Skip to content

පටුනට යන්න

4වෙනි පරිච්ඡේදය

“ඒ තරම් අධ්‍යාපනයක් ලබලා නැති සාමාන්‍ය අය”

“ඒ තරම් අධ්‍යාපනයක් ලබලා නැති සාමාන්‍ය අය”

නිර්භීතව කටයුතු කළ යේසුස්ගේ නියෝජිතයන්ට යෙහෝවා දෙවියන්ගේ ආශීර්වාදය ලැබුණ බවට සාක්ෂි

ක්‍රියා 3:1–5:11

1, 2. දේවමාලිගාවේ දොරටුව ළඟ පේතෘස් සහ යොහන් කරපු පුදුම දේ මොකක්ද?

 “යාච්ඤා කරන්න වෙන් කරලා තිබුණ පැය” a ළඟා වෙමින් තියෙනවා. භක්තිවන්ත යුදෙව්වන් හා යේසුස්ගේ අනුගාමිකයන් දේවමාලිගාවට යනවා. (ක්‍රියා 2:46; 3:1) මේ විශාල සෙනඟ අතරේ පේතෘස් හා යොහන් ඉන්නවා. සෙනඟ අතරේ තෙරපෙමින් අලංකාර දොරටුව විදිහට හඳුන්වපු දොරටුවට දැන් ඔවුන් ළඟා වෙමිනුයි ඉන්නේ. දේවමාලිගාවට යන සෙනඟගේ ඝෝෂාව අතරින් කෙනෙක් සිඟමන් අයැදින හඬක් දැන් ඔවුන් දෙන්නාට ඇහෙනවා. ඒ, උපන් දා ඉඳන් කොර වෙලා ඉන්න මැදිවියේ පසු වන හිඟන මිනිසෙක්ගේ හඬයි.—ක්‍රියා 3:2; 4:22.

2 අලංකාර දොරටුව ළඟ ඉඳන් සිඟමන් අයැදින මේ කොර මිනිසා දොරටුවෙන් ඇතුල් වෙන පේතෘස්ව හා යොහන්ව දැක සුපුරුදු පරිදි ඔවුන්ගෙන් සිඟමන් අයැදිනවා. ඔහුව දැකලා ඔවුන් දෙන්නා එතන නතර වෙනවා. පේතෘස් ඔහුට මෙහෙම කියනවා. “රත්තරන්, රිදී නම් මං ළඟ නැහැ. ඒත් මං ළඟ තියෙන දේ ඔයාට දෙන්නම්. නාසරෙත් ඉඳන් ආපු යේසුස් ක්‍රිස්තුස්ගේ නමින් මං ඔයාට කියන්නේ, නැඟිටලා ඇවිදින්න!” (ක්‍රියා 3:6, 7) එහෙම කියලා පේතෘස් ඔහුගේ අත අල්ලලා ඔහුව නැඟිටුවනවා. ජීවිතයේ පළවෙනි වතාවට දෙපයින් සිටගන්නා ඔහු පියවර කිහිපයක් තබා ඇවිදින්න පටන්ගන්නවා. තමන්ට සිදු වුණ දේ අදහාගන්න බැරුව ඔහු ප්‍රීතියෙන් දුව පැන යමින් දෙවියන්ට ප්‍රශංසා කරනවා.

3. පේතෘස් රැස් වෙලා ඉන්න සෙනඟට ඉදිරිපත් කරන ඉතා වටිනා දේ මොකක්ද?

3 උඩ පනිමින් දුව පැන යන ඔහුව දැක විශාල සෙනඟක් පේතෘස් හා යොහන් වෙතට එක් රොක් වෙනවා. මේ වන විට ඔවුන් දෙන්නා ඉන්නේ සලමොන්ගේ ශාලාවේ. යේසුස් මේ ස්ථානයේදී සෙනඟට කොතරම් වාර ගාණක් උගන්වලා ඇද්ද! (යොහ. 10:23) දැන් පේතෘස් එතන ඉඳන් සෙනඟව අමතමින් ලෙඩ රෝගවලින් සුවය ලබන එකටත් රන් රිදීවලටත් වඩා වටිනා දෙයක් දෙන්න තමන් ළඟ තිබෙන බව කියනවා. ඒ, ඔවුන් කළ පව් ගැන පසුතැවිලි වෙලා දෙවියන්ගෙන් සමාව ලබාගන්නත් “ජීවනය ලබා දෙන්න තෝරගත්ත ප්‍රධාන තැනැත්තා” වන යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්නත් ලැබෙන ප්‍රස්තාවයි.—ක්‍රියා 3:15.

4. (අ) එදා කරපු සුව කිරීම නිසා අනුගාමිකයන්ට මූණ දෙන්න වුණේ මොනවාටද? (ආ) අප දැන් බලන්නේ මොන කාරණා දෙක ගැනද?

4 ඒක ඇත්තෙන්ම අමතක නොවන දවසක්. කොර වෙලා හිටපු කෙනෙක් එදා සුව වුණා! දහස් ගාණකට දෙවියන් ගැන නිවැරදි දැනුම ලබාගෙන හැම දේකදීම ඔහුව සතුටු කරන්න අවස්ථාව උදා වුණා! (කොලො. 1:9, 10) නමුත් එදා සිට යේසුස්ගේ අනුගාමිකයන්ට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වුණා. මොකද යේසුස් ඔවුන්ට පවරපු කාර්යය ඉටු කරපු එක ගැන එදා සිටි බලපුළුවන්කාර මිනිසුන් පොඩ්ඩක්වත් සතුටු වුණේ නැහැ. (ක්‍රියා 1:8) ඔවුන් යේසුස්ගේ අනුගාමිකයන්ට දරුණු විදිහට විරුද්ධවාදිකම් එල්ල කළා. පේතෘස් හා යොහන් ඇතුළු යේසුස්ගේ අනිත් ගෝලයන් විරුද්ධවාදිකම් මැද කටයුතු කළ විදිහ අපට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද? නමුත් ඒ ප්‍රශ්නයට පිළිතුරු දැනගැනීමට කලින් “ඒ තරම් අධ්‍යාපනයක් ලබලා නැති සාමාන්‍ය අය” වුණ පේතෘස් හා යොහන් දේවමාලිගාවේදී සෙනඟට සාක්ෂි දරපු විදිහෙන් ඉගෙනගත හැකි පාඩම් මොනවාද කියා බලමු. bක්‍රියා 4:13.

“අපේ බලයෙන් කරපු දෙයක්” නෙවෙයි (ක්‍රියා 3:11-26)

5. පේතෘස් සෙනඟට කතා කරපු විදිහෙන් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

5 විශාල සෙනඟක් ඉදිරියේ කතා කිරීමට පේතෘස්ට හා යොහන්ට මොන තරම් නිර්භීතකමක් තියෙන්න ඇද්ද! ඔවුන් වටා එක් රොක් වුණ සෙනඟ අතරේ යේසුස්ව මරන්න කියා ඉල්ලපු අයත් ඉන්න ඇති. එහෙමනම් කොර මිනිසාව සුව කළේ ඔවුන් මරලා දාපු, දැන් දෙවියන් විසින් නැවත නැඟිටුවපු යේසුස්ගේ නාමයෙන් කියලා නොසඟවා කියන්න පේතෘස්ට මොන තරම් නිර්භීතකමක් තිබුණාද කියා සිතන්න. (මාක් 15:8-15; ක්‍රියා 3:13-15) යේසුස්ගේ මරණයට ඔවුන් යම් දුරකට හෝ වග කිව යුතු බවත් පේතෘස් එඩිතරව කිව්වා. නමුත් ඔහු ඒ දේවල් ඔවුන්ට කිව්වේ කේන්තියෙන් නෙවෙයි. මොකද ඔවුන් “එහෙම කළේ නොදැනුවත්කමින්” කියා ඔහු දැන සිටියා. (ක්‍රියා 3:17) තමන්ට සවන් දෙන මේ සෙනඟ, යම් දිනක ක්‍රිස්තියානීන් බවට පත් විය හැකියි යන විශ්වාසය ඔහුට තිබුණා. ඒ නිසා ඔවුන්ව දිනාගත හැකි අයුරින් ඔහු කතා කළ අතර ඔහු වැඩි අවධානයක් දුන්නේ පණිවිඩය පිළිගැනීමෙන් මිනිසුන්ට ලැබෙන ප්‍රයෝජන වෙතටයි. ඒ කියන්නේ ඔවුන් කළ පව් ගැන පසුතැවිලි වෙලා යේසුස් ක්‍රිස්තුස් ගැන විශ්වාසය තැබීමෙන් යෙහෝවාගෙන් “ලොකු සහනයක්” අද්දැකීමට හැකි බව පේතෘස් ඔවුන්ට පැහැදිලි කර දුන්නා. (ක්‍රියා 3:19) දෙවියන් ඉදිරියේදී ගෙනෙන විනිශ්චය ගැන අපත් අන් අයට නිර්භීතව ප්‍රකාශ කළ යුතුයි. ඒ වගේම අප ඉදිරිපත් කරන පණිවිඩයේ බැරෑරුම්කම කිසිම අවස්ථාවකදී බාල නොකළ යුතුයි. නමුත් අකාරුණික, නපුරු හෝ විවේචනාත්මක විදිහට ඒ දේ කිරීම සුදුසු නැහැ. මොකද දේශනා කරද්දී අපට හමු වන ඕනෙම කෙනෙක් දවසක අපේ ක්‍රිස්තියානි සහෝදරයෙක් හෝ සහෝදරියක් බවට පත් විය හැකියි යන විශ්වාසය අප තුළ තිබිය යුතුයි. පේතෘස් වගේ අපත් සේවයේදී වැඩි අවධානයක් දෙන්න ඕනෙ අපේ පණිවිඩයට සවන් දීලා වෙනස්කම් කිරීමෙන් ලබාගත හැකි ප්‍රයෝජන ගැන මිනිසුන්ට පැහැදිලි කර දීමටයි.

6. පේතෘස් හා යොහන් නිහතමානීව වැඩ කළේ කොහොමද?

6 පේතෘස් හා යොහන් ඒ අවස්ථාවේ වැඩ කරපු විදිහෙන් අපට ඉගෙනගන්න තවත් දෙයක් තිබෙනවා. ඔවුන් කළ ආශ්චර්යය තමන්ගේ බලයෙන් සිදු කළ බව ඇඟවීමටවත් ඒකේ ගෞරවය තමන්ට ලබාගැනීමටවත් ඔවුන් උත්සාහ කළේ නැහැ. පේතෘස් සෙනඟට කිව්වේ “ඇයි ඔයාලා ඔච්චර පුදුම වෙලා? ඔයාලා බලන් ඉන්නේ හරියට මේක අපේ බලයෙන් කරපු දෙයක් වගේ! අපේ භක්තිය නිසා වුණ දෙයක් වගේ” කියායි. (ක්‍රියා 3:12) යේසුස් පවරපු කාර්යය ඉටු කරද්දී හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ තමන්ගේ විශේෂ හැකියාවක් නිසා නෙවෙයි දෙවියන්ගේ බලය නිසයි කියා පේතෘස් වගේම අනිත් නියෝජිතයනුත් හොඳින් දැන සිටියා. ඔවුන් ඉතා නිහතමානීව සෑම දෙයක් ගැනම යෙහෝවාට හා යේසුස්ට ගෞරවයත් ප්‍රශංසාවත් ලබා දුන්නේ ඒ නිසයි.

7, 8. (අ) අපිට මිනිසුන්ට දෙන්න පුළුවන් මොන වටිනා අවස්ථාවද? (ආ) ‘හැම දේම කලින් තිබුණ තත්වයට පත් කරනවා’ කියා දෙවියන් දුන්න පොරොන්දුව අද ඉටු වෙන්නේ කොහොමද?

7 දේවරාජ්‍යය ගැන අන් අයට දේශනා කරන විට අපත් නිහතමානී වෙන එක මොන තරම් වැදගත්ද! එදා වගේ ආශ්චර්යයක් කර මිනිසුන්ව සුව කරන්න අද අපට හැකියාව නැහැ. නමුත් දෙවියන් සහ යේසුස් ගැන විශ්වාසයක් ඇති කරගන්න මිනිසුන්ට උපකාර කිරීමට අපට හැකියි. පේතෘස් තමන්ට සවන් දුන් අය වෙනුවෙන් කළා වගේ මිනිසුන්ට පව්වලට සමාව ලබාගෙන යෙහෝවාගෙන් සහනයක් ලබාගැනීමට උපකාර කරන්න අපටත් හැකියි. සෑම අවුරුද්දකම දහස් ගාණක් දෙනා ඒ ආරාධනාව පිළිගන්නා අතර ඔවුන් යේසුස්ගේ අනුගාමිකයන් විදිහට බව්තීස්ම වෙනවා.

8 පේතෘස් කියපු විදිහට අද ඇත්තෙන්ම අප ජීවත් වන්නේ “හැම දේම කලින් තිබුණ තත්වයට පත් කරන” කාලයෙයි. මුලින්ම දෙවියන් 1914දී දේවරාජ්‍යය ස්වර්ගයේ පිහිටෙව්වා. ඒ විදිහට “දෙවියන් තමන්ගේ ශුද්ධ අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් කලින්ම කියලා තිබුණ” දේ ඉටු වුණා. (ක්‍රියා 3:21; ගීතා. 110:1-3; දානි. 4:16, 17) දේවරාජ්‍යය පිහිටුවා කෙටි කලකට පසු පොළොවේ සැබෑ නමස්කාරය කලින් තිබුණ තත්වයට පත් කරන කාර්යය යේසුස් අධීක්ෂණය කරන්න පටන්ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මිලියන ගාණක් දෙනා දේවරාජ්‍යයට පක්ෂව සිටීමට තීරණය කර තිබෙන අතර තම පරණ පෞද්ගලිකත්වය අහක දාලා ‘දෙවියන්ගේ කැමැත්තට එකඟව හැදිලා තියෙන අලුත් පෞද්ගලිකත්වය පැලඳගෙන’ තියෙනවා. (එෆී. 4:22-24) දෙවියන් ලබා දෙන සහනය ඔවුන් දැනටමත් අද්දකිමින් සිටිනවා. මේ තරම් විශාල කාර්යයක් පොළොව මත කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? කොර මිනිසාව එදා ආශ්චර්යවත් විදිහට පේතෘස් හා යොහන් සුව කළේ දෙවියන්ගේ බලයේ උපකාරයෙන් බව ඔබට මතක ඇති. ඒ විදිහටම අද පොළොවේ සිදු වන ආශ්චර්යයක් හා සමාන මේ කාර්යය ඉටු කරන්නේ දෙවියන්ගේ බලයේ උපකාරයෙන් මිස මිනිසුන්ගේ ශක්තියෙන්වත් හැකියාවෙන්වත් නොවෙයි. ඒ නිසා පේතෘස් වගේ අපිත් නිර්භීතව හා හදවතට කාවදින විදිහට දෙවියන්ගේ වචනය ගැන අන් අයට පහදා දෙමු. මිනිසුන් අපට සවන් දීලා දෙවියන්ගේ කැමැත්තට එකඟව ජීවිත වෙනස් කරගෙන යේසුස්ගේ ගෝලයන් බවට පත් වන විට ඒ දේ වෙන්නේ දෙවියන්ගේ බලයෙන් බව අපි කිසිවිටක අමතක නොකරමු.

“කතා කරන එක නවත්තන්න නම් අපිට බැහැ” (ක්‍රියා 4:1-22)

9-11. (අ) පේතෘස් හා යොහන් කියපු දේවලට යුදෙව් නායකයන්ගේ ප්‍රතිචාරය වුණේ මොකක්ද? (ආ) ඔවුන් දෙන්නාගේ අධිෂ්ඨානය වුණේ මොකක්ද?

9 සුවය ලබපු මිනිසා මහත් ප්‍රීතියෙන් කෑගසමින් දුව පැන ගිය නිසාත් පේතෘස් ඉදිරිපත් කළ කතාව නිසාත් දේවමාලිගාවේ ලොකු කලබලයක් ඇති වුණා. සිදු වී ඇත්තේ මොකක්ද කියා බැලීමට දේවමාලිගාවේ ආරක්ෂාව හා ඒකේ වැඩකටයුතු බලා කියා ගැනීමට පත් කර සිටි ප්‍රධානියාත් නායක පූජකයොත් එතැනට ආවා. ඔවුන් බොහෝදුරට සද්දුසිවරුන් වෙන්න ඇති. ඔවුන් බලතල හිමි, ඉතා ධනවත් අය. යුදෙව්වන් හා රෝමවරුන් අතර සාමකාමී වාතාවරණයක් පවත්වගන්න මැදිහත් වී කටයුතු කළෙත් ඔවුනුයි. පරිසිවරුන් මහත් ගෞරවයෙන් සලකපු වාචික නීතිය ඔවුන් ප්‍රතික්ෂේප කළා වගේම නැවත නැඟිටීම ගැනත් ඔවුන්ට කිසි විශ්වාසයක් තිබුණේ නැහැ. c එහෙමනම් දෙවියන් යේසුස්ව නැවත නැඟිටුවා තිබෙන බව දේවමාලිගාවේ ඉඳන්ම පේතෘස් හා යොහන් නිර්භීතව ප්‍රකාශ කරද්දී ඔවුන්ට මොන තරම් කේන්තියක් දැනෙන්න ඇද්ද!

10 කේන්තියෙන් සිටි ඔවුන් ඒ අවස්ථාවේදීම පේතෘස්ව හා යොහන්ව අත්අඩංගුවට අරගෙන පහුවදා යුදෙව් මහාධිකරණයට ඔවුන් දෙන්නාව ඉදිරිපත් කළා. එතැන රැස්ව සිටියේ එදා සමාජයේ උගතුන් විදිහට සලකපු අයයි. පේතෘස්ව හා යොහන්ව “ඒ තරම් අධ්‍යාපනයක් ලබලා නැති සාමාන්‍ය අය” විදිහට සලකපු ඔවුන් සිතුවේ දේවමාලිගාවට ඇවිත් උගන්වන්න ඒ දෙන්නාට කිසිම සුදුසුකමක් නැහැ කියායි. මොකද ඔවුන් දෙන්නා පිළිගත් ආගමික පාසැලකින් අධ්‍යාපනයක් ලබා තිබුණේ නැහැ. නමුත් මහාධිකරණය ඉදිරියේ පේතෘස් හා යොහන් නිර්භීතව, මහත් විශ්වාසයකින් කතා කළ ආකාරය දැක ඔවුන් මහත් සේ පුදුමයට පත් වුණා. ඇත්තෙන්ම ඔවුන්ට ඒ විදිහට කතා කරන්න පුළුවන් වුණ එක හේතුවක් වුණේ ඔවුන් “යේසුස් එක්ක හිටපු” නිසයි. (ක්‍රියා 4:13) ඔවුන්ගේ ගුරුවරයා වුණ යේසුස් මිනිසුන්ට ඉගැන්නුවේ නීතිය පිටපත් කරන අය වගේ නෙවෙයි. ඔහු ඉගැන්නුවේ දෙවියන්ගෙන් ඉගෙනගත්ත දේවල්.—මතෙ. 7:28, 29.

11 මහාධිකරණයෙන් පේතෘස්ට හා යොහන්ට දේශනා කරන එක නතර කරන්න කියා නියෝග කළා. මීට සති කිහිපයකට පෙර යේසුස්ට “මරණ දණ්ඩනය නියම” කළෙත් ඒ මහාධිකරණය විසින්මයි. (මතෙ. 26:59-66) සාමාන්‍යයෙන් මහාධිකරණයට සෑහෙන බලතල තිබුණ නිසා ඒකෙන් දෙන නියෝගයක් නොසලකාහැරීම අනතුරුදායක වුණා. නමුත් පේතෘස් හා යොහන් ඔවුන්ට බය වුණේ නැහැ. ඔවුන් දෙන්නා ඉදිරියේ සිටියේ උගත්, ධනවත් බලපුළුවන්කාර මිනිසුන් වුණත් ඔවුන් නිර්භීතව හා ගෞරවාන්විතව මෙහෙම කිව්වේ ඒ නිසයි. “දෙවියන් කියන දේ අහන්නේ නැතුව ඔයාලා කියන දේ අහන එක දෙවියන් ඉස්සරහා හරිද කියලා ඔයාලම තීරණය කරන්න. ඒත් අපි අහපු දැකපු දේවල් ගැන කතා කරන එක නවත්තන්න නම් අපිට බැහැ.”—ක්‍රියා 4:19, 20.

12. කිසිම බයක් සැකක් නැතුව නිර්භීතව අපේ විශ්වාසයන් ගැන කියන්න අපිට උදව් වෙන්නේ මොන දේවල්ද?

12 ඔවුන්ට තිබුණා හා සමාන නිර්භීතකමක් පෙන්වන්න අපටත් පුළුවන්ද? සමහර අවස්ථාවලදී උගත්, ධනවත් බලපුළුවන්කාර මිනිසුන්ට දේශනා කිරීමට අපට සිදු වෙනවා. තවත් අවස්ථාවලදී පවුලේ හෝ පාසැලේ හෝ රැකියා ස්ථානයේ අය අපේ විශ්වාසයන් නිසා අපව විහිළුවට නැත්නම් නින්දාවට ලක් කළ හැකියි. ඒ වගේ අවස්ථාවලදී ඔබට යම් බයක්, චකිතයක් දැනෙනවාද? එහෙනම් ඒ වගේ හැඟීම්වලින් ගොඩ එන්න පුළුවන් බව අමතක නොකරන්න. එදා සිටි යේසුස්ගේ අනුගාමිකයන්ටත් ඒ හා සමාන හැඟීම් තියෙන්න ඇති. නමුත් ඔවුන් ඒවා ජය ගත් බවට සැකයක් නැහැ. මොකද යේසුස් පොළොව මත ඉද්දී ඒ වගේ තත්වයන්ට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය මඟ පෙන්වීම් ඔවුන්ට ලබා දුන්නා. (මතෙ. 10:11-18) නැවත නැඟිටීමෙන් පසුත් “පවතින සමාජයේ අවසාන කාලය ඉවර වෙන කල්ම ඔයාලත් එක්ක හැමදාටම ඉන්නවා” කියා ඔහු ඔවුන්ට පොරොන්දු වුණා. (මතෙ. 28:20) ඒ පොරොන්දුව ඉටු කරමින් “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” මාර්ගයෙන් අද දිනත් යේසුස් අපට මඟ පෙන්වීම් ලබා දෙනවා. (මතෙ. 24:45-47; 1 පේතෘ. 3:15) රැස්වීම් මාර්ගයෙන් විශේෂයෙන්ම ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය රැස්වීම මඟින් හා jw.org වෙබ් අඩවියේ තියෙන “බයිබලයෙන් උත්තර” කියන ලිපි ඇතුළු අනිත් ප්‍රකාශන මඟින් අපේ විශ්වාසයන් ගැන කිසිම බයක් සැකක් නැතුව ගෞරවාන්විතව කියන්න ඔහු අපව සූදානම් කරනවා. ඔබට ලැබී තිබෙන ඒ සැපයුම්වලින් ඔබ උපරිම ප්‍රයෝජන ගන්නවාද? එහෙම කරනවා නම් ඔබේ විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා වගේම මහත් නිර්භීතකමකින් ඔබේ විශ්වාසයන් ගැන අන් අයට පවසන්න ඔබට හැකි වෙයි. යේසුස්ගේ නියෝජිතයන් වගේ ඔබත් ඔබ ඉගෙනගත් වටිනා සත්‍යයන් අන් අයට කියන එකෙන් ඔබව වළක්වන්න කිසිම දේකට ඔබ ඉඩ නොදෙන බව අපට නිසැකයි.

ඔබ ඉගෙනගත් වටිනා සත්‍යයන් අන් අයට කියන එකෙන් ඔබව වළක්වන්න කිසිම දේකට ඉඩ නොදෙන්න

‘හැම කෙනෙක්ම එකට එකතු වෙලා යාච්ඤා කළා’ (ක්‍රියා 4:23-31)

13, 14. විරුද්ධවාදිකම්වලට මුහුණ දෙද්දී අපි කරන්න ඕනෙ මොනවාද? ඒ ඇයි?

13 අත්අඩංගුවේ සිටි පේතෘස් හා යොහන් නිදහස් වුණ ගමන්ම සභාවේ සිටි සහෝදර සහෝදරියන්ව මුණගැසීමට ගියා. පසුව ඒ ‘හැම කෙනෙක්ම යාච්ඤා කරලා’ දේශනා සේවය නිර්භීතව දිගටම කරගෙන යෑමට දෙවියන්ගෙන් උපකාරය ඉල්ලුවා. (ක්‍රියා 4:24) දෙවියන්ගේ කැමැත්තට සම්බන්ධ දේවල් කරද්දී තමන්ගේ හැකියාවන් මත රඳා සිටීම මොන තරම් අඥාන දෙයක්ද කියා පේතෘස් හොඳින් දැන සිටියා. මොකද මීට සති කිහිපයකට පෙර “ඔයාට වෙන දේ නිසා අනිත් හැමෝම ඔයාව අතහැරලා ගියත් මම නම් කවදාවත් ඔයාව අතහැරලා යන්නේ නැහැ” කියා ඔහු තමා ගැන මහත් විශ්වාසයකින් යේසුස්ට කියලා තිබුණා. නමුත් යේසුස් කියපු විදිහට මිනිසුන් ගැන තිබුණ බය නිසා ඔහු තම ගුරුවරයාව හා මිත්‍රයාව අඳුරන්නේ නැහැ කියලා කිව්වා. තම හැකියාවන් මත රඳා සිටීමේ අනතුර කොයි තරම් බරපතළද කියා පේතෘස් එම අද්දැකීමෙන් ඉගෙනගත්තා.—මතෙ. 26:33, 34, 69-75.

14 නිදහස් වුණ ගමන්ම පේතෘස් හා යොහන් කළ දෙයින් අපට ඉගෙනගන්න පුළුවන් මොනවාද? මොන දේට මුහුණ දෙන්න වුණත් යේසුස් භාර දුන් කාර්යය සම්පූර්ණයෙන්ම ඉටු කරනවා කියා අප සියලුදෙනාම අධිෂ්ඨාන කරගෙන ඇති. නමුත් ඒක විතරක් ප්‍රමාණවත් නැහැ. දෙවියන් ගැන අපට තිබෙන විශ්වාසය නැති කිරීමට හෝ දේශනා සේවය නතර කිරීමට විරුද්ධවාදීන් උත්සාහ කරන විට පේතෘස් හා යොහන් වගේ අපත් ශක්තිය ඉල්ලලා දෙවියන්ට කන්නලව් කළ යුතුයි. අප මුහුණ දෙන අභියෝග ගැන වැඩිමහල්ලන් හා සභාවේ සිටින අද්දැකීම් ලත් අය එක්කත් කතා කර ඔවුන්ගෙන් උපකාර ලබාගත යුතුයි. ඇත්තෙන්ම අප වෙනුවෙන් අන් අය කරන යාච්ඤා අපට මහත් ශක්තියක්!—එෆී. 6:18; යාකො. 5:16.

15. දේශනා සේවය ටික කාලෙකට අත්හැරලා දාපු කෙනෙක් අධෛර්යයට පත් නොවී ඉන්න ඕනෙ ඇයි?

15 අන් අයගෙන් ආපු පීඩාවක් නිසා දේශනා කිරීම ඔබ යම් කලකට අත්හැර දමා තිබෙනවාද? එහෙමනම් ඒ ගැන සිතමින් අධෛර්යයට පත් වෙන්න එපා. යේසුස්ගේ නියෝජිතයන් පවා තමන්ට පවරපු කාර්යය යේසුස්ගේ මරණයෙන් පසු කෙටි කලකට අත්හැර දැමුවා. නමුත් ඔවුන් නැවතත් ඒ කාර්යයේ උද්‍යෝගයෙන් හවුල් වෙන්න පටන්ගත්තා. (මතෙ. 26:56; 28:10, 16-20) ඒ නිසා සේවය නතර කරපු එක ගැන දුක් වෙනවා වෙනුවට ඒකට හේතුව තේරුම්ගෙන ඒකෙන් ගොඩ ඒමට උත්සාහ කරන්න. ඔබේ අද්දැකීම පාවිච්චි කරලා ඒ වගේ තත්වයකට පත් නොවී ඉන්න අන් අයටත් උදව් කරන්න.

16, 17. එදා යෙරුසලමේ හිටිය යේසුස්ගේ අනුගාමිකයන් කරපු යාච්ඤාවෙන් අප ඉගෙනගන්නේ මොනවාද?

16 බලධාරීන් අපට විරුද්ධවාදිකම් එල්ල කරන විට අප යාච්ඤා කර දෙවියන්ගෙන් ඉල්ලන්න ඕනෙ මොනවාද? පේතෘස් හා යොහන් සහෝදරයන් එක්ක එකතු වෙලා කරපු යාච්ඤාව ගැන හිතන්න. මුහුණ දුන්න පීඩාව සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න කියා ඔවුන් දෙවියන්ගෙන් ඉල්ලුවේ නැහැ. ඒ වෙනුවට විරුද්ධවාදීන් තමන්ට කරන තර්ජන “දිහා බලන්න” කියා ඔවුන් ඉල්ලුවා. (ක්‍රියා 4:29) යේසුස් කියපු මේ දේ ඔවුන්ගේ මතකයේ තිබුණා කියා අපට නිසැකයි. “එයාලා මට පීඩා කළා නම් ඔයාලටත් පීඩා කරයි.” (යොහ. 15:20) ඔවුන්ට එල්ල වුණ පීඩා ඔවුන් එක් එක් කෙනාට පෞද්ගලිකව සිදු වන අසාධාරණයක් කියා සිතනවා වෙනුවට ඒක කලින් කියලා තිබුණ දේවල ඉටු වීමක් බව ඔවුන් තේරුම්ගත්තා. යේසුස් උගන්වපු විදිහට මිනිසුන් මොන තරම් පීඩා විරුද්ධවාදිකම් එල්ල කළත් දෙවියන්ගේ කැමැත්ත ‘පොළොවේ ඉටු වෙන’ එක වළක්වන්න බැරි බවත් ඔවුන් හොඳින් දැන සිටියා.—මතෙ. 6:9, 10.

17 දෙවියන්ගේ කැමැත්ත කරන්න මහත් ආශාවෙන් සිටි ඔවුන් “දිගටම ඔබේ පණිවිඩය නිර්භීතව කියන්න ඔබේ දාසයන්ට උදව් කරන්න” කියලත් යාච්ඤා කළා. දෙවියන් දක්වපු ප්‍රතිචාරය මොකක්ද? ඒ ගැන වාර්තාවේ කියන්නේ මෙහෙමයි. “එයාලා රැස් වෙලා හිටපු තැන දෙදරුම් කෑවා. එතකොට දෙවියන්ගේ බලය ඒ හැමෝම තුළ ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙලා එයාලා දෙවියන්ගේ පණිවිඩය නිර්භීතව කතා කරන්න පටන්ගත්තා.” (ක්‍රියා 4:29-31) ඇත්තෙන්ම දෙවියන්ගේ කැමැත්ත ඉටු වෙන එක වළක්වන්න කිසිම දෙයකට බැහැ. (යෙසා. 55:11) අප මුහුණ දෙන පීඩාව දරාගැනීමට මොන තරම් අමාරු වුණත් විරුද්ධවාදීන් මොන තරම් බලවත් වුණත් අප දෙවියන්ට යාච්ඤා කරලා උදව් ඉල්ලනවා නම් පීඩා විරුද්ධවාදිකම් මැද පවා දිගටම නිර්භීතව දේශනා කරන්න අවශ්‍ය ශක්තිය දෙවියන් අපට ලබා දෙනවා.

අප වග කියන්න ඕනෙ “මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට” (ක්‍රියා 4:32–5:11)

18. ක්‍රිස්තියානි සභාවේ අය එකිනෙකා වෙනුවෙන් කළේ මොනවාද?

18 යෙරුසලමේ පිහිටවපු අලුත් ක්‍රිස්තියානි සභාවේ ගාණ 5,000ක් දක්වා වේගයෙන් වර්ධනය වුණා. d ඔවුන් එක් එක් කෙනා විවිධ පසුබිම්වලට අයත් අය වුණත් ඔවුන් “එකම විදිහට හිතන, එකමුතුව වැඩ කරන” අය. මොකද යේසුස්ගේ අනුගාමිකයන් විදිහට ඔවුන් හිතන විදිහේ හා ඔවුන්ගේ අදහස්වල ගැටීමක් තිබුණේ නැහැ. (ක්‍රියා 4:32; 1 කොරි. 1:10) ඔවුන් ක්‍රිස්තියානි සභාවේ වර්ධනය වෙනුවෙන් යෙහෝවාට යාච්ඤා කළා විතරක් නොවෙයි ඒ වෙනුවෙන් ඔවුන්ට කළ හැකි උපරිමය කළා. දෙවියන් ගැන තිබුණ විශ්වාසය තව තවත් ශක්තිමත් කරගැනීමට ඔවුන් එකිනෙකාට අතහිත දුන් අතර එදිනෙදා අවශ්‍යතාවන් සපුරාගැනීමටත් එකිනෙකාට උපකාර කළා. (1 යොහ. 3:16-18) උදාහරණයකට යේසුස්ගේ නියෝජිතයන්ගෙන් බානබස් කියන වාසගම ලැබුණ යෝසෙප් නම් තැනැත්තා කළ දේ බලන්න. ඔහු තමාට අයිති ඉඩමක් විකුණා ඒකෙන් ලැබුණ මුළු මුදල ඈත ප්‍රදේශවලින් යෙරුසලමට ආපු අයගේ අවශ්‍යතා වෙනුවෙන් පරිත්‍යාග කළා. ඔහු එහෙම කළේ ඒ අයට තව වැඩි කාලයක් යෙරුසලමේ නතර වෙලා දෙවියන්ගේ අරමුණ ගැන තවත් බොහෝ දේ ඉගෙනගැනීමට අවස්ථාව ලබා දීම සඳහායි.

19. දෙවියන් අනනියස්ව හා සෆීරාව මරණයට පත් කළේ ඇයි?

19 අනනියස් හා ඔහුගේ බිරිඳ සෆීරාත් ඔවුන්ට අයිති ඉඩමක් විකුණා සම්මාදමක් ලබා දුන්නා. නමුත් ඔවුන් “කාටවත් නොකියා” ඉඩම විකුණලා ලැබුණ මුදලින් ‘කොටසක් ළඟ තියාගත්තා.’ නමුත් ඔවුන් කිව්වේ මුළු මුදලම සම්මාදම් විදිහට දුන් බවයි. (ක්‍රියා 5:2) ඒ නිසා යෙහෝවා දෙවියන් ඔවුන් දෙන්නාව මරණයට පත් කළා. දෙවියන් එහෙම කළේ ඔවුන් දුන් මුදල් ප්‍රමාණය නිසා නෙවෙයි ඔවුන් ඒ සම්මාදම දුන්න චේතනාව දුෂ්ට එකක් වුණ නිසයි. ඔවුන් ඒ අවස්ථාවේ කළේ ලොකු රැවටීමක්. ඔවුන් “බොරු කළේ මිනිස්සුන්ට නෙමෙයි දෙවියන්ට.” (ක්‍රියා 5:4) පොළොවේ ඉද්දී යේසුස් හෙළාදැක්ක කුහක මිනිසුන් වගේ අනනියස් හා සෆීරා උත්සාහ කළේ දෙවියන්ගේ අනුමැතිය ලැබෙන විදිහට වැඩ කරන්න නෙවෙයි මිනිසුන්ගේ ගෞරවය ලබාගැනීමටයි.—මතෙ. 6:1-3.

20. අපි දෙවියන්ට කරන සේවය ගැන මතක තියාගන්න ඕනෙ මොනවාද?

20 පළවෙනි සියවසේ යෙරුසලමේ සිටි යේසුස්ගේ විශ්වාසවන්ත අනුගාමිකයන් වගේ අදත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිලියන ගාණක් කැමැත්තෙන්ම සම්මාදම් දෙමින් ලොව පුරා කරන ශුභාරංචිය දේශනා කිරීමේ කාර්යයට සහයෝගය දක්වනවා. ඔවුන්ගේ කාලය හා මුදල් ඒ කාර්යය වෙනුවෙන් යෙදවීමට කවුරුත් ඔවුන්ට බල කරන්නේ නැහැ. ඇත්තෙන්ම දෙවියන් කැමති නැහැ බල කිරීම නිසා හෝ අකමැත්තෙන් අප ඔහුට සේවය කරනවාට. (2 කොරි. 9:7) අපි යම් පරිත්‍යාගයක් කරන විට දෙවියන්ට වැදගත් වන්නේ අප දෙන ප්‍රමාණය නෙවෙයි අප ඒක දෙන්න පෙලඹෙන චේතනාවයි. (මාක් 12:41-44) ඒ නිසා අපි කවදාවත් අනනියස් හා සෆීරා වගේ පෞද්ගලික වාසි හෝ මිනිසුන්ගේ ගෞරවය ලබාගැනීමේ අරමුණින් දෙවියන්ට සේවය නොකරමු. ඒ වෙනුවට පේතෘස්, යොහන් හා බානබස් වගේ දෙවියන්ට සේවය කරන්න අප පෙලඹෙන්න ඕනෙ දෙවියන් ගැනත් අන් අය ගැනත් අපට තියෙන සැබෑ ප්‍රේමය නිසයි.—මතෙ. 22:37-40.

a දේවමාලිගාවේ උදෑසන හා හවස පූජා ඔප්පු කරද්දී යාච්ඤා කරන්නත් වෙලාවක් වෙන් කර තිබුණා. සාමාන්‍යයෙන් හවස පූජා ඔප්පු කළේ “නමවෙනි පැයේදී” ඒ කියන්නේ හවස තුනට විතර.

c උත්තම පූජකයා හා නායක පූජකයෝ” කියන කොටුව බලන්න.

d ක්‍රිස්තියානි සභාව තමන්ට තර්ජනයක් කියා සිතීමට පරිසිවරුන්ට හා සද්දුසිවරුන්ට ඒක හේතුවක් වන්න ඇති. මොකද ක්‍රි.ව. 33දී යෙරුසලමේ සිටියේ පරිසිවරුන් 6,000ක් විතරයි. සද්දුසිවරුන් සිටියේ ඊටත් වඩා කුඩා සංඛ්‍යාවක්.