Skip to content

පටුනට යන්න

දශක හතරක් පීඩා මැද විශ්වාසවන්තව

දශක හතරක් පීඩා මැද විශ්වාසවන්තව

දශක හතරක් පීඩා මැද විශ්වාසවන්තව

පැවසුවේ පාවොල් කෝවාර් විසින්

බෝම්බ ප්‍රහාර එන්න එන්නම දරුණු වුණා. අපි හිටිය කඳවුර හෙලවෙන්න පටන්ගත්තා. ඒක කොයි වෙලාවේ කඩාගෙන වැටෙයිද කියන බයෙන් අපි හිටියේ. ඒ වෙලාවේ එතන හිටිය කවුදෝ කෙනෙක් මෙහෙම යාච්ඤා කරනවා මට ඇහුණා. “අනේ යෙහෝවා දෙවියනි, ඔබේ ශුද්ධ නාමයෙන් අපිව බේරගන්න!”

ඒ සිද්ධිය වුණේ 1945 ජනවාරි 8වෙනිදායි. එදා මම හිටියේ ඔස්ට්‍රියාවේ ලින්ස් නගරයේ කඳවුරක සිරකාරයෙක් හැටියටයි. ඒ සිද්ධිය වෙන කොට එතන 250ක් විතර සිරකාරයන් හිටියා. ඒ හැමෝම වගේ එදා බේරුණා. සිදු වෙලා තියෙන විනාශය දැක්කාම අපිට අදහාගන්න බැරුව ගියා. එදා ඒ හදපත්ලෙන් නැඟෙන යාච්ඤාව කළේ කවුද කියලා මම දන්නේ නැති වුණාට ඒ වචන මගේ මතකයේ තාමත් නොමැකී තියෙනවා. මම යෙහෝවා දෙවි ගැන ඉගෙනගත්තේ කොහොමද කියලා කියන්න කලින් මං ගැන තොරතුරු ටිකක් ඔයාලට කියන්නම්.

මම ඉපදුණේ 1921 සැප්තැම්බර් 28වෙනිදා ස්ලොවෙකියාවේ ක්‍රෙයිනි ගම්මානයේයි. ඒක චෙච් සමූහාණ්ඩුවට අයිති ප්‍රදේශයක්. එහෙ අපි ගත කළේ හරිම සරල ජීවිතයක්. තියෙන දෙයින් අපි සෑහීමට පත්වුණා. මගේ දෙමාපියන් රෙපරමාදු ආගමට හුඟක් ලැදියි. හැමදාම ඉරිදා උදේට තාත්තා බයිබලය කියවද්දී අම්මයි මමයි මගේ සහෝදරයන් තුන්දෙනයි ඒකට හොඳින් ඇහුම්කන් දුන්නා. ඒත් මම කවදාවත් යෙහෝවා කියන නම තාත්තා බයිබලයෙන් කියවනවා අහලා තිබුණේ නැහැ.

පළමුවන ලෝක මහා යුද්ධය ගැන තිබුණු දුක්බර මතකයන් නිසා 1939 දෙවන ලෝක මහා යුද්ධය පටන්ගත්තාම හුඟදෙනෙක් බය වුණා. වර්ෂ 1942දී මාව ස්ලොවෙකියාවේ හමුදා සේවයට බඳවාගත්තා. ස්ලොවෙකියාවට ප්‍රජාත්‍රාන්තවාදී පාලනය අවශ්‍ය වුණු නිසා 1944 අගෝස්තුවලදී ජර්මනියෙත් ස්ලොවෙකියාවෙත් පාලනය දෙකට බෙදී ගියා. මේ නිසා මං ඇතුළු තවත් හමුදා භටයන් දහස් ගණනක් ජර්මනිය විසින් පාලනය කළ ප්‍රදේශයකට යැව්වා. අපිව හිර කරලා තිබුණේ ලින්ස් නගරයේ ගූසන්වල තිබුණු කඳවුරකයි. ඒක තිබුණේ මවුට්හව්සන් කියන ප්‍රධාන කඳවුර ළඟමයි.

සිරකරුවෙක් ලෙස සිටියදී

අපිව ගුවන් යානා නිෂ්පාදනය කරන තැනක වැඩ කරන්න යැව්වා. මම වැඩ කළේ එතන තිබුණු ලී මෝලක. අපිට එච්චර කන්න තිබුණෙත් නැහැ. වර්ෂ 1945දී නාට්සි හමුදාව ප්‍රතිවාදීන් ඉදිරියේ පරාජය වෙන්න පටන්ගනිද්දී අපිට ලැබුණු කෑම වේල තවත් අඩු කළා. අපිට උණුවෙන් යමක් ලැබුණා නම් ලැබුණේ සුප් එකක් විතරයි. හැම දවසකම උදේට අපේ කඳවුරට ප්‍රධාන කඳවුරේ හිටිය සමහර අය ඇවිත් වැඩ කරන්න බැරි තරම් දුර්වල සිරකාරයන්ට ඇති වෙනකල් පහර දීලා මරලා දැම්මා. ඊටපස්සේ අනික් සිරකරුවන් මළ මිනී ටික ගෙනියලා පුච්චලා දැම්මා.

ඒ මොන දේ සිද්ධ වුණත් අපි බලාපොරොත්තු වුණේ යුද්ධය ඉක්මනින්ම ඉවර වෙයි කියලයි. වර්ෂ 1945 මැයි 5වෙනිදා ඒ කියන්නේ මම මේ ලිපියේ මුලින් කියපු සිද්ධිය වෙලා මාස හතරකට පස්සේ මට හිතාගන්නවත් බැරි පුදුම දෙයක් සිද්ධ වුණා. එදා උදේ මම නැඟිටලා බලන කොට කඳවුරේ ගේට්ටු සම්පූර්ණයෙන්ම ඇරලා. හමුදා භටයන් එක්කෙනෙක්වත් පේන්න හිටියේ නැහැ. තුවක්කු එක තැනකට ගොඩගහලා තිබුණා. ඒ වුණත් මම දැක්කා නිදහස් වෙච්ච සිරකරුවන් එක් එක්කෙනා ඇනකොටා ගන්නවා. එදා වෙච්ච ඒ විනාශය මට අද වගේ මතකයි.

නාට්සි හමුදාවට උදව් කරපු තවත් කණ්ඩායමකට සිරකරුවන් පහර දීලා එයාලව මරලා දැම්මා. ඒ කණ්ඩායම නාට්සි හමුදාවට වඩා දරුණුයි. මම දැක්කා එක සිරකාරයෙක් ඒ කණ්ඩායමේ එක් කෙනෙක්ව මරනවා. “මේ මිනිහා මගේ තාත්තාව දවස් දෙකකට කලින් මැරුවා. අද තාත්තා හිටිය නම් අපි දෙන්නටම බේරෙන්න තිබුණානේ” කියලා එයා කෑගනවා මට ඇහුණා. එදා හවස් වෙන කොට අපේ කඳවුර තිබුණු තැන මළ මිනීවලින් පිරිලා තිබුණා. කොහොමවුණත් අපි කඳවුරෙන් පිටවෙන්න කලින් අපිට ඕනා වෙයි කියලා හිතන උපකරණ හොයාගන්න අපි මුළු කඳවුර පුරාම ඇවිද්දා.

යෙහෝවා දෙවි ගැන ඉගෙනගැනීම

වර්ෂ 1945 මැයි අග මම ගෙදර ආවා. ඒ වෙන කොට මගේ ගෙදර අය මම කඳවුරේ ඉද්දී අහපු යෙහෝවා දෙවිගේ නම දැනගෙන හිටියා විතරක් නෙවෙයි එයාලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයනුත් වෙලයි හිටියේ. ඊටපස්සේ මට ඔල්ගාව මුණගැහුණා. අවුරුද්දකට පස්සේ අපි විවාහ වුණා. ඔල්ගාට දෙවි කෙරෙහි තිබුණු ඇදහිල්ල නිසා තව තවත් බයිබලයෙන් යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න මම පෙලඹුණා. ඉන්පස්සේ අපි සාක්ෂිකරුවන්ගේ එක සමුළුවකදී බව්තීස්ම වුණා. කොමියුනිස්ට් පාලකයන් 1949දී අපේ දේශනා සේවය නතර කරන්න කලින් තිබුණු අන්තිම සමුළුව ඒකයි. එදා අපි දෙන්නා ඇතුළුව තවත් 50දෙනෙක් පමණ බව්තීස්ම වුණා. ඉන් ටික කාලකට පස්සේ අපිට ඔල්ගා සහ ව්ලාස්තා කියන දුවලා දෙන්නාව ලැබුණා.

දෙවන ලෝක මහා යුද්ධය තිබුණු කාලයේදී අපිට දේශනා සේවයට උදව් කළේ යාන් සහ සෙබීන් කියන දෙන්නයි. ඒ අය මගේ හොඳම යාළුවන්. කොමියුනිස්ට් පාලකයන්ගේ පීඩා එල්ල වුණත් අපි දේශනා සේවය හරිම උපායශීලී විදිහට දිගටම කරගෙන ගියා. අපිට මේ කාලයේදී බයිබලය ගැන ඉගෙනගන්න කැමති අයව මුණගැහුණා. කොහොමවුණත් යාන් සහ සෙබීන්ට ඒ ප්‍රදේශයෙන් යන්න සිද්ධ වුණු නිසා මටයි මගේ බිරිඳටයි ඒ බයිබල් පාඩම් දිගටම කරගෙන යන්න සිද්ධ වුණා. පස්සේ කාලෙකදී අපිත් එක්ක බයිබලය පාඩම් කරපු අයව, එයාලගේ දරුවන්ව, මුණුපුරන්ව සමුළුවල දකිද්දී දැනුණ සතුට නම් කියලා නිම කරන්න බැහැ!

විශේෂ සේවයක්

වර්ෂ 1953දී දේශනා සේවයේ මූලිකත්වය අර ගෙන වැඩ කරපු බොහෝ අයව සිර කළා. මේ නිසා මගේ ගෙදර ඉඳලා කිලෝමීටර් 150ක් විතර දුරින් තියෙන ප්‍රදේශයක දේශනා වැඩවලට යන්න මට සිද්ධ වුණා. හැම මාසයකම දෙවෙනි සතියේ සෙනසුරාදා නෝව්මෙස්ටෝවල තියෙන මගේ වැඩපොළේ ඉඳලා කෙලින්ම මම ගියේ ස්ලොවෙකියාවේ මාටින් කියන නගරයටයි. එහෙ ගිහිල්ලා මම සෙනසුරාදා රෑ වෙනකල් බයිබල් පාඩම් කෙරුවා. ඉරිදා දවසත් මම දේශනා වැඩවල සහභාගි වෙලා රෑට ආයෙමත් දුම්රියෙන් නෝව්මෙස්ටෝවලට ආවා. නගරය කිට්ටු වෙද්දී හුඟක් රෑ වෙන නිසා මම ගෙදර නොගිහින් ඒ ළඟ තිබුණු වයසක යුවළකගේ ගෙදර නැවතුණා. සඳුදා උදේට මම කෙලින්ම වැඩට ගියා. ඊටපස්සේ වැඩ ඉවර වෙලා රෑ වෙද්දී තමයි මම ගෙදර ගියේ. සතිඅන්තයේ මම ගෙදර නැති නිසා දුවලා දෙන්නව බලාගන්න ඔල්ගාට සිද්ධ වුණා.

වර්ෂ 1956දී චාරිකා අවේකෂකයෙක් හැටියට ඒ කියන්නේ සාක්ෂිකරුවන්ගේ සභාවල සිටින අයගේ ඇදහිල්ල ශක්තිමත් කරන්න පත් කරපු කෙනෙක් හැටියට වැඩ කරන්න මට ආරාධනාවක් ලැබුණා. මේ වෙද්දී ඒ වගේ අවේක්ෂකයින් හුඟදෙනෙක්ව හිර කරලා තිබුණු නිසා මම ඒ ආරාධනාවට එකඟ වුණා. අපිට විශ්වාසයක් තිබුණා යෙහෝවා දෙවි අපේ පවුලේ අයව රැකබලා ගනියි කියලා.

ඒ කාලයේ කොමියුනිස්ට් පාලනය යටතේ කෙනෙක් රැකියාවක් කළේ නැත්නම් ඒ වගේ අයව සමාජයට කිසිම පලක් නැති අය හැටියට සලකලා හිරේට දැම්මා. මේ නිසා මට මගේ රැකියාව දිගටම කරගෙන යන්න සිද්ධ වුණා. කොහොමවුණත් හැම මාසෙකම සතිඅන්ත දෙකක් මම පවුලේ අයත් එක්ක දේශනා සේවයේ සහ වෙනත් දේවල යෙදුණා. අනික් සතිඅන්ත දෙකේ ළඟපාත තිබුණු සභා හයක් එක්ක දේශනා වැඩවල හවුල් වුණා.

පොත් පත් මුද්‍රණය කළ ආකාරය

හැම සභාවකටම අවශ්‍ය පොත් පත් සපයන වගකීම භාර වෙලා තිබුණේ චාරිකා අවේක්ෂකලටයි. මුලින්ම සඟරාවක් ලැබුණම අපි ඒවා අතින් නැත්නම් යතුරු ලියනයකින් පිටපත් කළා. ඊටපස්සේ අපිට පුළුවන් වුණා මුරටැඹ සඟරාවේ පිටපත සේයාපටයක් හැටියට ලබාගන්න. ඒකෙන් අපි අවශ්‍ය පිටපත් ටික ලබාගත්තා. මේ සඳහා හුඟක් කඩදාසි ඕනේ වුණා. හැබැයි විශාල වශයෙන් කඩදාසි මිල දීලා ගන්න එක ටිකක් අමාරු වැඩක්. මොකද කඩදාසි රෝල් හැටියට ගනිද්දී නිලධාරීන් සැක කරනවා. ඒ නිසා මේ වැඩේ කරන්න නිර්භීත වගේම උපායශීලී වීමත් අවශ්‍ය වුණා.

මේ වැඩේ කරන්න හුඟක් දක්ෂ කෙනෙක් තමයි ෂ්ටෙෆාන් හුච්කෝ. එක දවසක් එයා කඩදාසි ගන්න නගරයේ තිබුණු සාප්පුවකට ගියාම ඒ සාප්පුවේ කඩදාසි ඉවර වෙලා. ඊටපස්සේ එයා එළියට එද්දී ඒකේ වැඩ කරන අඳුරන ගැහැනු ළමයෙක්ව දැකලා නැවතිලා. මොකද එයා තමයි මෙයා වෙනුවෙන් කඩදාසි ඇණවුමක් භාර අර ගෙන තියෙන්නේ. එතකොටම ෂ්ටෙෆාන් දැකලා තියෙනවා පොලිස් නිලධාරියෙක් සාප්පුවට එනවා. ඒත් එක්කම අර ගැහැනු ළමයා ෂ්ටෙෆාන්ට මෙහෙම කියලා. ‘මහත්තයා ඔයාගේ කඩදාසි ඇණවුම ඇවිල්ලා. හොඳ වෙලාවට ආවේ.’

ඒත් එක්කම ෂ්ටෙෆාන් ඒ ළමයාට මෙහෙම කියලා. “ඔයාට වැරදිලා. ඒ වෙන කෙනෙක් වෙන්න ඇති. මම ආවේ සේයාපටයක් ගෙනියන්නයි.”

ඊටපස්සේ ෂ්ටෙෆාන් කාර් එකට නැඟලත් කඩදාසි ටික අරන් යන්නම ඕනේ කියලා හිතුණ නිසා එයාගේ උඩු කබායයි තොප්පියයි ගලවලා ටිකක් වෙනස් විදිහකට ආයෙමත් සාප්පුවට ගිහිල්ලා. ඊටපස්සේ අර ගැහැනු ළමයගෙන් මෙහෙම අහලා තියෙනවා. “මම සතියකට කලින් ඇවිල්ලා කඩදාසි ඇණවුමක් භාර දුන්නා. ඒක ඇවිල්ලද?”

ඒ ළමයා එතකොට පුදුමෙන් වගේ මෙහෙම කියලා. “ඔව් මහත්තයා. ඒත් මිනිත්තු කීපයකට කලින් ඔයා වගේම කෙනෙක් ඇවිල්ලා ගියා. එයා හරියට ඔයාගේ නිවුන් සහෝදරයෙක් වගේ.” ඊටපස්සේ ෂ්ටෙෆාන් යෙහෝවා දෙවිට ස්තුති කරලා අර කඩදාසිත් අරගෙන ගෙදර ඇවිල්ලා.

කොහොමවුණත් 1980ගණන්වලදී නම් අපිට සඟරා මුද්‍රණය කරන්න පුළුවන් වුණා. ඒත් අපි ඒවා කළේ කාටවත් අහු වෙන්නේ නැති තැන්වල ඉඳලයි. කාලයක් යද්දී සඟරා සහ පොත් පත් හුඟක් මුද්‍රණය කරන්න අපිට පුළුවන් වුණා. ඒත් එක්කම සාක්ෂිකරුවන්ගේ ගණනත් එන්න එන්නම වැඩි වුණා.

නිලධාරීන් ඉදිරිපිටදී

වර්ෂ 1960ගණන්වල එක් දවසක ආරක්ෂ නිලධාරීන් තුන්දෙනෙක් මගෙන් ප්‍රශ්න කළා. එයාලා මගෙන් මෙහෙම ඇහුවා. “කොච්චර කාලෙක ඉඳලා ඔයා සාක්ෂිකරුවන් එක්ක ආශ්‍රය කරනවද? එතනදී ඔයාට කාවද මුණගැහෙන්න?” මම කිසිම උත්තරයක් දුන්නේ නැති නිසා ආයෙමත් මාව මුණගැහැනවා කියලා එයාලා මට කිව්වා. ඒ වගේ ප්‍රශ්න කිරීමකට මම මුහුණ දුන්න මුල්ම අවස්ථාව ඒකයි.

ඒ එක්කම වගේ මාව පොලිසියට ගෙනිච්චා. එතනදී පොලිස් නිලධාරියෙක් මට හිස් කඩදාසියක් දීලා කිව්වා මම දන්න සාක්ෂිකරුවන්ගේ නම් ඒකෙ ලියන්න කියලා. පැයකට පස්සේ ඒ නිලධාරියා එද්දීත් ඒ කොළේ හිස්. මම පැහැදිලිවම ඒ නිලධාරියාට කිව්වා එයාලාගේ නම් දෙන්න බැහැ කියලා. ඊළඟ සතියෙත් ඒ දේම වුණා. හැබැයි එදා නම් මං හොඳටම ගුටි කෑවා. කොරිඩෝව දිගේ රෝල් වෙලා යන්න මට පයින් පාරක් දුන්නා.

ඒ සිද්ධියෙන් පස්සේ අවුරුද්දක් විතර යනකල් එයාලගෙන් මට කිසිම කරදරයක් තිබුණේ නැහැ. ඒත් ඊටපස්සේ එක දවසක් පොලිස් නිලධාරියෙක් මාව මුණගැහෙන්න ආවා. එයා නාට්සි කඳවුරේ මා එක්කම හිටපු හිරකාරයෙක්. එයා මට කිව්වා. “දැන් අපි සාක්ෂිකරුවන් එක්ක කටයුතු කරන්නේ වෙන විදිහකටයි. මොකද අපි එක සාක්ෂිකරුවෙක්ව හිරේ දැම්මොත් පස්දෙනෙක් එළියට එන්නේ සාක්ෂිකරුවන් වෙලා.” මේ නිසා රජයෙන් තීරණය කරලා තියෙනවා අඩුම තරමින් අපේ දේශනා සේවයවත් මර්දනය කරන්න. කොහොමවුණත් අපේ අය ගැන කිසිම තොරතුරක් නොදී ඉන්න මම හිතාගත්තා.

අවුරුදු ගණනක් යනකල්ම, ඒ වගේ ප්‍රශ්න කිරීම්වලට මාව අරගෙන ගියා. සමහර වෙලාවට ඒ නිලධාරීන් අපිට යාළුවෝ වගේ සැලකුවා. තවත් වෙලාවට එයලා අපෙන් කාවහරි හිරේට දැම්මා. මම නම් කවදාවත් හිරේ ගිහිල්ලා නැහැ. හැබැයි 1989දී චෙකොස්ලොවෙකියාවේ කොමියුනිස්ට් පාලනය බිඳ වැටෙන කල්ම ප්‍රශ්න කිරීම්වලට මුහුණ දෙන්න මට සිද්ධ වුණා.

ඒ පාලනය බිඳ වැටිලා සති කීපයකට පස්සේ බ්‍රැටිස්ලාවාවල උසස් ආරක්ෂක නිලධාරියෙක් මාව මුණගැහෙන්න ආවා. එදා එයා මගෙන් සමාව ඉල්ලලා මෙහෙම කිව්වා. “ඒ කාරණයට මට මැදිහත් වෙන්න සිද්ධ වුණා නම් කවදාවත් ඔයාට ඔය විදිහට කරදර කරන්නේ නැහැ.” ඊටපස්සේ එයා මට තෑග්ගක් හැටියට පලතුරු බෑග් දෙකක් දුන්නා.

යෙහෝවා දෙවිගේ නම බලකොටුවක්!

යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරයෙක් හැටියට මගේ මුල් අවුරුදු 40 මම ගත කළේ තහනම යටතේ වුණත් පුදුමාකාර සතුටක් මම ලැබුවා. ඒ වගේම හුඟක් ආශීර්වාදත් භුක්ති වින්දා. අපි වින්ද පීඩා නිසා අපේ සහෝදරයන් එක්ක තිබුණු මිත්‍රත්වය තව තවත් ශක්තිමත් වුණා. අපි එක් එක්කෙනා අතර තියෙන මිත්‍රත්වය අපිට හුඟක් වටිනවා. ඒ මිත්‍රත්වය ගොඩනැඟිලා තිබුණේ අපි අතර තිබුණු විශ්වාසය මතයි.

වර්ෂ 2003 මාර්තු මසේ මගේ ආදරණීය බිරිඳව මට නැති වුණා. එයාගේ මුළු ජීවිත කාලය පුරාම එයා මට විශ්වාසවන්ත මිතුරියක් වුණා. ඒ අවුරුදු ගණනාව පුරාම අපි දෙන්නා එකට යෙහෝවා දෙවිට සේවය කළා. දැන් මම සභාවේ අවේක්ෂකයෙක් හැටියට සේවය කරනවා. ඒ වගේම මම මගේ කාලය බයිබලයේ තියෙන සත්‍යයන් ගැන අනික් අයට කියලා දෙන්න යොදවනවා. දෙවන ලෝක මහා යුද්ධය තිබුණු කාලයේ මම කඳවුරේ ඉද්දී ඇහුණු යෙහෝවා කියන දෙවිගේ නම ඇත්තටම අදටත් මට ශක්තිමත් බලකොටුවක්! *හිතෝපදේශ 18:10.

[පාදසටහන]

^ 33 ඡේ. මෙම ලිපිය සකස් කරන අතරතුරේදී එනම් 2007 ජූලි 14වෙනිදා සහෝදර පාවොල් කෝවාර් මිය යන විට ඔහුට වයස අවුරුදු 85යි.

[12වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1942දී මම ස්ලොවෙකියාවේ හමුදා සේවයේ සිටිද්දී

[12වන පිටුවේ පින්තූරය]

ගූසන්වල මම සිටි කඳවුර (පිටුපස පින්තූරය)

[හිමිකම් විස්තර]

© ČTK

[12වන පිටුවේ පින්තූරය]

මගේ තාත්තා

[13වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1946 අපි විවාහ වූ දා

[15වන පිටුවේ පින්තූරය]

ඔල්ගා මිය යන්න ටික දවසකට පෙර