Skip to content

2016 පෙබරවාරි 3
නේපාලය

නේපාලයේ භූමිකම්පාවෙන් පීඩාවට පත් වුණ අයට උපකාර

නේපාලයේ භූමිකම්පාවෙන් පීඩාවට පත් වුණ අයට උපකාර

නේපාලයේ කත්මණ්ඩු - 2015 අප්‍රියෙල් 25වෙනිදා නේපාලයේ සිද්ධ වුණු දරුණු භූමිකම්පාව නිසා දහස් ගණනකගේ ජීවිත නැති වුණා. ඒ අතර යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක් සහ ඇගේ දරුවන් දෙදෙනාත් ඉන්නවා. මේ භූමිකම්පාව නිසා පීඩාවට පත් වුණු අයට සහන සලසන්න බංග්ලාදේශයේ, ජර්මනියේ, ඉන්දියාවේ, ජපානයේ, ස්විට්සර්ලන්තයේ සහ එක්සත් ජනපදයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. මේ අතර 2015 මැයි 12වෙනිදා තවත් භූමිකම්පාවක් ඇති වුණා. ඒත් ඒකෙන් කිසිම සාක්ෂිකරුවෙක් බරපතළ තුවාල ලැබුවේවත්, මරණයට පත් වුණේවත් නැහැ. ඔවුන්ගේ දේපළවලට බරපතළ හානි සිද්ධ වුණෙත් නැහැ.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විපතට පත් වූ අයට දවසට දෙපාරක් ආහාර ලබා දෙනවා.

පළවෙනි භූ කම්පනය සිදු වුණ දවසට පහුවදාම නේපාලයේ ශාඛා කාර්යාල නියෝජිතයෙක්, විපතට පත් වුණු අයට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා හොයලා බලන්න, කත්මණ්ඩුවල විපතට පත් වූ අය ඉන්න සභාවන්වලට ගියා. භූමිකම්පාවෙන් සාක්ෂිකරුවන්ගේ නිවාස 38ක් විනාශ වෙලා තිබුණා. තවත් නිවාස 126කට හානි සිදු වෙලා. නිවාස අහිමි වුණ අයට තමන්ගේ ගෙවල්වල නවාතැන් පහසුකම් සලසන්න අනිත් සාක්ෂිකරුවන් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. ඒ වගේම නමස්කාර කරන්න රැස් වෙන තැන්වලත් තාවකාලිකව සෑදූ කූඩාරම්වලත් නවාතැන් පහසුකම් සලසා දුන්නා. නේපාලයේ බිර්ගුන්ජ්, දමව්ලි, මහෙන්ද්‍රනගර්, පෝක්හරා කියන පැතිවල ඉන්න සාක්ෂිකරුවනුත්, බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ සාක්ෂිකරුවනුත් ලබා දුන්න ආහාර, විපතට පත් වුණ අයට බෙදා දෙන්න නේපාලයේ ශාඛා කාර්යාලය කඩිනමින් පියවර ගත්තා. ඒ වගේම සහන සේවා කමිටුවේ මඟ පෙන්වීම් යටතේ ඉන්දියාවෙන්, ජපානයෙන් සහ නේපාලයේ වෙනත් පැතිවලින් උදව් කරන්න ඇවිත් ඉන්න ස්වේච්ඡා සේවකයනුත් විපතට පත් වුණු අයට උපකාර කරන්න වෙහෙස මහන්සි නොබලා කටයුතු කළා.

ශාඛා කාර්යාලයේ ස්වේච්ඡා සේවකයන් පිරිසක් නේපාලයේ බිර්ගුන්ජ්වලට සහනාධාර ලෙස ලැබුණු දේවල් ගබඩා කරමින්.

නේපාලයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකයෙක් වන රූබන් තපාලියා මෙහෙම කිව්වා. “අපි විපතට පත් වෙලා ඉන්න අයගේ මූලික අවශ්‍යතා සපුරනවා විතරක් නෙමෙයි එයාලගේ විශ්වාසය ශක්තිමත් කරගන්නත් උදව් කරනවා. ආහාර, ජලය සහ නවාතැන් වගේම එයාලට අවශ්‍ය සහනය සහ දිරිගැන්වීම් ලබා දෙන්නත් අපි අපේ උපරිමය කරනවා.” 2015 මැයි 2-5 දක්වා දවස්වලදී සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථාන නියෝජිතයෙක් වන ගැරී බ්‍රෝ අවතැන් වුණ අය ඉන්න සභාවන් සහ ඒ පවුල්වල අයව හමු වෙන්න ගියා. 2015 මැයි 4වෙනිදා පවත්වපු විශේෂ වැඩසටහනකදී ගැරී බ්‍රෝ බයිබලය මත පදනම් දේශනයක් ඉදිරිපත් කළ අතර ඒ දේශනය වීඩියෝ මගින් සම්බන්ධ වුණු වෙනත් සභාවන්වල ඉන්න අයටත් දැක බලා ගැනීමට අවස්ථාව ලැබුණා. ඒ විතරක් නෙමෙයි ජපානයේ ශාඛා කාර්යාලයේ නියෝජිතයෙක් වන කෙන්ජි චිචීත් විපතට පත් වුණු පවුල්වල අයව හමු වෙන්න ගිහින් බයිබලයේ තියෙනදිරිගැන්වෙන අදහස් ඒ අයත් එක්ක බෙදාගත්තා.

ලෝක මූලස්ථාන නියෝජිතයෙන් වන ගැරී බ්‍රෝ (දකුණේ) කඩා වැටුණ නිවසක් දිහා බලමින්.

මේ අතර ජර්මනියේ ශාඛා කාර්යාලයෙන් නිර්වින්දන වෛද්‍යවරියක්, ශල්‍ය වෛද්‍යවරයෙක්, හෙදියක් සහ වෛද්‍ය සහායකයෙක්ගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් නේපාලයට යැව්වා. බෙහෙත්, සැත්කම් උපකරණ සහ දැඩි සත්කාර උපකරණ ඔවුන්ට ලැබුණේ බංග්ලාදේශයේ, ඉන්දියාවේ සහ ජපානයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන්. යුරෝපයෙන් ආපු මේ කණ්ඩායම නේපාලයේ සහන සේවා කමිටුවේ අධීක්ෂණය යටතේ, විපතට පත් අයට නමස්කාර මධ්‍යස්ථානවලදී ප්‍රතිකාර කළා.

සහන සේවා කණ්ඩායම කත්මණ්ඩුවල නමස්කාර මධ්‍යස්ථානයේ නවාතැන් පහසුකම් සහ ආහාර ලබා දෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශකයෙක් විදිහට සේවය කරන ජේ. ආර්. බ්‍රවුන් මෙහෙම කිව්වා. “විපතට පත් වුණ අයට අපි දිගටම උදව් කරනවා. එයාලට ඕනේ කෑම බීම, නවාතැන් විතරක් නෙමෙයි කියලා අපි තේරුම් අරගෙන තියෙනවා. සාක්ෂිකරුවන්ටත් අනිත් අයටත් එයාලගේ විශ්වාසය ශක්තිමත් කරගන්න දිගටම උදව් කරන්න අපි ලෑස්තියි. අපි එයාලා වෙනුවෙන් නිතරම දෙවිට යාච්ඤා කරනවා.”

මාධ්‍ය ප්‍රකාශකයන්:

ජාත්‍යන්තර: ජේ. ආර්. බ්‍රවුන්, මහජන තොරතුරු අංශය, විමසීම්: +1 718 560 5000

ජර්මනිය: වුල්ෆ්‍රම් ස්ලුපීනා, විමසීම්: +49 6483 41 3110

ජපානය: ඉචිකි මට්සුනාගා, විමසීම්: +81 46 233 0005

නේපාලය: රූබන් තපාලියා, විමසීම්: +977 9813469616