Skip to content

පටුනට යන්න

සිත් වසඟ කරන ගායනයක්

සිත් වසඟ කරන ගායනයක්

සිත් වසඟ කරන ගායනයක්

ඉතාලියේ පිබිදෙව්! ලේඛක විසින්

ගායකයා නිකට කෙළින් තබාගෙන, පපුව ඉදිරියට දමාගෙන හරි කෙළින් ඒත් සැහැල්ලුවෙන් සිටගෙන සිටියි. වාද්‍ය වෘන්දයේ සංගීතය නිකුත් වී ටික වේලාවක් ගත වන විට ගායකයා ඔහුගේ ගායනය පටන්ගනියි. රටාවකට ඇදී යන සංගීතය හා කටහඬට කාගෙත් සිත් ඇදී යන්නේ ඔවුන්ටත් හොරාමයි. මෙය ගායකයාගේ හඬද නැත්නම් වෙනත් මාධ්‍යයකින් නිකුත් වන හඬක්ද කියා සිතෙයි. ගායනය අවසාන වෙනවාත් සමඟම මුළු රංග ශාලාවම දෙවනත් කරවන අත්පොළසන් නාදයක් ඇසෙයි.

ඔපෙරාවක් යනු වාද්‍ය වෘන්දයකින් සැපයෙන සංගීතයට අනුව ගී ගයමින් හා නර්තන ඉදිරිපත් කරමින් රඟහලක ශිල්පීන් කරන රඟ දැක්වීමයි. ඔබට කවදා හෝ ඔපෙරාවක් නැරඹීමට අවස්ථාවක් ලැබී තිබෙනවාද? ඔපෙරා ගායකයෙකුට එතරම් මිහිරි කටහඬක් ලැබී තිබෙන්නේ කෙසේද කියා ඔබ දන්නවාද?

සංගීත භාණ්ඩයක් හා සමාන කටහඬ

කටහඬ දෙවිගෙන් ලැබී තිබෙන මහඟු දායාදයක්. එය සංගීත භාණ්ඩයක් කියාද පැවසිය හැකියි. ඔපෙරා ගායකයෙකු තරම් දක්ෂ ලෙස ගායනය කළ හැකි වන්නේ අපගෙන් කිහිපදෙනෙකුට පමණක් වූවද සංගීතය අපේ ජීවිතයේ කොටසක්. ඔබට හොඳින් ගායනය කළ හැකි වුවත් නැතත් ඔබ සතු කටහඬ නමැති සංගීත භාණ්ඩය ගැන වැඩි විස්තර දැනගැනීමට ඔබ කැමති වෙනවාට කිසිම සැකයක් නැහැ.

ශබ්දය නිකුත් වෙන්නේ ස්වරාලයෙනුයි. ස්වරාලය පිහිටා තිබෙන්නේ උගුරේ මැද ප්‍රදේශයේයි. ස්වරාලය දෙපැත්තේ ස්වර තන්ත්‍ර ලෙස හැඳින්වෙන කුඩා පේශිමය සිවි දෙකක් පිහිටා තිබෙනවා. මෙයින් ශබ්දය නිකුත් වෙන්නේ කෙසේද? සාමාන්‍යයෙන් ආශ්වාස කරන විට ස්වර තන්ත්‍ර ළිහිල්ව තිබෙන නිසා ඒවා ශ්වාස නාලයේ ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නවා. ඒත් ඔබ ගායනා කරන විට වාතය ස්වරාලය තුළින් වැඩියෙන් ගමන් කරන නිසා ශ්වාස නාලය හීනි වන අතර ස්වර තන්ත්‍ර කම්පනය වීම මගින් ශබ්දය නිකුත් වෙනවා. ස්වර තන්ත්‍ර ඇදෙන තරමට ඒවා වඩාත් වේගයෙන් කම්පනය වෙයි. එමෙන්ම එයින් නිකුත් වන්නේ උච්ච ස්වරයක්. ස්වරාලයට ඇතුල් වෙන වාතය අඩු වන විට ස්වර තන්ත්‍ර ළිහිල් වන අතර ශ්වාස නාලය විශාල වෙනවා. මෙමගින් ඇති වන කම්පනය අඩු වන නිසා එයින් නිකුත් වන්නේ ගැඹුරු කටහඬක්.

කටහඬ පාලනය කරන අයුරු

එන්රිකෝ කෲසෝ නම් තරුණයාට හොඳ කටහඬක් තිබුණත් එය එතරම් ප්‍රබල කටහඬක් නෙවෙයි. නමුත් කාලයක් පුරා පුහුණු වීමත් සමඟම එය ප්‍රබල කටහඬක් බවට පත් කරගැනීමට ඔහුට හැකි වුණා. ලස්සන කටහඬක් ඇත්තෙන්ම දායාදයක්. නමුත් ඔපෙරා ගායකයෙකුට නම් එය හසුරුවන ආකාරය සම්බන්ධයෙන් මනා දැනුමක් තිබිය යුතුයි. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ආශ්වාස කිරීම තුළින් වාතය ලබාගැනීමටත් එමෙන්ම එය පාලනය කරගැනීමටත් ඔපෙරා ගායකයෙක් දැනගත යුතුයි. දහඅටවන සියවසේ විසූ කාර්ලෝ බ්‍රොස්කි එක හුස්මට ස්වර 150ක් ගායනය කළ හැකි කෙනෙක් ලෙස ප්‍රසිද්ධ වී සිටියා.

එමෙන්ම ඔපෙරා ගායකයන්ට ශරීරයෙන් ශබ්දය පාලනය කිරීමට ඉගෙනගැනීමත් අවශ්‍යයි. සමහර ප්‍රවීණයන් පවසන්නේ පහත් ස්වර ගායනා කිරීමේදී ළය ප්‍රදේශය උපකාරවත් වන බව හා උච්ච ස්වර ගායනා කිරීමේදී හනු ඇටය හා මුහුණේ අස්ථි උපකාරවත් වන බවයි.

බොහෝදෙනෙක් සිතන්නේ ගායනා කිරීමේදී උපකාරවත් වන්නේ උගුර පමණක් කියායි. නමුත් සැබෑ තත්වය නම් ගායනා කිරීමේදී මුළු ශරීරයම එයට දායක වන බවයි. එසේ පවසන්නේ මුළු ශරීරයේ ශක්තිය ඒ සඳහා වැය වන නිසයි. මේ නිසා මුළු ශරීරයේම පේශීන් සැහැල්ලුව තබාගැනීම වැදගත්. ඔපෙරා ගායකයන්ට ගායනයේදී විශාල ශක්තියක් වැය වෙන නිසා ඔවුන් වැඩිපුර ආහාර ගත යුතු වෙනවා. ඔපෙරා ගායකයන් සාමාන්‍යයෙන් මහත අය වීමට හේතුව එයයි. විසිවන ශතවර්ෂයේ සිටි එක් ප්‍රසිද්ධ ගායිකාවක් වන මරියා කැලස් අනවශ්‍ය ලෙස ආහාර පාලනය කිරීම නිසා ඇය දුර්වල වූ අතර එය ඇයගේ කටහඬ දුර්වල වීමටත් හේතු වුණා.

ඔපෙරා ගායනයේ ආරම්භය

කාලයත් සමඟම ඔපෙරාවන් ඉදිරිපත් කරන ආකාරය හා එහි ක්‍රමය වෙනස් වුණා. එවැනි තත්වයන් දෙකක් සලකා බලමු. මුලින්ම පල්ලිවල මෙන්ම සාමාන්‍ය ස්ථානවල පැවැත්වූ ඔපෙරාවන් විශාල ඔපෙරා ශාලාවල පැවත්වීමට ආරම්භ වූ පසු ඒවා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. කලින් සැහැල්ලුවෙන් හා සෞම්‍ය ආකාරයකින් කළ ගායනා වැඩි ශක්තියක් යොදා කරන ගායනා බවට පත් වුණා. ගායනය වඩාත් ප්‍රබල වෙනවාත් සමඟම ඒ සඳහා මොසාර්ට්ගේ වැනි කුඩා වාද්‍ය වෘන්ද වෙනුවට වර්ඩි සහ වැග්නර් වැනි සංගීතඥයන්ගේ විශාල වාද්‍ය වෘන්ද අවශ්‍ය වුණා. දහහත්වන හා 18වන සියවස්වලදී මෙන්ම 19වන සියවසේදී සංගීතයට වඩා වැඩි ස්ථානයක් ගායකයාට හිමි වුණා. නමුත් 19වෙනි සියවසේ අගභාගයේදී මෙන්ම 20වන සියවසේ මුල්භාගයේදී එය සම්පූර්ණයෙන්ම වෙනස් අතට හැරුණා. මේ වකවානුවේදී ගායනයට යම් තැනක් හිමි වූවද එය එහි තවත් එක් අංගයක් පමණයි.

ඔපෙරා ඇතිවීම නිසා බොහෝදෙනෙක් සංගීතය සම්පාදනය කරන්න ආරම්භ කළා. එවැනි සංගීත සම්පාදනය කළ ප්‍රසිද්ධ සංගීතඥයන් සමහරදෙනෙක් නම් පේයෙලෝ, සිමොරෝසා, ග්ලුක්, මොසාර්ට්, දොනිසෙත්ති, රොසිනී, බෙලිනී, වැග්නර්, වර්ඩි, පුචිනි, බිසෙ, මෙයර්බෙයා සහ මස්ගාග්නි වැනි අයයි. මොවුන් නිර්මාණය කළ තනු අදටත් මතකයේ රැඳී තිබෙනවා.

අන්තවාදී වීමේ ප්‍රතිඵලය

ඔපෙරා සංගීතයේ අඳුරු යුගයක්ද තිබුණා. යෞවන පිරිමි දරුවන්ව උච්ච ස්වරයෙන් ගායනා කිරීමට පුහුණු කළ කාලයක් තිබුණා. දරුවන් වයසින් මුහුකුරා යන්න කලින් මුළු ශක්තියම යොදා උච්ච ස්වර ගායනා කිරීමේ හැකියාව දිගටම පවත්වාගැනීම සඳහා ගත් යම් ක්‍රියාමාර්ගයක් නිසා දරුවන්ගේ සෞඛ්‍යය බෙලහීන වුණා. * ගයිඩෝ ටාටෝනි පැවසුවේ පල්ලි මෙයට වග කිව යුතු බවයි. ඊට හේතුව ‘කාන්තාවන්ට පල්ලිවල ගායනා කිරීම තහනම් කළ නිසයි’ කියා ඔහු පැවසුවා.

ප්‍රසිද්ධ ඔපෙරා ගායක ගායිකාවන් නළු නිළියන් බවටත් පත් වුණා. ඔවුන්ගේ රසික රසිකාවියන් ඔවුන්ව සලකනු ලැබුවේ දෙවිවරුන් ලෙසයි. ලුචියානෝ පැවරෝටිගේ අවමංගල උත්සවය මෙයට කදිම උදාහරණයක්. එමෙන්ම මරියා කැලස්ව දිව්‍යාංගනාවක් ලෙසද ජෝන් සදර්ලන්ඩ් අද්විතීය කෙනෙක් ලෙසද හඳුන්වනු ලැබුවා. ඔපෙරා ගායනය මෙතරම් ජනප්‍රිය වීමට හේතුව එමගින් ප්‍රේක්ෂකයන්ව කුල්මත් කිරීමට හැකිවීමයි.

සමහරවිට ඔබට අනාගතයේදී තීව්‍ර කටහඬකින් යුත් ගායනයක් අසන්න ලැබේවි. එවිට එතරම් මියුරු කටහඬකින් ගායනා කිරීමට එම ගායකයා දරා තිබෙන වෙහෙස ගැන ටිකක් කල්පනා කරන්න. එසේ කරන විට ඔපෙරා ගායනය ගැන එක් ලේඛකයෙක් පැවසූ දෙය පැවසීමට ඔබටත් පෙලඹීමක් ඇති වෙනවා නොඅනුමානයි. ඔහු ඔපෙරාව හැඳින්වූයේ “වචන සංගීතය සමඟ මුසු කර ඉදිරිපත් කරන කලා නිර්මාණයක්” ලෙසයි.

[පාදසටහන]

^ 16 ඡේ. මේ ගැන තවත් විස්තර දැනගැනීම සඳහා 1996 පෙබරවාරි 8 පිබිදෙව්! කලාපයේ 11-14 දක්වා පිටු බලන්න.

[12වන පිටුවේ කොටුව⁄පින්තූරය]

කටහඬ වර්ග කිරීම

පහසුවෙන් හා ඉක්මනින් උච්ච ස්වරයෙන් ගායනා කිරීමේ හැකියාව ඇති ස්ත්‍රී කටහඬ (Coloratura soprano).

උසස් ගණයේ ස්ත්‍රී කටහඬ (Lyric soprano). එම කටහඬින් හද දනවන හා ආදර ගීත ගායනා කිරීමට හැකියාවක් තිබෙනවා.

ගැඹුරු ස්ත්‍රී කටහඬ (Dramatic soprano). වඩාත් කැපීපෙනෙන චරිතයට පණ පෙවීමට මෙම කටහඬ කදිමයි.

කලින් සඳහන් කළ කටහඬට වඩා ගැඹුරු හා ප්‍රාණවත් ස්ත්‍රී කටහඬ (Mezzo-soprano). මෙය වයසක කෙනෙකුගේ හෝ නපුරු චරිතයකට පණ පෙවීමේදී භාවිත කළ හැකියි.

දුර්ලභ ගණයේ ස්ත්‍රී කටහඬ (Contralto). වයසක හා නපුරු චරිත සඳහා කදිමයි.

පිරිමි කටහඬ (Tenor). බොහෝවිට ආදරවන්තයාගේ හෝ වීරයාගේ චරිතයට යොදාගත හැකියි.

කලින් සඳහන් කළ පිරිමි කටහඬ හා ගැඹුරු කටහඬ අතරමැදි කටහඬ (Baritone). මෙය සහෝදරයෙකුගේ, පියෙකුගේ හෝ සතුරෙකුගේ චරිතයට උචිතයි.

ගැඹුරුතම පුරුෂ කටහඬ (Basso). මෙය කොටස් තුනකට බෙදන්න පුළුවන්. (1. brilliant 2. cantante 3. profundo) පළමුවෙනි කටහඬ ප්‍රාණවත් සහ හාස්‍ය චරිතයකට උචිත වන අතර දෙවෙනි කටහඬ ආදරය, සෙනෙහස පාන චරිතවලටද තුන්වෙනි කටහඬ හැඟීම්බර චරිතවලටද උචිතයි.

[10වන පිටුවේ පින්තූරය]

ඔපෙරා වේදිකාව

[10වන පිටුවේ පින්තූරය]

ඔපෙරා රඟහල

[10වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Stage: Philip Groshong for The Cincinnati Opera; house: Courtesy of Tourism Office of Budapest