Skip to content

පටුනට යන්න

මුදලින් ප්‍රශ්න විසඳිය හැකිද?

මුදලින් ප්‍රශ්න විසඳිය හැකිද?

මුදලින් ප්‍රශ්න විසඳිය හැකිද?

ස්වාභාවික විපත්, දුගීකම, කුසගින්න, ලෙඩ රෝග හා වෙනත් පාරිසරික ගැටලු පිළිබඳව නිතර නිතර ප්‍රවෘත්ති මගින් කියැවෙනවා. මෙවැනි දේ වැඩි වෙන්න වැඩි වෙන්න දානපතීන් විසින් ඩොලර් බිලියන ගණන් ඒවා වෙනුවෙන් යොදවන බවද අපට අසන්න ලැබෙනවා. බොහෝ ප්‍රසිද්ධ අය එවැනි බරපතළ ගැටලු ඉස්මතු කරවීමට ඔවුන්ගේ ජනප්‍රියත්වය යොදාගන්නවා. සාමාන්‍ය ආදායම් ලබන සමහර අයද එවැනි දේවලට තම මුදල් වැය කරන්න ඉදිරිපත් වෙනවා. නමුත් මෙලෙස මුදල් පරිත්‍යාග කිරීමෙන් මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න විසඳීමට හැක්කේ කොතරම් දුරකටද?

බොහෝ පරිත්‍යාගයන් කළ කාලයක්

සමහර රටවල නැති බැරි අය වෙනුවෙන් වැඩි වැඩියෙන් මුදල් පරිත්‍යාග කරන බව දැකගන්න තිබෙනවා. එක් පොතක මෙවැනි අදහසක් පළ වුණා. “විසිඑක්වන සියවසේ මුල් කාලයේ සිට බොහෝ රටවල තිබෙන සමාජ සේවා ආයතන සතුව වෙන කවරදාටත් වඩා වැඩියෙන් විශාල මුදල් ප්‍රමාණයක් තිබෙන බව දකින්න ලැබෙනවා.” (Global Civil Society 2004/2005 යන පොත) මිනිසුන් ධනවත් වෙන තරමටම ඔවුන් විසින් කරන පරිත්‍යාගයන්ද වැඩි වෙනවා. එවැනි බොහෝ අය මිය යන විට ඔවුන් සතු දේපොළ පවා ඔවුන් එවැනි ආයතනවලට පවරනවා. එක් බ්‍රිතාන්‍ය පුවත්පතක මෙම සියවස අධික ලෙස පරිත්‍යාගයන් සිදු කරන කාලයක් ලෙස හැඳින්වූවා.—The Economist.

මෙසේ මුදල් පරිත්‍යාගයන් සිදු කරන්නේ ප්‍රශ්න ගැටලුවලට සාර්ථක විසඳුමක් ගෙන එන්න ආණ්ඩු අපොහසත් වන නිසයි. අප්‍රිකාවේ ඒඩ්ස් රෝගය මර්දනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පත් කරන ලද නියෝජිතයාද පැවසුවේ “මිනිස් ආණ්ඩුවල අසාර්ථකත්වය” ඊට එක් හේතුවක් බවයි. දුප්පත්කමට, අධ්‍යාපනයට, පාරිසරික හෝ සාමාජීය ගැටලුවලටත් එය එසේම බලපානවා. ‘බොහෝ දානපතීන් මිනිසුන් මුහුණ දෙන මෙවැනි ගැටලුවලට නිසි විසඳුමක් ආණ්ඩු මගින් හෝ ජාත්‍යන්තරව හෝ ගෙන ඒමට අසමත් වීම නිසා ඔවුන් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට උත්සාහ දරනවා’ කියා ජෝඑල් ෆලයිෂ්මන් නම් තැනැත්තා ඔහුගේ එක් පොතක සඳහන් කළා. පවතින තත්වය වෙනස් කරන්න සමහර දානපතීන්ට තිබෙන දැඩි වුවමනාව නිසා ඔවුන් තම ව්‍යාපාර දියුණු කිරීමට යොදාගන්න ක්‍රමයන්ම මේ සඳහා යොදාගැනීමට උත්සාහ දරනවා.—The Foundation: A Great American Secret—How Private Wealth Is Changing the World.

ප්‍රතිඵලය කුමක්ද?

බොහෝ පරිත්‍යාගයන් සිදු කළ කාලයක් ලෙස විසිවන සියවසත් හඳුන්වන්න පුළුවන්. ධනවත් ව්‍යාපාරිකයන් වන ඇන්ඩෘ කානගි සහ ජෝන් ඩී. රොකෆෙලර් ඔවුන් සතු මුදල් අවශ්‍යතාව තිබෙන අය වෙනුවෙන් වියදම් කිරීමට තීරණය කළා. නමුත් අතීතයේ සිදු කළ සමාජ සේවා කටයුතුවලින් මිනිසුන්ගේ ප්‍රශ්නවලට හේතු වන කාරණාවලට නියම විසඳුම නොලැබෙන බව ඔවුන් තේරුම්ගත්තා. ඒ නිසා ඔවුන් මේ සඳහා හොඳ සැලස්මකින් යුත් ආයතන පිහිටවනු ලැබුවා. ඒවායේ අරමුණ සමාජයේ පවතින ප්‍රශ්න ගැටලුවලට මූලික වන දේ ඉවත් කිරීම හා ඒ සඳහා අරමුදල් සොයාගැනීමයි. ඒ කාලයේ පටන් ලොව පුරා එවැනි සංවිධාන දසදහස් ගණනක් බිහි වී තිබෙනවා. එවැනි එක් ආයතනයක් සතුව ඩොලර් බිලියනයකට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් තිබෙන අතර එවැනි ආයතන 50කට වඩා තිබෙනවා.

මෙවැනි ආයතන මගින් ඉතා යහපත් ප්‍රතිඵල අත් කරගෙන තිබෙන බව සැබෑවක්. ඊට හොඳ සාක්ෂි ලෙස එවැනි ආයතන මගින් බිහි කර තිබෙන පාසැල්, පුස්තකාල, රෝහල්, උද්‍යාන හා කෞතුකාගාර නම් කළ හැකියි. ආහාර හිඟයක් පවතින රටවලට ආහාර සැපයුම වැඩි කිරීමටද ඔවුන් පියවර ගෙන තිබෙනවා. වෛද්‍යමය කටයුතු සඳහාද ඔවුන් අරමුදල් යෙදීම නිසා සෞඛ්‍යරාක්ෂාව දියුණු කිරීමටත් සෙංගමාලය වැනි ලෙඩ රෝග සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමටත් හැකි වී තිබෙනවා.

ලොව පුරා පවතින ප්‍රශ්න ගැටලු විසඳන්න මිනිසුන්ට තිබෙන දැඩි වුවමනාව හා ඔවුන් සතුව තිබෙන විශාල ධන සම්පත් හේතුවෙන් අනාගතය තව තවත් සාර්ථක වෙයි කියා බොහෝ අය සිතනවා. වර්ෂ 2006දී අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති එවැනි දානපතීන් කණ්ඩායමකට මෙසේ පැවසුවා. “මිනිසුන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා පෞද්ගලිකව හෝ ආයතන වශයෙන් කරන මෙවැනි පරිත්‍යාග මහඟු පිටුවහලක් වෙනවා.”

තවත් බොහෝ අය ඔවුන්ගේ අනාගතය ගැන සිටින්නේ මහත් බියෙන්. ලෝක සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ එක් ආයතනයක සාමාජිකාවක් වන ලෝරි ගැරට් මෙසේ පවසනවා. “ලොව පුරා තියෙන සෞඛ්‍ය ගැටලු අවසානයකට ගෙනෙන්න මේ අරමුදල්වලට පුළුවන් කියා කෙනෙක්ට සිතෙන්න පුළුවන්. නමුත් එසේ නිගමනය කිරීම වැරදියි.” ඊට හේතුව ලෙස ඇය දක්වන්නේ කණ්ඩායම් වශයෙන් සිදු කරන මුදල් වංචාවන්, විධිමත් සැලසුමක් නොමැතිකම සහ සමහර අය ඒඩ්ස් වැනි රෝග සඳහා මුදල් යෙදවීම ප්‍රතික්ෂේප කිරීමයි.

මෙසේ විධිමත් සැලැස්මක් නොමැතිකම හා “පොදුවේ මිනිසුන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවලට ප්‍රමාණවත් ලෙස මුදල් නොයෙදීම වැනි හේතු නිසා කොතරම් අරමුදල් ලැබුණත් පවතින තත්වය තව තවත් දරුණු අතට හැරෙයි. ඒ විතරක් නොවෙයි මිනිසුන්ගේ බලාපොරොත්තු සුන් වෙයි යන බියද” ඇය තුළ තිබෙන බව ලෝරි ගැරට් තවදුරටත් පවසනවා.

ගැටලුවලට විසඳුම මුදල්ද?

මිනිසුන් කොතරම් අරමුදල් පරිත්‍යාග කළත් එමගින් ඔවුන්ට කළ හැකි දේ සීමිතයි. මන්ද මුදලටවත් හොඳ අධ්‍යාපනයකටවත් තණ්හාව, වෛරය, ජාතිවාදය හා අසත්‍ය ආගමික විශ්වාසයන් වැනි දේවල් නැති කරන්න බැහැ. මෙවැනි දේවල් නිසා මිනිසුන් දුක් වින්දත් ඒවා දුක් වේදනාවලට මූලිකම හේතු නොවෙයි. බයිබලයේ පෙන්වන ආකාරයට ඊට බලපාන තවත් ප්‍රධාන හේතු තිබෙනවා.

එක් හේතුවක් වන්නේ පව් කිරීමට නැඹුරුවාවක් ඇතිව අපි ඉපදීමයි.( රෝම 3:23; 5:12) බයිබලයේ ඒ ගැන මෙසේ පවසනවා. “කුඩා කල පටන් මිනිසාගේ සිත නපුරට යොමු වී තිබේ.” (උත්පත්ති 8:21, නව ලොව පරිවර්තනය, NW) මේ නිසා මිලියන ගණන් අය දුරාචාරය හා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී තිබෙනවා. එවැනි ක්‍රියා හේතුවෙන් ඒඩ්ස් වැනි මාරාන්තික රෝග පැතිරෙමින් තිබෙනවා.—රෝම 1:26, 27.

දෙවන හේතුව නම් මිනිසුන්ට තමන්වම පාලනය කළ නොහැකි වීමයි. බයිබලයේ මෙසේ ඒ ගැන පවසනවා. ‘තම ජීවිත ගමනේ පියවර තබන අයුරු තනිව තීරණය කරන්න ඔහුට හැකියාවක් නැත.’ (යෙරෙමියා 10:23NW) කලින් සඳහන් කළ පරිදි “මිනිස් ආණ්ඩුවල අසාර්ථකත්වය” නිසා බොහෝ සංවිධාන දේශපාලන නායකයන්ගේ උපකාර නොපතා තමන් විසින්ම ප්‍රශ්නවලට විසඳුම් සොයන්න උත්සාහ කරනවා. නමුත් බයිබලයේ පවසන්නේ මිනිසුන්ගේ එකම පාලකයා ඔවුන්ගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි පමණක් බවයි.—යෙසායා 33:22.

තවදුරටත් බයිබලයේ පොරොන්දු කරන පරිදි යෙහෝවා දෙවි මිනිසුන්ගේ සියලුම ප්‍රශ්න ගැටලු නිමාවකට පත් කරනවා. ඔහු ඒ සඳහා දැනටමත් මූලික පියවර ගෙන අවසන්.

මිල කළ නොහැකි පරිත්‍යාගයක්!

අපේ නිර්මාතෘ මෙන් මුළු මිනිස් සමාජයටම ප්‍රේම කරන වෙන කිසිවෙක් නැහැ. බයිබලයේ ඒ ගැන මෙසේ පවසනවා. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) ඔහු අපව පව්කාර තත්වයෙන් හා මරණයෙන් මුදවාගැනීම සඳහා කිසිම පරිත්‍යාගයකට සම කළ නොහැකි දෙයක් අප වෙනුවෙන් දුන්නා. ඔහු එය කළේ මිල කළ නොහැකි තම පුත්‍රයාගේ ‘ජීවිතය මිදීමේ මිලයක් ලෙස දීමෙනුයි.’ (මතෙව් 20:28) බයිබල් ලේඛකයෙක් වූ පේතෘස් යේසුස් ගැන මෙසේ පැවසුවා. “අප පාපවල නොයෙදී ධර්මිෂ්ඨකම උදෙසා ජීවත් වන පිණිස, ඔහු කණුව මතදී, තමාගේ ශරීරය තුළ අපේ පව් දැරුවේය. ඔහුගේ තුවාලවලින් ඔබව සුව කරනු ලැබුවේය.”—1 පේතෘස් 2:24.

අද පවතින අසාර්ථක පාලනවලට ස්ථිරසාර විසඳුමක් ගෙන ඒමටද දෙවි පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා ඔහු දේවරාජ්‍යය ලෙස හඳුන්වන ඔහුගේ ආණ්ඩුව දැනටමත් ස්වර්ගයේ පිහිටුවා අවසන්. එමගින් ඔහු සෑම දුෂ්ටකමක්ම මේ පොළොවෙන් සදහටම තුරන් කර දමා සාමය හා එක්සත්කම රජයන ලොවක් බවට මේ පොළොව පත් කිරීමට නියමිතයි.—ගීතාවලිය 37:10, 11; දානියෙල් 2:44; 7:13, 14.

දෙවි මිනිසුන්ගේ දුක් වේදනාවලට හේතු වන සියලුම දේවල් සහමුලින්ම නැති කර දමනවා. මිනිසුන්ගේ ප්‍රශ්න විසඳීමට ආයතන පිහිටුවනවා වෙනුවට සාක්ෂිකරුවන් ඔවුන්ගේ කාලය හා මුදල් ‘[දෙවිගේ] රාජ්‍යයේ ශුභාරංචිය’ ප්‍රචාරය කිරීම සඳහා වැය කරනවා. මෙසේ කිරීමේදී ඔවුන් අනුකරණය කරන්නේ යේසුස්ගේ කදිම ආදර්ශයයි.—මතෙව් 24:14; ලූක් 4:43.

[21වන පිටුවේ කොටුව⁄පින්තූරය]

‘සතුටින් දෙන්නාට දෙවි ප්‍රේම කරයි’

ඉහත සඳහන් බයිබල් වගන්තිය අන් අයට උපකාර කිරීමට සාක්ෂිකරුවන්ව පොලඹවන එක් බයිබල් ප්‍රතිපත්තියක්. (2 කොරින්ති 9:7) තම කාලය, ශ්‍රමය හා මුදල් අවශ්‍යතා ඇති අය වෙනුවෙන් යොදවන විට බයිබලයේ සඳහන් මෙම උපදෙසට කීකරු වීමට ඔවුන් වෑයම් කරනවා. “අපි වචනයෙන්වත් කතාවෙන්වත් නොව, ක්‍රියාවෙනුත් සත්‍යතාවෙනුත් ප්‍රේම කරමු.”—1 යොහන් 3:18.

ස්වාභාවික විපත් නිසා යම් අනතුරුවලට මිනිසුන් ගොදුරු වන විට එය අන් අයට උපකාර කිරීමට ලැබෙන මහඟු ප්‍රස්තාවක් ලෙස ඔවුන් සලකනවා. නිදසුනකට අමෙරිකාවේ ඇති වූ කැට්රිනා, රීටා හා විල්මා වැනි චණ්ඩ මාරුත හේතුවෙන් ආපදාවලට ලක් වූ අයට සහන සේවා සැපයීම සඳහා ඔවුන් සංවිධානය වී ස්වේච්ඡාවෙන් වැඩ කළා. ඔවුන් විපත්තියට ගොදුරු වූ සාක්ෂිකරුවන්ගේ නිවෙස් 5,600කට වඩා වැඩි සංඛ්‍යාවක්ද තමන් නමස්කාරයට රැස්වෙන රාජ්‍ය ශාලා 90ක්ද ඉදි කිරීමෙන් හා අලුත්වැඩියා කිරීමෙන් විශාල මෙහෙවරක් ඉටු කළා.

සාක්ෂිකරුවන් සිදු කරන මේ සෑම වැඩකටම මුදල් ලැබෙන්නේ ඔවුන්ගේම ස්වෙච්ඡා සම්මාදම්වලිනුයි. ඒ හැර වෙනත් ක්‍රමවලින් ඔවුන්ට මුදල් ලැබෙන්නේවත් ඔවුන් මුදල් ලබාගන්නේවත් නැහැ.—මතෙව් 6:3, 4; 2 කොරින්ති 8:12.

[19වන පිටුවේ පින්තූර]

ලෙඩ රෝග හා දුක් වේදනා සහමුලින්ම නැති කරන්න මුදල්වලට බැහැ

[හිමිකම් විස්තර]

© Chris de Bode/​Panos Pictures