Skip to content

පටුනට යන්න

ලෙයින් නැහැවුණු යුගයක්!

ලෙයින් නැහැවුණු යුගයක්!

ලෙයින් නැහැවුණු යුගයක්!

තමන්ට එරෙහි වන සියලුදෙනාවම වනසමින්, ඔවුන් සතු සෑම දෙයක්ම කොල්ලකමින් නැඟෙනහිරින් ඇදී එන පළඟැටි සේනාවක් සේ පෙනෙන භයානක අසරුවන් නිසා රුසියානුවන් මහත් බියට මෙන්ම ව්‍යාකූලත්වයට පත් වී සිටිනවා. මේ අවස්ථාවේ රුසියානු වැසියන් සතු එකම ආරක්ෂිත ස්ථානය වන්නේ ඔවුන්ගේ අගනුවර වූ නොව්ගොරොද් නගරයයි. මේ භයංකර සිදුවීම් සියැසින් දුටු එක් ලේඛකයෙක් පවසන්නේ එය කිසිවෙක් “නොහඳුනන ගෝත්‍රිකයන්” පිරිසක් විසින් කළ ආක්‍රමණයක් ලෙසටයි.

ආසියා හා යුරෝපා ඉතිහාසයේ මහත් විප්ලවයක් කළ මේ ආක්‍රමිකයන් වන්නේ මධ්‍යම හා ඊසාන දිග ආසියාවේ පිහිටා තිබෙන මොංගෝලියාවෙන් පැමිණි මොංගෝලියානු ජන පිරිසයි. ඔවුන්ගේ මෙම රුදුරු ආක්‍රමණ ආරම්භ වූයේ ක්‍රිස්තු වර්ෂ 13වන සියවසේදීයි. රෝම අධිරාජ්‍යය විසින් වසර 400ක් පුරා සටන් වැද අත්පත් කරගත් ප්‍රදේශවලට වඩා විශාල ප්‍රදේශයක් මොවුන් වසර 25ක් වැනි කෙටි කාලයක් තුළ අල්ලාගැනීම විශේෂත්වයක්. ඔවුන්ගේ පාලන බලය කොරියාවේ සිට හංගේරියාව දක්වාත් සයිබීරියාවේ සිට ඉන්දියාව දක්වාත් විහිදී තිබුණා.

ආසියා හා යුරෝපා ඉතිහාසය දෙස බැලූ විට කෙටි කාලයක් පැවති මෙම කුරිරු මොංගෝලියානු අධිරාජ්‍යයේ ස්වභාවයෙන් යමක් මනාව පිළිඹිබු වෙනවා. එනම් මිනිස් පාලනවල ස්වභාවය ගැන බයිබලයේ විස්තර කර ඇති සත්‍යයයි. එහි පෙන්වන්නේ මිනිස් පාලන නිෂ්ඵල මෙන්ම තාවකාලික බවයි. (ගීතාවලිය 62:9; 144:4) බයිබලයේ ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “මිනිසා තවත් මිනිසෙකුට හානි වන ලෙස බලය ක්‍රියාත්මක කර ඇත.” (දේශනාකාරයා 8:9, නව ලොව පරිවර්තනය) තවදුරටත් බයිබලයේ පවසන පරිදි බලවත් අධිරාජ්‍යයන් වෙනත් ජාතීන් යටත් කරගැනීමේ අරමුණින් ඉතාමත් උදහසින් යුතුව වනමෘගයෙක් හා සමානව ක්‍රියා කරයි. *

මොංගෝලියානුවන්ගේ වත ගොත

මොංගෝලියානුවන් තැනින් තැනට ගමන් කරන ගෝත්‍රිකයින් පිරිසක්. එමෙන්ම ඔවුන් දක්ෂ අසරුවන්ද එඩේරුන්ද වෙනවා. වෙළඳාමට හා දඩයමට ඔවුන් උපන් හපන්නුන් කියා කිව හැකියි. වෙනත් ජාතීන් මෙන් නොව සෑම මොංගෝලියානු ගෝත්‍රික පිරිමියෙක්ම අසරුවෙක් හා දුනුවායෙක් ලෙස මනා පුහුණවක් ලැබූ අයයි. එමෙන්ම ඔවුන් ඉතා කුරිරු යුධ භටයන් ලෙසද හැඳින්විය හැකියි. සෑම කෙනෙක්ම ඛාන් ලෙස හැඳින්වූ ඔවුන්ගේ නායකයාට යටත් වීම අනිවාර්යය දෙයක් වුණා.

වසර 20ක සටනකින් පසුව ඔවුන්ගේ එක් පාලයෙක් වන ටෙමූජින් (ක්‍රි. ව 1162-1227 පමණ) මොංගෝලියානු ගෝත්‍ර 27ක් ඔහුගේ පාලනය යටතේ එක්සත් කරනු ලැබුවා. ඉන්පසුව තුර්කීය ජාතික ටාටර්ස් නම් මුස්ලිම්වරු මොංගෝලියානුවන් සමඟ එක්වුණා. මෙම කණ්ඩායම් දෙක බටහිර යුරෝපය දෙසට ගමන් කළ අතර මේ භයානක සටන්කරුවන් දුටු යුරෝපීයන් ඉමහත් බියට පත් වුණා. වර්ෂ 1206දී වයස අවුරුදු 40ක් පමණ වූ ටෙමූජින්ව මොංගෝලියානුවන් විසින් ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ නායකයා බවට පත් කළා. ඉන්පසුව ඔහුව හැඳින්වූයේ ජෙංගිස් ඛාන් ලෙසයි. එම පදවියේ අරුත “බලවත් පාලකයා” හෝ “විශ්වනීය පාලකයා” යන්නයි.

සැතපුම් දසදහස් ගණනක් අසරුවන් පිට නැඟී ගමන් කරමින් සෑම ප්‍රතිවාදියෙක්ටම පහර දීමට හැකියාව ඇති දුනුවායින්ගෙන් යුත් සේනාංකයක් ජෙංගිස් ඛාන්ට අයිති වුණා. ඔවුන් ඉතාමත් දරුණු මෙන්ම වේගවත් සේනාවක් කියා කිව හැකියි. මෙම පාලකයා ගැන එක් විශ්වකෝෂයක විස්තර කර තිබුණේ “ඔහු මහා ඇලෙක්සැන්ඩර් හෝ පළමුවන නැපෝලියන් හා සමානයි” කියායි. ජෙංගිස් ඛාන්ගේ සමකාලීනයෙක් වූ පර්සියානු ඉතිහාසඥයෙක් වන ජූස්ජානී ඔහුව “මිනීමරුවෙක්” ලෙසද “යෝධ බලයක් ඇති ඉතා බුද්ධිමත්” පුද්ගලයක් ලෙසද හැඳින්වූවා.—එම විශ්වකෝෂය Encarta Encyclopedia.

සටන දිගින් දිගටම

දැන් මොංගෝලියානු ගෝත්‍රිකයින්ගේ ප්‍රයත්නය වන්නේ උතුරු චීනයේ මැංචූරියාව අත්පත් කරගැනීමයි. ඒ වන විට ජින් රාජවංශයට අයත්ව තිබූ මෙම ප්‍රදේශය යටත් කරගැනීම සඳහා ඔවුන්ට ගෝබි කාන්තරය මැදින් දුෂ්කර ගමනක යෙදීමට සිදු වුණා. නමුත් මොංගෝලියානුවන්ට නම් එය එතරම් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඊට හේතුව කුසගින්න නිවාගැනීමට කිරි මෙන්ම අශ්වයින්ගෙන් ලබාගත් ලේ ඔවුන්ට ප්‍රමාණවත් වීමයි. ජෙංගිස් ඛාන් චීනය හා මැංචූරියාව යටත් කරගත්තද ඒ වෙනුවෙන් කළ සටන වසර 20ක පමණ කාලයක් දක්වා ඇදීගෙන ගියා. ඔහු චින ජාතිකයින් අතුරින් විද්වතුන්, කලා නිර්මාණකරුවන්, වෙළෙඳුන් මෙන්ම යුධ උපකරණ නිපදවීමට දක්ෂ ඉන්ජිනේරුවන්ව තමන් යටතට ගනු ලැබුවා.

පසුව සේද මාවතද තමන් යටතට ගත් අතර තුර්කීය ජාතික සුල්තාන්වරයෙක්වූ මුහම්මඩ් සමඟ වෙළඳ සබඳතා ඇති කරගැනීමටද ජෙංගිස් ඛාන්ට වුවමනා වුණා. මෙම සුල්තාන්වරයාගේ පාලන ප්‍රදේශයට ඇෆ්ගනිස්තානය, තජිකිස්තානය, තුර්ක්මෙනිස්තානය, උස්බෙකිස්තානය හා ඉරානයෙන් විශාල කොටසක් අයත් වුණා.

වෙළඳාම කෙරෙහි උන්නදුවක් පෙන්වූ මොංගෝලියානු ගෝත්‍රිකයින් 1218දී මුහම්මඩ් සුල්තාන්වරයාට අයත් දේශ සීමාවට පැමිණියා. නමුත් එහි ප්‍රධාන පාලකයාට මොවුන් ගැන තිබූ අවිශ්වාසය හේතුවෙන් ඔවුන්ව විනාශ කළා. මෙයින් කෝපයට පත් මොංගෝලියානු ජාතිකයින් මුස්ලිම්වරුන්ට එරෙහිව තම පළමු යුධ මෙහෙයුම දියත් කළා. වසර තුනක් ඇතුළත සුල්තාන්වරයාට අයත් බලප්‍රදේශවල සිටි වැසියන්ව මරා දමමින් ඔවුන් නගරවලට ගිනි තබමින් මහත් විනාශයක් සිදු කළා. නමුත් ඔවුන් විවිධ හැකියාවන්ගෙන් යුත් මිනිසුන්ව ඉතිරි කරගත්තා.

ඉන්පසුව 20,000ක් පමණ වූ මොංගෝලියානු සේනාව අසර්බයිජානය හා ජෝර්ජියාව හරහා උතුරු කෝකේසියා දෙසට ගමන් කළා. මේ ගමනේදී ඔවුන් 80,000ක් පමණ වූ රුසියානු හමුදාව ඇතුළුව තමන්ට හමුවන සෑම ප්‍රතිවාදියෙක්වම පරාජය කළා. එමෙන්ම කැස්පියන් මුහුද වටා කිලෝමීටර් 13,000ක විශාල වටලෑමක් සිදු කළ අතර එය සමහර අය සලකන්නේ ඉතිහාසයේ වාර්තා වන ලොව විශාලතම අශ්වාරෝහක යුධ මෙහෙයුමක් හැටියටයි. මෙම ජයග්‍රහණයන් ඔවුන්ගේ ඉදිරි සටන්වල පෙර දැක්මක් ලෙස සැලකිය හැකියි.

තවත් පාලකයෙක්

ජෙංගිස් ඛාන්ගේ මුල් භාර්යාවගේ පුතුන් හතරදෙනාගෙන් තුන්වෙනියා වන ඕගෝඩෙයි ඊළඟ පාලකයා බවට පත්වුණා. ඔහු නැවතත් යටත් විජිතයන් තම පාලනය යටතට ගත් අතර යටත් විජිත පාලකයන්ගෙන් කප්පම්ද ලබාගත්තා. එමෙන්ම ජින් රාජවංශයට අයත් උතුරු චීනයේ ඉතිරි කොටස්ද අල්ලාගැනීමට ඔහුට හැකි වුණා.

මොංගෝලියානු පාලකයා මෙන්ම වැසියන් ගත කළ සුඛෝපබෝගී ජීවිත රටාව නිසා ඔවුන්ට අවශ්‍ය ධන සම්පත් ලබාගැනීමට තවදුරටත් මංකොල්ල කන්න සිදු වුණා. ඒ සඳහා නැවතත් ප්‍රදේශ ආක්‍රමණය කරන්න ඕගෝඩෙයි තීරණය කළා. ඒ සඳහා එක් මෙහෙයුමක් යුරෝපය දෙසටද අනික දකුණු චීනය දෙසටද දියත් කළා. යුරෝපය දෙසට දියත් කළ මෙහෙයුම ජයග්‍රහණය කළත් අනික් මෙහෙයුම අසාර්ථක වුණා. කුඩා ජයග්‍රහණයන් හැරණු කොට සැං රාජවංශයට අයත් ප්‍රධාන බලප්‍රදේශය යටත් කරගන්න ඔවුන්ට හැකි වුණේ නැහැ.

බටහිර දෙසට දියත් කළ මෙහෙයුම

වර්ෂ 1236දී 1,50,000කින් යුත් යුධ සේනාවක් බටහිර දෙසින් යුරෝපයට ගමන් කළා. ඔවුන්ගේ පළමු අදියර වූයේ වොල්ගා ගංගාව ආශ්‍රිත ප්‍රදේශය අත්පත් කරගැනීමයි. ඉන්පසුව ඔවුන් රුසියාවේ කීව් නගරය විනාශ කරමින් එය අළු ගොඩක් බවට පත් කළා. නගරයේ වැසියන් තමන්ට අයිති ධන සම්පත්වලින් දසයෙන් කොටසක් මොංගෝලියානුවන්ට දුන්නොත් ඔවුන්ව විනාශ නොකරන බවට ඔවුන් පොරොන්දු වුණා. නමුත් රුසියානුවන් සටන දිගටම කරගෙන යෑමට තීරණය කළා. මේ නිසා මොංගෝලියානුවන් දැවැන්ත කැටපල් යන්ත්‍ර යොදාගනිමින් ගිනි බෝල හා විශාල ගල්වලින් ඈත සිටින සතුරාට ප්‍රහාර එල්ල කළ අතර එමගින් සම්පූර්ණ විනාශයක් සිදු කළා. ඒ මහත් විනාශය ගැන එක ඉතිහාසඥයෙක් පැවසූයේ “සිදු වූ විනාශය ගැන වැලපෙන්න කිසිවෙක් ඉතිරි වුණේ නැහැ” කියායි.

මොංගෝලියානුවන්ගේ සටන එතැනින් නතර වුණේ නැහැ. ඔවුන් තවදුරටත් පෝලන්තය හා හංගේරියාව අත්පත් කරගත් අතර ජර්මනියේ දේශ සීමාවට ළඟා වුණා. බටහිර යුරෝපීයන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළද එය සාර්ථක වුණේ නැහැ. කෙසේවෙතත් 1241 දෙසැම්බර් මාසයේ ඕගෝඩෙයි බීමත්ව සිටින අවස්ථාවකදී මිය ගිය බව වාර්තා වෙනවා. ඉන්පසුව මොංගෝලියානුවන් නැවතත් තමන්ට පාලකයෙක් පත් කරගැනීම සඳහා කිලෝමීටර් 6,000ක් පමණ ඈතින් පිහිටි තම අගනුවර වන කැරකෝරම් වෙතට ගියා.

ඕගෝඩෙයිගෙන් පසු පාලකයා බවට පත් වූයේ ගූයූක් නම් ඔහුගේ පුත්‍රයායි. මේ කාලයේදී යුරෝපීයන් මුහුණ දුන් දුක්ඛිත තත්වය ගැන මහත් කනස්සල්ලෙන් සිටි හතරවන ඉනසන්ට් පාප්තුමා ඉතාලි පූජයෙක් අත ලිපියක් ගූයූක් අධිරාජ්‍යයා වෙත යවනු ලැබුවා. නැවතත් යුරෝපය ආක්‍රමණය නොකරන ලෙසටත් ක්‍රිස්තියානි ධර්මය වැලඳගන්නා ලෙසටත් එම ලිපිය මගින් පාප්තුමා ඔහුගෙන් ඉල්ලා සිටියා. කෙසේවෙතත් ගූයූක්, පාප්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර පාප්තුමා හා තවත් පාලක නියෝජිතයන්ට ඔහු වෙත පැමිණ තමන්ට වැඳ නමස්කාර කරන ලෙස ඔහු පවසා සිටියා.

නොනවත්වා දියත් කළ මෙහෙයුම්

වර්ෂ 1251දී මන්ගු මොංගෝලියානු අධිරාජ්‍යයා බවට පත් වුණා. මන්ගු සහ ඔහුගේ සහෝදරයා වූ කුබ්ලායි එක්ව මෙහෙයුම් දෙකක් දියත් කළා. කුබ්ලායි, සුං රාජවංශයට අයත් චීනයේ දකුණු දෙසටත් මන්ගු බටහිරි දෙසටත් සටන දියත් කළා. බටහිර දෙසට ගමන් කළ සේනාව බැග්ඩෑඩ් නගරය ගිනිබත් කළ අතර දමස්කයද යටත් කරගත්තා. බැග්ඩෑඩ්හි සිටි මුස්ලිම්වරුන්ගේ විනාශය ගැන ප්‍රීති වූ ක්‍රිස්තියානීන් තම මුස්ලිම් අසල්වැසියන්ව මරා දමමින් ඔවුන් සතු දේවල් කොල්ලකන්නද පටන්ගත්තා.

මුස්ලිම්වරුන්ව සහමුලින්ම විනාශ කර දැමීමට මොංගෝලියානුවන් සූදානම් වන විට මන්ගු අධිරාජ්‍යයා මිය ගියා. නැවත වරක් ආක්‍රමිකයන් තම මව්බිම කරා ගිය අතර 10,000ක පමණ සේනාවක් මුස්ලිම්වරුන්ගේ දේශ සීමාවේ නතර වුණා. කෙසේවෙතත් නතර වී සිටි මෙම සේනාව නොසිතූ විරූ ලෙස ඊජිප්තුවෙන් පැමිණි හමුදාවට හසුවුණා.

කෙසේවෙතත් දකුණු චීනයේ ධනවත් සුං රාජවංශයට එරෙහිව දියත් කළ සටන අතිසාර්ථක මෙහෙයුමක් වුණා. කුබ්ලායි ඛාන් දකුණු චීනයට අයත් එම ප්‍රදේශයේ පාලකයා බවට පත් වූ අතර ඔහු තම රාජවංශය යූආන් ලෙස නම් කළා. ඔහු අගනුවර කරගත් ඒ නගරය අද හඳුන්වන්නේ බීජිං ලෙසයි. වර්ෂ 1270 අගභාගයේදී සුං රාජවංශයට අයත් ඉතිරි කොටසද අත්පත් කරගත් අතර පසුව කුබ්ලායි ඛාන් චීනයට අයත් සෑම ප්‍රදේශයක්ම එකම පාලකයෙක් යටතට ගෙනවා. වර්ෂ 907දී ටෑන් රාජවංශය බිඳ වැටීමෙන් පසු චීනය එක් පාලකයෙක් යටතට පත් කළ ප්‍රථම අවස්ථාව එයයි.

අධිරාජ්‍යයේ බිඳ වැටීම

දහහතරවන සියවසේ මුල්භාගයේදී මොංගෝලියානු අධිරාජ්‍යය කොටස් වශයෙන් බෙදී ගියා. ඊට හේතු කිහිපයක්ම බලපෑවා. එක් හේතුවක් නම් ජෙංගිස් ඛාන්ගෙන් පැවත එන්නන් බලයට තිබෙන තණ්හාව නිසා එකිනෙකා ඇණ කොටාගැනීමයි. තවදුරටත් මොංගෝලියානුවන් වෙනත් ජාතීන්ව විවාහ කරගැනීම නිසාද ඔවුන්ට තිබුණු ශක්තිය හීන වුණා. එමෙන්ම කුබ්ලායි ඛාන්ගෙන් පැවත එන්නන් අතර පැවති අරගල හේතුවෙන් චීනයේ පාලන බලයද දුර්වල වුණා. වර්ෂ 1368දී චීන ජාතිකයින් මොංගෝලියානුවන්ගේ අදක්ෂ පාලනය, දුෂණ, අධික ලෙස බදු අය කිරීම් වැනි දේවල් නිසා ඔවුන්ව තම මව්බිමට පලවාහැරියා.

මොංගෝලියානුවන් වේගයෙන් පැමිණ කෙටි කාලයකින් බොහෝ දේශයන් අත්පත් කරගෙන ක්ෂණයකින් නැතිව ගියේ හරියට දරුණු කුණාටුවක් හා සමානවයි. ඔවුන්ගේ ක්‍රියාවල සේයාවන් ඉතිහාසයේ තවමත් නොමැකී පවතිනවා. ඊට කදිම උදාහරණයක් වන්නේ මොවුන්ගේ අධිරාජ්‍යය යටතේ චීනයත් මොංගෝලියාවත් එක්සත් වීමයි. තවමත් ජාතියේ පියා ලෙස මොංගෝලියානු ජාතිකයින් ඔවුන්ගේ ප්‍රථම පාලකයා වූ ජෙංගිස් ඛාන්ට ගරුබුහුමන් දක්වනවා.

[පාදසටහන]

^ 4 ඡේ. මේ පිළිබඳව තවදුරටත් දැනගැනීම සඳහා දානියෙල් 7:6, 12, 17, 23; 8:20-22; එළිදරව් 16:10; 17:3, 9-12 යන පද බලන්න.

[13වන පිටුවේ කොටුව⁄පින්තූරය]

වෙළඳ සබඳතා

කුබ්ලායි ඛාන්ගේ පාලන සමය යුරෝපා ඉතිහාසයේ වෙළඳාමේ හා ප්‍රවාහණයේ මහත් දියුණුවක් අද්දුටු සමය ලෙස හැඳින්වෙනවා. මෙය ඉතාලි ජාතික ගවේෂකයෙක් වූ මාර්කෝ පෝලෝ ජීවත් වූ කාලයයි (1254-1324). * යුරෝපීය වෙළෙඳුන් ගොඩබිම් මාර්ගවලින් හා නැව්වලින් ගොස් අරාබිය, පර්සියාව, ඉන්දියාව වැනි රටවල්වලින් අශ්වයන්, මැණික්, කුළුබඩු වැනි දේවලට සිල්ක් රෙදි, පිඟන් මැටි, ලැකර් වැනි දෑ හුවමාරු කරගත්තා.

මාර්කෝ පෝලෝගේ ලියවිල්ලක් මගින් මොංගෝලියානුවන් ගැන දැනගත් ක්‍රිස්ටෝපර් කොලම්බස් 1492දී මොංගෝලියාවට ගමන් කළා. ඒ ඔවුන් සමඟ වෙළඳ සම්බන්ධතා ඇති කරගැනීමටයි. නමුත් සියවසකට වඩා වැඩි කාලයකට එම අධිරාජ්‍යය බිඳ වැටී තිබුණු බව ඔහු දැන සිටියේ නැහැ. මේ නිසා එම රටවල් අතර පණිවිඩ හුවමාරුව ඇණහිට තිබූ අතර යුරෝපයේ සිට නැඟෙනහිරට තිබුණු ගමන් මාර්ගයද මුස්ලිම්වරු විසින් වසා දමා තිබුණා.

[පාදසටහන]

^ 32 ඡේ. මාර්කෝ පෝලෝගේ චීන සංචාරය ගැන දැනගැනීම සඳහා 2004 ජූනි 8 පිබිදෙව්! ඉංග්‍රීසි කලාපය කියවන්න.

[14වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ආගමික පසුබිම

මොංගෝලියානුවන් කියන්නේ අජීවි දේවල් දේවත්වයෙන් සැලකූ පිරිසක්. නමුත් ඔවුන් වෙනත් අයට ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස දී තිබුණා. එක් පොතක විස්තර කළ පරිදි බටහිරින් පැමිණි ජාතීන් මොංගෝලියාවේ අගනුවර වූ කැරකෝරම්වලට පැමිණි විට ඔවුන් සතු ධන සම්පත්, ක්‍රිස්තියානි දේවස්ථාන, මුස්ලිම් පල්ලි හා පන්සල් දැක පුදුමයට පත්වුණා.—The Devil’s Horsemen.

නෙස්ටෝරියානුවන් ලෙස හඳුන්වන ක්‍රිස්තියානීන්යයි කියාගන්නා වූ කණ්ඩායමක් නිසා සමහර මොංගෝලියානුවන් ක්‍රිස්තියානි ධර්මය වැලඳගත්තා. ආසියාවේ සිටි තුර්කි ජාතිකයන් බොහෝදෙනෙකුව නෙස්ටෝරියානුවන් විසින් තම ආගමට හරවාගත් අතර එවැනි සමහර අය මොංගෝලියානුවන්ව විවාහ කරගත් නිසා ඔවුන්ද එම ආගමට හැරුණා. ඉන් සමහර ස්ත්‍රීන් මොංගෝලියානු රාජකීය පවුලේ සාමාජිකයන් බවට පත්වුණා.

අද දින සිටින මොංගෝලියානුවන්ගෙන් සියයට 30ක් අජීවි දේවල් දේවත්වයෙන් සලකන අයයි. සියයට 23ක් බෞද්ධ ධර්මයේ එක් නිකායකට සම්බන්ධ අයයි. සියයට පහක් ඉස්ලාම් ආගම අදහන අය වන අතර අනික් අය කිසිම ආගමක් අදහන්නේ නැති අයයි.

[15වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

මොංගෝලියානුවන් අත්පත් කරගත් ප්‍රදේශ

හංගේරියාව

රුසියාව

කීව්

වොල්ගා ගංගාව

සයිබීරියාව

කැස්පියන් මුහුද

දමස්කය

ඉරානය

බැග්ඩෑඩ්

උස්බෙකිස්තානය

මොංගෝලියාව

කැරකෝරම්

ගෝබි කාන්තාරය

කොරියාව

චීනය

බීජිං

ඉන්දියාව

නොව්ගොරොද්

[15වන පිටුවේ පින්තූරය]

අශ්වයෙක් පිට නැඟි මොංගෝලියානුවෙක්

[15වන පිටුවේ පින්තූරය]

ජෙංගිස් ඛාන්

[12වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Bildarchiv Preussischer Kulturbesitz/​Art Resource, NY

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Scenic: © Bruno Morandi/​age fotostock; Genghis Khan: © The Stapleton Collection/​The Bridgeman Art Library