Skip to content

පටුනට යන්න

23වෙනි පරිච්ඡේදය

“සිද්ධ වුණ දේවල් පැහැදිලි කරන්න මට ඉඩ දෙන්න”

“සිද්ධ වුණ දේවල් පැහැදිලි කරන්න මට ඉඩ දෙන්න”

මැර පිරිස් ඉදිරියෙත් මන්ත්‍රණ සභාව ඉදිරියෙත් පාවුල් සාක්ෂි දරයි

ක්‍රියා 21:18–23:10

1, 2. පාවුල් යෙරුසලමට ගියේ ඇයි? ඔහුට මුහුණ දෙන්න වෙන්නේ මොන අභියෝගවලටද?

 පාවුල් දැන් ඉන්නේ සෙනඟගෙන් පිරුණු යෙරුසලම නුවරෙයි. යෙරුසලම කියන්නේ ඓතිහාසික වැදගත්කමකින් යුත් නුවරක්. එහේ ජීවත් වන අයගෙන් වැඩිදෙනෙක් ආඩම්බරයෙන් ඉන්නේ ඒ නිසයි. එහේ ඉන්න ක්‍රිස්තියානීන්ගෙන් වැඩිදෙනෙක් වැඩි අවධානයක් දෙන්නේ අතීතයේදී දෙවියන් තම සෙනඟ සමඟ වැඩ කරපු විදිහටයි. ඒ නිසා ඔවුන් දෙවියන් ඇති කරලා තියෙන අලුත් සැලැස්මට එකඟව ජීවිත වෙනස් කරගෙන නැහැ කියලා පාවුල් දන්නවා. යෙරුසලමට නැවත යෑමට ඔහු තීරණය කළේ අගහිඟකම්වලින් පෙළුණු සහෝදරයන්ට සහනාධාර ලබා දෙන්න. නමුත් ඊටත් වඩා වැදගත් පැත්තකින් තම සහෝදරයන්ට උපකාර අවශ්‍ය බව පාවුල්ට පැහැදිලියි. දෙවියන් ඇති කරපු අලුත් සැලැස්ම තේරුම්ගන්න සහෝදරයන්ට උදව් අවශ්‍ය බව පාවුල්ට වැටහෙනවා. (ක්‍රියා 19:21) ඔහුගේ ජීවිතයට තර්ජනයක් වුණත් යෙරුසලමට යන්න ගත්ත තීරණය ඔහු වෙනස් නොකළේ ඒ නිසයි.

2 පාවුල්ට යෙරුසලමේදී මොන අභියෝගවලට මුහුණ දෙන්න වෙයිද? ඔහු ගැන පතුරලා තිබ්බ බොරු ආරංචි නිසා සමහර ක්‍රිස්තියානීන් ඔහු එක්ක හිටියේ අමනාපයෙන්. ඒ වගේ අය සමඟ වැඩ කරන්න වුණ එක පාවුල් මුහුණ දුන්න එක අභියෝගයක්. නමුත් ඔහුට ඊටත් වඩා ලොකු අභියෝගයන්ට මුහුණ දෙන්න වෙනවා. සතුරන් ඔහුට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කරයි. ඔහුට තළයි. ඔහුව මරනවා කියලා තර්ජනය කරයි. නමුත් ඒ හැම අවස්ථාවකදීම යේසුස් ගැන පැහැදිලි සාක්ෂියක් දරන්න ඔහුට අවස්ථාව ලැබෙයි. ඒ හැම අභියෝගයක් හමුවේ ඔහු නිහතමානීව, නිර්භීතව හා විශ්වාසවන්තව වැඩ කරපු විදිහ අපට කදිම ආදර්ශයක්.

“එයාලා දෙවියන්ට ප්‍රශංසා කළා” (ක්‍රියා 21:18-20අ)

3-5. (අ) යෙරුසලමේදී පාවුල් හමු වෙන්න ගියේ කාවද? එහෙදී ඔවුන් කතා කළේ මොන දේවල් ගැනද? (ආ) ඒ සිද්ධියෙන් අපි ඉගෙනගන්නේ මොනවාද?

3 යෙරුසලමට ඇවිත් පාවුල් හා පිරිස පහුවදාම සභාවේ වැඩ අධීක්ෂණය කළ වැඩිමහල්ලන්ව හමු වීමට ගියා. ඒ අවස්ථාවට කිසිම නියෝජිතයෙක් සහභාගි වුණ බව වාර්තාවේ සඳහන් වන්නේ නැහැ. ඒ වන විට ඔවුන්ගෙන් කවුරුත් යෙරුසලමේ ඉන්න නැතුව ඇති. සමහරවිට ඔවුන් වෙනත් ප්‍රදේශවල සේවය කරමින් ඉන්න ඇති. නමුත් යේසුස්ගේ සහෝදරයා වුණ යාකොබ් ඒ කාලයේ සේවය කරමින් හිටියේ යෙරුසලමෙයි. (ගලා. 2:9) පේන විදිහට පාවුල් “හැම වැඩිමහල්ලෙක්ම” එක්ක රැස් වුණ වෙලාවේ ඔවුන් අතරේ පෙරමුණ අරන් වැඩ කළේ යාකොබ්.—ක්‍රියා 21:18.

4 පාවුල් වැඩිමහල්ලන්ට “සුබ පැතුවාට පස්සේ එයා සේවය කරද්දී දෙවියන් වෙනත් ජාතීන් අතරේ කරපු හැම දෙයක් ගැනම එයාලට කිව්වා.” (ක්‍රියා 21:19) ඔහු ඉදිරිපත් කළ වාර්තාවෙන් ඒ සහෝදරයන් ලොකු දිරිගැන්වීමක් ලැබුවා කියලා නිසැකයි. අද ශුභාරංචිය වෙනත් රටවල ව්‍යාප්ත වන විදිහ ගැන වාර්තාවන් අහන්න ලැබෙද්දී අපත් මොන තරම් දිරිගැන්වීමක් ලබනවාද!—හිතෝ. 25:25.

5 යෙරුසලමට එද්දී අරන් ආපු සහනාධාර ගැනත් පාවුල් ඒ අවස්ථාවේදී ඔවුන්ට කියන්න ඇති. දුර ඈත ප්‍රදේශවල ඉන්න සහෝදරයන් යුදයේ සහෝදරයන්ට පෙන්වපු සැලකිල්ල ගැන අහන්න ලැබෙද්දී ඒ සහෝදරයන් ගැන ඔවුන්ට මොන තරම් ආදරයක්, අගයක් ඇති වෙන්න ඇද්ද! වාර්තාවේ සඳහන් මේ දෙයින් ඒක තහවුරු වෙනවා. පාවුල් ඉදිරිපත් කළ වාර්තාවට සවන් දුන්නාට පස්සේ වැඩිමහල්ලෝ “දෙවියන්ට ප්‍රශංසා කළා” කියලා ඒකේ කියනවා. (ක්‍රියා 21:20අ) අදත් දරුණු විපත්තිවලට හෝ බරපතළ අසනීපයකට මුහුණ දෙන අය සහෝදර සහෝදරියන් දෙන උපකාර හා දිරිගැන්වීම් අගය කරන බවට සැකයක් නැහැ.

හුඟදෙනෙක් තවමත් “නීතියට ගොඩක් ළැදියි” (ක්‍රියා 21:20ආ, 21)

6. වැඩිමහල්ලන් පාවුල්ව දැනුවත් කළේ මොනවා ගැනද?

6 ඊටපස්සේ ඒ වැඩිමහල්ලන් පාවුල් ගැන පැතිරිලා තිබුණ කටකතා යුදයේ සහෝදරයන්ට බලපාලා තිබුණ විදිහ ගැන ඔහුව දැනුවත් කළා. ඔවුන් ඔහුට මෙහෙම කිව්වා. “සහෝදර පාවුල්, යුදෙව්වන් දහස් ගාණක් යේසුස්ගේ අනුගාමිකයන් වෙලා ඉන්නවා කියලා ඔයා දන්නවානේ. එයාලා හැමෝම නීතියට ගොඩක් ළැදි අය. ඒත් මෝසෙස්ගේ නීතියට විරුද්ධ දේවල් කරන්න කියලා ඔයා වෙනත් ජාතීන් අතරේ ඉන්න යුදෙව්වන්ට උගන්නනවා කියලා එයාලට ආරංචි වෙලා තියෙනවා. එයාලාගේ දරුවන්ව චර්මච්ඡේදනය කරන්න එපා, නීතියේ තියෙන වත්පිළිවෙත් පිළිපදින්න ඕනෙ නැහැ වගේ දේවල් ඔයා උගන්නනවා කියලයි එයාලට ආරංචි වෙලා තියෙන්නේ.” aක්‍රියා 21:20ආ, 21.

7, 8. (අ) යුදයේ ක්‍රිස්තියානීන්ගෙන් හුඟදෙනෙක්ට තිබුණ වැරදි ආකල්පය මොකක්ද? (ආ) වැරදි ආකල්පයක් තිබුණත් ඔවුන් සැබෑ නමස්කාරයට විරුද්ධව කැරලිගහන අය කියලා කියන්න බැරි ඇයි?

7 මෝසෙස්ට දුන්න නීතිය අවලංගු කරලා අවුරුදු 20කට වඩා වැඩි කාලයක් ගත වෙලා තිබුණත් යුදෙව් ක්‍රිස්තියානීන්ගෙන් හුඟදෙනෙක් තවමත් නීතිය පිළිපැදිය යුතුයි කියලා කියා සිටියේ ඇයි? (කොලො. 2:14) ක්‍රි.ව. 49 යෙරුසලමේ රැස් වුණ නියෝජිතයන් හා වැඩිමහල්ලන් සභාවන්ට ලිපියක් යවලා තිබුණා වෙනත් ජාතීන්ට අයත් ක්‍රිස්තියානීන් චර්මච්ඡේදනය ඇතුළුව මෝසෙස්ට දුන් නීතියේ සඳහන් අනිත් දේවල් පිළිපදින්න අවශ්‍ය නැහැ කියලා. (ක්‍රියා 15:23-29) නමුත් යුදෙව් ක්‍රිස්තියානීන් ගැන ඒ ලිපියේ සඳහන් වුණේ නැහැ. ඒ නිසා ඔවුන්ගෙන් හුඟදෙනෙක් හිතුවේ නීතිය ඔවුන්ට තවමත් වලංගු බවයි.

8 ඔවුන් එහෙම හිතුව නිසා ඒ අය ක්‍රිස්තියානීන් කියලා කියන්න බැරිද? එහෙම කියන්න බැහැ. මොකද යුදෙව්වන් ලොකු භක්තියකින් සලකපු නීතිය ඔවුන්ට දුන්නේ යෙහෝවා දෙවියන්. ඒ නීතියේ තියෙන කිසිම දෙයක් මිථ්‍යා විශ්වාසයන්ට සම්බන්ධ නැහැ. ඒ නිසා නීතියේ සඳහන් දේවල් කළා කියලා ඔවුන් මිථ්‍යා ආගමික චාරිත්‍ර වාරිත්‍ර පිළිපැද්දා කියලා කියන්න බැහැ. නමුත් නීතිය දෙවියන් අතීතයේ ඇති කරගත්ත ගිවිසුමට සම්බන්ධ දෙයක්. දෙවියන් ඒ වෙද්දී ඒ ගිවිසුම අවලංගු කරලා අලුත් ගිවිසුමක් ඇති කරලා තිබුණා. ක්‍රිස්තියානීන් හිටියේ ඒ අලුත් ගිවිසුම යටතෙයි. ඒ නිසා දෙවියන් සතුටු වෙන විදිහට නමස්කාර කරන්න නීතියේ සඳහන් පිළිවෙත් පිළිපැදීම තවදුරටත් අවශ්‍ය වුණේ නැහැ. නීතිය අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි කියලා කියපු යුදෙව් ක්‍රිස්තියානීන් ඒ දේ වටහාගෙන තිබුණේ නැහැ. ක්‍රිස්තියානි සභාවේ සැලැස්ම ගැන ඔවුන්ට විශ්වාසයක් තිබුණෙත් නැහැ. දෙවියන් හෙළි කරලා තිබුණ අවබෝධයට එකඟව ක්‍රියා කිරීමට නම් ඔවුන්ගේ ආකල්ප වෙනස් කරගන්න අවශ්‍ය වුණා. bයෙරෙ. 31:31-34; ලූක් 22:20.

“පැතිරිලා තියෙන කටකතා බොරු” (ක්‍රියා 21:22-26)

9. මෝසෙස්ට දුන්න නීතිය ගැන පාවුල් ඉගැන්නුවේ මොනවාද?

9 “දරුවන්ව චර්මච්ඡේදනය කරන්න එපා, නීතියේ තියෙන වත්පිළිවෙත් පිළිපදින්න ඕනෙ නැහැ වගේ දේවල්” පාවුල් උගන්වනවා කියලා පැතිරිලා තිබුණ කටකතා ඇත්තද? පාවුල් වෙනත් ජාතීන් වෙතට යවපු නියෝජිතයෙක්. වෙනත් ජාතීන්ට අයත් අය නීතියේ සඳහන් පිළිවෙත් රකින්න අවශ්‍ය නැහැ කියලා අරන් තිබුණ තීරණයට ඔහු එකඟ වෙමින් ඒ ගැන ඔවුන්ට දැනුම් දුන්නා. මෝසෙස්ට දුන්න නීතිය පිළිපදින බව පෙන්වන්න චර්මච්ඡේදනය වෙන්න ඕනෙ කියලා යුදෙව් නොවන ක්‍රිස්තියානීන්ට බලපෑම් කරපු අය දරන්නේ වැරදි මතයක් කියලා ඔහු විවෘතව කිව්වා. (ගලා. 5:1-7) ඔහු සංචාරය කරපු නගරවල යුදෙව්වන්ටත් ඔහු ශුභාරංචිය කිව්වා. ඔවුන් අතරින් හොඳ ප්‍රතිචාරයක් දක්වපු අයට යේසුස්ගේ ජීවිත පූජාව නිසා නීතිය අවලංගු වෙන විදිහ හා කෙනෙක්ව ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සලකන්නේ නීතිය අකුරටම පිළිපැදීම නිසා නෙවෙයි ඔහුට තියෙන විශ්වාසය නිසයි කියලා පාවුල් අනිවාර්යයෙන්ම පැහැදිලි කරන්න ඇති.—රෝම 2:28, 29; 3:21-26.

10. නීතිය හා ඒකේ තියෙන පිළිවෙත් ගැන අනිත් අය හිතපු විදිහ පාවුල් සැලකිල්ලට ගත්තා කියලා පැහැදිලි වෙන්නේ කොහොමද?

10 කොහොමවුණත් සබත් දවසේදී කිසිම වැඩක් නොකර ඉන්න එක හෝ යම් ආහාර කන්නේ නැතුව ඉන්න එක වගේ සමහර යුදෙව් චාරිත්‍ර පිළිපැද්ද අයව පාවුල් හෙළා දැක්කේ නැහැ. ඔහු ඔවුන්ව තේරුම්ගත්තා. ඒ නිසා ඔහු ඔවුන් සමඟ වැඩ කළේ අවබෝධයෙන්. (රෝම 14:1-6) ඔහු චර්මච්ඡේදනය ගැන නීති දැම්මේ නැහැ. ඒ ගැන එක් එක් කෙනා පෞද්ගලික තීරණයක් ගන්න ඕනෙ කියලා පාවුල් තේරුම්ගත්තා. නමුත් පාවුල් තිමෝතිව තමන්ගේ ගමන්වලට එක්කන් යන්න කලින් ඔහුව චර්මච්ඡේදනය කළා. ඒ, යුදෙව්වන් තිමෝති සම්බන්ධයෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන එක වළක්වන්නයි. මොකද තිමෝතිගේ තාත්තා ග්‍රීක ජාතිකයෙක් බව යුදෙව්වන් දැනගෙන සිටියා. (ක්‍රියා 16:3) චර්මච්ඡේදනය ගැන පාවුල් හිතපු විදිහ ඔහු ගලාතියේ ක්‍රිස්තියානීන්ට කියපු මේ දෙයින් පැහැදිලියි. “චර්මච්ඡේදනය වෙනවාද නැද්ද කියන එක වැදගත් නැහැ. වැදගත් වෙන්නේ විශ්වාසයයි. ඒ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න කෙනෙක්ව පොලඹවන්නේ ආදරයයි.” (ගලා. 5:6) එහෙනම් දෙවියන්ගේ අනුමැතිය දිනාගන්නයි, නීතියට යටත් කියලා පෙන්වන්නයි චර්මච්ඡේදනය වෙන්න ඕනෙ කියලා හිතන එක වැරදියි. එහෙම හිතපු කෙනෙක් පෙන්වුවේ ඔහුට දෙවියන් ගැන ශක්තිමත් විශ්වාසයක් නැහැ කියලයි.

11. වැඩිමහල්ලන් පාවුල්ට දුන්න උපදෙස මොකක්ද? ඒ උපදෙස පිළිපදින එකට ඇතුළත් වුණේ මොනවාද? (පාදසටහනත් බලන්න.)

11 පාවුල් ගැන පැතිරුණ කටකතා අසත්‍යය බව ඒ තොරතුරුවලින් පැහැදිලියි. නමුත් යුදෙව් ක්‍රිස්තියානීන්ට ඒ දේවල් ප්‍රශ්නයක් වෙලා තිබුණා. යෙරුසලමේ වැඩිමහල්ලන් පාවුල්ට මේ උපදෙස දුන්නේ ඒ නිසයි. “දෙවියන්ට භාරයක් වෙලා ඉන්න මිනිස්සු හතරදෙනෙක් ඉන්නවා. එයාලා එක්ක ගිහින් නීතියේ කියලා තියෙන විදිහට පවිත්‍ර වෙන්න. එයාලාගේ හිස බූ ගාන්න යන මුදල ඔයා ගෙවන්න. එතකොට හැමෝම තේරුම්ගනියි ඔයා ගැන පැතිරිලා තියෙන කටකතා බොරුයි කියලා. ඔයා නීතියට අනුව වැඩ කරන යහපත් කෙනෙක් කියලත් එයාලා තේරුම්ගනියි.” cක්‍රියා 21:23, 24.

12. පාවුල් තත්වයට අනුව හැඩගැහිලා ලබා දුන්න උපදෙස්වලට අනුව වැඩ කළා කියලා කියන්න පුළුවන් ඇයි?

12 පාවුල්ට ඕනෙ නම් තිබුණා, ඇති වුණ ප්‍රශ්නයට හේතුව තමා ගැන පැතිරුණ කටකතා නෙවෙයි සමහර යුදෙව් ක්‍රිස්තියානීන් නීතියට අනවශ්‍ය විදිහට පෙන්වපු ළැදිකම කියලා කියමින් වැඩිමහල්ලන් දුන්න උපදෙස ප්‍රතික්ෂේප කරන්න. නමුත් ඔහු තත්වයට අනුව හැඩගැහිලා වැඩිමහල්ලන් දුන්න උපදෙස පිළිපදින්න කැමති වුණා. මොකද එහෙම කරන එකෙන් බයිබල් ප්‍රතිපත්ති කැඩෙන්නේ නැහැ කියලා ඔහු දැනගෙන හිටියා. ඔහු කලින් අවස්ථාවක මෙහෙම කියලා තිබුණා. “නීතියට යටත් වෙලා හිටපු අය එක්ක ඉද්දී නීතියට යටත් කෙනෙක් වගේ මමත් වැඩ කළා. මම නීතියට යටත් වෙලා හිටියේ නැති වුණත් එයාලව දිනාගන්නයි එහෙම කළේ.” (1 කොරි. 9:20) මේ අවස්ථාවේදීත් ඔහු යෙරුසලමේ හිටිය වැඩිමහල්ලන්ට කීකරු වෙලා “නීතියට යටත්” වෙලා ඉන්න කෙනෙක් වගේ වැඩ කළා කියලා කියන්න පුළුවන්. තමන් කැමති විදිහට හැම දෙයක්ම කරන්න උත්සාහ කරනවා වෙනුවට වැඩිමහල්ලන් දෙන උපදෙස්, මඟ පෙන්වීම්වලට එකඟව වැඩ කරලා ඔහු තිබ්බේ කදිම ආදර්ශයක්.—හෙබ්‍රෙ. 13:17.

ඔබ පාවුල්ව ආදර්ශයට ගන්නවාද?

“මේ වගේ මිනිහෙක් ජීවත් වෙන්න වටින්නේ නැහැ” (ක්‍රියා 21:27–22:30)

13. (අ) සමහර යුදෙව්වන් දේවමාලිගාවේ කෝලහලයක් ඇති කළේ ඇයි? (ආ) පාවුල්ගේ ජීවිතය බේරුණේ කොහොමද?

13 භාරයට ඇතුළත් චාරිත්‍ර ඉටු කරන දවස් නිමා වෙන්න ළං වෙද්දී ආසියාවෙන් ආපු යුදෙව්වන් පිරිසක් පාවුල් දේවමාලිගාවේ ඉන්නවා දැක්කා. ඔවුන් පාවුල්ට විරුද්ධව බොරු චෝදනා එල්ල කරලා කෝලහලයක් ඇති කරන්න සෙනඟව උසිගැන්වුවා. ඔවුන් කිව්වේ පාවුල් යුදෙව් නොවන අයව දේවමාලිගාව ඇතුළට අරන් ඇවිත් කියලයි. එතකොට සෙනඟ පාවුල්ට පහර දෙන්න පටන්ගත්තා. නුවරේ ලොකු කෝලහලයකුත් ඇති වුණා. එතනට ආපු රෝම හමුදාපති පාවුල්ව අත්අඩංගුවට ගත්තා. ඇත්තෙන්ම රෝම හමුදාපති එතනට ආවේ නැත්නම් ඔවුන් පාවුල්ව මරන්නත් ඉඩ තිබුණා. අත්අඩංගුවට ගත්ත පාවුල්ව, නැවත නිදහස් කළේ ඊට අවුරුදු හතරකට පස්සෙයි. හමුදාපති පාවුල්ට පහර දීමට හේතුව මොකක්ද කියලා එතන හිටිය යුදෙව්වන්ගෙන් අහද්දී ඔවුන් එක් එක් කෙනා පරස්පර විරෝධී චෝදනා ඉදිරිපත් කරන්න පටන්ගත්තා. නමුත් එතන ඇති වුණ කලහකාරී තත්වය නිසා ඔවුන් කියපු කිසිවක් තේරුම්ගැනීමට ඔහුට හැකි වුණේ නැහැ. ඒ අවස්ථාවේ සෙනඟ කොයි තරම් දරුණු වුණාද කියනවා නම් පාවුල්ව උස්සගෙන එතනින් අරන් යන්න හේවායන්ට සිදු වුණා. හේවායන් ඔහුව හමුදා කඳවුර ඇතුළට අරගෙන යෑමට සූදානම් වෙද්දී පාවුල් හමුදාපතිගෙන් මෙහෙම ඉල්ලුවා. “මම ඔබෙන් බැගෑපත්ව ඉල්ලන්නේ සෙනඟට කතා කරන්න මට අවසර දෙන්න කියලයි.” (ක්‍රියා 21:39) හමුදාපති ඒකට අවසර දුන්නාම පාවුල් නිර්භීතව තම විශ්වාසයන් ගැන සාක්ෂි දැරුවා.

14, 15. (අ) පාවුල් යුදෙව්වන්ට පැහැදිලි කළේ මොනවාද? (ආ) යුදෙව්වන් පාවුල් එක්ක කේන්තියෙන් ඉන්න හේතුව දැනගන්න හමුදාපති මොනවාද කළේ?

14 මුලින්ම ඔහු “මං කියන දේ අහන්න. සිද්ධ වුණ දේවල් පැහැදිලි කරන්න මට ඉඩ දෙන්න” කියලා සෙනඟට හෙබ්‍රෙව් බසින් කිව්වා. (ක්‍රියා 22:1) ඔහු හෙබ්‍රෙව් බසින් කතා කරනවා ඇහෙද්දී සෙනඟ නිශ්ශබ්ද වෙලා ඔහුට සවන් දුන්නා. තමා ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වෙන්න හේතුව ඔහු ඔවුන්ට සරලව පැහැදිලි කළා. ඔහු තොරතුරු නිකම්ම ඉදිරිපත් කරනවා වෙනුවට ඔහුට සවන් දුන්න අයට ඒ තොරතුරු සත්‍යයද කියා තහවුරු කරගැනීමට අවශ්‍ය සාක්ෂිත් හරිම දක්ෂ විදිහට ඉදිරිපත් කළා. එතන හිටිය සමහරු දැනගෙන හිටිය දේවල් කිහිපයක් ඔහු කිව්වා. තමා අධ්‍යාපනය ලැබුවේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුණ ගමාලියෙල්ගේ පාමුල ඉඳගෙන කියලත් තමා යේසුස්ගේ අනුගාමිකයන්ට දරුණු විදිහට පීඩා කළා කියලත් පාවුල් කිව්වා. ඔහු සෙනඟට කිව්වා ඔහු තවත් පිරිසක් සමඟ දමස්කයට යන අතරේදී නැවත නැඟිට්ටවපු ක්‍රිස්තුස් ඔහු ඉදිරියේ දර්ශනය වෙලා ඔහුට කතා කළා කියලා. ඔහු සමඟ සිටි අය දීප්තිමත් එළියක් දැක්කත් කටහඬක් ඇහුණත් යේසුස් ඔහුට කියපු දේවල් ඔවුන්ට තේරුණේ නැහැ කියලත් ඔහු කිව්වා. (ක්‍රියා 9:7; 22:9) දර්ශනය නිසා ඔහු අන්ධ වුණාම ඔහුත් එක්ක හිටිය අය ඔහුව අල්ලගෙන දමස්කයට අරන් ගිය බවත් ඒ පළාතේ යුදෙව්වන් හොඳින් අඳුරන කෙනෙක් වුණ අනනියස් ඔහු ඉන්න තැනට ඇවිත් ආශ්චර්යවත් විදිහට ඔහුට නැවත පෙනීම ලබා දුන්න බවත් ඔහු කිව්වා.

15 පාවුල් සෙනඟට කිව්වේ ඔහු නැවත යෙරුසලමට ගියාට පස්සේ, දවසක් දේවමාලිගාවේ යේසුස් තමාට දර්ශනය වුණා කියලයි. ඔහුට සවන් දෙමින් සිටි යුදෙව්වන් ඒක ඇහුවාම කලබල වෙලා කේන්තියෙන් “මේ වගේ මිනිහෙක් ජීවත් වෙන්න වටින්නේ නැහැ. එයාව මරලා දාන්න” කියලා කෑගහන්න පටන්ගත්තා. (ක්‍රියා 22:22) එතකොට හමුදාපති පාවුල්ව හමුදා කඳවුර ඇතුළට ගෙනියන්න කියලා අණ කළා. ඔහු එහෙම කළේ සෙනඟගෙන් ඔහුව බේරගන්නයි. නමුත් යුදෙව්වන් පාවුල් සමඟ ඒ තරම් කේන්තියෙන් ඉන්න හේතුව දැනගන්න පාවුල්ට කසයෙන් ගහලා ඔහුගෙන් ප්‍රශ්න කරන්න කියලා හමුදාපති හේවායන්ට අණ කළා. ඒ අවස්ථාවේ පාවුල් තමා රෝම පුරවැසියෙක් කියලා හේවායන්ට දැනුම් දුන්නා. ඔහු එහෙම කරලා තම ආරක්ෂාව වෙනුවෙන් තමන්ට තියෙන නීතිමය අයිතියක් ප්‍රයෝජනයට ගත්තා. සාක්ෂි දැරීමේ කාර්යය දිගටම කරගෙන යන්න අද යෙහෝවාගේ සේවකයනුත් ඔවුන්ට තියෙන නීතිමය අයිතිවාසිකම් ප්‍රයෝජනයට අරන් තියෙනවා. (“ රෝම නීතිය හා රෝම පුරවැසිභාවය” කියන කොටුව හා “ පාවුල්ව ආදර්ශයට ගන්න සාක්ෂිකරුවන්” කියන කොටුව බලන්න.) රෝම පුරවැසියෙක් වුණ පාවුල්ගෙන් ඒ විදිහට ප්‍රශ්න කරන්න බැරි නිසා වෙනත් විදිහකින් ඔහුගෙන් තොරතුරු ගන්න හමුදාපති සැලසුම් යෙදුවා. පහුවදා ඔහු පාවුල්ව යුදෙව්වන්ගේ මහාධිකරණය වුණ මන්ත්‍රණ සභාව ඉදිරියට අරන් ගියා.

“මමත් පරිසිවරයෙක්” (ක්‍රියා 23:1-10)

16, 17. (අ) පාවුල් මන්ත්‍රණ සභාවට කතා කරද්දී වුණේ මොකක්ද? (ආ) පාවුල් නිහතමානීව වැඩ කළේ කොහොමද?

16 පාවුල් මන්ත්‍රණ සභාව අමතමින් මෙහෙම කිව්වා. “සහෝදරයෙනි, අද වෙන කල් මං වැඩ කරලා තියෙන විදිහ ගැන හිතද්දී දෙවියන් ඉස්සරහා මගේ හෘද සාක්ෂිය නිදොස් කියලා මට කියන්න පුළුවන්.” (ක්‍රියා 23:1) ඔහු ඒක කියපු ගමන්ම “උත්තම පූජක අනනියස් පාවුල් ළඟ හිටපු අයට කිව්වා එයාගේ කටට පහරක් ගහන්න කියලා.” (ක්‍රියා 23:2) ඒක පාවුල්ට කළ නින්දාවක්! කියන්න තියෙන තොරතුරුවලට සවන් දෙන්නේ නැතුව ඔවුන් ඔහුව බොරුකාරයෙක් විදිහට හංවඩු ගැහුවා කියලා ඒකෙන් පැහැදිලියි. නඩු විභාග කරන විට ඔවුන් මොන තරම් අසාධාරණ විදිහට වැඩ කළාද කියලත් ඒකෙන් තේරෙනවා. ඉතින් පාවුල් මෙහෙම කියපු එක පුදුමයක්ද! “දෙවියන් ඔයාටත් පහර දෙයි. ඔයා හරියට සුදු හුණු ගාපු බිත්තියක් වගේ. ඔයා නීතියට අනුව මාව විනිශ්චය කරන්න ඉඳගෙන ඉන්නවා. ඒත් ඔයාම ඒ නීතිය කඩලා මට පහර දෙන්න කියලා කියනවා.”—ක්‍රියා 23:3.

17 පාවුල් එහෙම කිව්ව එක ගැන එතන හිටිය අය පුදුම වෙලා “දෙවියන්ගේ උත්තම පූජකයාට අපහාස කරන්න ඔයාට බය නැද්ද” කියලා ඔහුගෙන් ඇහුවා. එතකොට පාවුල් “සහෝදරයෙනි, ඔහු උත්තම පූජකයා කියලා මම ඇත්තටම දැනන් හිටියේ නැහැ. මොකද ‘ඔබ අතරේ ඉන්න පාලකයෙක් ගැන ඔබ අවමන්සහගත විදිහට කතා නොකළ යුතුයි’ කියලා ලියලා තියෙනවා” කියලා ඔහු ඔවුන්ට කිව්වා. d (ක්‍රියා 23:4, 5; නික්. 22:28) පාවුල් කියපු ඒ දෙයින් ඔහු නිහතමානී කෙනෙක් බවත් නීතියට ගරු කරන කෙනෙක් බවත් පැහැදිලි වුණා. මන්ත්‍රණ සභාවේ කොටසක් පරිසිවරුන් බවත් අනිත් කොටස සද්දුසිවරුන් බවත් මනසේ තියාගත්ත පාවුල් දේවල් කියන්න වෙනස් ක්‍රමයක් යොදාගත්තා. ඔහු ඔවුන්ට මෙහෙම කිව්වා. “සහෝදරයෙනි, මමත් පරිසිවරයෙක්. මගේ තාත්තාත් පරිසිවරයෙක්. අද මාව විනිශ්චය කරන්නේ මං නැවත නැඟිටීම ගැන විශ්වාස කරන නිසයි.”—ක්‍රියා 23:6.

වෙනත් ආගමක කෙනෙක්ට අපේ පණිවිඩය කියද්දී පාවුල් වගේ අපිත් එකඟ වෙන්න පුළුවන් කාරණයක් යොදාගන්නවා

18. තමා පරිසිවරයෙක් කියලා පාවුල් කිව්වේ ඇයි? සමහර අවස්ථාවලදී ඔහුව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

18 තමා පරිසිවරයෙක් කියලා පාවුල් කිව්වේ ඇයි? ඔහුගේ “තාත්තා පරිසිවරයෙක්” වුණ නිසා හුඟදෙනෙක් ඔහුව තවමත් පරිසිවරයෙක් විදිහට සලකන්න ඇති. e නමුත් නැවත නැඟිටීම ගැන පරිසිවරුන්ට තිබුණේ වැරදි අදහස්. එහෙනම් ඇයි පාවුල් තමා පරිසිවරයෙක් කියලා කිව්වේ? මරණයේදී ශරීරය මිය ගියත් නොමැරී ජීවත් වන යමක් ඉතුරු වන බවත් මිය යන පුද්ගලයා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළ කෙනෙක් නම් ඔහුට නැවත මිනිසෙක් විදිහට ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන බවත් පරිසිවරුන් විශ්වාස කළා. ඔවුන්ට තිබුණ ඒ අදහස් පාවුල් විශ්වාස කළේ නැහැ. ඔහු විශ්වාස කළේ යේසුස් උගන්වපු නැවත නැඟිටීම ගැනයි. (යොහ. 5:25-29) නමුත් මිය යන කෙනෙක්ට නැවත ජීවත් වීමේ බලාපොරොත්තුව තියෙනවා කියලා පරිසිවරුන් විශ්වාස කළා. පාවුල් විශ්වාස කළෙත් ඒකමයි. ඊට වෙනස්ව සද්දුසිවරුන් විශ්වාස කළේ මිය යන කෙනෙක්ට අනාගතයේ කිසිම බලාපොරොත්තුවක් නැහැ කියලයි. පාවුල් ඒ අවස්ථාවේ උත්සාහ කළේ මන්ත්‍රණ සභාවේ සමහරදෙනෙක් විශ්වාස කළ දේ හා තමා විශ්වාස කළ දේ අතර තිබුණ සමානකම ප්‍රයෝජනයට ගන්නයි. ඔහු යොදාගත්ත ඒ ක්‍රමය සේවයේදී අපටත් යොදාගත හැකියි. දෙවි කෙනෙක්ව විශ්වාස කරන අයව අපට හමු වන විට අපත් දෙවියන්ව විශ්වාස කරනවා කියලා කියන්න අපට පුළුවන්. ඇත්තයි, අප විශ්වාස කරන්නේ බයිබලයේ කතා කරන සැබෑ දෙවියන් ගැනයි. නමුත් ඔවුන් ත්‍රිත්ව දෙවි කෙනෙක් නැත්නම් වෙනත් දෙවි කෙනෙක්ව විශ්වාස කරනවා ඇති. නමුත් අප දෙගොල්ලන්ම දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. අපේ පණිවිඩය ඉදිරිපත් කරන්න ඒ පොදු කාරණය ප්‍රයෝජනයට ගන්න අපට පුළුවන්.

19. මන්ත්‍රණ සභාවේ ආරවුලක් ඇති වුණේ ඇයි?

19 පාවුල් කියපු ඒ දේ නිසා මන්ත්‍රණ සභාවේ පරිසිවරුන් හා සද්දුසිවරුන් අතරේ ආරවුලක් ඇති වුණා. ඒ ගැන වාර්තාවේ මෙහෙම කියනවා. “හැමෝම තව හයියෙන් කෑගහන්න ගත්තා. පරිසිවරුන්ගේ නිකායට අයිති වෙලා හිටිය නීතිය පිටපත් කරන කීපදෙනෙක් නැඟිටලා ගොඩක් සැරෙන් තර්ක කරලා මෙහෙම කිව්වා. ‘මේ මිනිහාගේ කිසිම වරදක් අපිට පේන්නේ නැහැ. නොපෙනෙන ජීවියෙක් නැත්නම් දේවදූතයෙක් එයාට කතා කළාද කියලා කවුද දන්නේ?’” (ක්‍රියා 23:9) සද්දුසිවරුන් දේවදූතයන් ගැන විශ්වාස නොකළ නිසා දේවදූතයෙක් පාවුල්ට කතා කරන්න ඇති කියලා පරිසිවරුන් කිව්වාම සද්දුසිවරුන්ට ලොකු කේන්තියක් ඇති වෙන්න ඇති. (214වෙනි පිටුවේ “ සද්දුසිවරුන් හා පරිසිවරුන්” කියන කොටුව බලන්න.) මන්ත්‍රණ සභාවේ ඇති වුණ ආරවුල කොච්චර උග්‍ර වුණාද කියනවා නම් පාවුල්ගේ ජීවිතය බේරගන්න රෝම හමුදාපතිට නැවතත් මැදිහත් වෙන්න වුණා. (ක්‍රියා 23:10) පාවුල්ට ඊළඟට වෙන්නේ මොනවාද? ඒ ගැන අපි ඊළඟ පරිච්ඡේදයෙන් බලමු.

a යුදෙව් ක්‍රිස්තියානීන් දහස් ගාණක් හිටිය නිසා හුඟක් සභාවන් නිවෙස්වල රැස් වෙන්න ඇති.

b අවුරුදු කිහිපයකට පස්සේ පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලිපියේ අලුත් ගිවිසුමේ වැදගත්කම ඔප්පු කරලා පෙන්වුවා. දෙවියන් ඇති කරගත්ත අලුත් ගිවිසුම මගින් කලින් ඇති කරගත්ත ගිවිසුම අවලංගු වුණා කියලත් ඔහු පැහැදිලි කළා. නීතිය පිළිපැදීම තවදුරටත් අවශ්‍ය නැති බව තව කෙනෙක්ට ඔප්පු කර පෙන්වීමට ඒ තොරතුරු යුදෙව් ක්‍රිස්තියානීන්ට ප්‍රයෝජනවත් වුණා කියලා නිසැකයි. පාවුල් ඉදිරිපත් කළ ප්‍රබල තර්ක අනවශ්‍ය විදිහට නීතියට ඇලී සිටි ක්‍රිස්තියානීන්ගේ විශ්වාසය ශක්තිමත් කරගන්නත් අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙන්න ඇති.—හෙබ්‍රෙ. 8:7-13.

c ඒ මිනිසුන් භාර වෙලා හිටියේ නසරීතවරුන් විදිහට ජීවත් වෙන්න විය හැකියි කියලා විශාරදයන් කියනවා. (ගණන්. 6:1-21) මෝසෙස්ට දුන්න නීතිය යටතේ කෙනෙක් ඒ වගේ භාරයක් වුණා නම් නීතිය තවදුරටත් වලංගු නැති නිසා ඔහු ඒ භාරයෙන් නිදහස්. නමුත් මේ අවස්ථාවේ ඔවුන් සමඟ ගිහින් ඒ භාරය ඔප්පු කරන්න වැය වන වියදම දරන්න පාවුල් කැමති වෙනවා. ඒ, යෙහෝවා දෙවියන්ට වුණ පොරොන්දුවක් ඉටු කරන එකේ වරදක් නැහැ කියලා ඔහු හිතපු නිසා වෙන්න ඇති. ඒ මිනිසුන් වුණ භාරය මොකක්ද කියලා නිශ්චිතව කියන්න බැහැ. ඒ මොකක් වුණත් සාමාන්‍යයෙන් නසරීතවරුන් කරපු විදිහට ඔවුන්ගේ පව්වලට සමාව ලබාගන්න සත්ව පූජාවක් ඔප්පු කරන්න පාවුල් සහයෝගය ලබා දුන්නා කියලා නම් හිතන්න බැහැ. මොකද ඒ වෙද්දී යේසුස් තම පරිපූර්ණ ජීවිතය පූජාවක් විදිහට ඔප්පු කරලා තිබුණා. ඒ නිසා මිනිසුන්ගේ පව්වලට සමාව ලබාගන්න සත්ව පූජා ඔප්පු කරන එක නිෂ්ඵලයි. භාරය ඔප්පු කරන්න පාවුල් කළේ මොනවාද කියලා හරියටම නොදන්නවා වුණත් තම හෘදය සාක්ෂියට විරුද්ධව යමක් කරන්න පාවුල් එකඟ නොවන බව නම් ස්ථිරයි.

d පාවුල්ට උත්තම පූජකයාව හඳුනගන්න බැරි වුණේ ඔහුගේ පෙනීම දුර්වල වෙලා තිබුණ නිසා කියලා සමහරු කියනවා. නැත්නම් ඔහු සෑහෙන කාලයක් පුරා යෙරුසලමෙන් පිට ජීවත් වුණ නිසා ඒ වෙද්දී උත්තම පූජකයා කවුද කියලා ඔහු දැනගෙන ඉන්න නැතුව ඇති. එහෙමත් නැත්නම් එතන විශාල පිරිසක් රැස් වෙලා හිටිය නිසා ඔහුගේ කටට පහරක් ගහන්න අණ කළේ කවුද කියලා ඔහු හරියටම දකින්න නැතුව ඇති.

e වෙනත් ජාතීන්ට අයත් ක්‍රිස්තියානීන් මෝසෙස්ට දුන් නීතිය පිළිපැදිය යුතුද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්න ක්‍රි.ව. 49දී නියෝජිතයන් හා වැඩිමහල්ලන් රැස් වුණා. රැස් වුණ අය අතරේ “කලින් පරිසිවරුන්ගේ නිකායට අයිති වෙලා හිටපු කට්ටියක්” හිටියා කියලා වාර්තාවේ සඳහන් වෙනවා. (ක්‍රියා 15:5) ඒ වෙද්දී ඔවුන් යේසුස්ගේ අනුගාමිකයන් වෙලා හිටියත් ඔවුන්ව විස්තර කරලා තියෙන්නේ පරිසිවරුන්ගේ නිකායට අයිති වෙලා හිටපු අය විදිහටයි.