Skip to content

පටුනට යන්න

ගුවන් ගමන් ආරක්ෂිතද?

ගුවන් ගමන් ආරක්ෂිතද?

ගුවන් ගමන් ආරක්ෂිතද?

පිලිපීනයේ පිබිදෙව්! ලේඛක විසින්

ඉහළ අහස් කුසේ ගමන් කරන විට තමන් කුමන දිශාවටද ගමන් කරන්නේ කියා ගුවන් නියමුවා දන්නේ කෙසේද කියා ඔබට අනේක වාරයක් සිතිලා ඇති. සමහරවිට තවත් අහස් යානා සිය ගණන් ඒ මේ අත යනවා දැක ඔබට යම් බියක්ද දැනිලා ඇති. ඒත් මේ අහස් යානා එකිනෙක නොගැටී පියාසර කරන්නේ කෙසේද?

ගුවන් මඟීන්ට එවැනි ප්‍රශ්න ඇතිවීම සාධාරණයි. ඒත් තිබෙන දත්තවලින් පෙනී යන්නේ වාහනයකින් ගමන් කරනවාට වඩා ගුවන් ගමන් ආරක්ෂිත බවයි. * ගුවන් යානා එකිනෙකට ගැටීමෙන් වැළකීමට ප්‍රධාන හේතුව වන්නේ ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානවලින් ලැබෙන උපකාරයයි.

ඔබට ආරක්ෂාව සැපයෙන අයුරු

ගුවන් යානයක් ආරක්ෂිතව රැගෙන යෑමේ මූලික වගකීම තිබෙන්නේ එහි කපිතාන්වරයාටයි. නමුත් ඔහුගේ යානයට අවටින් ගමන්ගන්නා යානා බොහෝ අවස්ථාවලදී ඔහුට පෙනෙන්නේ නැති තරම්. මේ නිසා බොහෝ රටවල් ගුවන් ගමන් පාලනය කිරීමේ ක්‍රමයක් පිහිටුවා තිබෙනවා. පොළොවේ සිට ඈත අහසේ ගමන් කරන ගුවන් යානා ගැන විමසිලිමත් වීමට මෙමගින් හැකි වෙනවා.

වසර 13ක් පුරා කැලිෆෝනියාවේ ගුවන් ගමන් පාලකයෙකු ලෙස සේවය කරන සැමුවෙල් මෙසේ පැවසුවා. “ගුවන් ගමන් ආරක්ෂාව සලසා දීමට ගුවන් ගමන් පාලනය පිළිබඳ හසළ දැනුමක් ඇති අය මහත් සේවයක් ඉටු කරනවා. ඔවුන් වඩාත් සැලකිලිමත් වන්නේ ගුවන් යානා දෙකක් අතර නිසි පරතරයක් තැබීමටයි.” ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානයක අධීක්ෂණ කටයුතු කරන මෙල්බා මෙසේ පවසනවා. “අපි වැඩියෙන්ම සැලකිලිමත් වෙන්නේ ආරක්ෂාව ගැනයි. ඊට අමතරව අපි ගුවන් යානාවලට ඉක්මනින් මෙන්ම පිළිවෙළකට ගමන් කිරීමටද උපකාර කරනවා.” ඉන් පෙනී යන්නේ ගුවන් අනතුරු වැළැක්වීමට පමණක් නොව ඒවා පිළිවෙළකට ගමන් කරන්නේද එම සේවාව නිසා බවයි.

ගුවන් නියමුවෙක් ගමන් කරන විට නියමු කුටියේ සිට තම රාජකාරිය කරන අතරතුරේදී පොළොවේ පිහිටා තිබෙන පාලක මැදිරියේ සිටින කණ්ඩායමක්ද ඔහු සමඟ ගමන් කරනවා හා සමානව ඔහුට උපකාර කරනවා. ගුවන් නියමුවෙක් තම ගමන ආරම්භ කරන ස්ථානයේ හා ගමන අවසන් කරන ස්ථානයේ පමණක් නොව අතරමැදි පාලක මැදිරි සමඟද දිගටම රේඩියෝ පණිවිඩ මාර්ගයෙන් අදහස් හුවමාරු කරගන්නවා.

ගුවන් නියමුවෙකුට පෙනෙන්නේ නැති දිශා ගැන අධීක්ෂණය කිරීමේ කාර්යය පැවරෙන්නේ පාලක මැදිරියටයි. විශේෂයෙන්ම අධිවේගී ගුවන් ගමන්වලදී එය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණයකට ගුවන් යානා දෙකක් මුහුණට මුහුණලා එනවා කියා සිතන්න. මේ ගුවන් යානා දෙකේ සිටින නියමුවන්ට එය දකින්න ලැබෙන්නේ අවසාන තත්පර කිහිපය තුළදීයි. එවැනි කෙටි කාලයකින් අනතුර වළක්වාගැනීමට හැකි වන්නේ නැහැ. එවැනි දෙයක් සිදුවීමෙන් වැළැක්වීම ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානයේ වගකීමයි. ගුවන් නියමුවන් දෙදෙනා යානා දැකීමට බොහෝ වේලාවකට පෙර පාලක මැදිරියෙන් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන නිසා ඔවුන්ට එම ගුවන් පථයෙන් ඈත්ව ගමන් කිරීමට හැකි වෙනවා.

ගුවන් යානයේ ගමන් මඟ

පාලක මැදිරියෙන් ගුවන් යානයට අවශ්‍ය වේලාවලදී රේඩියෝ පණිවිඩ මාර්ගයෙන් සංඥා ලබා දෙනවා. නියමුවා ළඟ එම රේඩියෝ පණිවිඩ ලබාගැනීමට අවශ්‍ය උපකරණ තිබෙන අතර එමගින් නියමුවාට හරියටම යානය ගමන් කරන ස්ථානය දැනගන්න පුළුවන්. ගුවන් පථයේද රේඩාර් පණිවිඩ ලබාගැනීමට හැකි නිශ්චිත ස්ථාන තිබෙනවා. ඒ නිසා ගුවන් යානා ගමන් කරන විට ගමනාන්තය දක්වා මේ එක් එක් නිශ්චිත ස්ථාන හරහා ගමන් කළ යුතු වෙනවා.

මෙයාකාරයෙන් නිශ්චිත ගමන් මාර්ගයක ගමන් කරන නිසා පාලක මැදිරියට ගුවන් යානය අධීක්ෂණය කිරීම පහසුයි. යානය ගුවන් ගතවීමට පෙර තමන් ගමන් කිරීමට බලාපොරොත්තු වන මාර්ගය ලකුණු කරන ලද සටහනක් කපිතාන්වරයා විසින් පාලක මැදිරියට සැපයිය යුතුයි. එමෙන්ම පාලක මැදිරියේත් ඒ යානය සම්බන්ධයෙන් සියලුම දත්ත ඇතුළත් සටහනක් තිබෙනවා. මෙම සටහන් ප්‍රයෝජනවත් වන ආකාරය ගැන ගුවන් ගමන් පාලක මධස්ථානයක ප්‍රධානියෙක් වන සැල්වදෝර රෆායෙල් පැවසුවේ මෙසේයි. “ගුවන් පථයෙත් ගුවන් යානා මාරුවෙන ස්ථාන තිබෙනවා. නියමුවෙක් එවැනි ස්ථානයකට පැමිණි විට ඔහු එය පාලක මැදිරියට දැනුම් දිය යුතුයි. එවිට පාලක මැදිරියේ සිටින අය එය සටහන් කරගන්නවා.” මෙවැනි ක්‍රියාකාරකම් නිසා ගුවන් යානය ගමන් කරන පථය ගැන පාලක මැදිරියට දැනගත හැකියි.

එම වාර්තා ලබාගැනීමට පාලක මැදිරියේ අයට ප්‍රයෝජනවත් වන තවත් දෙයක් නම් රේඩියෝ පණිවිඩ මාර්ගයයි. පාලක මැදිරියේ සිටින තැනැත්තා ගුවන් යානය ගමන් කරන ස්ථානය නිශ්චිතවම දන්නා නිසා අනික් යානාවලින් ඈත්ව පියාසර කිරීමට අවශ්‍ය උපකාර සැපයීමට ඔහුට හැකි වෙනවා. පාලක මැදිරියේ සිටින අයට හා නියමුවන්ට මෙවැනි රේඩියෝ හා වෙනත් අදහස් හුවමාරු කරගත හැකි මාධ්‍යයන් තිබෙනවා. මේ නිසා එක් ක්‍රමයක් විසන්ධි වූවත් තවත් ක්‍රමයක් ප්‍රයෝජනයට ගත හැකියි.

ජාත්‍යන්තර ගුවන් සේවය ගැන කුමක් කිව හැකිද? මෙහිදී බොහෝ භාෂා කතා කරන නිසා අදහස් හුවමාරු කිරීමේදී වැරදි පණිවිඩ හුවමාරු කිරීම වළක්වාලීම සඳහා ජාත්‍යන්තර සිවිල් ගුවන් ගමනාගමන සංවිධානය මගින් ඉංග්‍රීසි භාෂාව පොදු භාෂාව ලෙස නම් කර තිබෙනවා. සමහර වචන, අකුරු හා අංක රේඩියෝ තරංග මාර්ගයෙන් ඇසෙන විට වෙනස් විය හැකි නිසා ගුවන් ගමන් පාලක මැදිරියේ සේවය කරන අය නියමුවන්ට මඟ පෙන්වීම් දෙන විට නිශ්චිත වචන කාණ්ඩ භාවිත කරනවා. එමෙන්ම වචන ශබ්ද කිරීමේ ක්‍රම යොදාගන්නවා. තවදුරටත් පැහැදිලි අදහස් හුවමාරුවක් සඳහා පාලක මැදිරියෙන් ලැබුණු උපදෙස් “නැවතත් කීමට” නියමුවන්ට පවසනවා.

පාලක මැදිරියෙන් අදහස් හුවමාරු කිරීමට උපයෝගි කරගන්නා තවත් ක්‍රමයක් නම් රේඩාර් භාවිතයයි. ගුවන් යානයේ රේඩියෝ තරංග මගින් නිකුත් වන පණිවිඩ රේඩාර් යන්ත්‍රවලට හසු වෙනවා. මේ අවස්ථාවේදී ගුවන් යානයක් පාලක මැදිරියේ රේඩාර් තිරය මත දිස්වෙනවා. බොහෝ ගුවන් යානාවල එය ගමන් කරන ස්ථානය ස්වයංක්‍රීයව රේඩාර් යන්ත්‍රයට ලබා දීමේ හැකියාව තිබෙනවා. මෙම රේඩාර් සංඥා හා පරිගණකයේ එම යානාව සම්බන්ධයෙන් තිබෙන තොරතුරු මගින් ගුවන් යානයේ අංකය, වේගය, පියාසර කරන උස යන තොරතුරු දැනගත හැකියි.

ගුවන් යානයක් යම් අනතුරකට භාජන විය හැකියි කියා පාලක මැදිරියට දැනෙනවා නම් ඔවුන්ට ඒ සඳහා ක්‍රියා මාර්ග කිහිපයක් ගත හැකියි. (1) දිශාව වෙනස් කිරීම, (2) වේගය පාලනය කිරීම, උදාහරණයකට, යානයක් ඉස්සර කරන අවස්ථාවකදී, (3) පියාසර කරන උස වෙනස් කිරීම. මෙය යානා අතර පරතරය පවත්වාගැනීමට බහුල ලෙස භාවිත කරන ක්‍රමයක්.

ආරක්ෂාව සැපයීම සඳහා තවත් ක්‍රමයක් තිබෙනවා. එනම් බොහෝ රේඩාර් දර්ශන තිරවලින් ලැබෙන සංඥායි. උදාහරණයක් ලෙස යානා දෙකක් එක ළඟින් ගමන් කරනවා නම් පින්තූර මගින් හෝ ශබ්ද නිකුත් කිරීම මගින් අනතුරු අඟවනවා. තවද යානයක් ධාවන පථයට අසාමාන්‍ය ලෙස ළංව ගමන් කරන විටත් සංඥාවක් නිකුත් කරනවා.

එකම ඉලක්කය ඔබේ ආරක්ෂාවයි

ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානවල ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමට දැනටමත් පියවර ගෙන තිබෙනවා. පාලක මැදිරිය මගින් ගුවන් යානා ගමන් කළ යුතු පථය හා උස ප්‍රමාණය සීමා කරනවා. මේ නිසා අහසේ ඉඩ ප්‍රමාණයෙන් සම්පූර්ණ ප්‍රයෝජන ගන්න නොහැකි වන අතර ගමනද දීර්ඝ වෙනවා. අනාගතයේදී ගුවන් යානා වැඩිපුරම චන්ද්‍රිකා ආධාරයෙන් ලැබෙන තොරතුරු මත ක්‍රියා කිරීමට නියමිතයි. චන්ද්‍රිකා ආධාරයෙන් තමන් සිටින තැන සොයාගැනීමට හැකි ක්‍රමය භාවිත කිරීම මගින් ගමන් කිරීමේදී වඩාත් ප්‍රායෝගික වීමට මෙන්ම සාගර උඩින් ගමන් කිරීමේදී ගුවන් යානාව හැසිරවීමට අවශ්‍ය මඟ පෙන්වීම් සැපයීමටද පාලක මැදිරියට පහසු වෙනවා.

අපි මෙම ලිපියෙන් දැනගත් පරිදි ඔබ ගමන්ගන්නා යානය ගමන් කරන දිශාව දන්නේ ගුවන් නියමුවා පමණක් නොව ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානයත් ඒ බව දැන සිටීම ඇත්තෙන්ම සහනයක් නේද! ඔවුන්ගේ එකම අරමුණ අනතුරු අවම කිරීම හා උපරිම ආරක්ෂාව සැපයීමයි. අහස් යානා අනතුරු මෙතරම් අඩුවීමට හේතුව දැන් ඔබ දන්නවා ඇති.

ඔබ ගුවන් යානයක ගමන් කරන විට ඔබේ ගමන ගැන බියක් ඇති කරගත යුතු නැහැ. ඔබ ඊළඟ වතාවේදී දිගු ගමනක් යන විට ඔබේ ආරක්ෂාව පතා ගුවන් පාලක මධ්‍යස්ථානය සැලකිලිමත්ව සිටින බව මතක තබාගන්න. ඒ නිසා සැප පහසුවට වාඩි වී ඔබේ ගමන භුක්ති විඳින්න.

[පාදසටහන]

^ 4 ඡේ. අමෙරිකා එක්සත් ජනපදයේ මෑත වර්ෂයකදී කරන ලද සමීක්ෂණයකින් හෙළි වූයේ ගුවන් යානා සැතපුම් බිලියන 6.8ක් ගමන් කර තිබෙන බවත් හදිසි අනතුරුවලට භාජන වී තිබෙන සම්භාවිතාව සෑම පැය 3,34,448කට එකක් පමණක් බවයි.

[14, 15වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

ගුවන් ගමන් මාර්ගය ගැන සුපරික්ෂාකාරී වන අයුරු

චන්ද්‍රිකා ආධාරයෙන් තමන් සිටින තැන සොයාගැනීම

ගුවන් ගමන් පාලන පද්ධතිය

පාලක මධ්‍යස්ථානයෙන් රේඩියෝ පණිවිඩ යැවීම

රේඩියෝ යන්ත්‍රය

රේඩාර් යන්ත්‍රයේ ඇන්ටනාව

[15වන පිටුවේ පින්තූරය]

ගුවන් ගමන් පාලක කුලුනු

[15වන පිටුවේ පින්තූරය]

ගුවන් ගමන් පාලනය කරන්නන්

[15වන පිටුවේ පින්තූරය]

ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Tower and controllers: NASA Ames Research Center; control center: U. S. Federal Aviation Administration