Skip to content

පටුනට යන්න

පාලමක්ද? වෙළඳපොළක්ද?

පාලමක්ද? වෙළඳපොළක්ද?

පාලමක්ද? වෙළඳපොළක්ද?

බල්ගේරියාවේ පිබිදෙව්! ලේඛක විසින්

උතුරු මැද බල්ගේරියාවේ පිහිටි ලොවෙච් නම් නගරයෙන් ගලා බසින ඕසුම් නදිය හරහා ඉදි කර ඇති පාලම ඉතාමත් ආකර්ෂණීයයි. එම පාලමට වහලක් තිබීම එහි ඇති විශේෂත්වයක්. මෙම රටේ සංස්කෘතියට වගේම මෙම පාලමටත් ඇත්තේ උනන්දුව දනවන ඉතිහාසයක් කියා කිව හැකියි.

ඔස්ට්‍රියානු භූ විද්‍යාඥයෙක් වන ඒමි බුවේ 1830 ගණන්වලදී ලොවෙච් නගරයේ සංචාරය කරන විට මෙම පාලම ඔහුගේ අවධානයට ලක් වුණා. ඔහු එය විස්තර කළේ “දෙපස කඩ සාප්පුවලින් අලංකාර වී තිබෙන වහලක් සහිත පාලමක්” කියායි. නගර මධ්‍යයේ ඉදි කර ඇති මෙම පාලම මගින් ගමනාගමනය පහසු කරනවා පමණක් නෙවෙයි කඩ සාප්පු තිබෙන නිසා වෙළඳාමටත් මෙය කරන්නේ මහඟු මෙහෙවරක්! මේ නිසා මෙය සැලකෙන්නේ ඉතාමත් වටිනා සම්පතක් හැටියටයි.

ලොවෙච්හි පාලම මුලින්ම ඉදි කර තිබුණේ ලී යොදාගෙනයි. වසර ගණනාවක් පුරා ගංවතුරට හසුවීම නිසා මෙම පාලම නැවත නැවත පිළිසකර කරන්න සිදු වුණා. කෙසේනමුත් වර්ෂ 1872දී මෙය ගංවතුරට හසු වී සම්පූර්ණයෙන්ම විනාශ වුණා.

මෙම පාලම යළි ඉදි කිරීම එතරම් පහසු කාර්යයක් වුණේ නැහැ. කෙසේනමුත් සුප්‍රසිද්ධ බල්ගේරියානු ඉදි කරන්නෙක් වන කෝල්යෝ ෆිචෙටෝට ශක්තිමත් අලුත් පාලමක් ඉදි කිරීමේ කාර්යය භාර වුණා.

අලුත්ම පන්නයේ පාලමක්

ෆිචෙටෝ මෙම පාලම ඉදි කළේ මීට පෙර තිබූ පාලමේ මූලික සැලැස්මට අනුවයි. මෙම සැලැස්මට වහලක් මෙන්ම කඩ සාප්පුද ඇතුළත් වුණා. අඩි 275ක් දිග අඩි 33ක් පළල පාලම ඉදි කර තිබුණේ අඩි 15ක් පමණ උස ඉලිප්සාකාර කණු මතයි. මෙම පාලම අලුත්ම පන්නයේ පාලමක් වීමට එක් හේතුවක් වන්නේ මෙම ඉලිප්සාකාර කණුවල ඉහළ කොටසේ එනම් පාලම සහ කණු අතර කුඩා විවර සාදා තිබීමයි. මේ නිසා යම් හෙයකින් ගංවතුර ගැලීමකට හසු වුවහොත් ජලය පාලමේ පහළ කොටස මත නොවදින සේ එම විවර තුළින් ගලා යනවා. කණු මත පාලම ඉදි කර තිබුණේ ඕක් ලීවලිනුයි. පාලම දෙපස දක්නට තිබූ කඩ සාප්පු 64 ඉදි කර තිබුණේ බීච් නම් ලී වර්ගය යොදාගෙනයි. එහි වහලටද එම දැවම යොදාගත් අතර ඒවා සවි කර තිබුණේ යකඩ තහඩු මතයි.

ෆිචෙටෝගේ නිර්මාණයේ තවත් විශේෂ අංගයක් වුණේ පාලම ඉදි කිරීමට භාවිත කළ සෑම ලීයක්ම සම්බන්ධ කිරීමට ඔහු යකඩ කොකු වෙනුවට ලී කොකු යොදාගැනීමයි. එමෙන්ම පාලම මත ගල් සහ බොරළු අතුරනු ලැබුවා. දහවල් ආලෝකය ලබාගැනීම සඳහා වහලේ කුඩා කවුළු නිර්මාණය කර තිබූ අතර රාත්‍රියේදී ආලෝකය සැපයූවේ ලන්තෑරුම්වලින් නිකුත් වූ ආලෝකය මගිනුයි. මෙම අලුත් පාලම සම්පූර්ණයෙන් ඉදි කර අවසන් කිරීම සඳහා අවුරුදු තුනක් පමණ [1] ගත වුණා.

පාලමේ ජීවිතේ

පාලම උඩ සිදු වන දේවල් ගැන නිරීක්ෂණය කළ එක් පුද්ගලයෙක් මෙසේ පැවසුවා. “පාලම පුරාම පැතිර පවතින්නේ පුදුමාකාර ඝෝෂාවක්. තමන්ගේ බඩු මුට්ටු විකුණන්න උත්සාහ දරන වෙළෙඳුන්ගේ ඝෝෂාව, එහාට මෙහාට ගමන්ගන්නා මිනිසුන්ගේ කටහඬවල්, කම්මල්වලින් පිටවන ශබ්ද මේ අතරට එක් වෙනවා. නමුත් මෝටර් රථ සහ අශ්ව කරත්තවල හඬ ඇසෙන්න ලැබෙන්නේ කලාතුරකින්. පාලමේ වැඩ කටයුතු සිදු වෙන්නේ ඔවුන්ටම ආවේනික ආකාරයකටයි. මෙහි ඇති පුංචි කඩ සාප්පු නොයෙක් අලංකාර විසිතුරු බඩුවලින් පිරී ඉතිරි තිබුණා.”

බඩු මිල දී ගන්නවාට අමතරව මෙහි ගමන්ගන්නා අය විනෝද වෙන්නත් එතනට රැස් වෙනවා. ඊට හේතුව මෙහි සමහර වෙළෙඳුන්ට සංගීත භාණ්ඩ වාදනය කරන්න හැකිවීමයි. කලින් අදහස් දැක්වූ පුද්ගලයා ඒ ගැන මෙසේ පවසනවා. “බාබර් සාප්පුවක පස් හයදෙනෙක් විතර වැඩ කරනවා. ඔවුන් කොණ්ඩේ කපන්න විතරක් නෙවෙයි ගිටාර්, වයලීන වගේ සංගීත භාණ්ඩ වාදනය කරන්නත් දක්ෂයි. විවේකයක් ලැබුණු විටක ඔවුන් මේවා වාදනය කරනවා. ඒ වගේ අවස්ථාවලදී කොණ්ඩේ කපන්න එන අයත් වාදනය අවසන් වන තුරුම ඒ දෙස බලාගෙන සිටින්නේ ආසාවෙන්.” පළමුවන ලෝක මහා යුධ සමයේ නිමාවත් සමඟ සමහර බාබර්වරුන් සංගීත වාද්‍ය කණ්ඩායම් (Barber’s Orchestra) බිහි කරන්න සමත් වුණා.

නොසිතූ විපතක්!

ෆිචෙටෝ විසින් ඉදි කළ මෙම පාලම වසර 50ක් පමණ ගං වතුරෙන්, නොයෙකුත් විපත්වලින් මෙන්ම යුධ මැදදී පවා ආරක්ෂා වුණා. නමුත් 1925 අගෝස්තු මස 2වෙනිදා රාත්‍රියේ පාලම අළු ගොඩක් බවට පත් කරමින් ලොවෙච් නගරයේ ඉහළ අහස් කුස දෙසට මහා ගිනි ජාලාවක් නැගී ගියා. එය සිදු වුණේ කොහොමද? පාලම විනාශ කිරීමේ අරමුණින් කවුරුන් හෝ එයට ගිනි තැබුවාද නැත්නම් එය නොසැලකිල්ලෙන් සිදු වුණාද කියා අද වන තුරුත් කිසිවෙක් දන්නේ නැහැ. කොහොමවුණත් නැවත වරක් සිදු වුණේ ලොවෙච් වැසියන්ට ගඟ හරහා ගමන් බිමන් යෑමට සිටි එකම මිතුරාව අහිමි වීමයි.

වර්ෂ 1931දී පමණ නැවතත් අලුත් පාලමක් ඉදි කරනු ලැබුවා. පෙර පරිදිම එහි කඩ සාප්පු සහ වැඩපොළවල් ඉදි කළා. [2] නමුත් මෙම පාලම ඉදි කළේ කලින් වගේ දැවවත් ගල් බොරළුවත් යොදාගෙන නොවෙයි කොන්ක්‍රීට් සහ යකඩ යොදාගෙනයි. මෙම පාලම ෆිචෙටෝගේ එකට වඩා වෙනස්. මෙහි වහලට වීදුරු දමා තිබෙන අතර පාලමේ එක් ස්ථානයක් විවෘතව තිබෙනවා. කෙසේවෙතත් මෙහි මූලික සැලැස්ම වෙනස් වුණේ නැහැ. වර්ෂ 1982 වන විට කෝල්‍යෝ ෆිචෙටෝගේ මූලික සැලැස්මට අනුව මෙම පාලම ඉදි කර අවසන් කළා [3].

ලොවෙච් නගරයට අලංකාරයක් එක් කරන මෙම පාලම එය නිර්මාණය කළ අයගේ දක්ෂතාව මනාව පිළිබිඹු කරනවා. අද මෙම පාලම එම නගරයේ වැසියන්ගේ පමණක් නොව ඒ මත සාප්පු සවාරි යන සංචාරකයන්ගේද සිත් ඇද බැඳ තබාගන්න සමත් වී තිබෙනවා.

[22වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

බල්ගේරියාව

සොෆියා

ලොවෙච්

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Photo 2: From the book Lovech and the Area of Lovech