Skip to content

පටුනට යන්න

සුන්දර කේරළ ප්‍රාන්තය

සුන්දර කේරළ ප්‍රාන්තය

සුන්දර කේරළ ප්‍රාන්තය

ඉන්දියාවේ පිබිදෙව්! ලේඛක විසින්

දකුණු ඉන්දියාවට අයත් කේරළ ප්‍රාන්තයේ තිබෙන කළපු ආශ්‍රිත ප්‍රදේශ සුන්දර දසුන් මවන ආකර්ෂණීය ස්ථානයක් ලෙස නම් කළ හැකියි. ගංගා, ඇළ දොළ හා කළපු ගණනාවකින් සමන්විත මෙම ප්‍රදේශ * දැක බලා ගැනීමට බෝට්ටු සවාරියක් යන්න ඔබට අවස්ථාවක් ලැබුණා කියා සිතන්න. මේ ගමනේදී ඇළ දොළ, ගංගා හා කළපු පමණක් නොව පොල් වතු, සාරවත් කුඹුරු වැනි නානාප්‍රකාර සුන්දර දසුන් ඔබේ නෙත ගැටෙයි. සොබාදහමේ සුන්දරත්වය අත් විඳිමින් යන මේ ගමන ඔබට මොන තරම් ප්‍රීතිමත් අද්දැකීමක් වේවිද! කේරළ ප්‍රාන්තයේ තිබෙන කළපු නිසා එයට සුවිශේෂී තැනක් හිමි වෙනවා. එක් සඟරාවක සඳහන් වුණේ එය “කෙනෙක් ‘තම ජීවිත කාලය තුළ අනිවාර්යයෙන්ම දැකගත යුතු’ ස්ථාන 50 අතුරින් එකක්” ලෙසයි.—National Geographic Traveler.

මෙම ජලාශ්‍රිත ප්‍රදේශ ගැන කතා කරන විට එහි ජන ජීවිතය ගැන කතා නොකරම බැහැ. කාලයකට පෙර කිසිම සංචාරකයෙක්වත් සුඛෝපභෝගී හෝටල්වත් මේ ප්‍රදේශ තුළ දක්නට ලැබුණේ නැහැ. කෙසේවෙතත් මේ වන විට බොහෝ සංචාරක හෝටල් මෙම ප්‍රදේශවල දැකගත හැකියි. සමහර අය එවැනි ස්ථානවල රැකියාවල නිරත වූවත් මෙහි වෙසෙන වැසියන්ගේ දිනචර්යාවේ එතරම් වෙනසක් සිදු වී නැහැ. ඔවුන් එදානෙදා අවශ්‍ය ආහාර සපයාගැනීම සඳහා කුඹුරු හා පොල් වගාවන් කරගෙන යන අතර රැකියාවක් ලෙස ධීවර කර්මාන්තයේ යෙදෙනවා.

ධීවර ජීවිතයෙන් බිඳක්

මසුන් ඇල්ලීම මෙහි වැසියන්ගේ දිනචර්යාවේ එක් අංගයක්. කාන්තාවන් විසින් කරිමීන් නම් මසුන් වර්ගය ඇල්ලීම මේ ප්‍රදේශවලට ආවේනික වූ සුලභ දසුනක්. ඇඟ පුරාම සුදු පාට පුල්ලි වැටුණු මේ රසවත් මසුන්ව ඔවුන් අල්ලාගන්නේ ඔවුන්ගේ අත්වලිනුයි. ඉන්දියානුවන් මෙන්ම විදේශිකයන්ද මේ රසවත් මසුන් ආහාරයට ගන්න දක්වන්නේ පුදුම ආශාවක්. මෙම මසුන් අල්ලාගන්න ඔවුන් අපූරු ක්‍රමයක් භාවිත කරනවා. කාන්තාවන් දියට බසින විට මුට්ටියක් රැගෙන යනවා. දියට බසින මෙම කාන්තාවන්ට බිය වන මසුන් විදුලි වේගයෙන් ගොස් මඩෙහි සැඟවෙන්නේ තම ආත්මාරක්ෂාව සඳහායි. ඒත් ඒ සුළු මොහොතකට පමණයි. මඩ යට සැඟවී සිටින මසුන්ව මෙම කාන්තාවන්ගේ පාදවල වැදුණු සැණින් ඔවුන් ක්ෂණයකින් උන්ව අල්ලාගෙන තමා වටා පාවෙන මුට්ටියට දමාගන්නවා. ඔවුන් අල්ලාගත් මසුන්ව ගොඩට ආ සැණින් විකුණාගත හැකියි. විශාල මසුන් මිල අධික වන අතර උන්ව සුපිරි හෝටල්වලටත් අනික් මසුන්ව සාමාන්‍ය වැසියන්ටත් මොවුන් විකුණනවා.

චීන මාළු දැල් භාවිතය

මෙම කළපු අද්දර දැකගත හැකි තවත් සුලභ දසුනක් වන්නේ චීන මාළු දැල් භාවිත කර මසුන් ඇල්ලීමයි. මෙය සංචාරකයන්ව ආකර්ෂණය කරගැනීමේ එක් සුවිශේෂි අංගයක් ලෙස හැඳින්විය හැකියි.

වර්ෂ 1400ට පෙර කුබ්ලායි කාන් සිට පැමිණි චීන වෙළෙඳුන් විසින් මෙම දැල් ක්‍රමය කොචී නම් නගරයට හඳුන්වා දුන් බව විශ්වාස කරනවා. මුලින්ම මෙම දැල් භාවිත කළේ චීන ජාතිකයන් වුවත් පසුව පෘතුගීසි පදිංචිකරුවන්ද මේවා භාවිත කර තිබෙනවා. මෙම දැල් භාවිතය ආරම්භ කර වසර 600ක් ගත වුවත් තවමත් මේවා බොහෝ ඉන්දියානු ධීවරයින්ට තම ජීවිකාව පවත්වාගෙන යෑම සඳහා මහඟු මෙහෙවරක් ඉටු කරනවා. ඒ වගේම එක් දැලකින් කොපමණ මසුන් ප්‍රමාණයක් අල්ලාගත හැකිද කිවහොත් එයින් මුළු ගමක්ම පෝෂණය කළ හැකියි. ඒ විතරක් නොවෙයි වියැළීමට දමා තිබෙන දැල් මතට බැස යන හිරුගේ ආලෝකය පතිත වෙන විට මැවෙන සුන්දර දසුනේ ඡායාරූප ගැනීමට සංචාරකයන් හුඟක් ප්‍රිය කරනවා.

දස දහස් සංඛ්‍යාත සංචාරකයන්ගේ සිත් ඇද බැඳ තබාගැනීමට මෙම ප්‍රදේශය සමත් වී තිබෙන්නේ චීන මාළු දැල් නිසා පමණක් නොවෙයි. සෑම වසරකම මෙහි පැවැත්වෙන සාම්ප්‍රදායික බෝට්ටු තරඟයත් (snake boat race) ඊට එක් හේතුවක් වී තිබෙනවා.

බෝට්ටු තරඟවල විශේෂත්වයන්

මෙම තරඟ සඳහා භාවිත කරන බෝට්ටු දිගින් වැඩි වූවත් පළලින් නම් අඩුයි. ඒවායේ පසුපස කොටස නයෙකුගේ හිසක් ආකාරයට නිර්මාණය කර තිබෙනවා. අතීතයේදී මෙම බෝට්ටු යුද්ධ සඳහා යොදාගත් අතර යුධ සමය අවසන් වීමත් සමඟම මෙම බෝට්ටු භාවිතයද අඩු වුණා. නමුත් ආගමික උත්සව සමයේදී මේ බෝට්ටු විසිතුරු ලෙස සරසා ප්‍රදර්ශනය සඳහා දියත් කරනවා. මෙමගින් ඔවුන්ගේ සංස්කෘතිය වඩාත් හොඳින් කැපීපෙනෙන්න සලස්වනවා. එමෙන්ම මෙම උත්සවයට සහභාගි වන අමුත්තන්ට ගෞරවය දැක්වීම පිණිස මෙම බෝට්ටු තරඟ පැවැත්වෙනවා. වසර ගණනාවකට කලින් ඇරඹුණු මේ සාම්ප්‍රදායික තරඟ අද වෙනතුරුත් නොවෙනස්ව පැවතෙනවා.

සාමාන්‍යයෙන් මෙම තරඟයකට බෝට්ටු 20ක් පමණ යොදාගන්නවා. එක් බෝට්ටුවක මිනිසුන් 100ක් හෝ 150ක් පමණ සිටිනවා. මිනිසුන් 100කට වඩා වැඩි ප්‍රමාණයක් කෙටි හබල් යොදාගෙන බෝට්ටුව පදවන අතර මිනිසුන් හතරදෙනෙක් පමණ බෝට්ටුව පසුපස සිටගෙන දිග හබල් භාවිතයෙන් බෝට්ටුව දියත් කිරීමට ජවය ලබා දෙනවා. තවත් දෙදෙනෙක් බෝට්ටුවේ මැද සිටගෙන තාලයට ලී දෙකකින් ශබ්ද නඟන අතර එහි සිටින තවත් අය අත්පොළසන් දෙමින්, ගායනා කරමින් ගමනාන්තය කරා වේගයෙන් බෝට්ටුව පැදවීම සඳහා දිරිය සපයනවා. ජයග්‍රහණය කරා ළඟා වෙනවාත් සමඟම මේ සියලුදෙනාම තමන්ගේ මුළු වැර යොදාගෙන බෝට්ටුව පදවනවා.

වර්ෂ 1952දී ඉන්දියාවේ පළමුවෙනි අගමැති වූ ජවහර්ලාල් නේරු මෙහි ප්‍රධාන නගරයක් වූ ඇලෙපිහි සංචාරය කරන විට මෙම බෝට්ටු තරඟ නැරඹීමෙන් ඔහු මහත් සතුටක් ලැබුණා. ඔහු ඉන් මොන තරම් උද්දාමයට පත් වූවාද කියනවා නම් ඔහුගේ ආරක්ෂාව ගැනවත් නොතකා ඔහු ජයග්‍රහණය කළ බෝට්ටුවට පැන අත්පොළසන් දෙමින් ගායනා කරමින් ඔවුන් හා ජයග්‍රහණයේ සතුට භුක්ති වින්දා. අගමැතිතුමා නැවතත් දිල්ලියට ගිය පසු ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් ඔහු රිදීයෙන් කරන ලද ඔහුගේ අත්සන සහිතව මෙම බෝට්ටුවක ආකෘතියක් ඔවුන්ට එවනු ලැබුවා. එහි මෙවැනි දෙයක් සටහන් කර තිබුණා. “මෙය සාමූහිකත්වයේ සංකේතයක්. බෝට්ටු තරඟයෙන් ජය ගත් පිල සඳහායි.” එදා සිට සෑම වසරකම නේරු කුසලානය වෙනුවෙන් බෝට්ටු තරඟ පැවැත්වෙනවා. මේ තරඟ නැරඹීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් රැස් වෙනවා. ඒ කාලයේදී මෙම කළපුවලට අලුත් මුහුණුවරක් ලැබෙනවා කියා කිව හැකියි.

සුපිරි හෝටල් බඳු බෝට්ටු

තරඟ වදින බෝට්ටුවලට අමතරව එම ප්‍රදේශයේ ඉතා ප්‍රසිද්ධියක් ඉසිලූ තවත් බෝට්ටු වර්ගයක් (rice boats) තිබුණා. මෙම බෝට්ටු පසු කාලයකදී සුඛෝපභෝගී බෝට්ටු බවට පත් කළ අතර ඒවාද සංචාරකයන්ව ආකර්ෂණය කිරීමට සමත් වී තිබෙනවා.

වසර සිය ගණනක ඉතිහාසයක් ඇති මෙම බෝට්ටු අද වෙන විට වෙනස් ස්වරූපයක් ගෙන තිබෙනවා. ඒ කාලයේදී මේවා සෑදීම සඳහා කොස් ලී භාවිත කළ අතර ලී සම්බන්ධ කිරීමට එක ඇණයක්වත් භාවිත කර තිබුණේ නැහැ. ඒ වෙනුවට කඹවලින් ගැට දමා ඒවා සම්බන්ධ කර තිබුණා. ඒ නිසා මේවා හැඳින්වූයේ කට්ටුවල්ලම් ලෙසයි. එහි අරුත “ගැට සහිත බෝට්ටු” යන්නයි. එවකට මේ බෝට්ටු මූලිකවම යොදාගත්තේ ගමින් ගමට සහල් සහ වෙනත් භාණ්ඩ ප්‍රවාහණය කිරීම හා දුර ඈත ප්‍රදේශවලට කුළු බඩු ප්‍රවාහණය කිරීම සඳහායි. පසු කාලයකදී වෙනත් ප්‍රවාහණ ක්‍රම භාවිතය ආරම්භයත් සමඟම මෙම බෝට්ටු සේවාව නතර වුණා. කෙසේවෙතත් දක්ෂ ව්‍යාපාරිකයෙකුගේ අදහසකට අනුව මෙම බෝට්ටු වැඩි දියුණු කර සුව පහසු නිවහනක් සතු අංගෝපාංගවලින් සමන්විත බෝට්ටු නිර්මාණය කළා. සඳලුතල, සුවපහසු නිදන කාමර හා නාන කාමර සහිත මේවා පාවෙන සුපිරි හෝටල් කියා කිව හැකියි. මේ බෝට්ටුවල ඔබ ප්‍රිය කරන කෑම බීම සාදා දීමටත් ඔබ කැමති ස්ථානවලට ඔබව ගෙන යෑමටත් උපකාර කරන සේවකයින් සිටිනවා.

සන්ධ්‍යාවේ මෙම බෝට්ටු කළපු අද්දර නැංගුරම් ලා ගන්නවා. නිදහසේ සන්ධ්‍යාවරුව ගත කරන්න කැමති අය කළපුව මැද්දේ බෝට්ටුව නැංගුරම් ලා ගන්න වඩාත් ප්‍රිය කරනවා. කළපු මැද විවේකී සුවයෙන් කාලය ගත කරන මොවුන්ට බාධා කරන්නේ දඟකාර මසුන්ගේ ශබ්දය පමණයි.

සමහර අය විවේකී සුවයෙන් කාලය ගත කරද්දී තවත් පිරිසක් ඉතාමත් කඩිසරව ‘මිනිසුන්ව ඇල්ලීමේ’ කාර්යයේ නියැලෙනවා. මොවුන් කවුරුන්ද?

මිනිසුන් අල්ලන්නන්ගේ’ කාර්යය

යේසුස් තම ගෝලයන් බවට පත් වූ ධීවරයන්ට පැවසූ වදන්වලින් “මිනිසුන් අල්ලන්නන්” යන ප්‍රකාශය සොයාගත හැකියි. එක් අවස්ථාවක ඔහු ඔවුන්ට මෙසේ පැවසුවා. “මා අනුව එන්න. මම ඔබව මිනිසුන් අල්ලන්නන් කරන්නෙමි.” මෙහිදී යේසුස් යොමු දැක්වූයේ යේසුස්ගේ අනුගාමිකයන් බවට පත්වීමට මිනිසුන්ට උපකාර කිරීමේ කාර්යය වෙතටයි. (මතෙව් 4:18, 19; 28:19, 20) මෙම කළපු ආශ්‍රිත ප්‍රදේශවල සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඇතුළු ලොව වටා සිටින සියලුම සාක්ෂිකරුවන් මෙම කාර්යයෙහි කඩිසරව නියැලෙනවා.

මෙම කළපු අවට ප්‍රදේශවල තිබෙන සාක්ෂිකරුවන්ගේ සභා 13 ඇතුළුව සභා 132ක් කේරළ ප්‍රාන්තයට අයත් වෙනවා. මේ සභාවල සේවය කරන බොහෝ සාක්ෂිකරුවන්ගේ රැකියාවද මසුන් ඇල්ලීමයි. එක් අවස්ථාවකදී සාක්ෂිකරුවෙක් ඔහු සමඟ මසුන් අල්ලමින් සිටි අනික් පුද්ගලයා සමඟ දේවරාජ්‍යයේ ශුභාරංචිය බෙදාගත්තා. ටික දවසකට පසු බයිබලේ අඩංගු සත්‍යය හා ඔහු අදහන ආගමේ ඉගැන්වීම් අතර ඇති වෙනස ඔහු හඳුනාගත්තා. ඔහුත් ඔහුගේ භාර්යාවත් දරුවන් හතරදෙනාත් බයිබලය පාඩම් කරන්න පටන්ගත් අතර පසුව දරුවන් දෙදෙනෙක් හැර පවුලේ අනික් සියලුදෙනාම බව්තීස්ම වුණා. බව්තීස්ම නොවූ දරුවන් දෙදෙනාද මේ වන විට ඉතාමත් උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කරමින් සිටිනවා.

මෙහි තිබෙන එක් සභාවක සාක්ෂිකරුවන් කණ්ඩායමක් දේවරාජ්‍යය ගැන දේශනා කිරීමට ඒ අවට තිබෙන දූපතකට ගියා. මේ ප්‍රදේශයට ගමන් කරන්න විධිමත් බෝට්ටු සේවාවක් නැහැ. මේ නිසා එම දූපත මිනිසුන් හැඳින්වූයේ කඩමාකුඩී ලෙසයි. එහි අර්ථය “ගියොත් කොටු වෙනවා” යන්නයි. එහි ගිය සාක්ෂිකරුවන්ට ජොනී සහ රාණි යන යුවළ මුණගැසුණා. ඔවුන් උපතින් කතෝලික භක්තිකයන් වුණත් ඔවුන් එහි තිබූ භාවනා මධ්‍යස්ථානයකට සම්බන්ධ වී සිටි අතර ඔවුන්ගේ හැකි උපරිමයෙන් ඔවුන් එයට මුදල් පරිත්‍යාග කළා. ජොනී බයිබලයේ සඳහන් සත්‍යය ගැන මහත් උනන්දුවක් දැක්වූ අතර ඔහු සමඟ බයිබල් පාඩමක් ආරම්භ කරනු ලැබුවා. ඔහු ඉගෙනගත් දේ අන් අය සමඟ බෙදාගන්නත් බොහෝ කැමැත්තක් දැක්වූවා. ඒ විතරක් නොවෙයි ඔහු දුම්පානයට හා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී සිටි කෙනෙක්. බයිබල් සත්‍යය නිසා මේ පුරුදු අත්හරින්නත් ඔහුට හැකි වුණා.

ජොනී කරමින් සිටි රැකියාව බයිබල් ප්‍රමිතිවලට එකඟ වුණේ නැහැ. මේ නිසා ඔහු කරමින් සිටි රැකියාව ඔහු වෙනස් කළ නිසා ඔවුන්ට ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වුණා. ඉන්පසුව ඔහු රැකියාව හැටියට කළේ කකුළුවන් ඇල්ලීමයි. එමගින් ඔහුට තම පවුලේ එදිනෙදා අවශ්‍යතා පිරිමසා ගැනීමට හැකි වුණා. වර්ෂ 2006 සැප්තැම්බර් මස ඔහු බව්තීස්ම වූ අතර ඉන් වසරකට පසු ඔහුගේ බිරිඳත් දරුවන් දෙදෙනාත් බව්තීස්ම වුණා. මේ පොළොව මත සදාකාල ජීවිතයක් ලැබීමේ බලාපොරොත්තුව ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කළා.—ගීතාවලිය 97:1; 1 යොහන් 2:17.

කේරළ ප්‍රාන්තයට අයත් කළපු ආශ්‍රිත ප්‍රදේශවල ගමන් කිරීම ඇත්තෙන්ම සුන්දර අද්දැකීමක්! එය එසේ වන්නේ එහි දක්නට තිබෙන චීන මාළු දැල්, තරඟ වදින බෝට්ටු හා නිවහන් බඳු බෝට්ටු නිසා පමණක් නොව “මිනිසුන් අල්ලන්නන්” වූ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිසා යයි කිවහොත් එය වඩාත් නිවැරදියි.

[පාදසටහන]

^ 3 ඡේ. පුද්ගලයෙක් මෙම සියලුම ඇළ දොළ, ගංගා ඔස්සේ ගමන් කරනවා නම් ඔහුට කිලෝමීටර් 900ක් ගමන් කළ හැකියි.

[22, 23වන පිටුවේ සිතියම]

ඉන්දියාව

කේරළ ප්‍රාන්තය

[23වන පිටුවේ පින්තූරය]

මසුන් ඇල්ලීම ඔවුන්ගේ ජීවිතේ එක් අංගයක්

[හිමිකම් විස්තර]

Top photo: Salim Pushpanath

[23වන පිටුවේ පින්තූරය]

මසුන් අල්ලන කාන්තාවන්

[24වන පිටුවේ පින්තූරය]

බෝට්ටු තරඟය

[24වන පිටුවේ පින්තූරය]

කට්ටුවල්ලම්

[24, 25වන පිටුවේ පින්තූරය]

සුඛෝපභෝගී බෝට්ටුක්

[24, 25වන පිටුවේ පින්තූරය]

රාණි සහ ජොනී

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Salim Pushpanath