Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

යෙසායා 42:8 - “මම ස්වාමීන්වහන්සේය”

යෙසායා 42:8 - “මම ස්වාමීන්වහන්සේය”

 “මාගේ නාමය යෙහෝවාය. මට හිමි ගෞරවය වෙන කිසිවෙකු සමඟ මම බෙදා නොගන්නෙමි. මට ලැබිය යුතු ප්‍රශංසාව දේවතා රූපයකට දීමට ඉඩ නොදෙන්නෙමි.”—යෙසායා 42:8, ‘නව ලොව පරිවර්තනය.’

 “මම ස්වාමීන්වහන්සේය; මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූපවලටවත් නොදෙන්නෙමි.”—යෙසායා 42:8, ‘පැරණි අනුවාදය.’

යෙසායා 42:8 අදහස

 දෙවියන් ඔහුගේ නම මොකක්ද කියලා අපිට කියනවා. ඒ වගේම දෙවියන්ට දෙන්න ඕනෙ ප්‍රශංසාව සහ ගෞරවය දේවතා රූපවලට දෙන්න එපා කියලත් ඔහු කියනවා.

 දෙවියන්ගේ පෞද්ගලික නම හුඟක් වෙලාවට සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙන්නේ “යෙහෝවා” කියලයි. a (නික්මයාම 3:14, 15) දෙවියන්ගේ නම පරණ ගිවිසුමේ (හෙබ්‍රෙව්-ඇරමයික ලියවිල්ලේ) 7,000 වාරයක් විතර සඳහන් වෙලා තිබුණත් හුඟක් පරිවර්තනවල ඒ නම වෙනුවට “ස්වාමීන්වහන්සේ” (තද කලු අකුරෙන්) කියලා සඳහන් කරලා තියෙනවා. ගීතාවලිය 110:1 යෙහෝවා දෙවියන් සහ යේසුස් ගැන කියන අනාවැකිය ඒකට එක උදාහරණයක්. ‘පැරණි අනුවාදයේ’ ඒ පදය සඳහන් වෙන්නේ “ස්වාමීන්වහන්සේ [යෙහෝවා දෙවියන්] මාගේ ස්වාමීන්වහන්සේට [යේසුස්ට] කීසේක” කියලයි. (ක්‍රියා 2:34-36) ඒ විදිහට “ස්වාමීන්වහන්සේ” කියලා දෙපාරක් සඳහන් වෙද්දී ඇත්තටම එතන කතා කරන්නේ කවුරු ගැනද කියලා කෙනෙක්ට පැහැදිලිව තේරුම්ගන්න අමාරුයි. ඒත් ‘නව ලොව පරිවර්තනයේ’ දෙවියන්ගේ නම තියෙන්න ඕනෙ තැනට දාලා තියෙන නිසා ඒ වගේ පටලැවිල්ලක් ඇති වෙන්නේ නැහැ. ඒ පදය ‘නව ලොව පරිවර්තනයේ’ සඳහන් වෙන්නේ මෙහෙමයි. “යෙහෝවා දෙවි මාගේ ස්වාමීන්ට මෙසේ කීවේය. ‘මාගේ දකුණු පැත්තේ ඉඳගන්න. මා ඔබේ සතුරන්ව ඔබේ පා පුටුව ලෙස තබන තුරු එසේ සිටින්න.’”

 බයිබල් විශාරදයන් කිහිපදෙනෙක්ම විශ්වාස කරන්නේ දෙවියන්ගේ නමේ අර්ථය “තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඉතා ක්‍රියාශීලීව කටයුතු කරන තැනැත්තා” කියලයි. ඒ නම ගැළපෙන්නේ සැබෑ දෙවියන්ට විතරයි. මොකද තමන්ගේ අරමුණ ඉටු කරන්න දෙවියන්ට ඕනෙම තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ සඳහා ඔහුගේ නිර්මාණ වුණත් යොදාගන්න ඔහුට පුළුවන්.

 යෙහෝවා දෙවියන් අපේ නිර්මාතෘ සහ එකම සැබෑ දෙවියන් නිසා අපේ නමස්කාරය සම්පූර්ණයෙන්ම ලැබෙන්න ඕනෙ ඔහුට විතරයි. පිළිම සහ පින්තූර ඇතුළුව කිසිම දෙයක්වත් කිසිම කෙනෙක්වත් අපේ නමස්කාරය ලබන්න කොහොමටවත් වටින්නේ නැහැ.—නික්මයාම 20:2-6; 34:14; 1 යොහන් 5:21.

යෙසායා 42:8 අවට පද

 යෙසායා 42වෙනි පරිච්ඡේදයේ මුල් පදවල යෙහෝවා දෙවියන් තමන්ගේ තෝරගත් සේවකයා කරන්න යන දේවල් ගැන කලින්ම කියලා තිබුණා. දෙවියන් කිව්වා මේ අනුමැතිය ලත් සේවකයා “සියලු ජාතීන්ට යුක්තිය ඉටු කර දෙන්නේය” කියලා. (යෙසායා 42:1) ඒ අනාවැකිය ගැන දෙවියන් මෙහෙමත් කිව්වා. “දැන් මම අලුත් යමක් ගැන ඔබට පවසන්නෙමි. එය ඉටු වීමට පෙර මම ඔබට ඒ ගැන දන්වන්නෙමි.” (යෙසායා 42:9) සියවස් ගාණකට පස්සේ මෙසියස් විදිහටත් ක්‍රිස්තුස් විදිහටත් හඳුන්වන යේසුස් මේ පොළොවට ඇවිත් සේවය කරද්දී තෝරගත් සේවකයා ගැන සඳහන් වුණ අනාවැකි ඉටු වුණා.—මතෙව් 3:16, 17; 12:15-21.

යෙසායා 42:8 තවත් පරිවර්තනවලින්

 “යෙහෝවඃවහන්සේ නම් මමය. ඒක මාගේ නාමයය. මගේ මහන්තත්වය අනිකෙකුටවත් මගේ ස්තුතිය කැපූ රූපවලටවත් නොදෙමි.”—‘පැරණි අනුවාදය’ (1854).

 “මම යෙහෝවඃවහන්සේය. මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය වෙන කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූපවලටවත් නොදෙන්නෙමි.”—‘පැරණි අනුවාදය’ (1919).

a දෙවියන්ගේ නම ලියන්න යොදාගත්ත හෙබ්‍රෙව් ගාත්‍රාක්ෂර හතර හුඟක් වෙලාවට සිංහලෙන් ලියන්නේ “ය්හ්ව්හ්” විදිහටයි. සමහර අවස්ථාවලදී දෙවියන්ගේ නම සිංහල භාෂාවෙන් “යාවේ” කියලා පරිවර්තනය කරලා තියෙනවා. තව විස්තර දැනගන්න ‘දේවවචනය අධ්‍යයනයට’ කියන පොතේ 1වෙනි කොටසේ “හෙබ්‍රෙව් ලියවිල්ලේ දෙවිගේ නාමය” යටතේ තියෙන තොරතුරු බලන්න.