Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

සාර්ථකත්වය කියන්නේ මොකක්ද?

සාර්ථකත්වය කියන්නේ මොකක්ද?

අපි හැමෝම ආසයි සාර්ථක පුද්ගලයන් වෙන්න. ඒ නිසා සාර්ථකත්වය කරා යන ගමනේදී පය පැටලිලා වැටුණත් අධෛර්යය නොවී නැඟිටින්න අපි උත්සාහ කරනවා. අපේ අතින් වෙන අඩුපාඩු හදාගන්නත් එයින් පාඩමක් ඉගෙනගන්නත් අපි උත්සාහ කරනවා.

ඒත් සාර්ථකත්වය කියලා කියන්නේ මොකක්ද? ඒ දේ තේරුම්ගන්න එක වැදගත්. නැත්නම් අපි සාර්ථකයි කියලා හිතන දේ සාර්ථකත්වය නොවෙන්න පුළුවන්. සමහර විට අපි ඒක තේරුම්ගන්නකොට ප්‍රමාද වැඩි වෙන්නත් පුළුවන්.

උදාහරණයකට සමහර මිනිස්සු තමන්ගේ මුළු ජීවිතයම කැප කරන්නේ සල්ලි හම්බ කරන්න. ඒ වගේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔහු සාර්ථකයි කියලා. ඇත්තටම ඒකද සාර්ථකත්වය කියන්නේ? යේසුස් මෙහෙම කියලා තියෙනවා. “මිනිසෙකු මුළු ලෝකයම ලබාගත්තත් තම ජීවිතය අහිමි කරගන්නවා නම් ඔහුට එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද?” (මතෙව් 16:26) ටොම් ඩෙන්හම් කියන රැකියා පිළිබඳ උපදේශකවරයාත් ඒ ගැන මෙහෙම කිව්වා. “උසස්වීම් ගැන, සල්ලි ගැන සහ ගන්න පුළුවන් දේවල් ගැන විතරක් හිතලා වැඩ කරනවා නම් එයින් ප්‍රයෝජනයක් නැහැ. සල්ලිවලින් සාර්ථකත්වය මනින එක නැණවත් දෙයක් නෙමෙයි. කාලයක් යද්දී ඒවායින් කිසි පලක් නැහැ කියලා ඔබට තේරෙයි.”

ඒක ඇත්ත කියලා ගොඩක් අය පිළිගන්නවා. ඇමරිකාවේ කළ සමීක්ෂණයකදී සාර්ථකත්වයට දායක වන දේවල් හැටියට පුද්ගලයන් සඳහන් කළ කරුණු 22 අතරින් “සල්ලි ගොඩක් තිබීමට” ලැබුණේ 20වන තැනයි. මුල් තැන ලැබුණේ හොඳ සෞඛ්‍යයක්, එකිනෙකා අතර තියෙන බැඳීම් සහ තෘප්තිමත් රැකියාවක් වගේ දේවල්වලටයි.

ඒකෙන් පැහැදිලි වෙන්නේ හුඟක් අයට සාර්ථකත්වයට දායක වෙන්නේ මොනවාද කියන එක ගැන යම් අවබෝධයක් තියෙනවා කියලයි. නමුත් ඔවුන් ජීවත් වෙන විදිහෙන් ඒ බව පේන්නේ නැහැ.