Skip to content

පටුනට යන්න

දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි සිදු කරන ගෞරවනීය විවාහයන්

දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි සිදු කරන ගෞරවනීය විවාහයන්

දෙවි සහ මිනිසුන් ඉදිරියෙහි සිදු කරන ගෞරවනීය විවාහයන්

“ගලීලයේ කානා නුවරෙහි විවාහ මංගල්‍යයක් විය. . . . යේසුස්ව සහ ඔහුගේ ගෝලයන්වද එම විවාහ මංගල්‍යයට ආරාධනා කර තිබිණ.”—යොහන් 2:1, 2.

1. කානාහිදී සිදු වූ විවාහ මංගල්‍යය පිළිබඳ වාර්තාවෙන් පෙනී යන්නේ කුමක්ද?

දෙවිට නමස්කාර කරන ජනයා අතර සිදු කරනු ලබන ගෞරවනීය විවාහයකින් ලැබෙන ප්‍රීතිය ගැන කානාහි විවාහ මංගල්‍යයකට සහභාගි වූ යේසුස්ද, ඔහුගේ මවද ඔහුගේ ගෝලයන් සමහරදෙනෙක්ද දැන සිටියා. බයිබලයේ සඳහන් වන පරිදි යේසුස් ඔහුගේ මුල්ම ප්‍රාතිහාර්ය සිදු කළේ ඒ විවාහ උත්සවයේදීයි. ඒ උත්සවයේ ප්‍රීතිය වැඩි කිරීමට ඒ ප්‍රාතිහාර්ය දායක වුණා. (යොහන් 2:1-11) විවාහ වී සන්තෝෂයෙන් දෙවිට සේවය කිරීමට ආශාවෙන් සිටින ක්‍රිස්තියානි යුවළයන්ගේ විවාහ උත්සවවලට ඔබ සහභාගි වී ඇති. ඇතැම්විට ඔබත් එසේ විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් විය හැකියි. එසේත් නැත්නම් ඔබේ මිතුරෙකුට හෝ මිතුරියකට සාර්ථක විවාහයක් සිදු කිරීම සඳහා ඔබ උපකාර කිරීමට කැමැත්තෙන් සිටින කෙනෙක් වෙන්න පුළුවන්. විවාහය ගෞරවනීය ලෙස සිදු කිරීම සඳහා කළ හැකි දේවල් මොනවාද?

2. පුරාණ ඊශ්‍රායෙලයේ සිදු වූ විවාහයන් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මොනවාද?

2 දේවානුභාවයෙන් ලියා තිබෙන බයිබලයේ දී තිබෙන උපදෙස් විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින යුවළයන්ට කොතරම් ප්‍රයෝජනවත්ද කියා ක්‍රිස්තියානීන් දන්නවා. (2 තිමෝති 3:16, 17) ක්‍රිස්තියානි විවාහ උත්සවයක් පැවැත්විය යුතු ආකාර ගැන සියලුම විස්තර බයිබලයේ සඳහන් වී නැති බව ඇත්තයි. මීට හේතුව විවාහ චාරිත්‍ර වාරිත්‍ර සහ නීත්‍යනුකූල කටයුතු රටින් රටට හා කලින් කලට වෙනස් විය හැකි නිසයි. උදාහරණයක් හැටියට පුරාණ කාලයේ ඊශ්‍රායෙලයේ විධිමත් විවාහ උත්සවයන් පැවැත්වූයේ නැහැ. විවාහ වන දවසේදී මනාලයා මනාලියව ඔහුගේ නිවසට හෝ තම පියාගේ නිවසට කැඳවාගෙන ආවා. (උත්පත්ති 24:67; යෙසායා 61:10; මතෙව් 1:24) මෙය අවට ජනයා දුටු විට එම යුවළ විවාහ වූ බවට සාක්ෂියක් වුණා. අද දින විවාහයන් බොහොමයක දැකිය හැකි විධිමත් උත්සව එදා සිදු කළේ නැහැ.

3. කානාහිදී යේසුස් සහභාගි වුණේ කුමකටද?

3 මනාලියව නිවසට කැඳවාගෙන ඒම විවාහය සිදු වූ බවට සාක්ෂියක් බව පුරාණ ඊශ්‍රායෙල්වරුන් සැලකුවා. ඉන්පසු ඔවුන් ඒ ප්‍රීතිය නිමිත්තෙන් යොහන් 2:1හි සඳහන් ආකාරයේ උත්සවයක් පවත්වන්න ඇති. (මතෙව් 22:2-10; 25:10; ලූක් 14:8) කානාහි සිදු වූ විවාහ උත්සවයට යේසුස් සහභාගි වූ බව වාර්තාවෙන් පැහැදිලි වෙනවා. එමෙන්ම ඔහු එම විවාහ මංගල්‍යයේ ප්‍රීතිය වැඩි කිරීමටද දායක වුණා. එහෙත් මෙහිදී අපි අවධානය යොමු කළ යුතු ප්‍රධානතම කාරණය නම් එදා සිදු වූ විවාහයන් අද දින සිදු වන විවාහයන්ට වඩා වෙනස් බවයි.

4. ඇතැම් ක්‍රිස්තියානීන් තීරණය කරන්නේ කුමන ආකාරයේ විවාහයක් පැවැත්වීමටද? එවැනි තේරීමක් කිරීමට හේතුව කුමක්ද?

4 බොහෝ රටවල ජීවත් වන ක්‍රිස්තියානීන් විවාහ වන විට ඔවුන් සපුරාලිය යුතු නීතිමය අවශ්‍යතාවන් තිබෙනවා. ඔවුන් මෙසේ කළ පසු නීත්‍යනුකූලව ඔවුන්ගේ විවාහ කටයුතු සිදු කළ හැකියි. ආණ්ඩුවේ බලතල හිමි රෙජිස්ට්‍රාර්වරයෙකුට හෝ දේවගැතියෙකුට චාම් උත්සවයකදී එවැනි විවාහයක් සිදු කළ හැකියි. සමහර අය නෑදෑයන් කිහිපදෙනෙකුට හෝ ක්‍රිස්තියානි මිතුරන් කිහිපදෙනෙකුට නීත්‍යනුකූල කටයුතුවලට සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටීමට හෝ එම අවස්ථාවේ ප්‍රීතිය භුක්ති විඳීම සඳහා ආරාධනා කළ හැකියි. (යෙරෙමියා 33:11; යොහන් 3:29) සමහර ක්‍රිස්තියානීන් විශාල මුදලක් හා කාලයක් වැය වෙන විවාහ උත්සවයක් නොපැවැත්වීමට තීරණය කළ හැකියි. ඔවුන් කිට්ටු මිතුරන් ටික දෙනෙකු සමඟ ආහාර වේලක් භුක්ති විඳීමට සැලසුම් කරන්න පුළුවන්. විවාහය සිදු කිරීම ගැන ක්‍රිස්තියානීන් අතර වෙනස් මත තිබිය හැකියි.—රෝම 14:3, 4.

5. බොහෝ ක්‍රිස්තියානි යුවළයන් තමන්ගේ විවාහයේදී බයිබලය මත පදනම් කතාවකට සවන් දීමට ප්‍රිය කරන්නේ ඇයි? එම කතාවේදී මූලිකව පෙන්වා දෙන්නේ කුමක්ද?

5 ක්‍රිස්තියානි යුවළයන් බොහොමයක් තමන්ගේ විවාහයේදී බයිබලය මත පදනම් කතාවකට සවන් දීමට ප්‍රිය කරනවා. * විවාහ සැලැස්ම මුලින්ම ඇති කළ තැනැත්තා වන යෙහෝවා දෙවි ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නැණවත් උපදෙස් ඔහුගේ වචනය මාර්ගයෙන් ලබා දෙන බව ඔවුන් තේරුම්ගෙන සිටිනවා. (උත්පත්ති 2:22-24; මාක් 10:6-9; එෆීස 5:22-33) තමන්ගේ විවාහ උත්සවයට ක්‍රිස්තියානි හිතමිතුරන් හා නෑදෑයන් සහභාගි වෙනවා දකින්න බොහෝ යුවළයන් කැමතියි. විවාහය හා සම්බන්ධ විවිධ නීතිමය අවශ්‍යතාවන් හා ප්‍රාදේශීය සිරිත් විරිත් අපි සැලකිය යුත්තේ කෙසේද? මේ ලිපියේදී සලකා බලන්නේ විවිධ රටවල තත්වයන් ගැනයි. ඇතැම් රටවල විවාහයන් සිදු වන ආකාරය ඔබේ රටේ විවාහයන් සිදු කරන ආකාරයට වඩා යම් පැතිවලින් වෙනස් විය හැකියි. කෙසේවෙතත් දෙවිගේ සේවකයන් වැදගත් සේ සලකන පොදු ප්‍රතිපත්ති තිබෙන බව ඔබ දකීවි.

නීත්‍යනුකූල විවාහයක් ගෞරවනීයයි

6, 7. විවාහය හා සම්බන්ධ නීතිමය කාරණා ගැන අපි උනන්දු වන්නේ ඇයි? අපි ඒ ගැන උනන්දු වන බව පෙන්විය හැක්කේ කෙසේද?

6 විවාහ සැලැස්ම මුලින්ම ඇති කළේ යෙහෝවා දෙවි වුණත් රජය විසින් විවාහයන් කෙරෙහි යම් නීති පනවා තිබෙනවා. යේසුස් මෙසේ පැවසුවා. “සීසර්ගේ දේ සීසර්ටද, දෙවිගේ දේ දෙවිටද දෙන්න.” (මාක් 12:17) පාවුල්ද මෙසේ සඳහන් කළා. “සෑම කෙනෙකුම උසස් බලධාරීන්ට යටත් වන්න. මන්ද, දෙවිගෙන් මිස වෙන කිසි අධිකාරියක් නැත. දැන් සිටින බලධාරීන්ට හිමි සාපේක්ෂ බලතලවල ඔවුන්ව පිහිටුවා තිබෙන්නේ දෙවි විසිනි.”—රෝම 13:1; තීතස් 3:1.

7 බොහෝ රටවල ආණ්ඩුවේ බලධාරීන් විසින් විවාහ වීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් තීරණය කරනු ලබයි. මේ නිසා ශුද්ධ ලියවිල්ලට අනුව විවාහ වීමට බාධාවක් නොමැති ක්‍රිස්තියානි යුවළක් තමන් ජීවත් වන රටේ විවාහය හා සම්බන්ධ නීතිවලට කීකරු වෙයි. මෙයට විවාහය ලියාපදිංචි කිරීම හා රජයේ අවසරය තිබෙන පුද්ගලයෙක් ඉදිරියේ විවාහය සිදු කිරීම වැනි දෑ ඇතුළත් විය හැකියි. උදාහරණයක් හැටියට සීසර් ඔගස්ටස් විසින් “ලියාපදිංචි කිරීම” සඳහා නියෝගයක් නිකුත් කළ විට යෝසෙප් සහ මරියා ඊට කීකරු වෙමින් “ලියාපදිංචි වන පිණිස” බෙත්ලෙහෙමට ගියා.—ලූක් 2:1-5.

8. යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිදු නොකරන සමහර පිළිවෙත් මොනවාද? ඊට හේතුව කුමක්ද?

8 ක්‍රිස්තියානි යුවළක් නීතියෙන් පිළිගන්නා ආකාරයට විවාහ වන විට ඔවුන් දෙදෙනා එකිනෙකා අතර ජීවිතාන්තය දක්වා තිබෙන බැඳීමක් දෙවි ඉදිරියෙහි ඇති කරගන්නවා. මේ නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන් නීත්‍යනුකූල කටයුතු දෙතුන්වතාවක් කරන්නේවත් ඔවුන්ගේ 25වන හා 50වන විවාහ සංවත්සරවලදී නැවතත් ඔවුන්ගේ විවාහ පොරොන්දු අලුත් කරන්නේවත් නැහැ. (මතෙව් 5:37) (නීත්‍යනුකූලව විවාහයක් සිදු කළත් පූජකයෙක් එම විවාහය සිදු කර නැත්නම් එය පිළිගත හැකියි කියා ඇතැම් පල්ලි සලකන්නේ නැහැ.) බොහෝ රටවල ආණ්ඩු විසින් විවාහයක් සිදු කිරීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේවගැතියෙකුට අවසර ලබා දිය හැකියි. මෙවැනි බලතල ඔහුට ලබාගත හැකි නම් විවාහයේ නීත්‍යනුකූල කටයුතු සිදු කරන අවස්ථාවේදී කතාවක්ද රාජ්‍ය ශාලාවේ ඉදිරිපත් කිරීමට කැමති විය හැකියි. යෙහෝවා දෙවි ඇති කළ විවාහ සැලැස්ම ගැන කතාවක් ඉදිරිපත් කළ හැකි හොඳම ස්ථානය වන්නේ සැබෑ නමස්කාරයේ මධ්‍යස්ථානය වන රාජ්‍ය ශාලාවයි.

9. (අ) ක්‍රිස්තියානි යුවළක් නීත්‍යනුකූලව තමන්ගේ විවාහය සිදු කිරීමෙන් පසු කැමති විය හැක්කේ කුමක් කිරීමටද? (ආ) විවාහය සඳහා කරන සැලසුම්වලට වැඩිමහල්ලන් සම්බන්ධ වන්නේ කෙසේද?

9 ඇතැම් රටවල නීතියට අනුව යුවළක් විවාහ විය යුත්තේ රෙජිස්ට්‍රාර් කාර්යාලයක හෝ විවාහයක් සිදු කිරීම සඳහා රජය විසින් පත් කර තිබෙන නිලධාරියෙක් ඉදිරිපිටයි. ක්‍රිස්තියානීන් විවාහයේ නීතිමය කටයුතු සිදු කරන දවසේදීම හෝ ඉන්පසු දවසක රාජ්‍ය ශාලාවේ බයිබලය මත පදනම් කතාවක් ඉදිරිපත් කරනවා දකින්න යුවළ කැමති විය හැකියි. (නීතිමය කටයුතු සිදු කිරීමෙන් පසු ඔවුන් දෙවි සහ ක්‍රිස්තියානි සභාවේ අය ඇතුළු මනුෂ්‍යයන් ඉදිරියේ නීත්‍යනුකූලව විවාහ වී සිටින නිසා වැඩි දවසක් නොයවා බයිබල මත පදනම් කතාවක් දීමට සැලසුම් කිරීම සුදුසුයි.) නීත්‍යනුකූලව විවාහ වන යුවළක් රාජ්‍ය ශාලාවකදී බයිබලය මත පදනම් කතාවකට සවන් දීමට කැමති නම් ඒ සඳහා ඔවුන් දෙදෙනා කල්වේලා ඇතිව අදාළ සභාවේ සේවා කමිටුවේ වැඩිමහල්ලන්ගෙන් අවසර ලබාගත යුතුයි. මේ අවේක්ෂකයන් එම යුවළ හොඳ නමක් ඇති කරගෙන තිබෙනවාද කියා සොයාබැලීමට අමතරව විවාහය සිදු කරන වේලාව රාජ්‍ය ශාලාවේ පත්වන සාමාන්‍ය රැස්වීම්වලට හා කලින් සැලසුම් කර තිබෙන විශේෂ වැඩසටහන්වලට බාධාවක් නොවන බවට සහතික විය යුතුයි. (1 කොරින්ති 14:33, 40) රාජ්‍ය ශාලාව විවාහය සඳහා සූදානම් කිරීම සම්බන්ධයෙන් යුවළ කරන ඉල්ලීම් ගැනත් ඒ වැඩිමහල්ලන් සලකා බලයි. එමෙන්ම රාජ්‍ය ශාලාවේ විවාහයක් පැවැත්වීම ගැන නිවේදනයක් කරන්න අවශ්‍යද කියා ඔවුන් තීරණය කළ හැකියි.

10. නීත්‍යනුකූලව විවාහයක් සිදු කර තිබෙනවා නම් එය විවාහ උත්සවයේදී ඉදිරිපත් කරන බයිබලය මත පදනම් කතාවට හා විවාහ පොරොන්දුවලට බලපාන්නේ කෙසේද?

10 විවාහ උත්සවයේදී බයිබලය මත පදනම් කතාව ඉදිරිපත් කරන වැඩිමහල්ලා එම කතාව මිත්‍රශීලී ආකාරයෙන් මෙන්ම ගෞරවනීය ලෙස ඉදිරිපත් කරයි. ඔහු නව යුවළට යෙහෝවා දෙවිට තවත් ළං වීමට හැකි වන ලෙස කරුණු ඉදිරිපත් කරයි. විවාහ වන යුවළ ඒ වන විටත් නීත්‍යනුකූව විවාහ වී සිටිනවා නම් ඔවුන් දෙදෙනා රටේ නීතියට අනුව දැනටමත් විවාහ වී සිටින බව ඔහු සබයට පවසයි. නීත්‍යනුකූල කටයුතු සිදු කළ අවස්ථාවේදී විවාහ පොරොන්දු ගෙන නැත්නම් කතාව ඉදිරිපත් කරන අවස්ථාවේදී එම පොරොන්දු දීමට යුවළ කැමති විය හැකියි. * නීත්‍යනුකූල කටයුතු සිදු කළ අවස්ථාවේදී විවාහ පොරොන්දු දී තිබුණත් යෙහෝවා දෙවි සහ සභාව ඉදිරියෙහි නැවතත් එම පොරොන්දු දීමට නව විවාහ යුවළ කැමති නම් ඔවුන් එම පොරොන්දු දෙන්නේ ඔවුන් දැනටමත් විවාහ වී සිටින බව අඟවන ආකාරයටයි. ඔවුන් එසේ කරන්නේ තමන් දැනටමත් ‘එක් වී’ සිටින බව අන් අයට පෙන්වීමටයි.—මතෙව් 19:6; 22:21.

11. ඇතැම් රටවල විවාහයන් සිදු වන්නේ කෙසේද? ඒ අනුව විවාහ කතාව ඉදිරිපත් කරන්නේ කෙසේද?

11 ඇතැම් රටවල තිබෙන නීතියට අනුව යුවළක් තම විවාහය රජයේ නිලධාරියෙක් ඉදිරියේ සිදු කිරීම අවශ්‍ය නොවිය හැකියි. මෙවැනි රටක විවාහයක් සිදු වන්නේ යුවළ අත්සන් තැබූ පෝරමයක් රජයේ අදාළ නිලධාරියෙකුට බාර දීමෙනුයි. ඉන්පසු ඔවුන්ගේ විවාහය ලියාපදිංචි කර විවාහ සහතිකයක් නිකුත් කරනු ලබන අතර එම යුවළව ස්වාමිපුරුෂයා හා භාර්යාව ලෙස සලකනු ලබනවා. ඔවුන්ගේ විවාහ දිනය වන්නේ එම සහතිකයේ සඳහන් දිනයයි. මේ ආකාරයට නීත්‍යනුකූලව විවාහ වූ යුවළක් රාජ්‍ය ශාලාවේදී විවාහය ගැන බයිබලය මත පදනම් කතාවක් අද්දැකීම් ලත් සහෝදරයෙක් ඉදිරිපත් කරනවාට කැමති විය හැකියි. මෙම විවාහ යුවළ නීත්‍යනුකූලව විවාහ වී තිබෙන බව කථිකයා කතාවේදී සඳහන් කරයි. මෙහිදී දෙනු ලබන විවාහ පොරොන්දු දිය යුත්තේ දහවන ඡේදයේ හා එහි පාද සටහනේ පෙන්වා දී තිබෙන ආකාරයටයි. රාජ්‍ය ශාලාවට පැමිණ සිටින අය යුවළ සමඟ තම ප්‍රීතිය බෙදාගන්න අතර දේවවචනය මත පදනම් උපදෙස්වලින් ඔවුන්ද ප්‍රයෝජන ගනියි.—සලමොන්ගේ ගීතිකාව 3:11.

චාරිත්‍රානුකූල හා රටේ නීතියට අනුව කෙරෙන විවාහයන්

12. චාරිත්‍රානුකූල විවාහයක් කියන්නේ කුමකටද? එවැනි විවාහයකින් පසු කුමක් කිරීම ප්‍රයෝජනදායක විය හැකිද?

12 ඇතැම් රටවල විවාහයන් සිදු කරන්නේ ඒ රටේ (හෝ ගෝත්‍රයේ) චාරිත්‍රවලට අනුවයි. අප මෙහිදී කතා කරන්නේ නීත්‍යනුකූල කටයුතු සිදු නොකර පුරුෂයෙක් හා ස්ත්‍රියක් එකට ජීවත් වීම පිළිගන්න ප්‍රදේශවල පවතින තත්වය ගැන නොවෙයි. * මෙහිදී සලකා බලන චාරිත්‍රානුකූල විවාහයක් කියන්නේ යම් ගෝත්‍රයක හෝ ප්‍රදේශයක පිළිගත් චාරිත්‍රවලට අනුකූලව සිදු වන විවාහයන් ගැනයි. උදාහරණයක් ලෙස එවැනි ප්‍රදේශවල මනාලියක් විවාහ කර ගැනීම සඳහා මුදලක් ගෙවීම සහ එය පිළිගැනීමේ චාරිත්‍ර තිබෙනෙවා. එම චාරිත්‍ර ඉටු කිරීමෙන් අඟවන්නේ ඔවුන් විවාහ ජීවිතයට ඇතුල් වූ බවයි. මෙලෙස විවාහ වීම නීතිමය වශයෙන් පිළිගනු ලබන අතර ශුද්ධ ලියවිල්ලටද පටහැනි නොවෙයි. මෙම චාරිත්‍රය සිදු කරන රටවල රජය විසින් එවැනි චාරිත්‍රානුකූල විවාහයන් නීත්‍යනුකූල බවත් දෙදෙනා එකිනෙකාට බැඳී සිටින බවත් පිළිගනු ලබනවා. චාරිත්‍රානුකූල කටයුතුවලින් පසු විවාහය ලියාපදිංචි කළ හැකි අතර එසේ කිරීමෙන් යුවළට විවාහ සහතිකයක් ලබාගත හැකියි. මෙලෙස විවාහය ලියාපදිංචි කිරීමෙන් යුවළට ලැබෙන නීතිමය ආරක්ෂාව වැඩියි. එමෙන්ම ස්වාමිපුරුෂයා මිය ගියොත් භාර්යාවට හා දරුවන්ටද එය ආරක්ෂාවක් වෙයි. මෙලෙස චාරිත්‍රානුකූලව විවාහ වන අය තමන්ගේ විවාහය ලියාපදිංචි කිරීම වඩාත් ප්‍රයෝජනදායකයි කියා සභාව ඔවුන්ට පෙන්වා දිය හැකියි. මෝසෙස්ට දෙන ලද නීතියට අනුව විවාහයන් සහ උපත් පිළිබඳ නිල වාර්තාවක් තබාගත් බව පෙනෙන්න තිබෙනවා.—මතෙව් 1:1-16.

13. චාරිත්‍රානුකූල විවාහයකින් පසු බයිබලය මත පදනම් කතාවක් ඉදිරිපත් කිරීමේදී කුමක් ගැන සඳහන් කිරීම යෝග්‍යද?

13 යුවළක් චාරිත්‍රානුකූලව විවාහ වූ පසු ඔවුන් දෙදෙනාව ස්වාමිපුරුෂයා හා භාර්යාව ලෙස පිළිගනී. මෙය එවැනි රටවල නීතියෙන්ද පිළිගනියි. මෙසේ විවාහ වන යුවළක් විවාහය ගැන කතාවක් හා විවාහ පොරොන්දු දීම රාජ්‍ය ශාලාවේදී සිදු කිරීමට කැමති විය හැකියි. මෙවැනි අවස්ථාවකදී කථිකයා මේ යුවළ රටේ නීතියට අනුව දැනටමත් විවාහ වී සිටින බව සඳහන් කරයි. මෙවැනි කතාවක් ඉදිරිපත් කරන්නේ එක් වතාවක් පමණයි. එමෙන්ම විවාහ චාරිත්‍ර සිදු කරනු ලබන්නේද එක් වතාවක් පමණයි. චාරිත්‍රානුකූල කටයුතුවලින් පසුව එතරම් කල් නොයවා, හැකි නම් එදාම රාජ්‍ය ශාලාවේදී කතාවක් ඉදිරිපත් කරනවා නම් එය ගෞරවනීය ක්‍රිස්තියානි විවාහයක් ලෙස මිනිසුන් සලකයි.

14. චාරිත්‍රානුකූලව හෝ රටේ නීතියට අනුව විවාහ විය හැකි අවස්ථාවලදී ක්‍රිස්තියානීන් වැඩි කැමැත්තක් දක්වන්නේ කුමන ක්‍රමයටද?

14 ඇතැම් රටවල චාරිත්‍රානුකූලව හෝ රටේ නීතියට අනුව විවාහයන් සිදු කිරීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් රටේ නීතියට අනුව විවාහයක් සිදු කරනු ලබන්නේ රජයේ නිලධාරියෙක් ඉදිරියේයි. එයට විවාහ පොරොන්දු ගැනීමත් විවාහය ලියාපදිංචි කිරීමත් ඇතුළත් වෙනවා. සමහර ක්‍රිස්තියානීන් චාරිත්‍රානුකූල විවාහයකට වඩා රටේ නීතියට අනුව සිදු කරන විවාහයන්ට කැමතියි. මෙම ආකාර දෙකටම විවාහයක් සිදු කිරීම නීතිමය අවශ්‍යතාවක් නොවන අතර ඉන් එක් ක්‍රමයකට විවාහය සිදු කළත් එය නීත්‍යනුකූල විවාහයක් ලෙස පිළිගනු ලබනවා. බයිබලය මත පදනම් කතාවක් සහ පොරොන්දු ගැනීම සම්බන්ධයෙන් නවවන හා දහවන ඡේදයේ සඳහන් කරුණු මෙවැනි විවාහයකටත් අදාළයි. ප්‍රධානම දෙය වන්නේ විවාහක යුවළ දෙවි සහ මිනිසුන් ඉදිරියේ ගෞරවනීය ලෙස විවාහ වීමයි.—ලූක් 20:25; 1 පේතෘස් 2:13, 14.

විවාහය තුළ ගෞරවය රැකගැනීම

15, 16. විවාහයකදී ගෞරවය රැක ගැනීම සඳහා කුමක් කළ යුතුද?

15 පර්සියානු රජුගේ විවාහ ජීවිතයේ ගැටලුවක් ඇති වූ අවස්ථාවේදී ඔහුගේ ප්‍රධාන උපදේශකයා වූ මෙමූකාන් ‘සියලු භාර්යාවන් තමන්ගේ පුරුෂයන්ට ගෞරවය කරන්න’ කියා උපදෙසක් දුන්නා. එයින් ප්‍රයෝජන අත් වෙන්න ඇතියි කියා සිතිය හැකියි. (එස්තර් 1:20) ක්‍රිස්තියානි භාර්යාවන්ට රජ කෙනෙක් එවැනි නියෝගයක් දීම අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන් තමන්ගේ ස්වාමිපුරුෂයන්ට ගෞරව කරනවා. ඒ හා සමානව ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන්ද තම භාර්යාවන්ට ගෞරව කරමින් ප්‍රශංසා කරනවා. (හිතෝපදේශ 31:11, 30; 1 පේතෘස් 3:7) විවාහය තුළ ගෞරවය පෙන්විය යුතු වන්නේ කාලයක් ගත වූවාට පසුව නොව විවාහ වූ දවසේ සිටයි.

16 විවාහ දිනයේදී ගෞරවය පෙන්විය යුත්තේ විවාහ වන යුවළ පමණක් නොවෙයි. ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් විවාහ කතාව දෙනවා නම් ඔහුද එය ඉදිරිපත් කළ යුත්තේ ගෞරවනීය ලෙසයි. මෙම කතාවෙන් ඇමතිය යුත්තේ විවාහ වන යුවළවයි. මෙම කතාවෙන්ද යුවළට ගෞරවයක් පෙන්විය හැකි නිසා ඔහු විහිළු කතා පවසන්නේ නැහැ. නව යුවළව හා සබය අපහසුතාවට පත් වන අකාරයෙන් යුවළ සම්බන්ධයෙන් පෞද්ගලික දේවල් නොපැවසිය යුතුයි. ඔහු උත්සහ කළ යුත්තේ තම කතාව උණුසුම් හැඟීමකින් හා ගොඩනංවනසුලු අයුරින් ඉදිරිපත් කරමින් විවාහ සැලැස්ම ආරම්භ කළ තැනැත්තා සහ ඔහු දී තිබෙන උපදෙස් කෙරෙහි අවධානය යොමු කිරීමටයි. මෙලෙස කතාව ඉදිරිපත් කරන වැඩිමහල්ලා ගෞරවනීය ලෙස තම කතාව ඉදිරිපත් කිරීමෙන් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන විවාහයක් සිදු කළ හැකියි.

17. ක්‍රිස්තියානි විවාහයන්වලදී නීතිමය අවශ්‍යතාවන් ගැන සලකා බැලිය යුත්තේ ඇයි?

17 විවාහය හා සම්බන්ධ බොහෝ නීතිමය කරුණු අප මේ ලිපියේදී සලකා බැලුවා. මෙහි සඳහන් ඇතැම් කාරණා ඔබ ජීවත් වන රටට බලනොපාන්න පුළුවන්. යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සිදු වන විවාහයන්වලදී රටේ නීතිවලට ගෞරව කිරීමේ වැදගත්කම අප සියලුදෙනාම තේරුම් ගත යුතුයි. (ලූක් 20:25) පාවුල් අපෙන් මෙසේ ඉල්ලා සිටියා.‘සියල්ලන්ට දිය යුතු දේ දෙන්න. බදු දිය යුතු තැනැත්තාට බදුද, භය විය යුතු තැනැත්තාට භය වෙන්න. ගෞරවය දිය යුතු තැනැත්තාට ගෞරවය දෙන්න.’ (රෝම 13:7) මේ අනුව ක්‍රිස්තියානීන්, දෙවි විවාහය සම්බන්ධයෙන් පිහිටුවා තිබෙන සැලැස්මට විවාහ වූ දවසේ සිටම ගෞරවය පෙන්වීම වැදගත්.

18. විවාහයකදී තවත් කුමන කාරණයක් කෙරෙහි සැලකිලිමත් විය යුතුද? ඒ ගැන අපට තොරතුරු ලබාගත හැක්කේ කොහෙන්ද?

18 බොහෝ ක්‍රිස්තියානීන් ඔවුන්ගේ විවාහයෙන් පසු ප්‍රිය සාදයන් පවත්වනවා. එවැනි ප්‍රිය සාදයකට යේසුස් සහභාගි වූ බව ඔබට මතක ඇති. එවැනි ප්‍රිය සාදයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා නම් දෙවිව ගෞරවයට පත් වන ආකාරයෙනුත් නව යුවළව හා ක්‍රිස්තියානි සභාව කෙරෙහි හොඳ හැඟීමක් ඇති වන ආකාරයෙනුත් එය පැවැත්වීමට බයිබලයේ දී තිබෙන උපදෙස් උපකාරවත් වන්නේ කෙසේද? එම කාරණය ගැන ඊළඟ ලිපියේදී සලකා බලමු. *

[පාදසටහන්වල]

^ 5 ඡේ. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ විවාහ උත්සවවලදී “දෙවිගේ නෙත් හමුවේ ගෞරවනීය විවාහය” යන තේමාවෙන් යුත් විනාඩි 30ක කතාවක් ඉදිරිපත් කරනවා. මේ කතාවේදී යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පළ කර තිබෙන පවුලේ සන්තෝෂයට රහස නමැති පොතේ හෝ වෙනත් ප්‍රකාශනවල තිබෙන ශුද්ධ ලියවිල්ල මත පදනම් කරුණු ඉදිරිපත් කරනු ලබනවා. මෙම කතාව විවාහ වන යුවළට මෙන්ම පැමිණෙන සියලුදෙනාටම ප්‍රයෝජනවත් වෙනවා.

^ 10 ඡේ. රටේ නීතිය මගින් මෙම පොරොන්දු පිළිගන්නවා නම් දෙවිව ගෞරවයට පත් කරන පහත සඳහන් මෙම පොරොන්දු දිය හැකියි. “[මනාලයාගේ නම] වන මම [මනාලියගේ නම] වන ඔබව මගේ විවාහක භාර්යාව ලෙස පිළිගෙන, ක්‍රිස්තියානීන් සඳහා ශුද්ධ ලියවිලිවල ස්වාමිපුරුෂයන්ට දක්වා තිබෙන දිව්‍යමය නීතියට අනුකූලව, දෙවිගේ විවාහ විධිවිධානයට අනුව අප දෙදෙනා එක්ව පොළොව මත ජීවත්ව සිටින තාක් කල් ප්‍රේම කිරීමටත්, ආදරයෙන් රැකබලා ගැනීමටත් ඔබව භාරගනිමි.” මනාලිය දෙන පොරොන්දුව: “[මනාලියගේ නම] වන මම [මනාලයාගේ නම] වන ඔබව මගේ විවාහක ස්වාමිපුරුෂයා ලෙස පිළිගෙන, ක්‍රිස්තියානීන් සඳහා ශුද්ධ ලියවිලිවල භාර්යාවන්ට දක්වා තිබෙන දිව්‍යමය නීතියට අනුකූලව, දෙවිගේ විවාහ විධිවිධානයට අනුව අප දෙදෙනා එක්ව පොළොව මත ජීවත්ව සිටින තාක් කල් ප්‍රේම කිරීමටත්, ආදරයෙන් රැකබලා ගැනීමටත්, ගැඹුරු ලෙස ගෞරවය කිරීමටත් ඔබව භාරගනිමි.”

^ 12 ඡේ. මෙවැනි විවාහයන් ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 1962 මැයි 1 මුරටැඹ සඟරාවේ 287වන පිටුව බලන්න.—සිංහලෙන් නැත.

^ 18 ඡේ. මෙම සඟරාවේ 28වෙනි පිටුවේ සඳහන් “ඔබේ විවාහ දිනයේ ප්‍රීතිය හා ගෞරවය වැඩි කරගන්න අයුරු” යන තේමාවෙන් යුත් ලිපිය බලන්න.

ඔබට මතකද?

• විවාහයකදී නීතිමය කටයුතු මෙන්ම ආගමික කටයුතු ගැනද අප සැලකිල්ලක් දැක්විය යුත්තේ ඇයි?

• ක්‍රිස්තියානි යුවළක් තම විවාහය ලියාපදිංචි කිරීමෙන් පසුව කල් නොයවා තවත් කුමක් කිරීමට කැමති විය හැකිද?

• විවාහ කතාව දීමට රාජ්‍ය ශාලාවක් තෝරාගනු ලබන්නේ ඇයි?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

පුරාණ ඊශ්‍රායෙලයේ විවාහයන් සිදු වුණේ මනාලයා මනාලියව ඔහුගේ නිවසට හෝ තම පියාගේ නිවසට කැඳවාගෙන එමෙන්

[21වන පිටුවේ පින්තූරය]

චාරිත්‍රානුකූල විවාහයකින් පසු ක්‍රිස්තියානි යුවළක් රාජ්‍ය ශාලාවේදී කතාවකට සවන් දීමට කැමති විය හැකියි