Skip to content

පටුනට යන්න

පොළොව පාරාදීසයක් බවට පත් වෙයිද?

පොළොව පාරාදීසයක් බවට පත් වෙයිද?

බයිබලයෙන් පිළිතුරක්

පොළොව පාරාදීසයක් බවට පත් වෙයිද?

අසනීප, මරණය හා පාපයෙන් තොරව මනුෂ්‍යයන් ජීවත් වූ සාමකාමී කාලයක් ගැන වූ ජනප්‍රවාද ටිබෙට්, පේරු, මෙක්සිකානු, ඊජිප්තු සහ වෙනත් ජාතිකයන් අතරද පවතිනවා. ඒ කාලයේදී මනුෂ්‍යයන් තම දෙවියන් සමඟ අදහස් හුවමාරු කරගත් බවද ඒවායේ කියැවෙනවා. මෙම ජනප්‍රවාදවලින් පැහැදිලි වන්නේ මිනිසුන් පාපයට වැටුණේ පසු කාලයකදී යන කාරණයයි.

මෙම ජනප්‍රවාදවල ඇති සියලු කරුණු සත්‍යය නොවුණත් ඒවායේ එකිනෙකට ගැළපෙන පොදු වූ කරුණුද තිබෙනවා. එයින් පැහැදිලි වන්නේ මෙම ජනප්‍රවාද ඇතිවීමට හේතුව ඉතිහාසයේ සිදු වී ඇති යම් සිද්ධීන්ය. එම සිද්ධීන් උත්පත්ති පොතේ මුල් පරිච්ඡේදවල ඇති වාර්තාව සමඟ එකඟ වෙනවා.—2 තිමෝති 3:16.

හොඳ ආරම්භයක්

උත්පත්ති පොතේ සඳහන් වන්නේ දෙවි නිර්මාණය කළ මුල් මිනිස් යුවළ වන ආදම් සහ ඒවව ඒදන් නමැති උයනේ පදිංචි කළ බවයි. එහිදී ඔවුන්ට පරිපූර්ණ සෞඛ්‍යයක් ඇතුව සදාකල් ජීවත් වීමේ හැකියාවද දී තිබුණා. නමුත් ඔවුන් අකීකරු වුණොත් අනිවාර්යයෙන්ම ඔවුන්ට මරණය අත්වන බව දෙවි ඔවුන්ට පවසා තිබුණා. (උත්පත්ති 2:8-17; රෝම 5:12) ආදම් සහ ඒව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණ වුණේ, ‘දරු සම්පත් ලබා ගණනින් වැඩි වී පොළොව පුරා පැතිර යමින් එය රැකබලා’ ගැනීමයි. (උත්පත්ති 1:28, නව ලොව පරිවර්තනය, NW) එහි අවසන් ප්‍රතිඵලය, පාලකයා හැටියට දෙවිට යටත්ව සිටින පරිපූර්ණ මිනිසුන්ගෙන් පොළොව පිරී යෑමයි.

ආදම් සහ ඒව දෙවිට අකීකරු වීම නිසා දෙවිගේ අරමුණ ඉටු කිරීමට දායක වීමට තිබූ අවස්ථාවත් සදාකල් ජීවත් වීමට වූ අපේක්ෂාවත් ඔවුන් නැති කරගත්තා. කෙසේවෙතත් පොළොව සම්බන්ධයෙන් වූ දෙවිගේ අරමුණ ඉටු කිරීම ගැන යෙහෝවා දෙවි පොරොන්දු වී තිබෙන්නේ, “මා පවසන දේ ඉටු නොවී මා වෙතට නැවත හැරී එන්නේ නැත. . . . මා අරමුණු කරන දේ එලෙසම සිදු වන්නේය” කියායි. (යෙසායා 55:11NW) ඒ වගේම දෙවිට කීකරු මනුෂ්‍යයන් සඳහා පාරාදීස පොළොවක් ලබා දීමේ යෙහෝවා දෙවිගේ අරමුණ බයිබලයේ ඇති මූලික ඉගැන්වීමක්ද වෙනවා.—රෝම 8:19-21.

“ඔබ මා සමඟ පාරාදීසයේ සිටින්නෙහිය”

ඒදන් උයනේදී මුල් මනුෂ්‍ය යුවළ වන ආදම් සහ ඒව පව් කළ අවස්ථාවේදීම දෙවි පැවසුවේ, ඔවුන්ගෙන් පැවත එන විශේෂ තැනැත්තෙකු මගින් “මුල් සර්පයා” වන සාතන් නමැති යක්ෂයාව ඔහුගේ ක්‍රියා සමඟම විනාශ කරන බවයි. (උත්පත්ති 3:15; එළිදරව් 12:9; 1 යොහන් 3:8) එම විශේෂ තැනැත්තා වන්නේ, යේසුස් ක්‍රිස්තුස්ය. (ගලාති 3:16) දෙවි යේසුස්ව ස්වර්ග රාජ්‍යයේ රජ බවට පත් කර පොළොව පාලනය කිරීමට අවස්ථාව ඔහුට දෙන බවත් පැවසුවා.—දානියෙල් 7:13, 14; එළිදරව් 11:15.

දෙවි බලාපොරොත්තු වුණ දේ කරන්න ආදම්ට බැරි වුණත් යේසුස් එය කරන්න යනවා. ඒ නිසයි බයිබලයේ ඔහුව “අන්තිම ආදම්” ලෙස හඳුන්වන්නේ. (1 කොරින්ති 15:45) මුළු පොළොවම දෙවිගේ රාජ්‍යය මගින් පාලනය කිරීම ගැන යේසුස් පැවසුවේ මෙසේයි. “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා.”—මතෙව් 6:10.

යේසුස් වධ කණුව මත සිටිද්දී එක් පැත්තක ඇණ ගසා සිටි පසුතැවිලි වූ සොරාට මෙසේ කිව්වා. “ඔබ මා සමඟ පාරාදීසයේ සිටින්නෙහිය.” (ලූක් 23:43) එහිදී යේසුස් කතා කළේ, ඉදිරියේදී මේ පොළොව පාරාදීසයක් කරන්න යන බවට වූ දෙවිගේ පොරොන්දුව ගැනයි. එසේ කීමට හේතු කිහිපයක් අපි බයිබලයෙන් සලකා බලමු.

පාරාදීස පොළොව ගැන බයිබලයේ පවසන්නේ, “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකාලයටම ජීවත් වන්නෝය” කියායි. (ගීතාවලිය 37:29NW) ඒ කාලයේදී “පොළොව ධාන්‍යවලින් පිරී යයි. කඳු මුදුන්ද ධාන්‍යවලින් පිරී ඉතිරෙයි.” (ගීතාවලිය 72:16NW) “මන්ද ප්‍රතිපත්තිගරුක අය පොළොවේ දිගු කල් ජීවත් වන්නෝය. නිර්දෝෂ අය එහි ඉතිරි වන්නෝය.” (හිතෝපදේශ 2:21NW) “කිසිවෙක් හිංසා කරන්නේවත් විනාශ කරන්නේවත් නැත. මන්ද මුහුද වතුරෙන් පිරී තිබෙන්නාක් මෙන්, යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙයි.”—යෙසායා 11:9NW.

ඒ හා සමාන අදහසක් යේසුස්ද පැවසුවා. “මෘදු ගුණැති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට පොළොව උරුම වන්නේය.” (මතෙව් 5:5) පාරාදීස පොළොවේ මිනිසුන් අද්දකින්න යන ජීවිතය ගැන යේසුස්ගේ ගෝලයෙක් වූ යොහන් ලියුවේ මෙසේයි. ‘දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.’ (එළිදරව් 21:3, 4) මෙම බයිබල් පද සියල්ලෙන්ම පැහැදිලි වන්නේ පාරාදීසය පොළොවේ පිහිටුවනු ලබන දෙයක් බවයි.

බයිබල් විශාරදයන්ගේ අදහස්

දේවරාජ්‍යය මගින් පොළොව පාරාදීසයක් කරන්න යන බව බොහෝ බයිබල් විශාරදයන්ද පවසනවා. දේවධර්මාචාර්ය ජෝසෆ් ඒ.සේයිස් පැවසුවේ, ‘මෙසියස් [යේසුස්] තුළින් මේ මුළු පොළොවම ආදම් සහ ඒව පව් කරන්න කලින් තිබූ තත්වයට පත් කරනවා’ කියායි. ඒ වගේම හෙන්රි ඔල්ෆ්‍රඩ් තම පොතක මෙසේ සඳහන් කර තිබුණා. ‘දෙවිගේ රාජ්‍යය මුළු පොළොව පාලනය කිරීම පටන්ගන්නා තෙක් නියමිත වැඩ කොටස් කරගෙන යනවා. තුරු ඒ සඳහා වූ තම වැඩකටයුතු කරගෙන යනවා. එමගින් එහි ජීවත් වන්නන්ට පොළොව උරුමයක් හැටියට ලැබෙනවා. අවසානයේදී මුළු පොළොවම නව පාලනයට යටත් වෙනවා.’—The New Testament For English Readers.

උනන්දුවෙන් බයිබලය අධ්‍යයනය කළ විද්‍යාඥයෙකු වන අයිසැක් නිව්ටන් මෙසේ ලියා තිබුණා. “විනිශ්චයෙන් පසු වසර 1,000ක් තුළ පමණක් නොව ඉන්පසුවත් සදාකාලයටම පොළොවේ මිනිසුන් ජීවත් වෙනවා.”

යේසුස් ක්‍රිස්තුස් මුළු පොළොවම පාලනය කරන නිසා නැවතත් දුෂ්ටකම පොළොවේ පවතින්නේ නැහැ. (යෙසායා 11:1-5, 9) ඔව්, පොළොව හැම අතින්ම පාරාදීසයක් වෙනවා. එහි සියලු ගෞරවය හිමි විය යුත්තේ පොළොව නිර්මාණය කළ යෙහෝවා දෙවිටයි.

මේ ගැන ඔබ සිතුවාද?

▪ පොළොව සහ මිනිසා සඳහා දෙවිගේ මුල් අරමුණ වූයේ කුමක්ද?—උත්පත්ති 1:28.

▪ දේවරාජ්‍යය මගින් කරන්න යන්නේ කුමක්ද?—මතෙව් 6:10.

▪ නැවතත් දුෂ්ටකම පොළොවේ පවතින්නේ නැත්තේ ඇයි?—යෙසායා 11:1-5, 9.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මෘදු ගුණැති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට පොළොව උරුම වන්නේය.”—මතෙව් 5:5.