපිට හිතාගන්නවත් බැහැ. ඒ බලය මොන තරම්ද කියලා අපිට වචනයෙන් විස්තර කරන්නත් බැහැ.

යෙහෝවා දෙවියන් ඒ බලය අපි හැම කෙනෙකුටම දෙනවා. අසීරු අවස්ථාවලට මුහුණ දෙද්දී යෙහෝවා දෙවියන් “බලවත් සටන්කරුවෙකු” වගේ අපිට උදව් කරනවා. (යෙරෙමියා 20:11) ඔවුන් මුහුණ දෙන ඕනෑම ප්‍රශ්නයකදී දෙවියන් ඔවුන්ට උදව් කරනවා කියලා සහෝදර රොබසන් ශිෂ්‍යයන්ට මතක් කළා.

“දේවසේවකයෙක් විදිහට ඔබට ලැබිලා තියෙන ගෞරවය දිගටම රැකගන්න.” ගිලියද් පාසැලේ උපදේශකයෙක් වන විලියම් සැමුවෙල්සන් පාසැලේ ශිෂ්‍යයන්ට දේවසේවකයන් විදිහට ගෞරවය ලැබිලා තියෙන පැති 2ක් ගැන කතා කළා. ශිෂ්‍යයන් මේ පාසැලට එන්න කලින් සහ ආවට පස්සේ කරපු දේවල් නිසා ඔවුන් ගෞරවය ලබන්න වටිනවා. ඒ වගේම විශ්වයේ උසස්ම ආණ්ඩුව නැත්නම් දේවරාජ්‍යයේ නියෝජිතයන් විදිහට දිගටම පෙනී සිටින්න ලැබීමත් ඔවුන්ට ලැබෙන ගෞරවයක් කියලා ඔහු කිව්වා.

ඒ ගෞරවය දිගටම තියාගන්න පුළුවන් කොහොමද? යෙහෝවා දෙවිටත් අනිත් අයටත් ගෞරව කරන්න කියලා ඔහු දිරිගැන්නුවා. යේසුත් එහෙම කළා. අනිත් අයට මඟ පෙන්වීම්, උපදෙස් දෙන අවස්ථාවලදී පවා යේසුස් එහෙම කළා. එහෙම කළොත් ලැබෙන ප්‍රතිඵලය මොකක්ද? පාවුල්ට වගේ ඔවුන්ටත් තමන්ට ලැබෙන ගෞරවය වැඩි කරගන්න පුළුවන්. ඒ, තමන්ටම ගෞරවය ලබාගන්න උත්සාහ කරනවා වෙනුවට පවරලා තියෙන සේවයට ගෞරවයක් ලැබෙන විදිහට වෙහෙස මහන්සි වෙලා කටයුතු කිරීමෙනුයි.—රෝම 11:13.

“අශ්වයන්ගේ බලය තිබෙන්නේ උන්ගේ කටවල්වලයි.” තවත් ගිලියද් උපදේශකයෙක් වන සහෝදර මයිකල් බර්නෙට් කිව්වේ අපි සාක්ෂි දරද්දී රැස්වීම්වලින් ඉගෙනගන්න දේවල් බියක් සැකක් නැතුව අනිත් අයට කියනවා නම් අපි එළිදරව් 9:19 තියෙන අනාවැකිය ඉටු කරනවා කියලයි. ඊටපස්සේ ඔහු ගිලියද් පාසැලේ ශිෂ්‍යයන් සමඟ ඔවුන් පාසැලට සහභාගි වෙන කාලය අතරතුරදී ලබපු අද්දැකීම් ගැන කතා කළා. ඉන් කිහිපයක් ඔවුන් රඟදක්වලාත් පෙන්නුවා. උදාහරණයකට එක ශිෂ්‍යයෙක් පෙට්‍රල් ෂෙඩ් එකකදී කෙනෙක්ගෙන් “ජාතීන් සඳහා නියමිත වූ කාලය පටන්ගන්නෙත් අවසන් වෙන්නෙත් කවදද” කියන ප්‍රශ්නය අහලා උනන්දුවක් ඇති කරලා තිබුණා. (ලූක් 21:24) ඊටපස්සේ ඔහුව නැවතත් බලන්න ගිහින් දානියෙල් 4වෙනි පරිච්ඡේදයෙන් සහ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ යන පොතේ උපග්‍රන්ථවලින් ඒ ප්‍රශ්නයට උත්තර පෙන්නලා දුන්නා.

“ඔවුන්ගේ සිත් තවත් ශක්තිමත් වුණා.” ඇමරිකා එක්සත් ජනපදයේ ශාඛා කමිටුවේ සාමාජිකයෙක් වන ඒඩ්‍රියන් ෆනෑන්ඩස් යුවළයන් දෙකක් එක්ක සම්මුඛ සාකච්ඡා පැවැත්තුවා. ඉන් එක් සහෝදරයෙක් වන හෙල්ගේ ෂූමී මෙහෙම කිව්වා. විශේෂ වරප්‍රසාද ලැබුණු සමහර දෙවිගේ සේවකයන් උඩඟු වුණා කියලා බයිබලයේ වාර්තා වෙනවා. ගිලියද් පාසැලේ අපිට නිතරම වාගේ කාවැද්දුවේ යටහත් පහත් වීමේ අවශ්‍යතාව ගැනයි. (2 ලේකම් 26:16) පීටර් කැනින් කියන සහෝදරයා අලුත් භාෂාවක් ඉගෙනගැනීම සම්බන්ධයෙන් පාසැලේදී ඔවුන්ට කියලා දීපු දෙයක් මෙහෙම මතක් කළා. “තමන් ගැන ඕනවට වඩා හිතන්න එපා. වරද්ද වරද්ද කතා කරන්න ලැජ්ජ වෙන්න එපා.” ශිෂ්‍යයන් හතරදෙනාම කිව්වේ ඉස්සරහට කරන්න තියෙන වැඩවලට මේ පාසැලෙන් එයාලාගේ සිත් ශක්තිමත් කළා කියලයි.—හෙබ්‍රෙව් 13:9.

“ඔබේ නම් ස්වර්ගයේ සටහන් කරලා තියෙන නිසා ප්‍රීති වෙන්න.” (ලූක් 10:20) ප්‍රධාන දේශනය ඉදිරිපත් කළ පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වන ජෙෆ්රි ජැක්සන් මෙහෙම කිව්වා. ඉස්සර පවත්වපු ගිලියද් පාසැල්වලට සහභාගි වුණ අයට වගේ වෙනත් රටකට ගිහින් වෙනස්ම විදිහේ අද්දැකීම් ලබන්න මේ පාසැලේ හුඟක් අයට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒත් ශිෂ්‍යයන් තමන්ගේ පැවරුම සලකන්න ඕන කොහොමද?

දේවසේවයේ ගිය යේසුස්ගේ අනුගාමිකයන් 70දෙනා සතුටින් ආපහු ඇවිත් යේසුස්ට මහත් උද්‍යෝගයෙන් කිව්වෙ ඔහුගේ නාමයෙන් භූතයන් දුරු කළා කියලයි. (ලූක් 10:1, 17) යේසුස් ඔවුන් සමඟ ප්‍රීති වුණත් මෙහෙම කිව්වා. “නමුත් ඔබ ප්‍රීති විය යුත්තේ භූතයන් ඔබේ අණට කීකරු වන නිසා නොවෙයි. දෙවි ඔබේ නම් ස්වර්ගයෙහි සටහන් කර තිබෙන නිසයි.” (ලූක් 10:20) ඒකෙන් යේසුස් ඔවුන්ට පෙන්නුම් කළේ හැම දවසකම ප්‍රීති වෙන්න කාරණා ඔවුන්ට සේවයේදී අද්දකින්න ලැබෙන එකක් නැහැ කියලයි. ඒ නිසා ඔවුන් අවදානය දෙන්න ඕනේ ඔවුන් ලබන ප්‍රතිඵලවලට නෙමෙයි. යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න නිසා ඔවුන්ගේ නම් “ස්වර්ගයෙහි සටහන් කර තිබෙන” එක ගැනයි කියලා යේසුස් පෙන්නලා දුන්නා.

“යේසුස් ඒ අනුගාමිකයන් 70දෙනාට කියපු දේ අද අපිටත් අදාළයි” කියලා සහෝදර ජැක්සන් කිව්වා. කෙනෙක්ගේ සතුට සහ විශ්වාසවන්තකම රැඳිලා තියෙන්නේ සේවයෙන් ලැබෙන ප්‍රතිඵල මත නෙමෙයි. ඒ වෙනුවට සතුට සහ විශ්වාසවන්තකම රැඳිලා තියෙන්නේ දෙවිත් එක්ක ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න එක සහ වෙහෙස මහන්සි වෙලා සේවය කරන එක මතයි.

සමහර අවස්ථාවලදී සිද්ධ වුණ දේවල් නිසා යේසුත් අධෛර්ය වෙන්න ඇති. උදාහරණයකට යේසුස් දහස් ගණනකට කෑම දුන්නට පස්සේ ඒ අය යේසුස් යන යන තැනට ආවා. (යොහන් 6:10-14, 22-24) ඒත් යේසුස්ගේ සමහර ඉගැන්වීම් තේරුම්ගන්න බැරුව එකපාරටම ගොඩක් අය යේසුස්ව අතහැරලා ගියා. (යොහන් 6:48-56, 60, 61, 66) ඒත් යේසුස්ට විශ්වාසවන්තව හිටිය ඔහුගේ මුල් ගෝලයන් නම් ඔහුව අතහැරලා ගියේ නැහැ. ගොඩක් අය යේසුස්ව අත්හැරලා ගිය එකත් ඔවුන්ට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඔවුන්ගේ විශ්වාසවන්තකම අපිට හොඳ ආදර්ශයක්.—යොහන් 6:67-69.

අවසානය. ශිෂ්‍යයන්ට පැවරුම් පිරිනැමුවාට පස්සේ ශිෂ්‍යයන් හැමෝම වෙනුවෙන් එක ශිෂ්‍යයෙක් ස්තුතිය පළ කරපු ලිපියක් කියෙව්වා. වැඩසටහන අවසන් කරමින් සහෝදර පියර්ස් කිව්වේ මෙහෙමයි. ගිලියද් පුහුණුව ලැබූ ශිෂ්‍යයන් ඇතුළු දෙවිගේ සෙනඟව ලෝකයේ අය දකින්නේ විශේෂ සෙනඟක් හැටියට නෙමෙයි. (ක්‍රියා 4:13; 1 කොරින්ති 1:27-31) ඒත් යෙහෝවා දෙවියන් අපි කරන කැප කිරීම් අගය කරනවා. ඔහුගේ බලය අපිට දෙනවා. අපි ලබලා තියෙන අධ්‍යාපනය යෙහෝවා දෙවිට ඒ තරම් වැදගත් නැති වුණත් “අපි දෙවිට දක්වන විශ්වාසවන්තකම සහ භක්තිය දෙවිට ගොඩක් වටිනවා.”