Skip to content

පටුනට යන්න

බයිබලයෙහි සඳහන් දේශ

බයිබලයෙහි සඳහන් දේශ

බයිබලයෙහි සඳහන් දේශ

ඊශ්‍රායෙල් ජාතිය පොරොන්දු දේශය තුළට පිවිසෙන්නට සූදානම් වූ විට, මෝසෙස් දෙවිට තම ගැඹුරු ආශාව මෙලෙස පළ කළේය. “ජොර්දාන් ගඟින් එගොඩ වී, එතෙර ඇති සරුසාර රටද දැකුම්කලු කඳුකරයද . . . දැකගැනීමට මට කරුණාකර අවසර දෙනු මැනව.”—ද්වි 3:25, නව අනුවාදය.

කෙසේවෙතත්, එසේ කිරීමට මෝසෙස්ට අවසර ලැබුණේ නැත. එනමුත් එම දේශය, එනම් ‘දාන් දක්වා විහිදෙන මුළු ගිලියද් දේශයද බටහිර මුහුද දක්වා විහිදෙන මුළු යූදා දේශයද, නෙගෙබ් දේශය සහ යොර්දාන් නිම්නයද’ නැරඹීම සඳහා යෙරිකෝව ඉදිරිපිට පිහිටි කන්දකට නැඟීමට ඔහුට අවස්ථාව ලැබිණ. (ද්වි 3:27; 34:1-4, NW) එම නම් ඔබ අසා ඇද්ද? ඒවා පිහිටි ස්ථාන ඔබ දන්නවාද?

බයිබලය කියවද්දී එහි දක්නට ලැබෙන ස්ථානවලට ගොස් ඒවා දැකබලා ගැනීමට යෙහෝවාගේ ජනයාගෙන් වැඩිදෙනාට ප්‍රස්තාවක් ලැබෙන්නේ නැත. දෙවි ආබ්‍රහම්ට කරන්නට කියූ ලෙස පොරොන්දු දේශයෙහි දිගටත් හරහටත් යන්නට ඔවුන්ට නුපුළුවන. (උත් 13:14-17) කෙසේවෙතත්, සැබෑ ක්‍රිස්තියානීහු බයිබලයෙහි සඳහන් ස්ථාන ගැන දැනගැනීමට ආශාවෙන් සිටින අතර ඒවායේ පිහිටීම හා ඒවා එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරය තේරුම්ගැනීමටද උනන්දු වෙති.

‘ඒ සරුසාර දේශය දැකගනිමු’ යන මැයින් යුත් මෙම ප්‍රකාශනය ශුද්ධ ලියවිල්ල පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් කරගැනීම සඳහා ඔබට භාවිත කළ හැකි මෙවලමකි. තවමත් දක්නට ලැබෙන ස්ථානවල ඡායාරූප එහි ඇතුළත් කර තිබේ. නිදසුනක් ලෙස කවරයේ දක්වා ඇති ගිලියද් සඳහන් කළ හැකිය. ඔබව දැනුවත් කිරීමට ඊට වඩා ප්‍රබල ලෙස ඉවහල් වන්නේ එහි තිබෙන සිතියම්ය. බයිබලයෙහි සඳහන් ස්ථාන පිළිබඳ ඔබේ දැනුම පුළුල් කරගැනීමට ඒවා බෙහෙවින් දායක විය හැක.

දෙවන හා 3වන පිටුවල තිබෙන සිතියමේ විශාල රටවල් හෝ ප්‍රදේශවලට විශේෂ අවධානයක් දී තිබේ. නිදසුනකට, පොරොන්දු දේශයට සාපේක්ෂව ඇසිරියාව (අෂූරිය) සහ ඊජිප්තුව පිහිටි ස්ථාන හඳුනාගත හැකි විට එම රටවල් ගැන සඳහන් අනාවැකි වඩාත් හොඳින් තේරුම්ගැනීමට ඔබට හැකි වේ. (යෙසා 7:18; 27:13; හොෂෙ 11:11; මීකා 7:12) පොරොන්දු දේශය යනුවෙන් හැඳින්වෙන කුඩා බිම් තීරය පුරාණ කාලවලදී මංසන්ධියක් විය. එමනිසා, එහි තිබූ සරුසාර ධාන්‍ය කෙත්, මිදි වතු සහ ඔලීව වතු අල්ලාගැනීමට වෙනත් ජාතීහු නිතරම මාන බැලුවෝය.—ද්වි 8:8; විනි 15:5.

ඇතැම් අවස්ථාවලදී සිතියම් සසඳා බැලීමට ඔබට ඕනෑ වනු ඇත. නිදසුනකට, ඇසිරියාවේ අගනුවර බලා යන්නට යෝනාට පැවරුමක් ලැබුණද ඔහු යාත්‍රා කළේ තර්ෂිෂ් බලායි. (යෝනා 1:1-3) එම ස්ථාන පිහිටි තැන් පළමු සිතියමෙන් ඔබට සොයාගත හැකිද? එනමුත්, ප්‍රේරිත පාවුල් උපන් නුවර වූ ටාසස් සමඟ තර්ෂිෂ් පටලවා නොගත යුතුය. මෙහි දක්නට ලැබෙන සිතියමේ ටාසස් සහ වෙනත් වැදගත් නුවරවල්ද ඔබට සොයාගැනීමට පුළුවන.

ඌර්, හාරාන් සහ යෙරුසලම පිහිටි ස්ථාන සොයා බලද්දී ආබ්‍රහම්ගේ ගමන් මාර්ගය සහ ඔහු ගමන් කළ දුර ප්‍රමාණය ගැන සිතා බලන්න. ඌර්වලින් පිටත්ව යන ලෙස යෙහෝවා ඔහුට කීවායින් පසු ඔහු කලකට හාරාන්හි වාසය කළ අතර අනතුරුව පොරොන්දු දේශය බලා ගියේය. (උත් 11:28–12:1; ක්‍රියා 7:2-5) ඔබ 6වන සහ 7වන පිටුවල “කුලදෙටුවන් විසූ ලොව” නමැති කොටස අධ්‍යයනය කරද්දී ආබ්‍රහම් ගිය ගමන ඔබට වඩාත් පහසුවෙන් සිතින් මවාගත හැකි වේ.

මුල්ම සිතියම හා මෙහි දක්නට ලැබෙන සිතියම යම් විශේෂිත කාල පරිච්ඡේදයකට සීමා වූ ඒවා නොවේ. ඉන්පසුව තිබෙන සිතියම් සාමාන්‍යයෙන් දක්වා තිබෙන්නේ යම් ඓතිහාසික අනුපිළිවෙළකට අනුවය. සිතියමක සඳහන් නුවරවල් හෝ තොරතුරු යම් නිශ්චිත කාල පරිච්ඡේදයක සිදු වූ දේවල් හා සම්බන්ධය. සිතියම්වල සඳහන් සෑම ස්ථානයක්ම සූචියට (34-5 පිටු) ඇතුළත් කර නොතිබුණද ඔබ පර්යේෂණ කරමින් සිටින කාරණයට සම්බන්ධ වන්නේ කවර සිතියම්ද කියා සොයාගැනීමට බොහෝදුරට එය මනා අත්වැලක් වන්නට පුළුවන.

පොරොන්දු දේශයේ පිහිටි ගම්මාන සහ නුවරවල් වැඩියෙන්ම දක්වා ඇත්තේ මෙම සිතියම් පොතේ මැද පිහිටි පිටු දෙකක් පුරා විහිදෙන සිතියමේය (18-19 පිටු). ලෙවී නුවරවල් හා ආරක්ෂා නුවරවල් හය මෙන්ම යම් ස්ථානයක් සඳහන් වූයේ හෙබ්‍රෙව් ලියවිල්ලේද, ග්‍රීක් ලියවිල්ලේද හෝ දෙකේමද යන්න දැනගැනීමට සිතියම් පිළිබඳ විස්තරය ඔබට උපකාරවත් වේ.

බයිබලයෙහි සඳහන් ඇතැම් ස්ථානවල පිහිටීම වර්තමානයේ නොදන්නා නිසා එම ස්ථාන වැඩි හරියක නම්, මැද තිබෙන එම සිතියමේ දක්නට නැත. එමෙන්ම ගෝත්‍රවල සීමා දක්වන ලැයිස්තුවල සඳහන් සියලුම නුවරවල් සහ ගම්මාන වැනි සෑම ස්ථානයක්ම ඊට ඇතුළත් කරන්නට හැකි වූයේද නැත. (යෝෂු, 15-19 පරි.) එහෙත්, ඒවාට යාබදව පිහිටි ස්ථාන එම සිතියමේ සාමාන්‍යයෙන් ඇතුළත් කර ඇති නිසා පිහිටීම ආසන්න වශයෙන් දැනගැනීමට ඔබට හැකි වේ. ඇතැම් භූගෝලීය ලක්ෂණ (කඳු, ගංගා, ඔයවල් හෝ මිටියාවත්) දක්වා ඇති අතර මුහුදු මට්ටමේ සිට ඇති උස ප්‍රමාණය නොහොත් උන්නතාංශය සහ භූ විෂමතාව දැක්වීමට වර්ණ භාවිත කර තිබේ. මෙවැනි තොරතුරු බයිබල් සිද්ධීන්වල ඇතැම් පැති සිතින් මවාගැනීමට ඔබට උපකාරවත් විය හැකිය.

භාෂා කිහිපයකින්ම පළ වී ඇති ශුද්ධ ලියවිලි පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය * යන විශ්වකෝෂයෙන් බයිබලයේ සඳහන් ස්ථාන ගැන වැඩිමනත් තොරතුරු ලබාගත හැකිය. එම විශ්වකෝෂය හා බයිබලය අධ්‍යයනය කිරීමට උපකාරවත් වන වෙනත් ග්‍රන්ථ භාවිත කරද්දී ‘ඒ සරුසාර දේශය දැකගනිමු’ යන පොතද ළඟ තබාගන්න. ඔබේ ජීවිතයට අතිශයින් ප්‍රයෝජනවත් වන මුළු ශුද්ධ ලියවිල්ල අධ්‍යයනය කරද්දී මෙම පොතින්ද අවශ්‍ය තොරතුරු ලබාගන්න.—2තිමෝ 3:16.

[පාදසටහන]

^ 12 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයකි—සිංහලෙන් නොමැත.

[5වන පිටුවේ කොටුව]

බයිබල් පොත් ලියවුණු ස්ථාන

බැබිලෝනිය

සිසේරිය

කොරින්තිය

ඊජිප්තුව

එෆීසය

යෙරුසලම

මැසිඩෝනියාව

මෝවබ්

පැට්මොස්

පොරොන්දු දේශය

රෝමය

ෂූෂන්

[4, 5වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

බයිබලයේ දේශ සහ ප්‍රධාන නගර

A1 ඉතාලිය

A2 රෝමය

A3 සිසිලිය

A3 මෝල්ටාව

C2 මැසිඩෝනියාව

C2 ෆිලිප්පිය

C2 ග්‍රීසිය

C3 ඇතන්ස්

C3 කොරින්තිය

C3 ක්‍රීට්

C4 ලිබියාව

D3 අන්තියෝකිය (පිසිදියේ)

D3 ඇතන්ස්

D3 පැට්මොස්

D3 රෝඩ්ස්

D4 මෙම්ෆිස්

D5 ඊජිප්තුව

E2 කුඩා ආසියාව

E3 ටාසස්

E3 අන්තියෝකිය (සිරියාවේ)

E3 සයිප්‍රසය

E4 සීදොන්

E4 දමස්කය

E4 තීර්

E4 සිසේරිය

E4 පොරොන්දු දේශය

E4 යෙරුසලම

E4 මෝවබ්

E4 කාදෙෂ්

E4 ඒදොම්

F3 ඒදන් උයන?

F3 ඇසිරියාව

F3 හාරාන්

F3 සිරියාව

F5 අරාබිය

G3 නිනිවය

G4 බැබිලෝනිය

G4 කල්දියාව

G4 ෂූෂන්

G4 ඌර්

H3 මේදියාව

[කන්ද]

E5 සීනයි කන්ද

G2 අරරත් කඳු

[මුහුදු]

C3 මධ්‍යධරණී මුහුද (මහ මුහුද)

E1 කලු මුහුද

E5 රතු මුහුද

H2 කැස්පියන් මුහුද

H5 පර්සියානු බොක්ක

[ගංගා]

D5 නයිල් ගඟ

F3 යුප්‍රටීස් ගඟ

G3 ටයිග්‍රීස් ගඟ