Skip to content

යොවුන් සිතේ ගැටලු

TV එකෙයි සඟරාවලයි ඉන්න අයව අනුකරණය කරන එක හරිද? - 1වෙනි කොටස: ගෑනු ළමයින්ට

TV එකෙයි සඟරාවලයි ඉන්න අයව අනුකරණය කරන එක හරිද? - 1වෙනි කොටස: ගෑනු ළමයින්ට

ගොඩක් චරිතවල දකින්නේ මොන වගේ අයද?

  පහත ලැයිස්තුවල තියෙන ලක්ෂණ දිහා බලලා ප්‍රශ්නවලට උත්තර දෙන්න.

1වෙනි ලැයිස්තුව

2වෙනි ලැයිස්තුව

බොළඳයි

වගකීමෙන් වැඩ කරනවා

කැරලිකාරයි

නීති පිළිපදිනවා

චරිතේ හොඳ නැහැ

චරිතවත්

බැරෑරුම්ව හිතන්නේ නැහැ

බුද්ධිමත්

ඕපදූප කියනවා

දෙසැරයක් හිතනවා

රවට්ටනවා

අවංකයි

  1.   ඔයා ෆිල්ම්වල, TV එකේ, සඟරාවල දකින ගෑනු ළමයින්ට තියෙන්නේ කොයි ලැයිස්තුවේ ලක්ෂණද?

  2.   ඔයා කැමති අනිත් අය ඔයාව කොයි ලැයිස්තුවේ ලක්ෂණ තියෙන කෙනෙක් හැටියට දකිනවාටද?

 ඔයා 1වෙනි ප්‍රශ්නෙට උත්තර 1වෙනි ලැයිස්තුවෙනුත් 2වෙනි ප්‍රශ්නෙට උත්තරේ 2වෙනි ලැයිස්තුවෙනුත් තෝරන්න ඇති. ඒකෙන් පේන්නේ ඔයා TV එකෙයි සඟරාවලයි දකින ගෑනු ළමයෙක් වගේ වෙන්න කැමති නැහැ කියන එකයි. ඔයා වගේ හිතන තවත් අය ඉන්නවා. ඒ අය කියන දේවල් බලමු.

 “ෆිල්ම්වල යෞවනියන්ව පෙන්නන්නේ හැම දෙයක් ගැනම වැරදි විදිහට බලන, කැරලිකාර අය විදිහට. ඒ නිසා අනිත් අය අපි දිහාත් බලන්නේ විශ්වාස කරන්න බැරි, පොඩි දේවල් ලොකු කරගන්න, පෙනුම ගැන විතරක් හිතන අය විදිහටයි.”—එරින්.

 “TV එකේ ඉන්න ගෑනු ළමයි හදන්නේ කොහොම හරි අවධානය ගන්න. ඒ අය හැම තිස්සෙම හිතන්නේ පෙනුම ගැනයි, ඇඳුම් ගැනයි, ප්‍රසිද්ධිය ගැනයි, කොල්ලෝ ගැනයි විතරයි.”—නැටලී.

 “සතුටින් විනෝදෙන් ඉන්න යෞවනියන්ව TV එකෙයි සඟරාවලයි හුඟක් වෙලාවට පෙන්නන්නේ බොන, කොල්ලෝ එක්ක හෝටල් ගානේ යන, දෙමව්පියන් කියන දේ අහන්නේ නැති අය විදිහටයි. එහෙම කරන්නේ නැති අයව පෙන්නන්නේ ආගම කරපින්නාගෙන ඉන්න අය, නැත්නම් අමුතුම ජාතියේ අය විදිහටයි.”—මරියා.

 මේ ගැන හිතන්න: ‘මම අඳින්නේ, හැසිරෙන්නේ, කතා කරන්නේ මගේම විදිහටද නැත්නම් මං ඒවා කරන්නේ TV එකෙයි සඟරාවලයි පෙන්නන කාව හරි අනුකරණය කරලාද?’

 ඔයා දැනගෙන ඉන්න ඕන දේ

  •   තමන් TV එකේ ඉන්න කෙනෙක් වගේ වෙන්න හදන්නේ නැහැ කියලා හුඟක් අය හිතුවට එයාලා ඇත්තටම කරන්නේ ඒකයි. “මගේ නංගිත් ඒ වගේ කෙනෙක්. එයාට අවුරුදු 12යි. එයා හිතන්නේ ඇඳුම් ගැනයි කොල්ලෝ ගැනයි විතරක් කියලා පෙන්නන්න හදනවා. ඒත් එයා ඇත්තටම ඒ වගේ කෙනෙක් නෙමෙයි. එයාට හුඟක් හැකියාවන් තියෙනවා. ඒත් වෙන දේවල් ගැන උනන්දු වෙන්නේ නැත්තේ එයාට අනිත් ගෑනු ළමයි වගේ වෙන්න ඕන නිසයි.” එහෙම කිව්වේ කැරන් කියන තරුණියයි.

     බයිබලේ දෙන උපදෙස: “අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න.”—රෝම 12:2.

  •   TV එකෙයි සඟරාවලයි ඉන්න ගෑනු ළමයි වගේ වෙන්න හැම ගෑනු ළමයෙක්ටම ඕන නැහැ. “TV එකෙයි ෆිල්ම්වලයි පෙන්නන්නේ යෞවනියන් තමන් ගැන හිතන, මෝඩ වැඩ කරන, බොළඳ අය විදිහටයි. ඒත් අපේ වයසේ ඉන්න හුඟදෙනෙක් හිතලා බලලා වැඩ කරනවා. හැන්ඩි කොල්ලෝ ගැන හීන මව මවා ඉන්නවාට වැඩිය කරන්න දේවල් අපිට තියෙනවා.” එහෙම කිව්වේ අවුරුදු 15ක් වයස යෞවනියක් වන අලෙක්සිස්.

     බයිබලේ දෙන උපදෙස: “අවබෝධයෙන් ක්‍රියා කරන අය . . . වටහාගැනීමේ හැකියාව භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති.”—හෙබ්‍රෙව් 5:14.

  •   TV එකෙයි සඟරාවලයි ගෑනු ළමයින්ව පාවිච්චි කරන්නේ ව්‍යාපාරික වාසි තකායි. ප්‍රචාරණ, විලාසිතා, තාක්ෂණික ආයතන වගේම චිත්‍රපට හා රූපවාහිනි සංස්ථා, යොවුන් වියට පා තබන්න කලින්ම දරුවන්ව ඉලක්ක කරගන්නවා. “අලුත්ම පන්නයේ ඇඳුම් පැළඳුම්, මාල වළලු, මේකප්, ෆෝන්, ටැබ්ලට් වගේ ගැජට් නැත්නම් එයාලව සමාජයේ පිළිගන්නේ නැහැ කියන හැඟීම වෙළඳ දැන්වීම්වලින් දෙනවා. දිගින් දිගටම ඒ වගේ දැන්වීම් දකිද්දී ඒ අය ඒවාට ආකර්ෂණය වෙනවා” කියලා එක් පොතක සඳහන් වෙනවා.—12 Going on 29.

     බයිබලේ දෙන උපදෙස: “මේ ලෝකයේ තිබෙන සෑම දෙයක්ම එනම්, තම ඉඳුරන් පිනවීමේ ආශාවත් තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාවත් තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාවත් පියාණන්ගෙන් පැමිණෙන දේවල් නොව මේ ලෝකයේ දක්නට තිබෙන දේවල්ය.”—1 යොහන් 2:16.

 හිතන්න දෙයක්: ප්‍රසිද්ධ ආයතනයක නමක් ඇති ඇඳුම් ගන්න ලොකු ආසාවක් ඇති වුණොත් ඒකෙන් කාටද වැඩි ප්‍රයෝජනයක් ලැබෙන්නේ? ඔයාගේ යාළුවන් අතර කැපිලා පේන්න ඕන නිසා අලුත්ම ෆෝන් ජාතිය ගත්තොත් ඒකෙන් වැඩිම වාසිය තියෙන්නේ කාටද? ව්‍යාපාරිකයෝ වැඩියෙන්ම සැලකිලිමත් වෙන්නේ ඔයා ගැනද නැත්නම් ඒගොල්ලන් ගැනද?

 ඔයාට කරන්න පුළුවන් දේ

  •   දැක්ක ගමන් ඒක අනුගමනය කරන්න කලින් ඒ ගැන හිතලා බලන්න පුරුදු වෙන්න. ඔයා ටිකින් ටික ලොකු වෙද්දී දකින හැම දේකටම ආකර්ෂණයක් ඇති වෙන්නේ නැහැ. ඔයා පිටින් පේන දේට වඩා ගැඹුරට හිතන්න පුරුදු වෙනවා. TV එකෙයි ෆිල්ම්වලයි දකින යෞවනියන් ඔයාට බලපාන්න පුළුවන් විදිහ ගැන බුද්ධිමත්ව හිතලා බලන්න. “ගොඩක් වෙලාවට ඒවාවල ඉන්න ගෑනු ළමයින්ගේ ඇඳුම් අඩුයි මේකප් වැඩියි. එයාලාගේ ලස්සන ඒකෙන් වැඩි වෙන්නේ නැහැ කියලා එයාලට තේරෙන්නේ නැහැ. ඒ වගේ අයව දැක්කම හිතෙන්නේ එයාලා අනිත් අයගේ අවධානය ගන්න දඟලන අය විදිහටයි.” එහෙම කියන්නේ අවුරුදු 14ක් වයස යෞවනියක් වන ආලානා.

  •   ඔයාට මොන වගේ කෙනෙක් වෙන්න ඕනද කියලා හිතන්න. ඒ විදිහට වැඩ කරන්න. ඔයා කැමති ඔයාව අනිත් අය මොන වගේ ලක්ෂණ තියෙන කෙනෙක් හැටියට දකිනවාටද? ඔයා මේ ලිපිය කියවන්න පටන්ගද්දී හිතපු දේ මතක් කරගන්න. ඒ ලක්ෂණ නැත්නම් ඒවා ඇති කරගන්නත් තියෙන ලක්ෂණ තව දියුණු කරගන්නත් දැන්ම පටන්ගන්න. අපි වැඩ කරන්න ඕන වෙළඳ දැන්වීම්වල කියන විදිහට නෙමෙයි බයිබලේ කියන මේ විදිහටයි. “දෙවි ලබා දෙන අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න. ඒ සඳහා නිවැරදි දැනුම ලබාගෙන දෙවිගේ ගතිලක්ෂණවලට එකඟව ඔබේ පෞද්ගලිකත්වය අලුත් කරගත යුතුයි.”—කොලොස්සි 3:10.

  •   ආදර්ශයට ගන්න පුළුවන් අය. ඔයාගේ අම්මා, නැන්දා වගේ අයව ඔයාට ආදර්ශයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් හිතලා බලලා වැඩ කරන මිතුරියක්ව හෝ වැඩිහිටියෙක්ව ආදර්ශයට ගන්නත් පුළුවන්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට ඔවුන්ගේ සභාවලින් ආදර්ශවත් කාන්තාවන් හොයාගන්න පුළුවන්.—තීතස් 2:3-5.

යෝජනාවක්: රූත්, හන්නා, අබිගායිල්, එස්තර්, මරියා සහ මාර්තා වැනි ආදර්ශවත් කාන්තාවන් ගැන  ‘ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්’ කියන පොතේ සඳහන් වෙනවා. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්. www.pr418.com/si වෙබ් අඩවියේ තිබෙනවා.