Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

බාල් දෙවිට නමස්කාර කළ අය අනාචාරයේ යෙදුණේ ඇයි?

අතීතයේ සිටි කානානිවරුන් බාල් දෙවිව සැලකුවේ සශ්‍රීකත්වයේ දෙවි ලෙසයි. කෙත් වතුවලින් හොඳ පලදාවක් ලබා දෙන්නත් ගව බැටළු රැළවල් වර්ධනය කරන්නත් මේ දෙවිට හැකි බව ඔවුන් විශ්වාස කළා. ඒ සඳහා ඔවුන් කළ දෙය ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “දේශය සශ්‍රීක වීමට බාල් දෙවි තම බිරිඳ වන අෂේරා දේවතාවිය සමඟ ලිංගික සබඳතා පැවැත්විය යුතුයි කියා මිනිසුන් සිතුවා. එමනිසා ඔවුන් දෙදෙනාව ඒ සඳහා පෙලඹවීමට මිනිසුන් දේවාලවල අනාචාරයේ යෙදුණා.”—Manners and Customs in the Bible.

වියළි කාලය ඇති වන්නේ නිසරුභාවයට සහ මරණයට අධිපති දෙවි ලෙස සැලකෙන මෝට්, බාල් දෙවිව පරාජය කිරීම නිසා කියා කානානිවරුන් සිතුවා. ඒ කාලයේදී බාල් දෙවි සිටින්නේ පාතාලයක බවත් ඔවුන් විශ්වාස කළා. කොහොමවුණත් නැවත වැසි ඇති වී කෙත් වතු සාරවත් වීම බාල් දෙවි නැවත සිහසුනට පැමිණ ඇති බවට ලකුණක් ලෙස ඔවුන් සැලකුවා. මේ කාලය සැමරීමට කානානිවරුන් උත්සව පැවැත්වූ අතර ඒවාහි අනාචාරයද බහුලව සිදු වුණා. එක් අවස්ථාවකදී ඊශ්‍රායෙල්වරුන් බාල් නමස්කාරයේ හවුල් වූ විට ‘මෝවබ් ජාතික ස්ත්‍රීන් සමඟ දුරාචාරයේ යෙදුණා’ කියා බයිබලයේ සඳහන් වෙන්නේ ඒ නිසයි.—ගණන් කතාව 25:1-3, නව ලොව පරිවර්තනය.

පරිසිවරුන්ව සහ ලියන්නන්ව යේසුස් සුදු හුණු ගෑ සොහොන් ගෙවල්වලට සමාන කළේ ඇයි?

යේසුස් ලියන්නන්ට සහ පරිසිවරුන්ට මෙසේ පැවසුවා. “ඔබ හුණු ගා සුදු කළ සොහොන් ගෙවලට සමානය. ඒවා පිටතින් අලංකාරව පෙනුණත් එහි ඇතුළත මළවුන්ගේ ඇටකටුවලින්ද සියලු ආකාර අපවිත්‍රකම්වලින්ද පිරී තිබේ.” (මතෙව් 23:27) සොහොන් ගෙවල්වලට හුණු ආලේප කළත් වර්ෂාව නිසා ඒවා සේදී ගියා. ඒ නිසා වර්ෂා සමය අවසන් වූ පසුව යුදෙව්වන් සොහොන් ගෙවල්වලට නැවත සුදු හුණු ආලේප කරන්න පුරුදුව සිටියා. ඔවුන් මෙය කළේ පාස්කුව පවත්වන මාසයට කලින් මාසය වූ ආදාර් මාසයේදීයි.

එක් විශ්වකෝෂයක පෙන්නුම් කර තිබූ ආකාරයට “සොහොන් ගෙවල්වලට හුණු ආලේප කළේ පාස්කු උත්සවය සැමරීමට පැමිණෙන අයව අපවිත්‍ර වීමෙන් ආරක්ෂා කරගැනීමටයි.” යම් කෙනෙක් මිය ගිය කෙනෙකුගේ ශරීරය හෝ ඇටකටු හෝ මිනී වළක් හෝ ස්පර්ශ කළොත් ඔහු දින හතක් යන තුරු අපවිත්‍ර තත්වයක සිටින බව ගණන් කතාව 19:16හි සඳහන් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස එවැනි අයට නමස්කාරය හා සම්බන්ධ ක්‍රියාවල නිරත වීමට අවස්ථාව ලැබුණේ නැහැ. සමහරවිට එසේ අපවිත්‍ර වූ කෙනෙකුට ඒ සඳහා තම ජීවිතයෙන් වුවත් වන්දි ගෙවීමට සිදු විය හැකියි. (ලෙවී කතාව 15:31) ඒ අනුව යේසුස් පරිසිවරුන්ව සහ ලියන්නන්ව සුදු කළ සොහොන් ගෙවල්වලට සමාන කළේ ඉතා වැදගත් දෙයක් කාවැද්දවීමටයි. සුදු කළ සොහොන් ගෙවල් පිටාතරින් පවිත්‍රව තිබුණත් ඇතුළතින් අපවිත්‍රයි. ඒ හා සමානව පරිසිවරුන් හා ලියන්නන්ද පිටාතරින් ධර්මිෂ්ඨයැයි පෙන්වීමට උත්සාහ කළත් ඇතුළාන්තයෙන් දුෂ්ටව සිටියා. කෙනෙක් සොහොන් ගෙයක ස්පර්ශ වීමෙන් අපවිත්‍ර වෙනවා හා සමානව පරිසිවරුන්ගේ හා ලියන්නන්ගේ ඉගැන්වීම්වලින්ද අපවිත්‍ර වීමෙන් කෙනෙකුට දෙවිගේ අනුමැතිය පවා අහිමි විය හැකියි. යේසුස් එය පැවසුවේ වාර්ෂිකව සොහොන් ගෙවල්වලට හුණු ආලේප කරන කාලයක නිසා ඔහු පැවසූ දෙය ඔවුන්ට තේරුම්ගැනීම පහසු වුණා.—එම විශ්වකෝෂය The Jewish Encyclopedia.

[15වන පිටුවේ පින්තූරය]

බාල් දෙවිව නියෝජනය කරන ක්‍රිස්තු පූර්ව 14වන හෝ 13වන සියවසට අයත් හුණුගල් කුලුනක්

[හිමිකම් විස්තර]

Musée du Louvre, Paris