Skip to content

පටුනට යන්න

දෙවි අප ගැන සැලකිලිමත්ද?

දෙවි අප ගැන සැලකිලිමත්ද?

වර්ෂ 1755 නොවැම්බර් 1වෙනිදා පෘතුගාලයේ ලිස්බන් නගරයම දෙදරමින් දැවැන්ත භූමිකම්පාවක් ඇති වුණා. ඒත් එක්කම සුනාමියක්ද ඇති වුණා. මේ නිසා විශාල දේපළ හානියක් සිදු වූ අතර දහස් ගණනක්ද මිය ගියා.

වර්ෂ 2010දී හයිටි රටේ ඇති වූ භූමිකම්පාව ගැන එක් පුවත්පතක මෙසේ සඳහන් වුණා. “හයිටි රටට සිදු වුණේ ලිස්බන් නගරයට වුණ දෙයමයි. ස්වභාවික විපත් සිදු වන විට ඉන් පැහැදිලි වන්නේ දෙවි මිනිසුන්ව අතහැර ඇති බවයි.”—National Post.

බයිබලයේ දෙවිව හඳුන්වා තිබෙන්නේ “සියලු බලැති තැනැත්තා” ලෙසයි. (ගීතාවලිය 91:1) ඒ අනුව සියලු දුක් කරදර නැති කිරීමට ඔහුට බලය වගේම ඒ සඳහා ආශාවක්ද තිබෙනවා. ඒ බව අප දන්නේ කෙසේද?

දෙවි මොන වගේ කෙනෙක්ද?

මිනිසුන්ගේ දුක් වේදනා දෙවිට දැනෙනවා. ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ වහල්භාවයේ සිටින විට දෙවි මෙසේ පැවසුවා. “ඊජිප්තුවේ සිටින මාගේ සෙනඟ විඳින දුක් ගැහැට මම දුටුවෙමි. ඔවුන්ගෙන් බලෙන් වැඩ ගන්න අය ඔවුන්ට කරන පීඩා නිසා ඔවුන් අඬමින් කරන කන්නලව් මට ඇසිණ. ඔවුන් විඳින වේදනාව මට තේරුම්ගත හැකියි.” (නික්මයාම 3:7) එයින් පැහැදිලි වන්නේ දෙවි මිනිසුන් ගැන සැලකිලිමත් වන බවයි. දෙවිට තම සෙනඟ ගැන හැඟුණු දේ පිළිබඳව පසු කාලයේදී දෙවිගේ සේවකයෙකු වූ යෙසායා මෙවැනි දෙයක් පැවසුවා. “ඔවුන් වින්ද සෑම දුකක්ම ඔහුටත් දැනුණි.”—යෙසායා 63:9.

‘දෙවි සියල්ලේදී යුක්තිය ඉටු කරයි.’ (ද්විතීය කතාව 32:4) දෙවි අසාධාරණ කෙනෙක් නොවෙයි. ‘ඔහු තමන්ට පක්ෂපාතව සිටින අයගේ ගමන් මඟ සුරකිනවා.’ ඒ වගේම අන් අයට පීඩා කරන මිනිසුන්ටද ඔහු දඬුවම් කරනවා. (හිතෝපදේශ 2:8; 2 තෙසලෝනික 1:6, 7) ‘ඔහු දිලින්දන්ටත් උත්තමයන්ටත් සලකන්නේ එක හා සමානවයි. මන්ද ඒ සෑම කෙනෙකුටම ජීවිතය දුන්නේ ඔහුයි.’ (යෝබ් 34:19) ඒ නිසා දෙවි ලබා දෙන විසඳුම් අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. නමුත් මිනිසුන් ලබා දීමට උත්සාහ කරන විසඳුම් අසාර්ථකයි. ඒවා හරියට බරපතළ තුවාලයකට කුඩා ප්ලාස්ටරයක් දමනවා හා සමානයි.

බරපතළ තුවාලයකට කුඩා ප්ලාස්ටරයක් ප්‍රමාණවත් වෙයිද?

යෙහෝවා දෙවි දයාන්විතයි. කාරුණිකයි. ප්‍රේමණීයයි. (නික්මයාම 34:6) බයිබලයේ “දයාව” යන්නෙන් අදහස් කරන්නේ කෙනෙකු කෙරෙහි ඇති වන අනුකම්පාවයි. “කරුණාව” යන වචනයෙන් අදහස් කරන්නේ උපකාර අවශ්‍ය කෙනෙකු වෙනුවෙන් යමක් කිරීමට පෙලඹීමයි. “ප්‍රේමය” යන වචනය තුළ අන් අය වෙනුවෙන් යහපතක් කිරීමට පියවර ගැනීම යන අදහස ගැබ් වී තිබෙනවා. යෙහෝවා දෙවි එම ගුණාංගවලින් පිරි කෙනෙක් නිසා මිනිසුන්ගේ දුක් වේදනා නැති කිරීමට ඔහු පියවර ගන්නා බව ස්ථිරයි.

මිනිසුන්ගේ දුක් කරදරවලට හේතු වන කරුණු තුනක් අපි කලින් ලිපියේ සලකා බැලුවා. එම හේතු තුනට දෙවි ඉඩහැර තිබෙන්නේ ඇයි කියා දැන් අපි සලකා බලමු.

මිනිසාගේ වැරදි ක්‍රියා

දෙවිට අකීකරු වීමට ආදම් තීරණය කළා. ඔහුගේ එම ක්‍රියාව නිසා ඔහුට සිදු වුණේ කුමක්ද? දෙවි ඔහුට පැවසුවේ “ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය” කියායි. (උත්පත්ති 2:17) වැරදි තීරණය ගත්තේ ආදම් නම් අද අපි දුක් විඳින්නේ ඇයි? බයිබලයේ මෙසේ පවසනවා. ‘එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.’ (රෝම 5:12) අපි දුක් විඳින්නේ අප සියලුදෙනාම ආදම්ගෙන් පැවත එන නිසයි. නමුත් අපේ පව්කාර ස්වභාවය ඉවත් කිරීමට දෙවි පියවර ගත්තා.

අනපේක්ෂිත සිදුවීම්

රෝගියෙක්, වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරනවා නම් අවසානයේදී නොසිතූ ලෙස ඔහුට දුක් විඳීමට සිදු වෙනවා. ඒ හා සමානව මුල් මිනිසා වූ ආදම්ද දෙවි දුන් ප්‍රේමණීය මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කළා. එම ක්‍රියාව නිසා ඔහුගෙන් පැවතෙන අප සියලුදෙනාටම බොහෝ දුක් වේදනාවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. මේ ගැනත් සිතන්න. ස්වභාවික විපත් සම්බන්ධයෙන් දෙන මඟ පෙන්වීම් මිනිසුන් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන් තව තවත් දුක් කරදරවලට මුහුණ දෙනවා. නමුත් මේ තත්වය දිගටම පැවතීමට දෙවි ඉඩ දෙන්නේ නැහැ.

“මේ ලෝකයේ පාලකයා”

පොළොව පාලනය කිරීමට සාතන්ට දෙවි ඉඩ දී තිබෙන්නේ ඇයි? දෙවි එසේ නොකළා නම් තමාගේ පාලනය වඩාත් හොඳ බවත් එය ඔප්පු කිරීමට තමාට අවශ්‍ය කාලය ලබා නොදුන් බවත් සාතන් චෝදනා කිරීමට ඉඩ තිබුණා. නමුත් යෙහෝවා දෙවි සාතන්ට ඉඩහැරීමෙන් ඔහුගේ පාලනය අසාර්ථක බව ඔප්පු වී තිබෙනවා. (යොහන් 12:31) එය අද ලොව පුරා මිනිසුන් විඳින දුක් වේදනාවලින් පැහැදිලියි. කෙසේවෙතත් දුක් කරදර නිම වෙයි කියා අපට ස්ථිර විශ්වාසයක් තබාගත හැකිද?