Skip to content

2015 ජනවාරි 21
පෝලන්තය

අවුෂ්විට්ස් ඝාතක කඳවුරෙන් නිදහස් වුණ අය වෙනුවෙන් පවත්වන 70වෙනි සංවත්සරය

අවුෂ්විට්ස් ඝාතක කඳවුරෙන් නිදහස් වුණ අය වෙනුවෙන් පවත්වන 70වෙනි සංවත්සරය

පෝලන්තයේ වෝර්සෝ - ජර්මනියේ නාට්සි කඳවුරක් වන අවුෂ්විට්ස් ඝාතක කඳවුරෙන් නිදහස් වුණ අය වෙනුවෙන් 2015 ජනවාරි 27වෙනිදා දහස් ගණන් දෙනෙක් 70වෙනි සංවත්සරය පවත්වනවා. මේ කඳවුර නාට්සි හමුදාව මුලින්ම යොදාගත්තේ වෙනත් ජාතීන්ව නැති කරලා දාන්නයි. ජර්මන් ජාතිය ඇතුළු විවිධ ජාතීන්ට අයිති යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පීඩා කරන එකත් ඔවුන්ගේ අරමුණ වුණා.

ඒක සංවිධානය කරන්නේ අවුෂ්විට්ස්-බියකනාවූ ජාතික කෞතුකාගාරය හා අවුෂ්විට්ස් ජාත්‍යන්තර කවුන්සලයයි. පෝලන්තයේ ජනාධිපති වන බ්‍රොනිස්ලෝ කොමරොව්ස්කි ඊට සහභාගි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ලොව වටා රටවල් කීපයකින් නියෝජිතයන්ව එවයි කියලත් බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාව අන්තර්ජාලය හරහා සජීවීව බලන්නත් පුළුවන්.

අවුෂ්විට්ස් ඝාතක කඳවුර තිබුණේ දෙවෙනි ලෝක මහා යුද්දේ කාලෙදී නාට්සීන් අල්ලගත්ත පෝලන්තයේ නගරයකයි. මුලින්ම 1940 ජූනිවලදී පෝලන්ත සිරකරුවන් 700දෙනෙක් විතර එතනට ගෙනාවා. වැඩි කල් යන්න කලින් කඳවුරු සහ උප කඳවුරු 40කට වඩා වැඩියෙන් තියෙන විශාල කඳවුරක් බවට ඒක පත් වුණා. අවුෂ්විට්ස්-බියකනාවූවල තිබුණු ගෑස් කාමර 4ක දවසකට 20,000ක් විතර මිය ගියා. අවුරුදු 5ක් ඇතුළත යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 400කට වැඩිදෙනෙක් ඇතුළු මිලියන 1.1ක් විතර ඒ ඝාතක කඳවුරට දැම්මා.

අවුෂ්විට්ස්-බියකනාවූ ජාතික කෞතුකාගාරයට අයිති වෙබ් අඩවියක මෙහෙම කියනවා. “ආගමික විශ්වාසයන් නිසා අවුෂ්විට්ස් කඳවුරේ හිටිය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන පොත් පත්වල සඳහන් වෙලා තියෙන්නේ හරිම අඩුවෙන්. (කඳවුරේ වාර්තාවල ඔවුන්ව සඳහන් වෙන්නේ බයිබල් [ශිෂ්‍යයන්] හැටියට) කඳවුරේ තිබුණු වාතාවරණය යටතේ ප්‍රතිපත්ති රැකගෙන හිටිය මේ සිරකරුවන් අනිත් අයගේ අවධානයට ලක් වෙන්න ඕන අය.” අවුෂ්විට්ස් කඳවුරට මුලින්ම යැව්ව සිරකරුවන් අතර යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් හිටියා කියලා කෞතුකාගාර වාර්තාවල සඳහන් වෙනවා. එහෙට ගෙනාව සාක්ෂිකරුවන් සිය ගණනකින් සීයට 35කට වැඩි සංඛ්‍යාවක් කඳවුරේම මිය ගියා.

අන්ජා ෂැල්බොට් (සිරකරු–IBV 108703): යුද්ධයට බැඳුණේ නැති නිසා 1943දී නාට්සීන් අවුෂ්විට්ස් කඳවුරට යැව්වා.

නාට්සි පාලනයෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය ජර්මනිය පුරා තහනම් කළේ 1933දියි. ඔවුන් එහෙම කළේ ඔවුන්ගේ මතවලට සාක්ෂිකරුවන්ගේ උසස් ප්‍රතිපත්ති සහ ක්‍රියාවන් ගැළපුණේ නැති නිසයි. උදාහරණයකට සාක්ෂිකරුවන් “හිට්ලර්ට ජය වේවා” කියලා ආචාර කළේ නැහැ. හිට්ලර්ට ගෞරවයක් හැටියට කරපු ඒ ක්‍රියාව සාක්ෂිකරුවන් සැලකුවේ තමන් නමස්කාර කරන දෙවියන්ට ද්‍රෝහි වීමක් හැටියටයි. ඒ වගේම සාක්ෂිකරුවන් යුද්ධයට සම්බන්ධ කිසිම දේකට හවුල් වුණෙත් නැහැ. ඒක රජයට විරුද්ධව කරන කැරලිගැසීමක් විදිහට නාට්සීන් සැලකුවා. “යුද්ධයට බැඳුණේ නැති අයට ඝාතක කඳවුරට යන්න සිද්ධ වුණා” කියලා 1943දී අවුෂ්විට්ස් කඳවුරට යැව්ව අන්ජා ෂැල්බොට් කියනවා. එතකොට ඔහුගේ වයස 19යි. සංවිධානයෙන් අයින් වෙනවා කියලත් ඒකේ ඉගැන්වීම් බොරුයි කියලත් අත්සන් කරපු අයට ඒ මොහොතේම නිදහස දෙනවා කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පොරොන්දු වුණත් අන්ජා ඒකට අත්සන් කළේ නැහැ.

මේ වගේ ලියවිල්ලකට අත්සන් කරලා විශ්වාසය පාවා දෙනවා නම් නිදහස් කරනවා කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට පොරොන්දු වුණා.

නාට්සීන්ගේ ලියකියවිලිවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හැඳින්නුවේ “IBV” යන කෙටි යෙදුමෙන්. ඒ ඉංග්‍රීසි අකුරු තුන ජර්මන් භාෂාවෙන් ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන්ගේ සංගමය (Internationale Bibelforscher-Vereinigung) කියන අදහස තිබුණ වචන තුනේ මුල් අකුරු තුනයි. හිරේ හිටපු සාක්ෂිකරුවන්ගේ ඇඳුම්වල දම්පාට ත්‍රිකෝණයක් අල්ලලා තිබුණා. ඒකෙන් කඳවුරේ හිටපු සාක්ෂිකරුවන්ට අනිත් සාක්ෂිකරුවන්ව අඳුරගන්න පුළුවන් වුණා. හැම දවසකම අවසානයේ ඔවුන්ගේ නම් කැඳවන්න කලින් ඔවුන් එකතු වෙලා එකිනෙකාව ශක්තිමත් කළා. සිරකරුවන් එක්ක බයිබලයේ තියෙන දේවල් සාකච්ඡා කරන්න සැලසුම් යොදන්නත් රහසිගතව රැස් වුණා. සාක්ෂිකරුවන්ගේ කරුණාවන්තකම සහ විශ්වාසය දැකලා සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරපු සිරකරුවන් පුදුම වුණා. සමහර සිරකරුවන් අවුෂ්විට්ස් කඳවුරේදිම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බවට පත් වුණා.

1945 ජනවාරි 27වෙනි සෙනසුරාදා උදෙන්ම සෝවියට් රජයේ රතු හමුදාව ඒ නගරයට ආවා. හවස 3 වෙද්දී අවුෂ්විට්ස් I, අවුෂ්විට්ස් II (බියකනාවූ), අවුෂ්විට්ස් III (මොනොවිට්ස්) ඝාතක කඳවුරුවල හිටිය සිරකරුවන් 7,000ක් විතර සෝවියට් හමුදාවෙන් නිදහස් කළා.

ස්ටැනිස්ලෝ සාජැක් අවුෂ්විට්ස් කඳවුරට දැම්මේ 1943 පෙබරවාරි 16වෙනිදා.

රතු හමුදාව එන්න කලින්ම නාට්සීන් අවුෂ්විට්ස් කඳවුරේ හිටිය සිරකරුවන් දස දහස් ගණන් බලෙන්ම වෙනත් තැනකට අරන් ගියා. ඒ අය අතරේ හිටිය සාක්ෂිකරුවෙක් තමයි ස්ටැනිස්ලෝ සාජැක්. සාජැක් මහතා සහ තවත් සිරකරුවන් 3,200දෙනෙක් විතර ජවර්නෝ උප කඳවුරෙන් පිට වෙලා හිමේ ගමන් කළේ සීතලේ ගැහි ගැහී. ඒක හැඳින්නුවේ මරණයේ පා ගමන කියලයි. දවස් තුනක් පුරා කැලෑවේ තිබුණ අවුෂ්විට්ස් උප කඳවුරක් වන බ්ලැක්හැමර්වලට ගිය ඒ ගමනේදී ජීවිතේ බේරුණේ 2,000කටත් වඩා අඩු පිරිසකගෙයි. සාජැක් මහතා, ඔහු සහ අනිත් සිරකරුවන් කඳවුරේ හැංගිලා ඉද්දී සිද්ධ වුණ සටනක් ගැන කියන්නේ මෙහෙමයි. “යුද්ධ ටැංකි යනවා අපිට ඇහුණත් කාගේ පැත්තේ අයද යන්නේ කියලා බලන්න අපි කාටවත් ධෛර්යයක් තිබුණේ නැහැ. පහුවෙනිදා උදේ තමයි අපි දැනගත්තේ ඒ ගියේ රුසියානු හමුදාව කියලා. . . . මුළු කැලෑවම පීරුව රුසියානු හමුදාව අපිව නිදහස් කරපු ඒ දවසෙන් පස්සේ තමයි මට සැනසුම් සුසුමක් හෙළන්න පුළුවන් වුණේ.”

අවුෂ්විට්ස්වලින් නිදහස ලැබීම සම්බන්ධයෙන් මේ අවුරුද්දේ ජනවාරි 27වෙනිදා පවත්වන 70වෙනි සංවත්සරයට සමුළු සහ ප්‍රදර්ශන ඇතුළත්. ලෝකේ වටේම විවිධ නගරවල මේ සංවත්සරය පවත්වනවා.

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

ජර්මනිය: වුල්ෆ්‍රම් ස්ලුපින, විමසීම්: +49 6483 41 3110

පෝලන්තය: රිසර්ඩ් ජැබ්ලාන්ස්කි, විමසීම්: +48 608 555 097