Skip to content

පටුනට යන්න

දිනෙන් දින විශාල වන දූපත

දිනෙන් දින විශාල වන දූපත

දිනෙන් දින විශාල වන දූපත

හවායිහි පිබිදෙව්! ලේඛක විසින්

හවායි දූපත්වලට ගොස් තිබෙනවාද? එසේනම් එම නම ඇසුණු පමණින් ඔබේ මතකයට නැඟෙන්නේ සුදෝ සුදුවන් මුහුදු වැල්ල, නිල් කැටවන් ජලය, සුළඟින් ඒ මේ අත වැනෙන පොල් ගස්, අවට පරිසරය ආලෝකවත් කරන පහන් රුක් හා විවෘත සඳලුතල නොවෙයිද! එපමණක් නොව රසවත් අන්නාසි, අල වර්ග, සැමන් මාළු, විශේෂ ක්‍රමයකට පුලුස්සන ලද ඌරු මස් වැනි දේවල්ද මේවා අතරට එක් වෙනවා.

හවායි දූපතේ වෙසෙන අය ඊටත් වඩා බොහෝ දේවල් භුක්ති විඳිනවා. මෙය විශාල දූපතක් ලෙස හඳුන්වන්නේ ඒ අවට ඇති ඕහු, මාඋයි හා කායුඅයි යන ප්‍රධාන දූපත්වල මුළු භූමි ප්‍රමාණයට වඩා මෙම දූපතේ භූමි ප්‍රමාණය වැඩි නිසයි. මෙය වර්ග කිලෝමීටර් 10,432කට වඩා වැඩි වන අතර එය දිනෙන් දින විශාල වෙමින් පවතිනවා.

පිහිටීම සහ කාලගුණය

හවායි දූපතේ භූගෝලීය පිහිටීම නිසා එහි තිබෙන්නේ සෞම්‍ය දේශගුණයක්. ගිම්හාන ඍතුවේදී (මැයි සිට ඔක්තෝබර්) මුහුදුබඩ ප්‍රදේශයේ දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 24ක් පමණ වන අතර ශීත ඍතුවේදී (නොවැම්බර් සිට අප්‍රියෙල්) උෂ්ණත්වය සෙල්සියස් අංශක 21ක් පමණ වෙනවා. රාත්‍රි කාලයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 15ත් 18ත් අතර වෙනවා. කෝනා දිස්ත්‍රික්කය සුළං මුවාවේ පිහිටා තිබෙන නිසා එහි තිබෙන්නේ වියළි දේශගුණයක්. හිලෝ ප්‍රදේශය සුළං මුහුණතේ පිහිටා තිබෙන නිසා එහි තිබෙන්නේ වැසි සහිත දේශගුණයක්.

මෙම දූපතේ තිබෙන්නේ ඉතාමත් සාරවත් පසක්. එයට හේතුව ගිනිකඳුවලින් පිට වන අළු, පස සමඟ මිශ්‍ර වී තිබීමයි. මෙම පසත් සෞම්‍ය දේශගුණයත් මෙහි පලතුරු හා එළවළු ඉතා සශ්‍රීකව වැඩීමට දායක වෙනවා. අඹ, ගස්ලබු වැනි රසවත් පලතුරු පමණක් නොව නෙත් වසඟ කරන ඕකිඩ් වර්ග මෙන්ම ඇන්තූරියම් වර්ගද මෙහි සුලබව දක්නට තිබෙනවා. කෝපි වගාව මෙහි බහුලව සිදු කෙරෙනවා. කෝනා කෝපි ලොව ප්‍රසිද්ධ කෝපි වර්ගයක්. සෑම වසරකම මෙහි පවත්වන කෝනා කෝපි උත්සවයට නන් දෙසින් කෝපි නිෂ්පාදකයින් පැමිණෙනවා.

මෙම විශාල දූපතේ වැසි වනාන්තර, කාන්තාර හා තැනිතලා දැකගත හැකියි. මෙහි නැඟෙනහිර ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් ලැබෙන නිසා එහි වැසි වනාන්තර දැකගත හැකි වෙනවා. මෙම වැසි වනාන්තර මීවන හා ඕකිඩ් වර්ගවලින් පිරී පවතින අතර වෛවර්ණ කුරුල්ලන්ට මෙය පාරාදීසයක් කියා කිව හැකියි. කෝනා-කෝහාලා ප්‍රදේශයට සාමාන්‍යයක් ලෙස වාර්ෂිකව ලැබෙන වර්ෂාපතනය සෙන්ටිමීටර් 25ක් පමණ වන අතර හිලෝ ප්‍රදේශයට සෙන්ටිමීටර් 250ක වර්ෂාපතනයක් ලැබෙනවා.

කායිලු ගිනිකන්ද

හවායි දූපතේ මෞනා ලෝආ, මෞනා කී, කායිලු, කෝහාලා, හුආලාලයි යන නම්වලින් ගිනිකඳු කිහිපයක් දක්නට තිබෙනවා. වර්ෂ 1979දී කායිලු ගිනිකන්ද සක්‍රීය වුණා. වර්ෂ 1983 පටන් එයින් දිගටම ලාවා ගලා යෑම නිසා වෙරළාසන්නයේ තිබූ නගර තුනක් විනාශ වුණා. නමුත් ඒවා වෙරළ තීරයට තවත් අක්කර සිය ගණනක් එකතු කරමින් එහි තැන්පත් වුණා.

ගිනිකඳුවලින් ගලා එන ලාවා මුහුදට වැටෙන විට ඝෝෂාකාරී ශබ්දයක් හා විශාල දුමාරයක් පිට වෙන අතර ලාවා ගලා යෑම නිසා සුදෝ සුදු වැල්ල කලු පැහැ ගැන්වෙනවා. කායිලු ගිනිකන්ද පිපිරී යන විට යම් පමණ දුරක සිට ආරක්ෂාකාරීව එය දැකගත හැකියි. මේ ගිනිකන්ද ප්‍රසිද්ධ වී තිබෙන්නේ මේ නිසයි.

මෞනා කී ලෙස හඳුන්වන ගිනිකන්ද එම දූපතේ තිබෙන උසම කන්දයි. එය උසින් මීටර් 4,205ක් වූවද මෙය ලෝකයේ උසම කන්ද ලෙස නම් කර තිබෙන්නේ එය මුහුදු පතුළේ සිට මීටර් 9,000කට වඩා වැඩි වන නිසයි. මෙහි තිබෙන මෞනා ලෝආ ගිනිකන්ද උසින් මීටර් 4,169ක් වෙනවා. එය ලෝකයේ පළල්ම කන්ද ලෙස ගණන් ගැනෙන්නේ එය පළලින් ඝන කිලෝමීටර් 40,000ක් වන නිසයි.

අසිරිමත් දර්ශන

මෞනා කී කන්ද සුදු කන්ද කියාද හඳුන්වනවා. එසේ හඳුන්වන්නේ ශීත කාලයේදී මෙම කන්ද හිමෙන් වැසෙන නිසයි. මේ කාලයේදී එහි වැසියන් එම කන්දේ හිම මත ලිස්සා යෑමේ ක්‍රීඩාවල යෙදීමට ලොකු ආශාවක් දක්වනවා. නමුත් බෑවුම්වල එසේ ලිස්සා යෑම ඉතාමත් අනතුරුදායකයි. මෙම කඳු මුදුනේ ආකාශ වස්තු නිරීක්ෂණාගාර පිහිටුවා තිබෙනවා දැකගන්න පුළුවන්. මේ වන විට මෙහි රටවල් 11කට අයත් ලෝකයේ තියුණුම දූරේක්ෂ 13ක් මෙම නිරීක්ෂණාගාරවල සවි කර තිබෙනවා.

මෙම දූපතේ වෙරළාසන්න ප්‍රදේශය විනෝද වීමට කදිම ස්ථානයක්. අවුරුද්ද පුරාම ජල ක්‍රීඩා කිරීමට මෙම වෙරළ උචිත ස්ථානයක් වන්නේ එහි සුළඟ මෙන්ම මුහුදු ජලය උණුසුම්ව තිබෙන නිසයි. මෙහි සමහර ප්‍රදේශ සිරි නරඹන්න යන අයට හා වාහනවල ගමන් කරන අයට පමණක් සීමා වූ ප්‍රදේශයි.

හවායි දූපතේ ප්‍රමාණය, දේශගුණය හා භූගෝලීය පිහිටීම නිසා එහි තිබෙන වටිනාකම කියා නිම කරන්න බැහැ. ඔබ එම දූපතේ කුමන ප්‍රදේශයකට ගියත් ඔබට හමුවන්නේ ඉතා මිත්‍රශීලී මෙන්ම සත්කාරශීලී අය බව නම් නිසැකයි.

[16වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

නයාලු

කායුඅයි

ඕහු

හොනලුලු

මොලොකායි

මාඋයි

ලානයි

කහූලාවි

හවායි

හිලෝ

කෝහාලා

මෞනා කී

හුආලාලයි

මෞනා ලොආ

කායිලු

[16, 17වන පිටුවේ පින්තූරය]

පිටුපසින් දිස් වෙන්නේ මෞනා කී කන්දයි

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

U.S. Geological Survey/​Photo by T.J. Takahashi