Skip to content

පටුනට යන්න

එදිනෙදා දේ ගැන වද නොවී රාජ්‍යයට මුල් තැන දෙමු

එදිනෙදා දේ ගැන වද නොවී රාජ්‍යයට මුල් තැන දෙමු

“එහෙයින් ඔහුගේ රාජ්‍යයට නොකඩවා මුල් තැන දෙන්න. එවිට අවශ්‍ය දේවල් ඔබට දෙනු ලබයි.”—ලූක් 12:31.

ගීතිකා: 40, 98

1. අවශ්‍ය දේවල් සහ ආස කරන දේවල් අතර තියෙන වෙනස මොකක්ද?

ජීවත් වෙන්න මිනිසුන්ට අවශ්‍ය කරන්නේ බොහොම ටිකක් වුණත් මිනිසුන් ලබාගන්න ආසා කරන දේවලට නම් සීමාවක් නැහැ. හුඟක් අයට ඒ දෙකේ වෙනස හඳුනගන්න බැහැ. අවශ්‍ය දේවල් කියන්නේ ජීවිතේ පවත්වගන්න අපිට අත්‍යවශ්‍යම දේවල්. උදාහරණෙකට කෑම බීම, ඇඳුම් සහ ඉන්න තැනක් අපිට තියෙන්නම ඕනේ. ඒත් අපි ආස කරන හැම දෙයක්ම ජීවිතේ පැවැත්මට අත්‍යවශ්‍ය නැහැ.

2. මිනිසුන් ආස සමහර දේවල් මොනවද?

2 මිනිසුන් ලබාගන්න ආස කරන දේවල් එයාලා හැදෙන වැඩෙන පරිසරය අනුව වෙනස් වෙනවා. උදාහරණෙකට දිලිඳු රටක ඉන්න කෙනෙක් ආස කරන්නේ මොබයිල් ෆෝන් එකක්, මෝටර් සයිකලයක්, ඉඩම් කෑල්ලක් ලබාගන්න වෙන්න පුළුවන්. එත් ධනවත් රටක ඉන්න කෙනෙක් මිල අධික ඇඳුම්, ලොකු ගෙවල්, අලුත් වාහනවලට ආස කරනවා වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නේ වෙන්නේ අපි ජීවත් වෙන්නේ කොහෙද, කොච්චර සල්ලි තියෙනවද කියන එක නෙමෙයි. අපිට ඇත්තටම අවශ්‍ය නැති දේවලින්, සාක්කුවට දරන්න බැරි දේවලින් අපේ ජීවිත පුරවගන්න අපි තුළ ආසාවක් ඇති වෙලාද කියන එකයි.

තව තව දේවල් ලබාගන්න තියෙන ආසාව උගුලක්

3. දේවල් ලබාගන්න ආස කරන කෙනෙක් මොන වගේද?

3 තව තව දේවල් ලබාගන්න ආස කරන කෙනෙක්ගේ මනසේ හැම වෙලේම දුවන්නේ තමන් කැමති දේවල් ලබාගන්නේ කොහොමද කියන එකයි. එහෙම නැතුව යෙහෝවා දෙවි එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න එක ගැන නෙමෙයි. ඒ වගේ කෙනෙක් තමන්ට අවශ්‍ය දේවලින් සෑහීමට පත්වෙන්නේ නැහැ. ඒ උගුලට අහු වෙන්නේ සල්ලි තියෙන, මිල අධික දේවල් ගන්න අය කියලා හිතන්න හොඳ නැහැ. දුප්පත් කෙනෙක් වුණත් ඒ උගුලට අහු වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට ජීවිතේ මුල් තැන දෙවිගේ රාජ්‍යයට දෙන්න බැරි වෙනවා.—හෙබ්‍රෙ. 13:5.

4. “දකින දකින දේ ලබාගැනීමේ ආශාව” සාතන් පාවිච්චි කරන්නේ කොහොමද?

4 ගොඩක් දේවල් තිබුණොත් විතරයි සතුටින් ඉන්න පුළුවන් කියලා අපි හිතනවටයි සාතන් කැමති. ඔහු මේ දුෂ්ට සමාජය යොදාගෙන “දකින දකින දේ ලබාගැනීමේ ආශාව” අපි තුළ ඇති කරන්න උත්සාහ කරන්නේ ඒ නිසයි. (1 යොහ. 2:15-17; උත්. 3:6; හිතෝ. 27:20) එන එන අලුත්ම භාණ්ඩ මිල දී ගන්න අපි තුළ පෙලඹීමක් ඇති කරන විදිහටයි අද හැම වෙළඳ දැන්වීමක්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාත් කවදා හරි යම් දෙයක් සාප්පුවේ ප්‍රදර්ශනය කරලා තිබුණ විදිහ නිසාම නැත්නම් දැන්වීමක දැකපු නිසාම ඒක මිල දී අරන් තියෙනවද? ඒක ඇත්තටම ඔයාට අවශ්‍ය නැහැ කියලා පස්සේ ඔයාට තේරෙන්න ඇති. ඒ විදිහට දේවල් මිල දී ගන්න ගන්න අපි අපේ ජීවිත තව තවත් සංකීර්ණ කරගන්නවා. ඒකෙන් වෙන්නේ දේවරාජ්‍යයට මුල් තැන දෙන්න බැරි වෙන එකයි. බයිබලේ අධ්‍යයනය කරන්න, රැස්වීම්වලට සූදානම් වෙන්න, ඒවාට යන්න, සේවයේ නිතිපතා හවුල් වෙන්න අපිට කාලය නැති වෙයි. ඒ නිසා “මේ ලෝකයත් එහි පවතින ආශාවනුත් නැති වී යන්නේය” කියන දේ අමතක කරන්න එපා.

5. දේවල් ගන්න මුළු ශක්තියම වැය කරන අයට මොකද වෙන්නේ?

5 සාතන්ට ඕනෙ අපේ ශක්තිය දෙවි වෙනුවෙන් යොදවනවට වඩා තව සල්ලි හම්බ කරන්න, දේවල් ගන්න යොදවනවා දකින්නයි. (මතෙ. 6:24) ඒත් අපිටම දේවල් රැස් කරගන්න එක ගැන විතරක් හිතන්න ගියොත් අපේ ජීවිතේට කිසි අරමුණක් නැති වෙයි. අපි කලකිරෙයි. ආර්ථිකය කඩා වැටෙයි. භයානකම දේ තමයි යෙහෝවා දෙවි ගැනත් දේවරාජ්‍යය ගැනත් අපිට තියෙන විශ්වාසය නැති වෙලා යන එක. (1 තිමෝ. 6:9, 10; එළි. 3:17) ‘අනිකුත් දේවල් සඳහා තියෙන දැඩි ආශාව’ බීජයක් පැළ වෙලා පල දරන්න බැරි වෙන විදිහට ඒක වහගන්න කටු ගස් වගේ කියලා යේසුස් කිව්වේ ඒ නිසයි.—මාක් 4:14, 18, 19.

6. බාරුක්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

6 බාරුක් ගැන හිතන්න. යෙරුසලමේ විනාශය අත ළඟටම ඇවිත් තිබුණ කාලෙදී එයා එයාටම ‘බොහෝ දේ ලබාගන්න’ හැදුවා. විනාශය අත ළඟයි කියලා මතක් කරලා දුන්න යෙහෝවා දෙවි, එයාගේ ජීවිතේ ආරක්ෂා කරලා දෙන්න පොරොන්දු වුණා. (යෙරෙ. 45:1-5) බාරුක් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන එක සාධාරණයිද? හැම දේම විනාශ කරන්න නියම වෙලා තිබුණ නගරෙක කෙනෙක් හම්බ කරපු දේවල් දෙවි ආරක්ෂා කරයිද? (යෙරෙ. 20:5) අපිත් දවසින් දවස දුෂ්ට සමාජයේ විනාශයට ළං වෙනවා. අපිටම තවත් දේවල් රැස් කරගන්න මේක කාලය නෙමෙයි. අපිට කොච්චර වටින දේවල් දැන් අයිති වෙලා තිබුණත් මහත් පීඩාවෙන් පස්සෙත් ඒවා අපි ළඟ තියෙයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ.—හිතෝ. 11:4; මතෙ. 24:21, 22; ලූක් 12:15.

7. අපි දැන් බලන්නේ මොනවා ගැනද? ඒ ඇයි?

7 අපෙත් පවුලේ අයගෙත් අවශ්‍යතා සපුරන අතරේ ජීවිතේ වැදගත්ම දේට මුල් තැන දෙන්නේ කොහොමද? තව තව දේවල් ලබාගන්න තියෙන ආසාව පාලනය කරගන්නේ කොහොමද? අපේ අවශ්‍යතා ගැන කනස්සලු නොවී ඉන්න උදව් වෙන්නේ මොනවද? යේසුස් කන්ද උඩ දේශනයේදී කියපු දේකින් ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන්. (මතෙ. 6:19-21) දැන් අපි මතෙව් 6:25-34 දක්වා කියවලා සාකච්ඡා කරමු. එදිනෙදා දේ ගැන වද නොවී රාජ්‍යයට මුල් තැන දෙන එකේ වැදගත්කම එතකොට අපිට තවත් තහවුරු වෙයි.—ලූක් 12:31.

අවශ්‍ය දේවල් දෙවි සපයනවා

8, 9. (අ) අපේ අවශ්‍යතා ගැන කනස්සලු වෙන්න අවශ්‍ය නැත්තේ ඇයි? (ආ) යේසුස් දැනගෙන හිටියේ මොකක්ද?

8 මතෙව් 6:25 කියවන්න. කන්නේ බොන්නේ අඳින්නේ මොනවද කියලා හිතලා තමන්ගේ අනුගාමිකයන් කනස්සලු වෙනවා කියලා යේසුස් දැනගෙන හිටියා. ‘ඔබේ ජීවිත ගැන තවදුරටත් කනස්සලු නොවන්න’ කියලා ඔහු කිව්වේ ඒ නිසයි. කනස්සලු නොවී ඉන්න ඕනෙ ඇයි කියලා තේරුම්ගන්න එයාලට උදව් කරන්නයි යේසුස්ට ඕනෙ වුණේ. අත්‍යවශ්‍යම දේවල් ගැන වුණත් ඕනෑවට වඩා කනස්සලු වුණොත් ජීවිතේ වැදගත්ම දේ එයාලට අමතක වෙන්න පුළුවන් කියලා ඔහු දැනගෙන හිටියා. ආයේ 4 සැරයක්ම කනස්සලු වෙන්න එපා කියන දේ ඒ දේශනයේදී ඔහු මතක් කළේ ඒ නිසයි.—මතෙ. 6:27, 28, 31, 34.

9 කෑම බීම, ඇඳුම් කියන්නේ ජීවිතේ පවත්වගෙන යන්න අවශ්‍යම දේවල්. ඒවා ගන්න සල්ලි නැත්නම් සාමාන්‍යයෙන් කෙනෙක්ට කනස්සල්ලක් ඇති වෙනවා. යේසුස් ඒක දැනගෙන හිටියා. මිනිසුන්ට එදිනෙදා අවශ්‍ය කරන්නේ මොනවද කියලත් ඔහු දැනගෙන හිටියා. ඒ විතරක් නෙමෙයි “අවසාන කාලයේදී” තමන්ගේ අනුගාමිකයන්ට අමාරු තත්වයන්ට මුහුණ දෙන්න වෙනවා කියලත් ඔහු දැනගෙන හිටියා. (2 තිමෝ. 3:1) අද ඉන්න හුඟක් අයට රැකියා හොයාගන්න ලේසි නැහැ. හැම දේකම මිල දවසින් දවස ඉහළ යනවා. හුඟක් රටවල අය දුප්පත්. සමහරු යන්තම් බඩ පුරවගද්දී තවත් අය ඉන්නේ හාමතේ. එහෙමනම් අපි කන්නේ, අඳින්නේ මොනවද කියන දේ ගැන කනස්සලු වෙන්න එපා කියලා යේසුස් කිව්වේ ඇයි? ඒ “කෑමට වඩා ජීවිතයත් ඇඳුම්වලට වඩා ශරීරයත් වැදගත්” කියලා ඔහු දැනගෙන හිටපු නිසයි.

10. ජීවිතේ වැදගත්ම දේ වෙන්න ඕනෙ මොකක්ද කියලා යේසුස් උගන්වපු යාච්ඤාවෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?

10 කනස්සලු වීම ගැන කතා කරන්න ටිකකට කලින් යේසුස් යාච්ඤා කරන විදිහ ගැන ඉගැන්නුවා. ඒ වෙලාවේ ඔහු කිව්වා “දිනපතා අපට අවශ්‍ය ආහාර ලබා දෙන්න” කියලා දෙවිගෙන් ඉල්ලන්න කියලා. (මතෙ. 6:11) තව අවස්ථාවකදීත් ඔහු ඒ දේම කිව්වා. (ලූක් 11:3) ඒත් ඒකෙන් අදහස් කළේ නැහැ අපිට අවශ්‍ය දේවල් ලබාගන්නේ කොහොමද කියලා අපි හැම වෙලේම හිතහිත ඉන්න ඕනෙ කියලා. මොකද අපේ අවශ්‍යතාවන් ගැන යාච්ඤා කරනවට වඩා දේවරාජ්‍යය එන්න කියලා යාච්ඤා කරන එක හුඟක් වැදගත් කියලා යේසුස් කිව්වා. (මතෙ. 6:10; ලූක් 11:2) එදිනෙදා අවශ්‍යතා ගැන කනස්සලු නොවී ඉන්න උදව්වක් හැටියට යේසුස් ඊළඟට එයාලට ලස්සන පාඩමක් කියලා දෙනවා.

11, 12. දෙවි කුරුල්ලන් ගැන සැලකිලිමත් වෙන විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)

11 මතෙව් 6:26 කියවන්න. “කුරුල්ලන් දෙස හොඳින් බලන” එක හරිම වැදගත්. කුරුල්ලන් පොඩි සතුන් වුණත් උන් හුඟක් කනවා. කොච්චරද කියනවා නම් කුරුල්ලෙක් මිනිහෙක් තරම් ලොකුයි නම් සාමාන්‍ය මිනිහෙක් කනවට වඩා ප්‍රමාණයක් ඒ කුරුල්ලා කනවා. ඒත් උන් කවදාවත් වගා කරන්නේ නැහැ. උන්ට අවශ්‍ය හැම දේම දෙවි සපයනවා. (ගීතා. 147:9) ඇත්ත, දෙවි උන්ගේ හොට ළඟටම කෑම ගෙනත් දෙන්නේ නැහැ. උන් මහන්සි වෙලා කෑම හොයාගන්න ඕනේ. ඒත් එහෙම හොයාගන්න ඇති තරම් කෑම දෙවි සපයලා තියෙනවා.

12 තමන්ගේ පියා කුරුල්ලන් ගැන සැලකිලිමත් නම් මිනිසුන්වත් අනිවාර්යයෙන්ම රැකබලා ගන්නවා කියලා යේසුස්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. [1] (1 පේතෘ. 5:6, 7) කුරුල්ලන් වගේ අපිත් කම්මැළි නොවී වැඩ කරන්න ඕනේ. වගා කරන්න නැත්නම් කෑම ගන්න අවශ්‍ය මුදල් හම්බ කරන්න අපි මහන්සි වෙන්න ඕනේ. අපේ වෙහෙසට දෙවි ආශීර්වාද කරයි. අපිට අවශ්‍ය කෑම, මුදල් නැති වෙලාවලදී අපිත් එක්ක දේවල් බෙදාගන්න තව කෙනෙකුගේ හිත පොලඹවලා අපේ අවශ්‍යතා සපයන්නත් දෙවිට පුළුවන්. දෙවි කුරුල්ලන්ට ඉන්න තැනුත් දීලා තියෙනවා. කූඩු හදන්න හැකියාව, ඒවා හදාගන්න අවශ්‍ය දේවල් දෙවි උන්ට සපයනවා. එහෙමනම් අපිට ජීවත් වෙන්න සුදුසු තැනක් හොයාගන්න උදව් කරන්න දෙවිට බැරිද?

13. කුරුල්ලන්ට වඩා දෙවිට අපිව හුඟක් වටිනවා කියලා ඔප්පු වෙන්නේ කොහොමද?

13 දෙවි කුරුල්ලන්ගේ අවශ්‍යතා සපයනවා කියලා කිව්වට පස්සේ යේසුස් මෙහෙම ඇහුවා. “ඔබ උන්ට වඩා වටින්නේ නැද්ද?” (ලූක් 12:6, 7 බලන්න.) ඒක කියද්දී යේසුස්ගේ මනසේ තියෙන්න ඇත්තේ ඔහුගේ ජීවිත පූජාව වෙන්න ඇති. යේසුස් මැරුණේ කුරුල්ලන් වෙනුවෙන්වත් වෙන සතුන් වෙනුවෙන්වත් නෙමෙයි, අපි වෙනුවෙන්. අපිට සදාකල් ජීවත් වෙන්න අවස්ථාව දෙන්නයි.—මතෙ. 20:28.

14. කනස්සලු වුණා කියලා කෙනෙක්ට කවදාවත් කරන්න බැරි දේ මොකක්ද?

14 මතෙව් 6:27 කියවන්න. අපිට අවශ්‍ය කරන දේවල් ගැන කනස්සලු වුණා කියලා ජීවිතේ එක දවසකින්වත් දික් කරගන්න අපිට බැහැ. ඕනෑවට වඩා කනස්සලු වුණොත් වෙන්නේ අපි ලෙඩ වෙලා අපේ ජීවිතේ තව කෙටි වෙන එකයි.

15, 16. (අ) තණබිම්වල වැවෙන ලිලී මල් ගැන දෙවි සැලකිලිමත් වෙන විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.) (ආ) අපි හිතලා බලන්න ඕනෙ ප්‍රශ්නේ මොකක්ද? ඒ ඇයි?

15 මතෙව් 6:28-30 කියවන්න. සේවයේ, රැස්වීම්, සමුළු යද්දී ලස්සනට අඳින්න පුළුවන් නම් අපි කවුරුත් ආසයි. ඒත් ‘ඇඳුම් ගැන කනස්සලු වෙන්න’ ඕනෙද? යේසුස් ආයෙත් යෙහෝවා දෙවි ඔහුගේ නිර්මාණ ගැන සැලකිලිමත් වෙන විදිහ මතක් කරලා දෙනවා. මේ වතාවේ ඔහු යොදාගන්නේ ‘තණබිම්වල වැවෙන ලිලී මල්.’ තමන්ව ලස්සන කරගන්න ඒ මල් ඇඳුම් සකස් කරගන්නේ නැහැ. ඒත් ඒවා කොච්චර ලස්සනද කියනවා නම් යේසුස් කිව්වේ ඒ ‘මල්වල තියෙන අලංකාරය සලමොන් තම රාජකීය තේජසින් යුතුව පැළඳ සිටි ඇඳුම්වලවත් තිබුණේ නැහැ’ කියලයි.

16 ඊටපස්සේ යේසුස් මෙහෙම අහනවා. “තණබිමේ පැළෑටි දෙවි එසේ සරසනවා නම් ඔහු කෙරෙහි යම් විශ්වාසයක් ඇති ඔබව පළඳවන්න ඔහු ඊටත් වඩා සතුටු වන්නේ නැද්ද?” දෙවි අනිවාර්යයෙන්ම ඒක කරනවා. ඒත් යේසුස්ගේ අනුගාමිකයන් තුළ තිබුණ විශ්වාසය දුර්වල වෙලයි තිබුණේ. (මතෙ. 8:26; 14:31; 16:8; 17:20) එයාලව රැකබලා ගන්න යෙහෝවා දෙවිට පුළුවන් විතරක් නෙමෙයි ඒක කරන්න ඔහු ආසාවෙන් ඉන්නවා කියන දේ ගැනත් ලොකු විශ්වාසයක් ඇති කරගන්න එක අත්‍යවශ්‍ය දෙයක් වුණා. අපිටත් ඒ වගේ විශ්වාසයක් තියෙනවද?

17. යෙහෝවා දෙවි එක්ක අපිට තියෙන බැඳීම පලුදු වෙන්න පුළුවන් මොකක් නිසාද?

17 මතෙව් 6:31, 32 කියවන්න. යෙහෝවා දෙවි ගැන දන්නේ නැති හුඟක් අය හැම වෙලාවෙම හිතන්නේ තව තවත් සල්ලි, බඩුමුට්ටු රැස් කරගන්න එක ගැනයි. අපිත් ඒ දේම කරන්න ගියොත් දෙවි එක්ක අපිට තියෙන බැඳීම පලුදු වෙයි. ඒ වෙනුවට දෙවි බලාපොරොත්තු වෙන විදිහට ජීවත් වෙනවා නම් ජීවිතේ මුල් තැන දේවරාජ්‍යයට දෙනවා නම් අපිට අවශ්‍ය හැම දේම දෙවි සපයයි කියලා නිසැක වෙන්න පුළුවන්. මොකද යෙහෝවා දෙවි අපේ තාත්තා. ඔහු අපිට ආදරෙයි. දෙවි එක්ක අපිට තියෙන බැඳීම ශක්තිමත් කරගන්න තරමට තමයි ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන් වෙන්නේ. එතකොට “කෑම බීම, ඇඳුම්” වගේ අත්‍යවශ්‍ය දේවලින් අපි සෑහීමට පත් වෙයි.—1 තිමෝ. 6:6-8.

ඔයා මුල් තැන දෙන්නේ දේවරාජ්‍යයටද?

18. යෙහෝවා දෙවි අපි එක් එක් කෙනා ගැන දන්නේ මොනවද? ඔහු අපි වෙනුවෙන් කරන්නේ මොනවද?

18 මතෙව් 6:33 කියවන්න. දේවරාජ්‍යයට අපි අපේ ජීවිතවල මුල් තැන දෙනවා නම් අපිට අවශ්‍ය හැම දේම ලබා දෙනවා කියලා දෙවි පොරොන්දු වෙලා තියෙනවා. ඒ පොරොන්දුව විශ්වාස කරන්න පුළුවන් හේතුව යේසුස් පැහැදිලි කළේ මෙහෙමයි. “ඒ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නා බව මතක තබාගන්න.” ඔයාට අවශ්‍ය මොනවද කියලා ඔයාටත් කලින් දෙවි දන්නවා. (ෆිලි. 4:19) ඔයාට ඕනෙ මොන කෑමද, ඔයාගේ මොන ඇඳුමද දැන් පරණ වෙන්න ළං වෙලා තියෙන්නේ කියලා දෙවි දන්නවා. ඔයාටත් ඔයාගේ පවුලේ අයටත් ඉන්න තැනක් ඕනෙ කියලත් දෙවි දන්නවා. ඔයාට ඇත්තටම අවශ්‍ය කරන ඒ දේවල් ලබා දෙන්න දෙවි පසුබට වෙන්නේ නැහැ.

19. අනාගතය ගැන හිතලා අපි කනස්සලු වෙන්න ඕනෙ නැත්තේ ඇයි?

19 මතෙව් 6:34 කියවන්න. “කිසිවිටක කනස්සලු නොවන්න” කියලා යේසුස් ආයෙමත් කියනවා. හැම දවසකම අපිට අවශ්‍ය දේවල් දෙවි සපයනවා කියලා නිසැකයි. ඒ නිසා හෙට දවසේ මොනවා වෙයිද කියලා හිතලා කනස්සලු වෙන්න අවශ්‍ය නැහැ. එහෙම කනස්සලු වෙන්න ගියොත් තමන් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න අපි පටන්ගනියි. ඒකෙන් වෙන්නේ දෙවි එක්ක අපිට තියෙන බැඳීම පලුදු වෙන එක. ඒ වෙනුවට අපි හැම වෙලේම වැඩ කරන්න ඕනෙ දෙවි ගැන සම්පූර්ණ විශ්වාසය තියලයි.—හිතෝ. 3:5, 6; ෆිලි. 4:6, 7.

දෙවි ඔයාව බලාගනියි

ඔයාගේ ජීවිතේ තව සරල කරගන්න පුළුවන්ද? (20 ඡේදය බලන්න)

20. (අ) ඔයාට තියන්න පුළුවන් මොන වගේ ඉලක්කයක්ද? (ආ) ජීවිතේ තව සරල කරගන්න පුළුවන් කොහොමද?

20 තව තව දේවල් ලබාගන්න අපි අපේ මුළු ශක්තියම වැය කරලා දෙවිට සේවය කරන්න තරම් ශක්තියක් නැතුව ගියොත් ඒක මොන තරම් කනගාටුදායකද! එහෙම නොකර අපේ උපරිමය යෙහෝවා දෙවිට දෙන්න ඕනේ. උදාහරණෙකට ප්‍රචාරකයන් අඩු සභාවකට ගිහින් සේවය කරන්න ඔයාට පුළුවන්ද? පුරෝගාමි සේවය කරන්න ඔයාට පුළුවන්ද? දැනටමත් පුරෝගාමියෙක් නම් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න කැමතිද? සතියට දවස් කීපයක් බෙතෙල් එකේ සේවය කරන්න කැමතිද? ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් අංශයේ සේවය කරන්න නැත්නම් නමස්කාර මධ්‍යස්ථාන ඉදි කරන වැඩවලට හවුල් වෙන්න ඔයාට පුළුවන්ද? දේවරාජ්‍යයේ වැඩකටයුතුවල වැඩියෙන් හවුල් වෙන්න පුළුවන් වෙන විදිහට ඔයාගේ ජීවිතේ තව සරල කරගන්න පුළුවන් විදි ගැන හිතලා බලන්න. ඒකට යෝජනා ටිකක් “ සරල වෙන්න පුළුවන් විදි” කියන කොටුවේ තියෙනවා. හරි තීරණ ගන්න උදව් කරන්න කියලා දෙවිට යාච්ඤා කරන්න. ඊටපස්සේ අවශ්‍ය වෙනස්කම් කරන්න.

21. දෙවිට තව ළං වෙන්න ඔයාට උදව් වෙන්නේ මොකක්ද?

21 දේවරාජ්‍යයට මුල් තැන දෙන්න කියලා යේසුස් අපිට ඉගැන්නුවේ හොඳ හේතු ඇතුව. එහෙම කරනවා නම් අපිට අවශ්‍ය දේවල් ගැන ඕනෑවට වඩා කනස්සලු නොවී ඉන්න අපිට පුළුවන්. දෙවි අපිව රැකබලා ගන්නවා කියන විශ්වාසයෙන් වැඩ කරන නිසා අපි ඔහුට තවත් ළං වෙයි. සල්ලි තියෙන නිසාම අපි ආස කරන හැම දේම, වෙළෙඳ ලෝකෙ ඉදිරිපත් කරන හැම දේම මිල දී නොගෙන අපිවම පාලනය කරගන්නත් අපි ඉගෙනගනියි. දැන් අපි අපේ ජීවිත සරල කරගන්නවා නම් දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්නත් “සැබෑ ජීවිතය තදින් අල්ලාගන්නත්” අපිට පුළුවන් වෙනවා නිසැකයි.—1 තිමෝ. 6:19.

^ [1] (12 ඡේදය) දෙවිට සේවය කරන සමහරුන් හාමතේ ඉන්න වෙලාවලුත් තියෙනවා. දෙවි ඒකට ඉඩ දීලා තියෙන්නේ ඇයි කියලා දැනගන්න 2014 සැප්තැම්බර් 15 ‘මුරටැඹ’ කලාපයේ 22 පිටුව බලන්න.