Skip to content

නිර්මාණයක්ද?

ගුවනේ දස්කම් පාන පලතුරු මැස්සා

ගුවනේ දස්කම් පාන පලතුරු මැස්සා

 මැස්සෙක්ව මරණ එක හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි කියලා ඒ දේ කරන්න උත්සාහ කරලා තියෙන ඕන කෙනෙක් දන්නවා. මොකද අපි ඌව මරන්න හදනකොටම ඌ එකපාරටම එතනින් පැනගන්නේ විදුලි වේගයෙන්.

 යුධ ගුවන් යානයක් ගුවනේදී දිශාව වෙනස් කරනවා වගේ ගමන් කරන දිශාව එකපාරටම වෙනස් කරන්න පලතුරු මැස්සන් විදිහට හඳුන්වන මැස්සන් විශේෂයට පුළුවන් කියලා විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. ඒත් පලතුරු මැස්සාට ඒ විදිහට දිශාව වෙනස් කරන්න තත්පරයක්වත් යන්නේ නැහැ. මහාචාර්යවරයෙක් වන මයිකල් ඩිකින්සන් මෙහෙම කියනවා. “පලතුරු මැස්සාට ඉපදුණ ගමන්ම දක්ෂ විදිහට පියාඹන්න පුළුවන්. ඒක හරියට අලුත ඉපදුණ දරුවෙක් යුධ ගුවන් යානයක් දක්ෂ විදිහට පදවනවා වගේ වැඩක්.”

 පලතුරු මැස්සා ගුවනේ දස්කම් පාන විදිහ පර්යේෂකයන් වීඩියෝ කළා. තත්පරයක් ඇතුළත ඌ 200වතාවක් තටු ගහනවා කියලා එයාලා හොයාගත්තා. ඒත් එක වතාවක් විතරක් තටු ගහලා ඉගිලිලා යන දිශාව වෙනස් කරන්න ඒ මැස්සාට පුළුවන්.

 අනතුරක් වෙන්නයි යන්නේ කියලා දැනගත්තාම මේ මැස්සා ඒකට ප්‍රතිචාරය දක්වන්න කොච්චර වෙලාවක් යනවාද? මිනිසෙක් ඇස් පිල්ලම් ගහනවාට වඩා 50ගුණයක වේගයෙන් ඒකට ප්‍රතිචාර දක්වන්න පලතුරු මැස්සාට පුළුවන් කියලා පර්යේෂකයන් හොයාගෙන තියෙනවා. “අනතුර තියෙන්නේ කොයි පැත්තේද, බේරෙන්න ඉගිලෙන්න ඕනේ කොයි පැත්තටද කියලා හොයාගන්න මේ මැස්සා කරන්නේ හරිම සංකීර්ණ ගණනය කිරීමක්. ඒකට ඌට යන්නේ හරිම පුංචි වෙලාවයි” කියලා මහාචාර්ය ඩිකින්සන් කියනවා.

 පලතුරු මැස්සාගේ පුංචි මොළයෙන් ඒ ගණනය කිරීම කරන්නේ කොහොමද කියන එක පර්යේෂකයන්ට අදටත් ප්‍රශ්නයක්.

අනතුරකින් මිදෙන්න පියාඹන්න ඕන දිශාව වෙනස් කරන්න පලතුරු මැස්සාට තත්පරයක්වත් යන්නේ නැහැ

 ඔයා මොකක්ද හිතන්නේ? පලතුරු මැස්සාට ඒ හැකියාව ලැබුණේ පරිණාමයෙන්ද? නැත්නම් කවුරු හරි ඌව නිර්මාණය කරපු නිසාද?