Skip to content

ශුද්ධාත්මය කියන්නේ මොකක්ද?

ශුද්ධාත්මය කියන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 ශුද්ධාත්මය කියන්නේ දෙවියන්ගේ බලයට. (මීකා 3:8; ලූක් 1:35) දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කරන්න ඒ බලය යොදාගන්නවා. ඒ බලය මාර්ගයෙන් තමයි ඔහු විශ්වයේ ඕනෙම තැනක ඕනෙම දෙයක් කරන්නේ.—ගීතාවලිය 104:30; 139:7.

 “රුවා” කියන හෙබ්‍රෙව් වචනය සහ “නියුමා” කියන ග්‍රීක වචනය ගොඩක් බයිබල්වල පරිවර්තනය කරලා තියෙන්නේ ආත්මය හැටියට. හුඟක් අවස්ථාවල ඒ වචන යොදාගෙන තියෙන්නේ දෙවියන්ගේ බලය විස්තර කරන්නයි. (උත්පත්ති 1:2) “රුවා” සහ “නියුමා” කියන වචන මේ වගේ වෙනත් දේවල් විස්තර කරන්නත් පාවිච්චි කරලා තියෙනවා.

 ඒ වචන දෙක පාවිච්චි කරලා තියෙන්නේ අපිට නොපෙනෙන ඒත් ක්‍රියාකාරිත්වය පැහැදිලිව පේන දේවල් විස්තර කරන්න. දෙවියන්ගේ බලය “හරියට සුළඟ වගේ. ඒක ඇහැට පෙනුණේ නැතත් ඇත්තටම තියෙන ප්‍රබල බලයක්.”—An Expository Dictionary of New Testament Words, by W. E. Vine.

 බයිබලයේ ශුද්ධාත්මය දෙවියන්ගේ “දෑත්,” “ඇඟිල්ල” හැටියටත් හඳුන්වලා තියෙනවා. (ගීතාවලිය 8:3; 19:1; ලූක් 11:20, ‘පැරණි අනුවාදය’; මතෙව් 12:28 බලන්න.) කර්මාන්තකරුවෙක් විවිධ දේවල් හදන්න එයාගේ දෑත්, ඇඟිලි යොදාගන්නවා වගේ දෙවියන් මේ වගේ දේවල් කරන්න ඔහුගේ බලය යොදාගෙන තියෙනවා.

ශුද්ධාත්මය පුද්ගලයෙක් නෙමෙයි

 ශුද්ධාත්මය දෙවියන්ගේ දෑත්, ඔහුගේ ඇඟිල්ල, හුස්ම හැටියට බයිබලයේ හඳුන්වලා තියෙන එකෙන් පේනවා ඒක පුද්ගලයෙක් නෙමෙයි කියලා. (නික්මයාම 15:8, 10) කර්මාන්තකරුවෙක්ගේ දෑත්වලට, ඇඟිලිවලට එයාගේ ඇඟෙන්, මනසෙන් වෙන් වෙලා වැඩ කරන්න බැහැ. ඒ වගේ තමයි ශුද්ධාත්මයත්. ඒක වැඩ කරන්නේ දෙවියන්ගේ මඟ පෙන්වීමට අනුවයි. (ලූක් 11:13) බයිබලයේ ශුද්ධාත්මය ගැන කතා කරද්දී ඒක සම්බන්ධ කරලා තියෙන්නේ දැනුම, විශ්වාසය වගේ දේවල් එක්ක. ඒ වගේම ඒක වතුරටත් සමාන කරලා තියෙනවා. ඒ හැම දේකින්ම තේරෙන්නේ ශුද්ධාත්මය කියන්නේ දෙවියන්ගේ බලය මිසක් පුද්ගලයෙක් නෙමෙයි කියලා.—යෙසායා 44:3; ක්‍රියා 6:5; 2 කොරින්ති 6:6.

 බයිබලයේ දෙවියන්ගේ නම යෙහෝවා කියලත් ඔහුගේ පුත්‍රයාගේ නම යේසුස් කියලත් සඳහන් වෙලා තිබුණාට ශුද්ධාත්මයට නමක් තියෙනවා කියලා කොහෙවත් සඳහන් වෙලා නැහැ. (යෙසායා 42:8; ලූක් 1:31) ඒ වගේම ස්වර්ගය ගැන ස්තේපන් දැක්ක දර්ශනයේදී එයා දැක්කේ පුද්ගලයන් දෙන්නෙක් මිසක් තුන්දෙනෙක් නෙමෙයි. ඒ ගැන බයිබලයේ මෙහෙම සඳහන් වෙනවා. “ඔහු ශුද්ධාත්මයෙන් පූර්ණ ව, ස්වර්ගයට බැල්ම හෙළා, දෙවියන් වහන්සේගේ තේජශ්‍රීයත් උන් වහන්සේගේ දකුණු පැත්තේ ජේසුස් වහන්සේ නැඟිට සිටිනවා දැක, . . .” (ක්‍රියා 7:55, ‘නව අනුවාදය’) ස්තේපන්ට ඒ දර්ශනය පෙන්නුවේ දෙවියන් ඔහුගේ බලය යොදාගෙනයි.

දෙවියන්ගේ බලය ගැන තියෙන වැරදි මත

 වැරදි මතය: 1 යොහන් 5:7, 8 කියන විදිහට (‘පැරණි අනුවාදය’ 1854) ශුද්ධාත්මය කියන්නේ පුද්ගලයෙක් සහ ත්‍රිත්වයේ කොටසක්.

 ඇත්ත මේකයි: 1854 ‘පැරණි අනුවාදයේ’ 1 යොහන් 5:7, 8 කියන්නේ මෙහෙමයි. “ඇරත් ස්වර්ගයේ සාක්ෂි දරන තුන්දෙනෙක එනම් පියාණන්වහන්සේය වාක්‍යාණන්වහන්සේය ආත්මයාණන්වහන්සේය මේ තුන්දෙනම ඒකත්වයක සිටිනසේක.” ඒත් විශාරදයන් හොයාගෙන තියෙනවා නියෝජිත යොහන් ඒ වගේ දෙයක් ලිව්වේ නැහැ කියලා. ඒ නිසා ඒ කොටස බයිබලයට අයිති කොටසක් නෙමෙයි. බයිබල් විශාරදයෙක් වන බෲස් මෙට්ස්ගර් මෙහෙම දෙයක් ලිව්වා. “මේ කොටස මුල් ලියවිලිවල නැති නිසා මේක අලුත් ගිවිසුමට ඇතුළත් වෙන්න බැහැ.”—A Textual Commentary on the Greek New Testament.

 වැරදි මතය: බයිබලයේ ශුද්ධාත්මය පුද්ගලයෙක් විදිහට විස්තර කරනවා.

 ඇත්ත මේකයි: බයිබලයේ සමහර අවස්ථාවලදී ශුද්ධාත්මය පුද්ගලයෙක් විදිහට විස්තර කරලා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ශුද්ධාත්මය කියන්නේ පුද්ගලයෙක් කියලා. මොකද ප්‍රඥාව, මරණය, පාපය වගේ දේවලුත් බයිබලයේ පුද්ගලයන් හැටියට විස්තර කරලා තියෙනවා. (හිතෝපදේශ 1:20; රෝම 5:17, 21) උදාහරණෙකට “ප්‍රඥාව නිදොස් බව ඇගේ ක්‍රියාවලින් ඔප්පුවී තිබේ” කියලත් “ප්‍රඥාව නිදොස් බව ඇගේ සියලු දරුවන් කරණකොටගෙන ඔප්පුවී තිබේ” කියලත් බයිබලයේ සඳහන් වෙනවා. ඒ වගේම පාපය කෙනෙක්ව රවටනවා, එයාට තණ්හාවක් ඇති කරනවා, එයාව මරලා දානවා කියලත් සඳහන් වෙනවා.—මතෙව් 11:19; ලූක් 7:35, ‘පැරණි අනුවාදය’; රෝම 7:8, 11.

 යේසුස් කියපු දෙයක් ගැන නියෝජිත යොහන් සඳහන් කරද්දී එයා ශුද්ධාත්මය පුද්ගලයෙක් හැටියට විස්තර කළා. යොහන් කිව්වා සහායදායකයාණන් නැත්නම් සැනසිලිකාරයාණන් අවවාද දෙනවා, මඟ පෙන්නනවා, දේවල් ප්‍රකාශ කරනවා කියලා. ඒ සැනසිලිකාරයාණන් නැත්නම් සහායදායකයාණන් ගැන යොහන් ලියද්දී එයා ඒක ලිව්වේ පුරුෂ ලිංගයෙන්. (යොහන් 16:7-15) ඒකට හේතුව සැනසිලිකාරයාණන් හැටියට පරිවර්තනය කරලා තියෙන “පාරාක්ලීටෝස්” කියන ග්‍රීක වචනය ග්‍රීක ව්‍යාකරණ රීතියට අනුව පාවිච්චි කරන්න ඕනෙ පුරුෂ ලිංග පදයක් විදිහට. හැබැයි ශුද්ධාත්මය ගැන කතා කරද්දී පාවිච්චි කරලා තියෙන්නේ ලිංග භේදයක් නැති “නියුමා” කියන ග්‍රීක වචනය.—යොහන් 14:16, 17.

 වැරදි මතය: ශුද්ධාත්මයාණන්ගේ නාමයෙන් බව්තීස්ම කරන්න කියන නිසා ඒක පුද්ගලයෙක් වෙන්න ඕනේ.

 ඇත්ත මේකයි: බයිබලයේ සමහර වෙලාවට “නාමයෙන්” කියන යෙදුම බලය, අධිකාරිය නියෝජනය කරන්න පාවිච්චි කරලා තියෙනවා. (ද්විතීය කතාව 18:5, 19-22, ‘පැරණි අනුවාදය’; එස්තර් 8:10) උදාහරණෙකට හිතන්න “නීතියේ නාමයෙන්” කියන යෙදුම පාවිච්චි කරනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ නීතිය කියන්නේ පුද්ගලයෙක් කියලා. ශුද්ධාත්මයාණන්ගේ නාමයෙන් බව්තීස්ම කරන්න කියද්දී ඒකෙන් අදහස් කරන්නේ දෙවියන්ගේ බලයේ ක්‍රියාකාරිත්වය, දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න ඒක පාවිච්චි කරන විදිහ පිළිගන්නවා කියන එකයි.—මතෙව් 28:19.

 වැරදි මතය: යේසුස්, ඔහුගේ නියෝජිතයන් සහ මුල් ගෝලයන් විශ්වාස කළා ශුද්ධාත්මය කියන්නේ පුද්ගලයෙක් කියලා.

 ඇත්ත මේකයි: බයිබලයේ කිසිම තැනක එහෙම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. ඉතිහාස වාර්තාවලත් එහෙම දෙයක් නැහැ. “ශුද්ධාත්මයාණන් දේවත්වයෙන් සැලකිය යුතුයි කියන අදහස මුලින්ම හඳුන්වා දුන්නේ ක්‍රි.ව. 381දී පවත්වපු කොන්ස්ටැන්ටිනෝපල් මන්ත්‍රණ සභාවේදී” කියලා එක විශ්වකෝෂයක සඳහන් වෙනවා. (Encyclopædia Britannica) ඒ අදහස හඳුන්වලා දුන්නේ අන්තිම නියෝජිතයා මිය ගිහිල්ලා අවුරුදු 250කටත් වැඩි කාලෙකට පස්සේ.