Skip to content

පටුනට යන්න

රූකඩ ඔපෙරා ගැන අසා තිබෙනවාද?

රූකඩ ඔපෙරා ගැන අසා තිබෙනවාද?

රූකඩ ඔපෙරා ගැන අසා තිබෙනවාද?

ඔස්ට්‍රියාවේ පිබිදෙව්! ලේඛක විසින්

“සංගීතය ඉතාමත් මිහිරියි. වේදිකාවේ රඟ දක්වන රූකඩ නැටවීමට යොදා තිබෙන උපක්‍රමය හරිම අපූරුයි. මේ රූකඩවලට ඉතා කුඩා ඉරියව්වක් වුණත් ඒ ආකාරයටම ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණා. මම මීට පෙර කවදාවත් මෙච්චර ලස්සන රූකඩ සංදර්ශනයක් දැකලා නැහැ.”

එසේ පැවසුවේ කුඩා ළමුන් වෙනුවෙන් නිෂ්පාදනය කරන රූකඩ සංදර්ශනයක් නැරඹූ කෙනෙක්ද? කොහෙත්ම නැහැ. එවැනි අදහසක් ඉදිරිපත් කළේ රූකඩ රඟ දක්වන ඔපෙරාවක් නැරඹූ වැඩිහිටියෙක්. මෙවැනි උසස් ගණයේ රූකඩ ඔපෙරා දැක ගත හැකි වන්නේ ඔපෙරාවලට ප්‍රසිද්ධ ඔස්ට්‍රියාවේ සල්ස්බර්ග්හි පිහිටි ඔපෙරා රංග ශාලාවෙයි. සල්ස්බර්ග් යන නම කන වැකුණු විගස සංගීතයට ප්‍රිය කරන අයට ප්‍රසිද්ධ සංගීත රචකයෙකු වන මොසාර්ට්ව නිතැතින්ම මතකයට නැඟෙනවා ඇති.

ලීවලින් සෑදු අඩි දෙකක් හෝ තුනක් පමණ උසැති රූකඩවලින් සමන්විත ඔපෙරාවක් ගැන ඔබ කවදා හෝ අසා තිබෙනවාද? සල්ස්බර්ග්හි තිබෙන රංග ශාලාවේ දක්නට තිබෙන්නේ එවැනි රූකඩ ඔපෙරාවක්. රූකඩ නටන විලාසය හා එහි සංගීතය ප්‍රේක්ෂකයන්ව කොතරම් ආකර්ෂණය කරගන්නවාද කියනවා නම් ඔවුන්ව සුරංගනා ලෝකයකට කැඳවාගෙන යන්න ඒවා සමත් වෙනවා.

රූකඩවල දස්කම්

සංගීතය සමඟම තිරය ඇරෙන විට තාලෙට රඟන රූකඩ දකින සමහර අයට තමන්ගේ ඇස් අදහගන්නත් අමාරුයි. ඇත්තටම මේ වේදිකාව පුරා සංගීතයේ තාලෙට රඟන්නේ ලීවලින් සෑදූ රූකඩද කියලත් සිතෙනවා. රූකඩවලට සම්බන්ධ කර ඇති නූල් ගැන මොනවද සිතන්නේ? සමහර අයට නම් සිතෙන්න පුළුවන් නූල් පෙනෙන්න තිබෙන නිසා එය එතරම් තාත්වික නැහැයි කියලා. ඒ විතරක් නෙවෙයි එහි සංගීත වාදක කණ්ඩායමක් වාදනය කරනවා වෙනුවට කලින් පටිගත කරන ලද සංගීතයකට අනුව රඟ දැක්වීමත් නිරස දෙයක් කියා සිතෙන්න පුළුවන්. ඒත් කලබල නොවී ටිකක් ඉවසන්න. ටික වේලාවක් නරඹන විට ඔබට ඒ සියල්ල අමතක වී ඔබ මෙය රස විඳින්න පටන්ගන්නේ නැද්ද කියා බලන්න.

ප්‍රේක්ෂකයන්ට මුලින්ම ඇති වන හැඟීමෙන් මිදුණු පසු ඔවුන්ගේ අවධානය ඇද බැඳ තබාගැනීමට මේ රූකඩ සමත් වෙනවා. ඒ නිසා මෙම රූකඩවලට පණ පොවන නයිලෝන් නූල් තවදුරටත් ප්‍රේක්ෂකයන්ගේ රස වින්දනයට බාධාවක් නෙවෙයි. මෙහි රඟපෑම් ගැන විතරක් නෙවෙයි නමුත් එවැනි විශාල රඟහලක මෙවැනි දෙයක් ඉදිරිපත් කිරීමට ඇති වූ ඒ අලුත් අදහස ගැනත් ඔවුන් සතුටු වෙනවාට කිසිම සැකයක් නැහැ. ඉන්පසු මෙවැනි දෙයක් වැඩකට නැති යමක් ලෙස හැඟෙන්නේ නැති අතර වැඩි වේලාවක් නොගොස් මේ රඟන්නේ පණ නැති ලී කෑලි කියන එකත් මතකයෙන් ගිලිහී යනවා. රූකඩවලට එතරම් ප්‍රිය නොකරන අයව පවා තමන්ගේ පුංචි ලෝකයට ගෙන යන්න මේ රූකඩ සමත් වෙනවා.

වේදිකාවෙන් පිටුපස

රූකඩ බලනවා හා සමානව ඒවා මෙහෙය වන අය කරන දේවල් නැරඹීමත් ඉතා ප්‍රියකරු අද්දැකීමක්. රූකඩ මෙහෙයවන්නන් සිටින්නේ ප්‍රේක්ෂකයන්ට නොපෙනෙන තැනකයි. මොවුන් තම අත් සොලවා ක්‍රියා කරන ආකාරය දකින කෙනෙකුට සිතෙන්නේ ඔවුන් සංඥා භාෂාවෙන් කතා කරනවා කියලයි. ඔවුන් මෙසේ ක්‍රියා කරන විට රූකඩවල අත පා සෙලවෙන අතර අපිට පෙනෙන්නේ ඇත්තටම ඒවා සිංදු කියනවා, හඬා වැලපෙනවා, නටනවා වගෙයි. ඇත්තටම සාමාන්‍ය ඔපෙරාවක සිදු වෙන්නේත් ඒ දේම නෙවෙයිද!

රූකඩ නැටුම් මෙතරම් සිත්ගන්නා දෙයක් වීමට හේතුව ගැන එක් පුවත්පතක සඳහන් වූයේ මෙසේයි. “රූකඩ නටවන අයට ස්ත්‍රී පුරුෂ භේදයවත්, වයසවත් බලපාන්නේ නැහැ. ඔවුන්ට ඕනෑම රූකඩයක් නටවන්න පුළුවන්. නමුත් මේ කාර්යය කිරීමට ඔවුන්ට අවශ්‍ය එකම සුදුසුකම වන්නේ වෙන කිසිවක් නොව දක්ෂකමයි.” සල්ස්බර්ග්වල රූකඩ නටවන අය තම දක්ෂකම් තුළින් රූකඩවලට පණ පොවන ආකාරය නම් ඇත්තෙන්ම පුදුමාකාරයි.—එම පුවත්පත The New York Times.

රූප වෙනුවට රූකඩ

සල්ස්බර්හි රූකඩ නැටුම් පෙන්වන රංග ශාලාවේ දැන් වසර 90කටත් වඩා වැඩි කාලයක් පුරා එය සාර්ථකව කරගෙන යනවා. මෙය ආරම්භ වූයේ 1913දීයි. මුල්ම රූකඩ සංදර්ශනය සඳහා යොදාගත්තේ ප්‍රවීණ සංගීත රචකයෙකු වන මොසාර්ට්ගේ ඔපෙරාවක්. මෙම ඔපෙරාව යොදාගෙන මුල්ම රූකඩ නැටුම සැලසුම් කළේ මූර්ති ශිල්පියෙක් වන ඇන්ටන් අයික නම් තැනැත්තායි. ඔහු මියුනිච් නගරයේ මූර්ති කලාව හදාරා අවසන් වූ පසු ඔහු රූකඩ නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළා. සැබෑ ජීවිතයේ සිදුවීම් අලළා රඟ දැක්විය හැකි මෙම රූකඩ කෙරෙහි ඔහුගේ උනන්දුව වැඩි වුණා. ඉන්පසු රූප නිර්මාණ කරනවාට වඩා රූකඩ නිර්මාණය කිරීමෙන් ඔහුට ලොකු ප්‍රීතියක් අද්දැකිය හැකි බව ඔහු තේරුම්ගත්තා.

වැඩි කල් නොගොස් ඔහුගේ පවුලේ සියලුදෙනාම ඔහු අලුතින් සොයාගත් මෙම කාර්යයට අත හිත දුන්නා. ඔවුන් රූකඩවලට අවශ්‍ය ඇඳුම් පැළඳුම් සකස් කර දුන්නා. ඒ වගේම සංගීතය සැපයීම මෙන්ම දෙබස්වලටත් උපකාර කළා. ඔවුන් කළ මුල්ම රූකඩ සංදර්ශනය සාර්ථක වූ අතර ඔවුන් තව තවත් අලුත් ඒවා නිර්මාණය කරන්න පටන්ගත්තා. වර්ෂ 1927 පටන් ඔවුන්ට වෙනත් රටවලින්ද මේ ඔපෙරා පෙන්වීමට ආරාධනා කරනු ලැබුවා. මේ වන විට රූකඩ ඔපෙරා ජපානයේ හා එක්සත් ජනපදයේ දිගටම පවත්වනු ලබනවා. සෑම සංස්කෘතියකම අය මේවා අගය කරන බව පැහැදිලියි.

ඔබ තෝරාගන්නේ කුමක්ද?

එක් ශබ්දකෝෂයක ඔපෙරාවක් විස්තර කර තිබුණේ සංගීතමය පසුබිමකට අනුව කාව්‍යමය ආකාරයකින් කරන රංගනයක් ලෙසයි. (The Concise Oxford Dictionary of Music) මෙවැනි ඔපෙරාවකට කතා වස්තුව ලෙස මිථ්‍යා විශ්වාසයක්, ඉතිහාසය හා සම්බන්ධ සිදුවීමක්, මනඃකල්පිත කතාවක් හෝ බයිබලයේ සිදුවීමක් තෝරාගන්න පුළුවන්. ඒ වගේම එය ත්‍රාසජනක එකක්, ප්‍රේම වෘත්තාන්තයක් හෝ විකට කතාවක් විය හැකියි. බොහෝවිට මෙම රූකඩ ඔපෙරාවන් පවත්වන්නේ ජර්මන් භාෂාවෙන් හෝ ඉතාලි භාෂාවෙනුයි. ඒ නිසා එවැනි ඔපෙරාවක් නැරඹීමට පෙර ඒ ගැන පරිවර්තනය කර තිබෙන විස්තරයක් කියවා බැලීම ඥානවන්තයි. එසේ කරනවා නම් එවැනි ඔපෙරාවකින් ඔබට ප්‍රීතියක් මෙන්ම තෘප්තියක් ලැබිය හැකිද කියා තීරණය කරන්න හැකි වේවි.

ක්‍රිස්තියානියෙක් නරඹන්නේ මොන වගේ ඔපෙරාවක්ද කියා තීරණය කරන්නේ කොහොමද? එහි ගායකයන්ගේ ප්‍රසිද්ධිය ගැන පමණක් සැලකිලිමත් වීම ප්‍රමාණවත්ද? සිත ඇදී යන සංගීතයක් තිබෙන නිසා තෝරාගැනීම ඥානවන්තද? එසේත් නැත්නම් එහි සංගීතයෙන් විස්තර කරන කතා වස්තුව ගැන සැලකිලිමත් විය යුතුද?

ක්‍රිස්තියානියෙක් වෙනත් ඕනෑම විනෝදාස්වාදයක් තෝරාගැනීමේදී කරන්නාක් මෙන් මෙහිදීත් එම ඔපෙරාව ගැන විස්තර කියවා බැලීම ඥානවන්තයි. එසේ කරන විට බයිබලයේ පාවුල් දී තිබෙන මේ උපදෙස මතකයේ තබාගැනීම වැදගත්. “ඉතින් සහෝදරයෙනි, සැබෑ වූ, ගෞරවනීය වූ, ධර්මිෂ්ඨ වූ, නිර්මල වූ, ප්‍රේමය ඇති කරන්නාවූ, යහපත් කීර්තියක් ඇත්තාවූ, ගුණවත් වූ, ප්‍රශංසනීය වූ දේවල්වලට දිගටම මනස යොමු කරන්න.”—ෆිලිප්පි 4:8.

[8වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ඔස්ට්‍රියා

වියනා

සල්ස්බර්ග්

[8වන පිටුවේ පින්තූරය]

විවිධ ඔපෙරාවල රඟ දැක්වීම සඳහා සූදානමින් සිටින කණ්ඩායම

[9වන පිටුවේ පින්තූරය]

සල්ස්බර්ග්හි රූකඩ නැටුම් පෙන්වන රංග ශාලාව

[10වන පිටුවේ පින්තූරය]

රූකඩ නැටුම් ආරම්භ කළ ඇන්ටන් අයික

[හිමිකම් විස්තර]

By courtesy of the Salzburg Marionette Theatre

[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

All photos on pages 8 and 9: By courtesy of the Salzburg Marionette Theatre