Skip to content

2014 සැප්තැම්බර් 12
ජර්මනිය

නාට්සි භටයන් මරා දැමූ සාක්ෂිකරුවන්ව සිහි කරයි

නාට්සි භටයන් මරා දැමූ සාක්ෂිකරුවන්ව සිහි කරයි

ජර්මනියේ සෙල්ටර්ස්—2014 සැප්තැම්බර් 16වෙනිදා සාක්සන්හවුසන් ගාල් කඳවුරේදී ඝාතනය කළ ඕගස්ට් ඩික්මන්ගේ 75වෙනි ගුණානුස්මරණය සමරන්න බ්‍රැන්ඩන්බර්ග් අනුස්මරණ පදනම විශේෂ උත්සවයක් සැලසුම් කර තිබෙනවා. 2වෙනි ලෝක මහා යුද්ධ කාලයේදී තමන්ගේ හෘදය සාක්ෂියට අනුව යුද්ධයට හවුල් නොවන්න තීරණයක් ගත් අයගෙන් නාට්සි හමුදාව විසින් ප්‍රසිද්ධියේ මරා දැමූ මුල්ම පුද්ගලයා ඔහුයි.

1936දී විතර ඕගස්ට් ඩික්මන්.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට විශ්වාස කළ දේවල් නිසා 1937 ඔක්තෝබර් මාසෙදි ඔහුව සාක්සන්හවුසන් කඳවුරේ සිරගත කළා. නාට්සි රහස් පොලීසිය ඩික්මන් මහතාට දැන්නුවා ජර්මන් යුධ හමුදාවට බඳවාගැනීමේ පත්‍රයකට අත්සන් කරන්න එන්න කියලා. ඒක සිද්ධ වුණේ 1939දී, 2වෙනි ලෝක මහා යුද්ධය පටන් අරගෙන දවස් 3කට පස්සේ. ඔහු ඒක ප්‍රතික්ෂේප කළාම ඔහුව හුදෙකලා සිරකුටියකට දැම්මා. ඒ විතරක් නෙමෙයි ඔහුව අනිත් සිරකරුවන් ඉදිරිපිට මරා දමන්න හිට්ලර්ගේ ප්‍රධාන ආරක්ෂක බලකායේ නායකයාගේ අවසරයද කඳවුරේ අණ දෙන නිලධාරියා විසින් ඉල්ලා සිටියා. 1939 සැප්තැම්බර් 15වෙනිදා ඩික්මන් මහතාගේ සහෝදරයා ඇතුළු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිය ගණනකට බල කෙරුවා ඒ ඝාතනය බලන්න. ඊට දවස්දෙකකට පසුව ජර්මනියේ සිට “නිව් යෝක් ටයිම්ස්” වාර්තා කළේ මෙහෙමයි. “29 හැවිරිදි ඕගස්ට් ඩික්මන්ව . . . ඔවුන් වෙඩි තබා ඝාතනය කළා.” ඊට හේතුව ඔහුගේ “හෘදය සාක්ෂියට එකඟව” හමුදාවට නොබැඳෙන්න තීරණය කළ එක බව එහි තවදුරටත් සඳහන් කළා.

සාක්සන්හවුසන් ගාල් කඳවුරේ 890කට වඩා වැඩි සාක්ෂිකරුවන් පිරිසක් සිරගත කර තිබුණා. 1999 සැප්තැම්බර් 18වෙනිදා කඳවුරේ තාප්පයේ ඒ අයගේ නම් සඳහන් කර තිබෙන ඵලකයත් ඩික්මන් මහතාට ගෞරව පිණිස ඉදි කළ විශේෂ ස්මාරකයත් විවෘත කළා.

75වෙනි ගුණානුස්මරණ උත්සවය පටන්ගන්නේ ඩික්මන් මහතාගේ මරණය සිහි කිරීමෙනුයි. ඉන්පසු කලින් කුස්සිය තිබුණ ශාලාවේ දේශන කිහිපයකුත් ඉදිරිපත් කරන්න සැලසුම් කර තිබෙනවා. නොයියන්ගාම ගාල් කඳවුරු අනුස්මරණ පදනමේ අධ්‍යක්ෂක වගේම කර්තෘවරයෙක් වන ආචාර්ය ඩෙට්ලෙෆ් ගාබේ ආරාධිත දේශකයායි.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

ජර්මනිය: වුල්ෆ්රම් ස්ලුපිනා, විමසීම්: +49 6483 41 3110