Skip to content

පටුනට යන්න

චිත්‍රපටිය සඳහා ගල් කුඩු කිලෝ 27,500කට වඩා වැඩි ප්‍රමාණයක් මවුන්ට් ඊබෝ ස්ටූඩියෝ එකට ගෙනාවා.

ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි

“නිරතුරුවම ප්‍රීති වෙන්න” 2020 තුන්දින සමුළුවේ වීඩියෝ නිර්මාණ

“නිරතුරුවම ප්‍රීති වෙන්න” 2020 තුන්දින සමුළුවේ වීඩියෝ නිර්මාණ

2020 අගෝස්තු 10

 අපේ තුන්දින සමුළුවල පෙන්වන වීඩියෝ අපේ හදවතටම කතා කරනවා. බයිබලයේ තියෙන දේවල් තවත් හොඳින් තේරුම්ගන්නත් ඒවා අපිට උදව් වෙනවා. “නිරතුරුවම ප්‍රීති වෙන්න” කියන තේමාවෙන් තිබුණු අපේ 2020 තුන්දින සමුළුවේ වීඩියෝ 114ක් පෙන්නුවා. ඒ වගේම පාලක මණ්ඩලය සහ එයාලට උපකාර කරන සහෝදරයන් ඉදිරිපත් කරපු දේශන 43කුත් තිබුණා. වීඩියෝ වැඩසටහන් හදන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද, කොයි තරම් මුදලක් වැය වෙනවාද කියලා ඔයා හිතලා තියෙනවාද?

 රටවල් කීපයකම ඉන්න සහෝදර සහෝදරියන් 900දෙනෙක් විතර එයාලගේ දැනුම, හැකියාවන් යොදාගෙන ඒ වැඩසටහන් සකස් කරන්න උදව් වුණා. අවුරුදු දෙකක කාලයක් තිස්සේ එයාලා පැය 1,00,000කට ආසන්න ප්‍රමාණයක් ඒ වෙනුවෙන් වැය කළා. ඒකෙන් පැය 70,000ක්ම වැය වුණේ ‘නෙහෙමියා: යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය ඔබට බලකොටුවක්’ කියන විනාඩි 76ක චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නයි.

 ලොකු කැපවීමකින් වැඩ කරපු ඒ සහෝදර සහෝදරියන්ගේ ඕනෑ එපාකම් බලාගන්න, ඒ කාර්යය හොඳින් කරන්න අවශ්‍ය වුණු උපකරණ, තාක්ෂණික සහය ඇතුළු අවශ්‍ය අනිත් හැම දේම ලබා දෙන්න විශාල මුදලක් යොදවන්න වුණා.

 ඕඩියෝ/වීඩියෝ අංශයේ සේවය කරන ජැරඩ් ගොස්මන් එයාලා දරපු වෑයම ගැන මෙහෙම කියනවා. “ලෝකේ පුරාම ඉන්න අපේ සහෝදර පවුලට විවිධ සංස්කෘතීන්ට, ජාතීන්ට අයත් අය ඇතුළත් වෙනවා. ඒ නිසයි ඒ සංස්කෘතීන්වලට, රටවලට අයිති දර්ශන, තොරතුරු වීඩියෝවලට ඇතුළත් කරන්න ඉගැන්වීම් කමිටුවේ සහෝදරයන් ලොකු වෑයමක් දරන්නේ. ඒ විදිහේ වීඩියෝ හදන්න රටවල් 11ක ඉන්න කණ්ඩායම් 24ක් එකතු වෙලා වැඩ කළා. රටවල් කීපයකම ඉන්න සහෝදරයන්ට ඒ තරම් විශාල වැඩක් සාර්ථකව කරන්න පුළුවන් වුණේ එයාලා දේවල් හොඳින් සැලසුම් කරපු නිසයි. ඒ වගේම ඒ වෙනුවෙන් ලොකු මහන්සියකුත් මුදලකුත් වැය කරන්න වුණා.”

 අපේ ගොඩක් වීඩියෝ හදන්න විශේෂ උපකරණ යොදාගන්න වගේම විවිධ පසුතල නිර්මාණය කරන්නත් වෙනවා. උදාහරණෙකට ‘නෙහෙමියා: යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය ඔබට බලකොටුවක්’ කියන චිත්‍රපටියට ඕන කරන පසුතල නිර්මාණය කළේ එක්සත් ජනපදයේ නිව් යෝර්ක්වල පැටර්සන්වලට කිට්ටුව තියෙන මවුන්ට් ඊබෝ ස්ටූඩියෝ ඒකේ. සම්මාදම් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න වගේම ඒ කාලෙට ගැළපෙන විදිහේ පසුතල නිර්මාණය කරන්න සහෝදරයන්ට ඕන වුණා. චිත්‍රපටියේ යෙරුසලමේ පවුර පෙන්වන දර්ශන කීපයක්ම තියෙනවා. සහෝදරයන් මුලින්ම කළේ අඩි 20ක් උස රාමු කීපයක් ලීවලින් හදලා ඒවා රෙජිෆෝම් වගේ දෙයකින් ආවරණය කරපු එක. ඊටපස්සේ ගල් පවුරක පෙනුමක් එන විදිහට එයාලා ඒවාට තීන්ත ආලේප කළා. ඒ පසුතලය පවුර පෙන්නපු හැම දර්ශනයකටම පාවිච්චි කරන්න පුළුවන් වුණු නිසා පසුතල කීපයක්ම හදන්න ඕන වුණේ නැහැ. පුළුවන් තරම් අඩු මුදලකින් දේවල් කළත් චිත්‍රපටියට අවශ්‍ය පසුතල විතරක් හදන්න ඇමෙරිකානු ඩොලර් 1,00,000ක් විතර වැය වුණා. a

 මේ තොරතුරු දැනගත්ත නිසා මේ අවුරුද්දේ තුන්දින සමුළුව ගැන ඔයාගේ හිතේ තියෙන අගය තවත් වැඩි වුණා නේද? මේ වැඩසටහන සකස් කරන්න දරපු වෑයමේ ප්‍රතිඵලයක් විදිහට ලෝකෙ පුරාම ඉන්න අපේ සහෝදර සහෝදරියන් යෙහෝවා දෙවියන්ට මුළු හදවතින්ම ප්‍රශංසා කරයි කියලා අපිට කිසිම සැකයක් නැහැ. donate.pr418.com හරහා සහ වෙනත් විදිවලින් ඔයාලා ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් කරපු සම්මාදම්වලට ගොඩක් ස්තූතියි.

a ‘නෙහෙමියා: යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය ඔබට බලකොටුවක්’ කියන චිත්‍රපටියේ පසුතල නිර්මාණය කළේ කෝවිඩ්-19 වසංගතයට කලින්. ඒ කාලයේදී සමාජ දුරස්ථභාවය පවත්වගන්න අවශ්‍ය වුණේ නැහැ.