Skip to content

2023 මාර්තු 21
සිව් දෙසින්

JW.ORG දස වසරක් සපුරයි!—3වෙනි කොටස

සේවයට ලොකු රුකුලක්

JW.ORG දස වසරක් සපුරයි!—3වෙනි කොටස

මේ ලිපි මාලාවේ පළවෙනි ලිපි දෙකෙන් අපි බැලුවේ jw.org වෙබ් අඩවියෙන් ප්‍රකාශන සහ වීඩියෝ ඩිජිටල් මාධ්‍යයෙන් මුදාහරින එක ගැන සහ අලුත්ම පුවත්වලින් සහෝදරයන්ව දැනුවත් කරන එක ගැනයි. මේ අන්තිම ලිපියෙන් අපි බලන්නේ jw.org වෙබ් අඩවිය ලෝකේ පුරාම සිද්ධ වෙන ශුභාරංචිය දේශනා කිරීමේ වැඩේට උදව් වෙන විදිහ ගැනයි.

භාෂාවන්: 2012 අගෝස්තුවලදී වෙබ් අඩවිය අලුත්ම මුහුණුවරකින් මුදාහරිද්දී ඒක තිබ්බේ භාෂා 139කින් විතරයි. හැබැයි 2014 අගෝස්තුවලදී අපි වෙබ් අඩවිය හඳුන්වලා දෙන විශේෂ පත්‍රිකාව බෙදාහරිද්දී භාෂා ගාණ 500කටත් වඩා වැඩි වෙලා තිබුණා. ඒ ගාණට සංඥා භාෂා 22කුත් ඇතුළත් වුණා. අද වෙද්දී අපේ වෙබ් අඩවිය භාෂා 1,070 වඩා වැඩි ගාණකින් තියෙනවා. ඒකට සංඥා භාෂා 100කටත් වඩා ඇතුළත්.

නියම වෙලාවට ලැබෙන ලිපි: 2019 ඔක්තෝබර්වලදී මුල් පිටුවේ ලොකු වෙනසක් වුණා. ඒ මාසේ ඉඳලා හිත් ඇදගන්න ලොකු පින්තූරයක් එක්ක තියෙන ප්‍රධාන ලිපියක් සහ තවත් ලිපි තුනක් මුල් පිටුවේ පළ කරන්න පටන්ගත්තා. මේ අලුත් වෙනස නිසා වෙබ් අඩවියේ පළ වෙන දේවල් හුඟදෙනෙක්ගේ නෙත ගැටුණා. ඒක සේවේටත් ලොකු රුකුලක්! ඊටපස්සේ ලේඛන සහ චිත්‍ර සම්පාදන අංශ එකතු වෙලා මේ වැඩේ තවත් වේගවත් කළා. එයාලා ලෝක සිද්ධීන් ගැන සහ හුඟදෙනෙක්ගේ අවධානය ඇදගන්න විෂයන් ගැන තියෙන ලිපි මුල් පිටුවේ පළ කරන්න පටන්ගත්තා. උදාහරණෙකට කොරෝනා වසංගතය ගැන, යුක්රේනයේ සහ රුසියාවේ යුද්ධය ගැන වගේම ඒකේ ප්‍රතිඵලයක් විදිහට සරණාගතයන් වුණ අයගේ අලුත්ම තත්වය ගැන ලිපි ඒකේ පළ කළා.

අපි ගැන තොරතුරු: උනන්දුව දක්වන අයට සංවිධානය ගැන, අපේ වැඩකටයුතු ගැන නිවැරදි තොරතුරු දැනගන්නත් jw.org වෙබ් අඩවිය ගොඩක් උදව් වෙනවා. ඒ වගේම සාක්ෂිකරුවන්ව සම්බන්ධ කරගන්නේ කොහොමද කියලත් ඒකේ තියෙනවා. මේ අද්දැකීම බලන්න. එක බිහිරි කාන්තාවක් ඉස්කෝලේ යන කාලේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබල් පාඩමක් කළා. හැබැයි පදිංචිය මාරු වුණ නිසා එයාට සාක්ෂිකරුවන්ව මඟහැරුණා. අලුත් තැනට ගියාට පස්සෙත් එයාට ඕන වුණේ පාඩම කරන්න. හැබැයි එයාට සාක්ෂිකරුවන්ව හම්බ වුණේ නැහැ. ඔය අතරේ එයාට jw.org වෙබ් අඩවිය මතක් වුණා. එයා ඒකේ ඔන්ලයින් ෆෝම් එක පාවිච්චි කරලා බයිබල් පාඩමකට ඉල්ලුම් කළා. දවස් කීපයක් ඇතුළත විශේෂ පුරෝගාමීන් දෙන්නෙක් එයාව හම්බ වෙන්න ආවා. ඊටපස්සේ එයා ආයෙත් පාඩම පටන්ගත්තා විතරක් නෙවෙයි රැස්වීම්වලටත් ගියා. එයා දැන් බව්තීස්ම වුණ සහෝදරියක්. එයා එයාගේ දරුවෝ තුන්දෙනාටත් යෙහෝවා දෙවියන් ගැන කියලා දෙනවා. බලන්න එයා කියන දේ. “මේ වෙබ් සයිට් එක දුන්නාට මං යෙහෝවාට ගොඩක් ස්තුති කරනවා. ඇත්තටම ඔන්ලයින් ෆෝම් එක නොතිබෙන්න අහම්බෙන් හරි සාක්ෂිකාරයෙක් හම්බ වෙන කල් මට බලන් ඉන්න තමයි වෙන්නේ.”

මේ කාලේ ශුභාරංචිය දේශනා කිරීමේ වැඩේ වේගයෙන් සිද්ධ වෙනවා. මේ සේවේ තවත් පුළුල් කරන්න යෙහෝවා දෙවියන්ගේ සංවිධානයෙන් දෙන මේ වගේ සැපයුම් ගැන අපේ හිතේ තියෙන්නේ ලොකු අගයක්!—යෙසායා 60:22.

  • හැම මාසෙම ඩවුන්ලෝඩ් කරන වීඩියෝ ගණන

  • හැම මාසෙකම වෙබ් අඩවියට පිවිසෙන ගණන

  • 2013 මාර්තුවල jw.org වෙබ් අඩවියේ නිල සංකේතය මුදාහැරියා

  • 2014 ජූලිවල වෙබ් අඩවිය සංඥා භාෂාවලිනුත් මුදාහැරියා

  • 2019 ඔක්තෝබර්වල මහජනයාගේ හිත් ඇදගන්න විදිහට වෙබ් අඩවියේ මුල් පිටුවට අලුත් මුහුණුවරක් දුන්නා

  • 2021 ජනවාරිවල ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොත මුදාහරිනවා කියලා නිවේදනය කළා