Skip to content

ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද?

ඔබත් මේ ප්‍රශ්න ගැන කල්පනා කර තිබෙනවාද?
  • දෙවි ඇත්තටම අපි ගැන සැලකිලිමත්ද?

  • යුද්ධ හා දුක් වේදනා කෙදිනක හෝ නිම වේද?

  • මරණයේදී සිදු වන්නේ කුමක්ද?

  • මිය ගිය අය ගැන බලාපොරොත්තුවක් තබාගත හැකිද?

  • දෙවි සවන් දෙන්නේ මොන වගේ යාච්ඤාවලටද?

  • සැබෑ සතුට සොයාගත හැක්කේ කෙසේද?

ඉහත ප්‍රශ්නවලට පිළිතුරු ලබාගත හැක්කේ කොහෙන්ද? ඔබ පුස්තකාලයකට ගියොත් ඇතැම්විට එම ප්‍රශ්නවලට පිළිතුරු සපයන පොත් සොයාගැනීමට හැකි වේවි. නමුත් බොහෝවිට එවැනි පොත්වල ඇති තොරතුරු එකිනෙකට වෙනස්. තවත් පොත්වල තිබෙන තොරතුරු ඒ මොහොතට පමණක් ප්‍රයෝජනවත්. නමුත් කල් යද්දී ඒ තොරතුරු යල්පනින නිසා නැවත ඒවා සකස් කිරීමට සිදු වෙනවා.

කොහොමවුණත් ඉහත ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ඇතුළත් එක පොතක් තිබෙනවා. එහි කිසිම තැනක අසත්‍ය තොරතුරු ඇතුළත් කර නැහැ. එක අවස්ථාවක යේසුස් සැබෑ දෙවිට යාච්ඤා කරද්දී “ඔබේ වචනය සත්‍යතාවය” කියා පැවසුවා. (යොහන් 17:17) එමනිසා ඉහත ප්‍රශ්නවලටත් ශුද්ධ බයිබලයේ පැහැදිලි හා නිවැරදි පිළිතුරු දී තිබෙනවා. දැන් අපි ඒ ගැන සොයා බලමු.

දෙවි ඇත්තටම අපි ගැන සැලකිලිමත්ද?

මෙම ප්‍රශ්නය මතු වෙන්නේ ඇයි? අපි අද ජීවත් වෙන්නේ කුරිරුකම් හා අසාධාරණයන් පිරුණු ලොවකයි. එමෙන්ම අපි දුක් විඳීම දෙවිගේ කැමැත්ත බව බොහෝ ආගම්වල උගන්වනවා.

බයිබලයේ සඳහන් පිළිතුර: දෙවි කිසිම දිනක දුෂ්ට ක්‍රියා කරන්නේ නැහැ. ඒ නිසයි බයිබලයේ මෙසේ පවසන්නේ. “සැබෑ දෙවි කවදා හෝ දුෂ්ට ලෙස ක්‍රියා කරයිද? සියලු බලැති දෙවි අයුක්තියක් කරයි කියා සිතිය හැකිද? එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත.” (යෝබ් 34:10) මිනිස් වර්ගයා වෙනුවෙන් දෙවිට යහපත් අරමුණක් තිබෙනවා. මෙලෙස යාච්ඤා කිරීමට යේසුස් අපට ඉගැන්නුවේ ඒ නිසයි. ‘ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා!’ (මතෙව් 6:9, 10) දෙවි අපි ගැන ඉතා සැලකිලිමත් නිසා අපේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට ඔහු පියවර ගෙන තිබෙනවා.—යොහන් 3:16.

උත්පත්ති 1:26-28; යාකොබ් 1:13 සහ 1 පේතෘස් 5:6, 7 යන බයිබල් පදත් බලන්න.

යුද්ධ හා දුක් වේදනා කෙදිනක හෝ නිම වේද?

මෙම ප්‍රශ්නය මතු වෙන්නේ ඇයි? යුද්ධ නිසා අපමණ මිනිසුන් සංඛ්‍යාවකට තම ජීවිත අහිමි වෙනවා. මිනිසුන් දුක් විඳිනවා දැකීමෙන් අපටත් ඇති වෙන්නේ දරාගත නොහැකි වේදනාවක්.

බයිබලයේ සඳහන් පිළිතුර: දෙවි මුළු ලොවටම සාමය ගෙනෙන බවට පොරොන්දු වී තිබෙනවා. බයිබලයේ සඳහන් වෙන්නේ ස්වර්ගයේ පිහිටා තිබෙන ඔහුගේ ආණ්ඩුව යොදාගෙන පොළොව පාලනය කරද්දී ‘යුද්ධයට පුහුණු වන්නේ නැති’ ජනයා ‘තමුන්ගේ කඩුවලින් නගුල්ද හෙල්ලවලින් දෑකැතිද සාදාගන්නා’ බවයි. (යෙසායා 2:4) දෙවි අසාධාරණයට හා දුක් වේදනාවලට නිමාවක් ගෙනෙනවා. බයිබලයේ මෙවැනි පොරොන්දුවක් දී තිබෙන්නේ ඒ නිසයි. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් [අද පවතින අසාධාරණය හා දුක් වේදනා] පහව ගොස් ඇත.”—එළිදරව් 21:3, 4.

ගීතාවලිය 37:10, 11; 46:9 සහ මීකා 4:1-4 යන බයිබල් පදත් බලන්න.

මරණයේදී සිදු වන්නේ කුමක්ද?

මෙම ප්‍රශ්නය මතු වෙන්නේ ඇයි? ලොව පුරා බොහෝ ආගම්වල උගන්වන්නේ කෙනෙක් මිය ගිය පසු ඔහුගේ ආත්මය යම් තැනක නොමැරී ජීවත් වන බවයි. තවත් අය විශ්වාස කරන්නේ ජීවත්ව සිටින අයට හානි කරන්න මළවුන්ට හැකි බවයි. එමෙන්ම මිය ගිය අයව අපාය හෝ නිරය වැනි ස්ථානයකට දමා ඔවුන්ට වධ වේදනා විඳීමට දෙවි සලස්වනවා කියාත් තවත් අය විශ්වාස කරනවා.

බයිබලයේ සඳහන් පිළිතුර: බයිබලයේ දේශනාකාරයා 9:5හි සඳහන් වෙන්නේ “මිය ගිය අය කිසිවක් දන්නේ නැත” කියායි. ඒ අනුව මිය ගිය කෙනෙකුට කිසිම දෙයක් දැනගන්නවත්, කිසිවක් කරන්නවත් නොහැකි නිසා ජීවත්ව සිටින අයට හොඳක් හෝ නරකක් කරන්න ඔවුන්ට බැහැ.—ගීතාවලිය 146:3, 4.

උත්පත්ති 3:19 සහ දේශනාකාරයා 9:6, 10 යන බයිබල් පදත් බලන්න.

මිය ගිය අය ගැන බලාපොරොත්තුවක් තබාගත හැකිද?

මෙම ප්‍රශ්නය මතු වෙන්නේ ඇයි? අපි කැමතියි අපි ආදරය කරන අයත් එක්ක සතුටින් ජීවත් වෙන්න. ඒ නිසයි අපි ආදරය කරන කෙනෙක් මිය ගොස් තිබුණත් ඒ තැනැත්තා සමඟ නැවත ජීවත් වෙන්න අපි තුළ ආශාවක් තිබෙන්නේ.

බයිබලයේ සඳහන් පිළිතුර: මිය ගොස් සිටින බොහෝදෙනෙකුව නැවත නැඟිටුවනු ලබනවා. යේසුස් පවා පැවසුවේ ‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාම නැවත නැඟිටීමක් ලබනවා’ කියායි. (යොහන් 5:28, 29) දෙවි අරමුණු කළ ආකාරයට නැවත නැඟිටුවනු ලබන අයට පාරාදීස පොළොවක ජීවත් වීමට අවස්ථාව ලැබෙනවා. (ලූක් 23:43) එම පොරොන්දුවට අනුව කීකරු මිනිසුන්ට ඒ කාලයේදී නිරෝගී සෞඛ්‍යයක් ඇතුව සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙනවා. බයිබලයේ පවසන්නේ “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය” කියායි.—ගීතාවලිය 37:29.

යෝබ් 14:14, 15; ලූක් 7:11-17 සහ ක්‍රියා 24:15 යන බයිබල් පදත් බලන්න.

දෙවි සවන් දෙන්නේ මොන වගේ යාච්ඤාවලටද?

මෙම ප්‍රශ්නය මතු වෙන්නේ ඇයි? සෑම ආගමකම පාහේ සිටින මිනිසුන් යාච්ඤා කරනවා. නමුත් බොහෝදෙනෙකුට හැඟෙන්නේ ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුරු ලැබෙන්නේ නැති බවයි.

බයිබලයේ සඳහන් පිළිතුර: යේසුස් පැවසුවේ ‘යාච්ඤා කරන විට එකම දේ නැවත නැවතත් නොකියන්න’ කියායි. (මතෙව් 6:7) දෙවි සවන් දෙන්නේ ඔහුට පිළිගත හැකි ආකාරයට අපි යාච්ඤා කළොත් පමණයි. එසේ කිරීමට නම් අපි මුලින්ම දෙවිගේ කැමැත්ත ගැන ඉගෙනගෙන ඒ අනුව යාච්ඤා කළ යුතුයි. ඒ ගැන 1 යොහන් 5:14හි පවසන්නේ ‘දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙනවා’ කියායි.

ගීතාවලිය 65:2; යොහන් 14:6, 14 සහ 1 යොහන් 3:22 යන බයිබල් පදත් බලන්න.

සැබෑ සතුට සොයාගත හැක්කේ කෙසේද?

මෙම ප්‍රශ්නය මතු වෙන්නේ ඇයි? සැබෑ සතුට රඳා පවතින්නේ මුදල්, කීර්තිය හෝ රූප සොබාව මත කියා බොහෝ මිනිසුන් සිතනවා. නමුත් ඔවුන් ඒ දේවල් අත් කරගත්තත් එමගින් ඔවුන්ට සැබෑ සතුට නම් ලැබෙන්නේ නැහැ.

බයිබලයේ සඳහන් පිළිතුර: සැබෑ සතුට අත් කරගැනීමට අත්‍යවශ්‍ය දෙයක් ගැන යේසුස් මෙසේ පැවසුවා. “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්.” (මතෙව් 5:3) සැබෑ සතුට අත් කරගැනීමට නම් දෙවි ගැනත් ඔහුගේ අරමුණ ගැනත් දැනගැනීම අත්‍යවශ්‍යයි. එම වැදගත් තොරතුරු සඳහන් වෙන්නේ බයිබලය තුළයි. ඒවා දැනගැනීමෙන් ජීවිතයට වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගැනීමට අපට හැකි වෙනවා. මෙසේ බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව තීරණ ගැනීමෙන් හා ක්‍රියා කිරීමෙන් වඩාත් අර්ථවත් ජීවිතයක් ගත කිරීමට අපිට හැකියි.—ලූක් 11:28.

හිතෝපදේශ 3:5, 6, 13-18 සහ 1 තිමෝති 6:9, 10 යන බයිබල් පදත් බලන්න.

අපි මෙතෙක් සලකා බැලුවේ බයිබලයේ සඳහන් දැනුම අතරින් ප්‍රශ්න හයකට පිළිතුරු පමණයි. ඔබ කැමතිද තවත් තොරතුරු දැනගන්න. ඔබ ‘දෙවිගේ මඟ පෙන්වීම ලබාගන්නා අය අතරේ සිටින කෙනෙක්’ නම් ඔබත් එයට කැමති වෙයි. ඉහත ප්‍රශ්නවලට අමතරව ‘දෙවි අපි ගැන සැලකිලිමත් නම් දුක් වේදනා පැවතීමට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි, මට සන්තෝෂවත් පවුල් ජීවිතයක් ගත කළ හැක්කේ කෙසේද’ යන ප්‍රශ්න ඇතුළුව තවත් වැදගත් ප්‍රශ්නවලට බයිබලයේ නිවැරදි පිළිතුරු සපයා තිබෙනවා.

කොහොමවුණත් අද සිටින බොහෝදෙනා බයිබලය කියවන්න එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඔවුන් සිතන්නේ බයිබලය තේරුම්ගත නොහැකි දීර්ඝ තොරතුරු රැසක් ඇතුළත් පොතක් කියායි. බයිබලයේ දී තිබෙන පිළිතුරු දැනගැනීමට ඔබට උපකාරයක් අවශ්‍යද? ඒ සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ක්‍රම දෙකක් යොදාගන්නවා.

එක් ක්‍රමයක් නම් වැදගත් ප්‍රශ්නවලට බයිබලයේ දී ඇති පැහැදිලි පිළිතුරු ඇතුළත් බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු යන පොත කාර්යබහුල අයට කියවා බැලීම සඳහා ලබා දීමයි. දෙවන ක්‍රමය නම් ඔබ කැමති ස්ථානයකට පැමිණ සතියකට වතාවක් සුළු වෙලාවක් ගත කරමින් අය කිරීමකින් තොරව බයිබල් පාඩමක් පැවැත්වීමයි. මෙම ක්‍රමයෙන් ලොව පුරා සිටින මිනිසුන් මිලියන ගණනක් ප්‍රයෝජන ලබා තිබෙනවා. ඒ අයගෙන් බොහෝදෙනෙක් පවසන්නේ “මට සත්‍යය දැනගන්න ලැබුණා” කියායි.

මීටත් වඩා වටිනා දෙයක් තවත් නැහැ. මිථ්‍යා දේවලින්, ව්‍යාකූලත්වයෙන් හා අනිසි භයෙන් අපව නිදහස් කිරීමට බයිබලයේ ඇති සත්‍ය තොරතුරුවලට හැකියි. එමගින් අපට බලාපොරොත්තුවක්, අරමුණක් හා සතුටක් ලැබෙනවා. “ඔබ සත්‍යය දැනගන්නවා ඇත. සත්‍යය ඔබව නිදහස් කරනවා ඇත” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි.—යොහන් 8:32.