Skip to content

2015 ජූනි 11
අසර්බයිජානය

අසාධාරණ ලෙස රඳවගෙන ඉන්න අයව නිදහස් කරන්න කියා අසර්බයිජානයේ සාක්ෂිකරුවන් ඉල්ලා සිටියි

අසාධාරණ ලෙස රඳවගෙන ඉන්න අයව නිදහස් කරන්න කියා අසර්බයිජානයේ සාක්ෂිකරුවන් ඉල්ලා සිටියි

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා සිටින්නේ අසාධාරණ ලෙස රඳවගෙන ඉන්න අයිරීනා සාකාචියන්කා සහ වලීඩා ජබ්රියිලාවා කියන කාන්තාවන් වෙනුවෙන් යම් සාධාරණයක් ඉටු කරන්න කියායි. සැබෙයිල් දිසා අධිකරණය මඟින් මේඅයව අත්අඩංගුවට ගත්තේ කිසිම නඩු විභාගයකින් තොරවයි. ඔවුන්ට විරුද්ධව තියෙන චෝදනාව නම් අවසරයක් නැතුව ආගමික පොත් පත් බෙදා දීමයි. 2015 පෙබරවාරි 17වෙනිදා අත්අඩංගුවටගත් ඔවුන්ට මාස 3ක සිරදඬුවමක් නියම වුණා. ඒත් මෑතකදී ඒ දඬුවම් කාලය තවත් මාස 2කින් දීර්ඝ කළා.

අයිරීනා සාකාචියන්කා සහ වලීඩා ජබ්රියිලාවා

සාමයට ළැදි ඔවුන්ට සලකන්නේ අපරාධකරුවන් ලෙසයි

2014 දෙසැම්බර් 5වෙනිදා අයිරීනා සාකාචියන්කා සහ වලීඩා ජබ්රියිලාවා බාකූ නගරයේ තමන්ගේ විශ්වාසයන් ගැන දේශනා කරමින් ඉද්දී පොලිසියෙන් ඒක නැවැත්තුවා. පැය කීපයකට පසුව පොලිසියෙන් ඔවුන්ව නිදහස් කළත් තොරතුරු විමර්ශනය කරන නිලධාරීන් ප්‍රශ්න කිරීම්වලට දිගින් දිගටම ඔවුන්ව කැදෙව්වා. 2015 පෙබරවාරි 17වෙනිදා අනපේක්ෂිත ලෙස ජාතික ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඔවුන්ව ප්‍රශ්න කිරීම්වලට කැදෙව්වේ අපරාධකරුවන් ලෙස චෝදනා කිරීමේ යටි අරමුණ ඇතුවයි. පසුව විනිශ්චයකරු විසින් “ඔවුන් සමාජයට තර්ජයක්” කියා නිගමනය කළේ නඩු විභාගයට පෙර ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සාධාරණයි කියා ඔප්පු කරන්නයි. ඒ සමඟම ඉහත පින්තූරයේ පෙන්නන විදිහට ආරක්ෂක අමාත්‍යාංශ මූලස්ථානයේ ඔවුන්ව සිරගත කළා.

ඉන්පසු ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් මේ කාන්තාවන් දෙදෙනාගේ නිවෙස් දැඩි සෝදිසියට ලක් කර ඔවුන්ගේ ආගමික පොත් පත්, සටහන් පොත්, ලැප්ටොප් සහ මොබයිල් ෆෝන් තමන්ගේ භාරයට ගත්තා. මේ කාන්තාවන් වෙනුවෙන් කරපු සෑම අභියාචනයක්ම උසාවිය ප්‍රතික්ෂේප කළ අතර නඩු විභාගයට පෙර සිරභාරයේ තබනවා වෙනුවට නිවාස අඩස්සියේ තබන්න කියා කළ ඉල්ලීමත් ප්‍රතික්ෂේප කළා.

සෞඛ්‍යය තත්වය සහ සුභසාධනය

මේ කාන්තාවන් දෙදෙනාගේ සෞඛ්‍යය තත්වය ගැන නීතිඥවරු, පවුලේ අය සහ හිතමිතුරන් ඉන්නේ කනස්සල්ලෙන්. ඒකට හේතුව එක් කාන්තාවකගේ වයස අවුරුදු 55ක් වන අතර ඇය දරුණු ලෙස ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳිනවා. ඒ වගේම කලින් සිදු වුණු අනතුරක් නිසා ඇගේ දකුණු කකුල ආබාධයට ලක් වෙලා තියෙනවා.

මේ කාන්තාවන්ගේ මානසික සුවය ගැනත් පවුලේ අය සැලකිලිමත් වුණා. ඊට හේතුව අමාත්‍යාංශ නිලධාරීන් මේ කාන්තාවන්ව බැලීමට අවසර දීලා තියෙන්නේ ඔවුන්ගේ නීතිඥයන්ට පමණයි. ඔවුන්ට අවශ්‍ය සබන්, ඇඳුම්, බෙත් වැනි දේ ලබා දීමට නෑදැයන්ට අවසර දීලා තියෙන්නේ මාසයකට වරක් පමණයි. ඔවුන්ට කියවලා සහනයක් ලබාගන්න බයිබලයක් දෙන්න පවුලේ අය උත්සාහ කළත් නිලධාරීන් එයටත් අවසර දුන්නේ නැහැ.

අසර්බයිජානය ආගමික නිදහසට ගරු කරයිද?

මේ සිද්ධියෙන් පස්සේ අයිරීනා සාකාචියන්කා සහ වලීඩා ජබ්රියිලාවාට අමතරව තවත් සාක්ෂිකරුවන් 20දෙනෙක්ව පමණ ප්‍රශ්න කිරීම්වලට කැදෙව්වා. ඒ වගේම ඔවුන්ගෙන් 10දෙනෙක්ගේ නිවෙස් පරික්ෂා කළා. ඊට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජිතයන්, රටේ ආගමික කටයුතු භාරව ඉන්න නිලධාරීන් සහ පොලිසිය මේ කාන්තාවන් දෙදෙනා නමස්කාර කරන්න යන මධ්‍යස්ථානයත් පරික්ෂා කළා.

අසර්බයිජානයේ නිලධාරීන් මේ කාන්තාවන් දෙදෙනා වෙනුවෙන් කිසිම සාධාරණයක් ඉටු කරන්නේ නැති නිසා ඒ රටේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මානව හිමිකම් පිළිබඳ මහ ලේකම් කාර්යාලය සහ වෙනත් ජාත්‍යන්තර සංවිධානවලත් අවධානය මේ වෙතට යොමු කරන්න කියා ඉල්ලා සිටියා. අසර්බයිජානය ජාත්‍යන්තරය ඉදිරියේ පෙනී සිටින්නේ මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් සුරකින රටක් ලෙසයි. ඒ වගේම ඕනම කෙනෙක්ට තමන්ගේ ආගම ඇදහීමට නිදහස තියෙනවා කියාත් ඔවුන් කියා සිටිනවා.

අසර්බයිජාන් රජයෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මානව හිමිකම්වලට ගරු කරන රටක් විදිහට තමන්ගේ ආගම ඇදහීමට සාක්ෂිකරුවන්ට අවසර දෙන්න කියායි. ඒ වගේම කිසිම වරදක් නොකරපු මේ කාන්තාවන් දෙදෙනාව හැකි ඉක්මනින්ම නිදහස් කරන්න කියාත් ඔවුන් ඉල්ලා සිටිනවා.