Skip to content

පටුනට යන්න

ගඩොල් බඳින්න බදාම උදව් වෙනවා වගේ විවාහ බැඳීම ශක්තිමත්ව තියාගන්න ගෞරවනීය කතාබහ උදව් වෙනවා

සැමියාට සහ බිරිඳට

3: ගෞරව කරන්න

3: ගෞරව කරන්න

ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද?

යුවළක් එකිනෙකාට ගෞරව කරනවා නම් එකඟ නොවීම් ඇති වෙද්දීත් එකිනෙකාට ආදරෙන් සලකනවා. පොතක මෙහෙම කියනවා. “සැමියාට/බිරිඳට ගරු කරන කෙනෙක් හිතුමතේට වැඩ කරන්නේ නැහැ. එකඟ නොවෙන අවස්ථාවකදීත් අනිත් කෙනා එක්ක කාරුණිකව කතා කරනවා. හොඳින් ඇහුම්කන් දෙනවා. ඊටපස්සේ එකඟතාවකට එනවා.”—Ten Lessons to Transform Your Marriage.

බයිබල් ප්‍රතිපත්තිය: ‘ප්‍රේමයෙන් ක්‍රියා කරන්නා තමාගේම වාසිය සොයන්නේ නැත.’—1 කොරින්ති 13:4, 5.

“බිරිඳට ගරු කරන කෙනෙක් එයාගේ වටිනාකම තේරුම්ගන්නවා. බිරිඳටවත් විවාහ බැඳීමටවත් හානියක් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ.”—මයිකා.

ඒක වැදගත් වෙන්නේ ඇයි?

එකිනෙකාට ගෞරවයෙන් සලකන්නේ නැති යුවළක් කතාබහ කරද්දී එකිනෙකාව විවේචනය කරන්න, හිත රිදෙන විදිහට කතා කරන්න, පහත් කරන්න පෙලඹෙනවා. පර්යේෂකයන් කියනවා ඒ වගේ දේවල් දික්කසාදයට අත වනනවා කියලා.

“සැමියෙක් හිත පෑරෙන විහිළු, ඇනුම් පද කියනවා නම් බිරිඳට හිතෙයි තමන් වටින්නේ නැහැ කියලා. සැමියා ගැන තියෙන විශ්වාසයත් නැති වෙයි.”—බ්‍රයන්.

ඔයාට කරන්න පුළුවන් මොනවාද?

මේ ගැන හිතන්න

එක සතියකදී ඔයා කරන කියන දේවල් ගැන හොඳ අවධානයකින් ඉන්න. ඊටපස්සේ මෙහෙම හිතන්න.

  • ‘මං කී වතාවක් මගේ සැමියාව/බිරිඳව විවේචනය කළාද? එයාව කී වතාවක් අගය කළාද?’

  • ‘එයා ගැන තියෙන ගෞරවය මං පෙන්නුවේ කොහොමද?’

දෙන්නා එකතු වෙලා මේ ප්‍රශ්න ගැන කතා කරන්න

  • අපි දෙන්නා එකිනෙකාට ගෞරවයෙන් සලකනවා කියලා දැනෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

  • අපි දෙන්නා එකිනෙකාට ගෞරවයෙන් සලකන්නේ නැහැ කියලා හිතෙන්නේ මොන වගේ දේවල් නිසාද?

යෝජනා

  • සැමියා/බිරිඳ ඔයාට ගෞරවය පෙන්වනවාට ඔයා කැමති විදි තුනක් කොළයක ලියන්න. එයාටත් ඒ දේම කරන්න කියන්න. ඊටපස්සේ කොළ දෙක හුවමාරු කරගෙන හදාගන්න ඕන පැති හඳුනාගන්න.

  • ඔයා වැඩියෙන්ම අගය කරන්නේ එයාගේ මොන ගුණාංගද කියලා කොළයක ලියන්න. ඊටපස්සේ ඔයා ඒ දේවල් කොච්චර අගය කරනවාද කියලා එයාට කියන්න.

“සැමියාව අගය කරනවා නම්, එයා සතුටු වෙන දේවල් කරනවා නම් එයාට ගරු කරනවා කියලා කියන්න පුළුවන්. පුංචි පුංචි දේවලිනුත් ඒක පෙන්නන්න පුළුවන්.”—මේගන්.

ඔයා ඔයාගේ සැමියාට/බිරිඳට ගෞරවයෙන් සලකනවා කියලා ඔයාට හිතුණාට මදි. ඒක එයාට දැනෙන්න ඕනේ.

බයිබල් ප්‍රතිපත්තිය: “ඉමහත් දයානුකම්පාවකින්, කරුණාවන්තකමින්, නිහතමානිකමින්, මෘදුකමින් සහ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න.”—කොලොස්සි 3:12.