Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

ගණන් කතාව 6:24-26 - “ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකොට නුඹ ආරක්ෂාකරනසේක්වා”

ගණන් කතාව 6:24-26 - “ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකොට නුඹ ආරක්ෂාකරනසේක්වා”

 “යෙහෝවා දෙවි ඔබව ආරක්ෂා කර ඔබට ආශීර්වාද කරනු ලැබේවා! යෙහෝවා දෙවි දයාවෙන් ඔබ දෙස බලා ඔබට කරුණාව පෙන්වනු ලැබේවා! යෙහෝවා දෙවි තම නෙත් ඔබ වෙත යොමා ඔබට සමාදානය දෙනු ලැබේවා!”—ගණන් කතාව 6:24-26, ‘නව ලොව පරිවර්තනය.’

 “ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකොට නුඹ ආරක්ෂාකරනසේක්වා. ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි බබළවා නුඹට කරුණාකරනසේක්වා. ස්වාමීන්වහන්සේ ස්වකීය මුහුණ නුඹ කෙරෙහි ඔසවා නුඹට සමාදානය දෙනසේක්වා.”—ගණන් කතාව 6:24-26, ‘පැරණි අනුවාදය.’

ගණන් කතාව 6:24-26 අදහස

 මේ පදවල තියෙන වචන පූජකයන්ගේ ආශීර්වාදය කියලා හඳුන්වනවා. ඒ වගේම ඒකට ආරොන්ගේ ආශීර්වාදය කියලත් කියනවා. මොකද ඊශ්‍රායෙල්වරුන්ගේ පළවෙනි උත්තම පූජකයා වුණේ ආරොන්. (නික්මයාම 28:1) ගණන් කතාව 6:24-26 තියෙන වචන කියන්න කලින් දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කියන්න. ‘ඔබ ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුත්තේ මේ ආකාරයටය.’” (ගණන් කතාව 6:22, 23) ඒකෙන් පැහැදිලි වෙනවා මේ ආශීර්වාදය ලැබුණේ දෙවියන්ගෙන් කියලා. විශ්වාසවන්ත පූජකයන් දෙවියන් කියපු ඒ දේට කීකරු වුණා. ඒ වගේම 27වෙනි පදේ මෙහෙම කියනවා. “ඔවුන් මාගේ නාමය භාවිත කර ඊශ්‍රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතුයි. එවිට මමද ඔවුන්ට ආශීර්වාද කරන්නෙමි.” ඒකෙන් පේනවා පූජකයන් ඒ ආශීර්වාදය කරද්දී එයාලා යෙහෝවා a කියන දෙවියන්ගේ නමටත් ගෞරව කළා කියලා.

 “යෙහෝවා දෙවි ඔබව ආරක්ෂා කර ඔබට ආශීර්වාද කරනු ලැබේවා!” යෙහෝවා දෙවියන් තමන්ගේ සෙනඟව ආරක්ෂා කරන එකෙන්, එයාලට මඟ පෙන්වන එකෙන් සහ සාර්ථක වෙන්න උදව් කරන එකෙන් ඔහුගේ ආශීර්වාදය එයාලට දෙනවා. (හිතෝපදේශ 10:22) ගණන් කතාව 6:24-26 “ඔබ” කියලා සඳහන් වෙන හැම තැනකදීම ඒක තියෙන්නේ ඒකවචනයෙන්. ඒකෙන් පේන්නේ ඊශ්‍රායෙල්වරුන්ට ජාතියක් විදිහට විතරක් නෙවෙයි, එක් එක් කෙනාට වෙන වෙනමත් දෙවියන් ආශීර්වාද කරන්න ආසවෙන් ඉන්නවා කියන එකයි.

 “යෙහෝවා දෙවි දයාවෙන් ඔබ දෙස බලා ඔබට කරුණාව පෙන්වනු ලැබේවා!” කෙනෙක් දිහා “දයාවෙන් බලන්න” කියලා දෙවියන්ගෙන් ඉල්ලද්දී ඒකෙන් ඉල්ලන්නේ ඒ කෙනාට දෙවියන්ගේ අනුමැතිය, ආශීර්වාදය දෙන්න කියලයි. b ඒ යෙදුම “දෙවියන් ඔයා දිහා බලලා ආදරෙන් හිනා වෙන්න ඕනෙ” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. (ගණන් කතාව 6:25) දෙවියන්ගේ අනුමැතිය තියෙන අයට ඔහු දයාව, කරුණාව සහ අනුකම්පාව නොඅඩුව පෙන්නනවා.—යෙසායා 30:18.

 “යෙහෝවා c දෙවි තම නෙත් ඔබ වෙත යොමා ඔබට සමාදානය දෙනු ලැබේවා!” “දෙවියන් තම සෙනඟ වෙත ඔහුගේ නෙත් යොමු කරනවා” කියලා කියන්නේ එයාලට හරිම ආදරෙන් අවධානය දීලා සමාදානය දෙනවා කියන එකයි. එක පොතක කියන විදිහට “සමාදානය කියන්න පාවිච්චි කරලා තියෙන ‘ෂාලොම්’ කියන හෙබ්‍රෙව් වචනයෙන් අදහස් වෙන්නේ නිකම්ම අනිත් අය එක්ක ප්‍රශ්න ගැටලු ඇති කරගන්නේ නැතුව ඉන්න එක විතරක් නෙවෙයි. ඒකට ශාරීරික, මානසික සුවය වගේම දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියාගන්න එකත් ඇතුළත්.”

 ඒත් මේ පදවල තියෙන ආශීර්වාද ලබාගන්න නම් ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවියන්ට කීකරු වෙන්න ඕනේ. (ලෙවී කතාව 26:3-6, 9) එයාලා එහෙම කළාම ඒ වචන කොච්චර ඇත්තක්ද කියලා එයාලා අද්දැක්කා. විශේෂයෙන්ම සලමොන් සහ හෙසකියා රජවරුන්ගේ කාලවලදී සෙනඟට දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබුණා.—1 රාජාවලිය 4:20, 25; 2 ලේකම් 31:9, 10.

 අද ඉන්න ක්‍රිස්තියානීන් මේ ආශීර්වාදය කට පාඩමින් කියන්න ඕනෙ නැහැ. ඒත් අනිත් අය ගැන යාච්ඤා කරද්දී, එයාලව දිරිගන්නද්දී ඒකේ තියෙන අදහස් මනසේ තියාගන්න එයාලට පුළුවන්. (1 තෙසලෝනික 5:11, 25) යෙහෝවා දෙවියන් වෙනස් වෙන දෙවි කෙනෙක් නෙවෙයි. ඔහුට කවදත් ඕනෙ වුණේ ඔහුගේ විශ්වාසවන්ත සෙනඟව ආරක්ෂා කරලා එයාලට ආශීර්වාද කරන්න. ඒ විදිහට ‘යෙහෝවා දෙවියන්ගේ නෙත් තමන් වෙත යොමු වෙලා තියෙනවා’ කියලා දැනගෙන ඉන්න එක අද ඉන්න සැබෑ ක්‍රිස්තියානීන්ට ලොකු සහනයක්.

ගණන් කතාව 6:24-26 අවට පද

 ගණන් කතාව පොතේ පළවෙනි පරිච්ඡේද දහයේ තියෙන්නේ ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් දීපු මඟ පෙන්වීම්. දෙවියන් ඒවා දුන්නේ එයාලා පොරොන්දු දේශයට යන අතර මඟ සීනයි කන්ද පාමුල කඳවුරු බැඳගෙන හිටපු කාලේ. ඊශ්‍රායෙල්වරු එතන අවුරුද්දක් විතර හිටියා. ඒ කාලේදීම තමයි දෙවියන් එයාලව ජාතියක් විදිහට සංවිධානය කළේ. ඒ වගේම නීතිය දීලා එයාලා එක්ක ගිවිසුමක් ඇති කරගත්තේ.

 යෙහෝවා දෙවියන් මෝසෙස්ට කිව්වා පූජකයන් විදිහට තෝරගත්ත ආරොන් සහ එයාගේ පුත්‍රයන් මේ වචන කියලා ඊශ්‍රායෙල්වරුන්ට ආශීර්වාද කරන්න ඕනෙ කියලා. (ගණන් කතාව 6:22, 23) ඊටපස්සේ ආරොන් සහ එයාගෙන් පැවත එන අය ගණන් කතාව 6:24-26 තියෙන වචන කියලා සෙනඟට ආශීර්වාද කළා. කාලයක් යද්දී හැම දවසකම දේවමාලිගාවේ පූජා ඔප්පු කළාට පස්සේ පූජකයන් මේ ආශීර්වාදය චාරිත්‍රයක් විදිහට සෙනඟට කිව්වා.

 ගණන් කතාව පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.

a හෙබ්‍රෙව් භාෂාවෙන් සඳහන් දෙවියන්ගේ නම පොදුවේ පිළිගන්න විදිහට සිංහලෙන් කියන්නේ “යෙහෝවා” කියලයි. හැබැයි හුඟක් පරිවර්තනවල දෙවියන්ගේ නම වෙනුවට ස්වාමීන් කියලයි සඳහන් වෙන්නේ. ඒකට හේතුව දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.

b හැබැයි ඊශ්‍රායෙල්වරු දෙවියන් අකමැති දේවල් කළාම එයාලට ඔහුගේ අනුමැතිය නැති වුණා. බයිබලේ කියනවා ඒ වෙලාවට යෙහෝවා දෙවියන් ඔහුගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගත්තා කියලා.—යෙසායා 59:2; මීකා 3:4.

c එක බයිබලයක තියෙන සටහනක (NIV Study Bible) සඳහන් වෙනවා “දෙවියන්ගේ නම මේ පදවල කීපවතාවක්ම තියෙන්නේ 27වෙනි පදේ තියෙන දේ තවත් කාවද්දන්න” කියලා. ඒත් තවත් සමහරු කියන්නේ දෙවියන්ගේ නම තුන් වතාවක්ම සඳහන් වෙන එක දෙවියන් ත්‍රිත්වයක කොටසක් කියලා කියන්න සාක්ෂියක් කියලයි. ඒත් ඒක කොහොමටවත් වෙන්න බැහැ. මොකද ත්‍රිත්වය විශ්වාස කරන අයම ලියපු පොතක මෙහෙම කියනවා. “මේ පදවල තුන් වතාවක්ම දෙවියන්ගේ නම සඳහන් වෙන එකෙන් ඒ ආශීර්වාදය දුන්න පූජකයාටවත් ඒ ආශීර්වාදය ලබපු සෙනඟටවත් දෙවියන් ත්‍රිත්වයක් කියන අදහස නම් කීයටවත් එන්නේ නැහැ. ඇත්තටම දෙවියන්ගේ නම තුන් පාරක්ම සඳහන් වුණ එකෙන් ඒ ආශීර්වාදය තවත් ලස්සන වුණා. ඒ වගේම ඒක අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලත් තහවුරු වුණා.” (The Pulpit Commentary, 2වෙනි වෙළුම, 52වෙනි පිටුව) තවත් වැඩි විස්තර දැනගන්න “දෙවියන් ත්‍රිත්වයක්ද?” කියන ලිපිය බලන්න.