Skip to content

පටුනට යන්න

“මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය.”—ගීතාවලිය 139:16

දෙවියන් ඔයාගේ හිතේ තියෙන දේ තේරුම්ගන්නවාද?

දෙවියන් ඔයාගේ හිතේ තියෙන දේ තේරුම්ගන්නවාද?

දෙවියන්ගේ නිර්මාණවලින් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ටිකකට හිතන්න සර්වසම නිවුන්නු ගැන. එයාලා අතරේ තියෙන්නේ පුදුමාකාර බැඳීමක්. නිවුන්නෙක් වන නැන්සි සේගල් නිවුන් දරුවන් ගැන අධ්‍යයනය කරන ආයතනයක අධ්‍යක්ෂක විදිහට වැඩ කරනවා. එයා කියන්නේ “වචනෙකින් දෙකකින්, පොඩි ඉඟියකින් වුණත් හිතේ තියෙන දේ එකිනෙකාට කියන්න” සමහර නිවුන්නුන්ට පුළුවන් කියලයි. එක කාන්තාවක් කිව්වා එයාගේ සර්වසම නිවුන් සහෝදරියයි, එයායි “එකිනෙකා ගැන නොදන්න දෙයක් නැහැ” කියලා.

සර්වසම නිවුන්නු අතරේ ඒ තරම් හොඳ අවබෝධයක් ඇති වෙන්නේ කොහොමද? හැදෙන වැඩෙන පරිසරය, දෙමාපියන්ගෙන් ලැබෙන පුහුණුව ඒකට බලපෑවත් වැඩියෙන්ම බලපාන්නේ එක හා සමාන ජාන සැකැස්මයි කියලා හොයාගෙන තියෙනවා.

මේ ගැන හිතන්න. අපූරු ජාන සැකැස්මේ නිර්මාතෘ වන දෙවියන් අපි එක් එක් කෙනා ගැන හැම පුංචි තොරතුරක්ම දන්නා බවට නම් කිසිම සැකයක් නැහැ. දාවිත් මෙහෙම කිව්වේ ඒ නිසයි. ‘ඔබ මාව මව්කුසෙහි සඟවා තැබුවෙහිය. මව්කුස තුළ මා වැඩෙන විට මාගේ ඇටකටු පවා ඔබෙන් සැඟවී නොතිබුණේය. මා කලලයක්ව සිටියදී ඔබට මාව පෙනුණේය. ඒ සියල්ල ගැන තොරතුරු ඔබේ ලියවිල්ලෙහි සටහන් කර තිබිණ.’ (ගීතාවලිය 139:13, 15, 16) අපේ ජාන සැකැස්ම ගැනත් අපි මුහුණ දීලා තියෙන දේවල් ගැනත් හොඳින්ම දන්නේ දෙවියන් විතරයි. ඒ නිසා ඔහු අපිව තේරුම්ගන්නවා කියලා නිසැක වෙන්න පුළුවන්.

බයිබලයෙන් ඉගෙනගන්න පුළුවන් මොනවාද?

දාවිත් මෙහෙම යාච්ඤා කළා. ‘යෙහෝවා දෙවියනි, ඔබ මාව සෝදිසි කර බලා මාව හොඳින් හඳුනාගත්තෙහිය. මා ඉඳගත්තත් සිටගත්තත් ඔබ දන්නෙහිය. ඉතා දුරක සිටියත් මා සිතන දේ දන්නෙහිය. යෙහෝවා දෙවියනි, මාගේ මුඛයෙන් වචනයක් පිට වෙන්නත් කලින් මා පැවසීමට යන දේ ඔබ දන්නෙහිය.’ (ගීතාවලිය 139:1, 2, 4) යෙහෝවා දෙවියන් අපේ ‘හැම සිතුවිල්ලක්ම හොඳින් තේරුම්ගන්නවා’ කියලත් බයිබලයේ සඳහන් වෙනවා. (1 ලේකම් 28:9; 1 සාමුවෙල් 16:6, 7) ඒ දේවලින් පැහැදිලි වෙන්නේ මොනවාද?

අපේ හැම සිතුවිල්ලක්ම, ආශාවක්ම අපි දෙවියන්ට නොකිව්වත් ඔහු ඒවා තේරුම්ගන්නවා. අපි කරන දේවල් ඔහු දකිනවා විතරක් නෙවෙයි අපි ඒ දේවල් කරන්නේ ඇයි කියලත් ඔහු දන්නවා. අපිට සමහර දේවල් කරන්න බැරි වුණත් ඒ දේවල් කරන්න අපේ හිතේ තියෙන ආසාව ඔහු දකිනවා. ඔහු තමයි ප්‍රේමය කියන ගුණාංගය ඇතුව අපිව නිර්මාණය කළේ. ඒ නිසා දෙවියන් ගැනත් අනිත් අය ගැනත් අපේ හිතේ තියෙන ආදරය සහ ඒ ආදරය ක්‍රියාවෙන් පෙන්වන්න අපිට තියෙන ආසාව ඔහු දන්නවා කියලා අපිට නිසැක වෙන්න පුළුවන්.—1 යොහන් 4:7-10.

යෙහෝවා දෙවියන්ට හැම දෙයක්ම පේනවා. අපි විඳින වේදනාවන් අනිත් අයට නොපෙනුණත් ඒ අය ඒ දේවල් තේරුම්නොගත්තත් දෙවියන් ඒ හැම දෙයක් ගැනම හොඳින් දන්නවා

බයිබලයේ මෙහෙම කියනවා

  • “යෙහෝවා දෙවිගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් ඔහුගේ කන් ඔවුන්ගේ කන්නලව් වෙතටත් යොමු වී තිබේ.”—1 පේතෘස් 3:12.

  • දෙවියන් මෙහෙම පොරොන්දු වෙනවා. “ඔබ යා යුතු මාර්ගය ගැන මම ඔබට කියා දෙන්නෙමි. වටහාගැනීමේ හැකියාවද මම ඔබට ලබා දෙන්නෙමි. මම ඔබ දෙස හොඳින් බලා ඔබට අවවාද කරන්නෙමි.”—ගීතාවලිය 32:8.

යෙහෝවා දෙවියන් ඉතා දයාවන්ත කෙනෙක්

අපි මුහුණ දෙන දේවල් දෙවියන් තේරුම්ගන්නවා කියලා දැනගෙන ඉන්න එක දුෂ්කරතා විඳදරාගන්න අපිට උදව් වෙනවාද? නයිජීරියාවේ ජීවත් වෙන ඇනාගේ අද්දැකීම බලන්න. එයා මෙහෙම කියනවා. “මං වැන්දඹුවක්. මගේ පුංචි දුවගේ මොළයේ ඇති වුණු දරුණු ආබාධයක් නිසා එයා හිටියේ ඉස්පිරිතාලේ. ඒ කාලෙම තමයි මට පියයුරු පිළිකාවක් හැදිලා කියලා මං දැනගත්තේ. මගේ ශල්‍යකර්මයෙන් පස්සේ මට දිගටම ප්‍රතිකාර ගන්නත් සිද්ධ වුණා. ඉස්පිරිතාලේ නතර වෙලා ඉන්න ගමන්ම දුවව බලාගන්න එක මට ලේසි වුණේ නැහැ. ජීවත් වෙන එකෙන් පලක් තියෙනවාද කියලා මං කල්පනා කළා.”

ඒ දේවල් දරාගන්න ඇනාට උදව් වුණේ මොනවාද? “‘කිසිම මිනිසෙක්ට වටහාගන්න බැරි දෙවි ලබා දෙන සමාදානය අපේ හදවතත් මනසත් ආරක්ෂා කරනවා’ කියලා ෆිලිප්පි 4:6, 7 කියනවා. ඒ වගේ බයිබල් පද ගැන මං හුඟක් කල්පනා කළා. ඒ පදයේ තිබුණු දේ මතක් වෙන හැම වෙලාවකම මට දැනුණේ යෙහෝවා දෙවියන් මං ළඟින්ම ඉන්නවා, මටත් වඩා හොඳින් දෙවියන් මාව තේරුම්ගන්නවා කියලයි. මගේ සභාවේ අයත් මට ආදරෙන් සැලකුවා. ඒකත් මට ලොකු දිරිගැන්වීමක් වුණා.

“මගේ ලෙඩේ එක්ක මං තාමත් පොරබදිනවා. හැබැයි මායි, දුවයි දැන් ඉන්නේ සතුටින්. යෙහෝවා දෙවියන් අපිව අත්හැරලා නැහැ. අභියෝග එද්දිත් හැම දේකම හොඳ පැත්ත හිතන්න අපි ඉගෙනගත්තා. යාකොබ් 5:11 මෙහෙම කියලා තියෙනවා. ‘පීඩා විඳදරාගෙන සිටින අය සන්තෝෂවත්. යෝබ් විඳදරාගත් ආකාරය ගැනත් යෙහෝවා දෙවි ඔහුට ආශීර්වාද කළ ආකාරය ගැනත් ඔබ දන්නහුය. ඉන් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි ගැඹුරු ස්නේහයක් ඇති ඉතා දයාවන්ත දෙවි කෙනෙක් බවය.’” යෝබ් මුහුණ දීපු තත්වය හොඳින්ම තේරුම්ගත්තා වගේ අපි මුහුණ දෙන දේවලුත් දෙවියන් තේරුම්ගනියි කියලා අපිට නිසැක වෙන්න පුළුවන්.