Skip to content

පටුනට යන්න

මෙක්සිකෝවේ ඉපැරණි ආගමික සිරිත් විරිත්

මෙක්සිකෝවේ ඉපැරණි ආගමික සිරිත් විරිත්

මෙක්සිකෝවේ ඉපැරණි ආගමික සිරිත් විරිත්

මෙක්සිකෝවේ පිබිදෙව්! ලේඛක විසින්

මෙක්සිකෝව අද ජංගම දුරකථන හා අන්තර්ජාලය භාවිත කරන නව යුගයක සිටියත් එහි වෙසෙන ජනයා තවමත් ඉපැරණි ආගමික සිරිත් විරිත් පිළිපදිනවා. පසුගිය සියවස් ගණනාව තුළ සමහර ඉන්දියානු සිරිත් විරිත් කතෝලික ආගමේ සිරිත් විරිත් හා මිශ්‍ර වී තිබෙනවා. මෙම සිරිත් විරිත් මෙක්සිකෝවේ සිටින කතෝලික භක්තිකයන් තවමත් අනුගමනය කරනවා.

උදාහරණයක් ලෙස සෑම වසරකම නොවැම්බර් 2වෙනිදා බොහෝ මෙක්සිකානු ජාතිකයන් සුසාන භූමියට යන්නේ එය මළවුන්ගේ දවස ලෙස පිළිගන්නා නිසයි. ඒ වගේම එදින ඔවුන් මිය ගිය තැනැත්තාට මල්, කෑම වර්ග හා සැර බීම වර්ග තබා එනවා. සමහර අය ඔවුන්ගේ මිය ගිය නෑදෑ හිතවතුන් ප්‍රිය කළ සංගීතය සුසාන භූමිවල වාදනය කිරීමට සංගීත කණ්ඩායම් යොදාගන්නවා. ඒ වගේම බොහෝ කතෝලික භක්තිකයන් මිය ගිය තැනැත්තාගේ රූපය තැබීමට ස්ථානයක් තමන්ගේ නිවසේ වෙන් කර තිබෙනවා.

මෙක්සිකානු විශ්වකෝෂයක පවසන්නේ එහි මිය ගිය අය සම්බන්ධයෙන් සිදු කරන චාරිත්‍ර ඉන්දියානු චාරිත්‍ර හා සමාන බවයි. ඉන්දියානු ජාතිකයන් ඉරිඟු අස්වැන්න එකතු කරන කාලයේ එනම් ඔක්තෝබර් අග හා නොවැම්බර් මුලදී මිය ගිය අය වෙනුවෙන් විශේෂයෙන් ඉරිඟුවලින් සාදන ලද කෑම හා මල් පිළිගන්වනවා. එම විශ්වකෝෂයේම පවසන පරිදි ස්පාඤ්ඤ ජාතිකයන් මෙක්සිකෝවට පැමිණීමට පෙරත් එවැනි උත්සව තිබුණු අතර ඒවා උත්සවාකාරයෙන් පවත්වා තිබෙනවා.

ආගමික වතාවන්

සෑම වසරකම දෙසැම්බර් 12වෙනිදා මෙක්සිකෝවේ වැසියන්ට නිවාඩු දිනයක්. එදිනට දස දෙසින් පැමිණෙන සියලුම භක්තිවන්තයන් මෙක්සිකෝවේ ටේපියැක් කන්ද අසල පිහිටි ගුවාඩාලූප් කන්‍යාවගේ දේවස්ථානයට පැමිණෙනවා. බොහෝදෙනෙක් මෙම දේවස්ථානයට පැමිණීම සඳහා දවස් ගණන් පා ගමනින් යාච්ඤා කරමින් එනවා. ඉහළ පින්තූරයේ පෙන්වා ඇති පරිදි එම ස්ථානයට පැමිණීමෙන් පසු ඔවුන් දේවස්ථානයට ඇතුල් වෙන්නේ දණ ගසාගෙනයි. එමෙන්ම ඔවුන් රෝස මල් පූජා කරනවා.

නිවෙස්වල, ප්‍රසිද්ධ ස්ථානවල, බස් නැවතුම්පොළවල වැනි විවිධ ස්ථානවල එම දේවතාවියගේ රූප දැකිය හැකියි. ඒ වගේම ඇයව “දේවමෑණියන්” හා “ටේපියැක් තලෙළු මතාව” කියාද හඳුන්වනවා. දහසයවෙනි ශතවර්ෂයේ පටන්ම ඇය සුව කිරීම් හා වෙනත් ආශ්චර්යයන් කර ඇති බවට විශ්වාස කෙරෙනවා.

වත්පිළිවෙත්වල ආරම්භය

මෙලෙස දේවතාවන්ට නමස්කාර කිරීම හා නිවාඩු දින සැමරීම ආරම්භ වූයේ මෙක්සිකෝවේ ආදිවාසීන්ගේ කාලයේ සිටයි. ඔවුන් “අපේ කුඩා මව” ලෙස හැඳින්වූ දේවතාවියකට (Cihuacóatl) නමස්කාර කළා. මෙක්සිකෝවේ ඉතිහාසය ගැන ලියැවී තිබෙන පොතක සඳහන් වන්නේ එම දේවතාවිය හා ඇගේ පුත්‍රයාව (Huitzilopochtli) ආදිවාසීන් මෙක්සිකෝවට පැමිණෙන විට රැගෙන ආ බවයි.—එම පොත México a través de los siglos.

එම දේවතාවියට කැප කළ දේවස්ථානය පිහිටා තිබුණේ ටේපියැක් කන්දේයි. මෙය ස්පාඤ්ඤ ජාතිකයන් අතින් විනාශ වුණා. නමුත් කොලොම්බස් මෙම රටට පා තබා අවුරුදු 40ක් ගත වෙන්නත් කලින් එම දේවතාවිය ඉන්දියානු ජාතිකයෙකුට පෙනී සිට එම ස්ථානයේ ඇයට නැවතත් දේවස්ථානයක් ඉදි කරන්න කියා පැවසූ බව කියැවෙනවා.

මෙම දේවතාවියට ආදිවාසීන් ගැඹුරු ගෞරවයක් දැක්වුවා. ඇය තනි සුදු ඇඳුමකින් සැරසී සිටින බවත් ඇයට දිග කෙස් කලඹක් තිබෙන බවත් විශ්වාස කරනවා. ඇයට කැප කර තිබෙන දේවස්ථානයට ඇතුල් වන ස්ථානය කොතරම් කුඩාවට සාදා තිබෙනවාද කියනවා නම් එයට ඇතුල් විය හැක්කේ දණ ගසාගෙන පමණයි. දේවස්ථානය ඇතුලේ ඇයගේ රූපය වටා තවත් පිළිම රාශියක් තබා තිබෙනවා දැකගන්න පුළුවන්. ඉන් අඟවන්නේ ඇය “දෙවිවරුන්ගේ මාතාව” බවයි.

ඇයට පවත්වනු ලබන මංගල්‍යයේදී නැටුම් පමණක් නොව අත්වල, ගෙල වටා මෙන්ම හිසේ රෝස මල් තබාගෙන පෙරහැරේ යනවාත් දැකිය හැකියි. තවද මේ මංගල්‍යයේදී මිනිසුන්වද පූජා කරනවා. මේ සියලු පූජාවන් සිදු කරන්නේ එම දේවතාවියගේ පුතාගේ පූජාසනය මතයි. මෙම මංගල්‍යයට සහභාගි වීම සඳහා ග්වාතමාලා වැනි රටවල සිට ඉන්දියානු ජාතිකයන් සැතපුම් දහස් ගණන් පා ගමනින් එනවා.

මූලාරම්භය වැදගත්ද?

කතෝලික භක්තිකයන් එම දේවතාවියට කරන වත්පිළිවෙත් ආරම්භ වූයේ බයිබලයේ සඳහන් වී තිබෙන සැබෑ දෙවිට නමස්කාර නොකළ අයගෙනුයි. (ගීතාවලිය 83:17) මෙයාකාර නමස්කාර ක්‍රම අපට යම් බලපෑමක් ඇති කළ යුතුද? නමස්කාර ක්‍රමයක් ආරම්භ වූ ආකාරය අපට ඇත්තටම වැදගත්ද?

බයිබලයේ ලේඛකයෙක් වන පාවුල් මේ සම්බන්ධයෙන් ඥානවන්ත උපදෙසක් දුන්නා. ‘නොඇදහිලිකරුවන් සමඟ එක් නොවන්න. ක්‍රිස්තුස් සහ බෙලියල් අතර ඇති එකමුතුකම කුමක්ද? නැත්නම්, ඇදහිලිවන්තයෙකුට නොඅදහන්නෙකු සමඟ ඇති කොටස කුමක්ද?’ එමෙන්ම ඔහු මෙලෙසද පැවසුවා. “සියල්ල සෝදිසි කර බලා යහපත් දේ තදින් අල්ලාගන්න.”—2 කොරින්ති 6:14, 15; 1 තෙසලෝනික 5:21.

අදටත් එවැනි උපදෙස් අවශ්‍ය වෙනවා. අපත් දෙවිට කරන නමස්කාර ක්‍රමය ගැන මෙසේ සිතා බැලිය යුතුයි. ‘මම නමස්කාර කරන්නේ දෙවිගේ වචනය වන බයිබලයේ සඳහන් ඉගැන්වීම්වලට එකඟවද? එසේත් නැත්නම් මම දෙවිට කරන නමස්කාරය තුළට දෙවිට නමස්කාර නොකරන අයගේ සිරිත් විරිත් ඇතුළත් වී තිබෙනවාද?’ එකම සැබෑ දෙවි වන යෙහෝවා දෙවිට පමණක් නමස්කාර කිරීමට කැමති කෙනෙක් ඒ ප්‍රශ්න ගැන බැරෑරුම්ව සිතා බලනවාට කිසිම සැකයක් නැහැ.

[23වන පිටුවේ පින්තූරය]

නොවැම්බර් 2වෙනිදා සුසාන භූමියේ සංගීතය සපයන සංගීතකරුවන්

[23වන පිටුවේ පින්තූරය]

දේවස්ථානය වෙත එක් රොක් වන බැතිමතුන්