Skip to content

පටුනට යන්න

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

ජීවිත වෙනස් කළ පොතක්

මෝටර් සයිකල් ධාවනයට, මත්ද්‍රව්‍ය භාවිතයට සහ ක්‍රීඩාවට ලොල් වූ තරුණයෙක් තමන්ගේ සම්පූර්ණ කාලයම දෙවිට සේවය කිරීම වෙනුවෙන් යොදවන්න තීරණය කළේ ඇයි? සූදුවේ නියැලුණු කෙනෙක් එම පුරුද්ද අත්හැර දමා රැකියාවක් කිරීමට පෙලඹුණේ ඇයි? යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් ලෙස හැදී වැඩී පසුව බයිබල් ප්‍රමිති නොසලකාහැරිය තරුණියක් නැවතත් බයිබල් ප්‍රමිති අනුව ජීවත් වීමට තීරණය කළේ ඇයි? ඒ සම්බන්ධයෙන් ඔවුන් පවසන දේවල් දැන් අපි සලකා බලමු.

තොරතුරු

නම: ටෙරන්ස් ජේ. ඕබ්‍රියන්

වයස: 57

රට: ඕස්ට්‍රේලියාව

අතීතයේදී: මත්ද්‍රව්‍ය භාවිත කළ අතර මෝටර් සයිකල් ධාවනයට දැඩි සේ ඇලුම් කළා

මගේ අතීතය: මගේ ළමා කාලය මම ගත කළේ ක්වීන්ස්ලන්තයේ අගනුවර වුණ බ්‍රිස්බෙන්වලයි. මගේ පවුලේ අය රෝමානු කතෝලික වුණත් මට වයස අවුරුදු අටේදී අපේ මුළු පවුලම පල්ලි යන එක නතර කළා. ඊටපස්සේ අපි ආගම ගැන කතා කළේවත් නැහැ. ටික කාලෙකින් අපි වෙරළාසන්න නගරයක පදිංචියට ගියා. එතකොට මට වයස අවුරුදු දහයයි. එහේ ඉන්නකොට මුහුදේ පිහිනන්නත්, රළ පදින්නත් (surfing) මට ඕනේ තරම් අවස්ථාව ලැබුණා.

මගේ ළමා කාලය සතුටින් පිරුණු එකක් නෙවෙයි. මට වයස අවුරුදු අටේදී අපේ තාත්තා අපිව දාලා ගියා. ඊටපස්සේ අම්මා තවත් විවාහයක් කරගත්තා. ඒ කාලෙදී අපි නිතරම වගේ දැක්කේ ඒ දෙන්නා බහින්බස් වෙන එකයි, මත්පැන් බොන එකයි. දවසක් මගේ දෙමව්පියන් අතර සැර බහින්බස් වීමක් ඇති වුණා. එදා මම හිතාගත්තා කවදා හරි දවසක මම විවාහ වුණොත් මගේ බිරිඳට නම් කවදාවත් ඒ විදිහට සලකන්නේ නැහැ කියලා. අපේ පවුලේ දරුවන් හයදෙනෙක් ඉන්නවා. අපේ පවුලේ ප්‍රශ්න තිබුණත් අපි හැමෝම එකට හිටියා.

මගේ යාළුවෝ හුඟදෙනෙක් මරිජුවානා, මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්පානයට ඇබ්බැහි වුණ අය නිසා මමත් ඒ දේවලට පුරුදු වුණා. ඒ වගේම මට මෝටර් සයිකල් පදින්නත් ලොකු ආශාවක් තිබුණා. මෝටර් සයිකල් අනතුරුවලින් මම බරපතළ විදිහට තුවාල වෙලා තිබුණත් කවදා හරි දවසක මෝටර් සයිකලෙන් ඕස්ට්‍රේලියාව වටේ යනවා කියලා මම හිතාගත්තා.

මම නිදහස් ජීවිතයක් ගත කළත් පොළොවේ සිද්ධවෙන දේවල් ගැන සහ මිනිසුන් විඳින වේදනාව කාටවත් නොතේරෙන එක ගැන මට ලොකු කලකිරීමක් තිබුණා. ඒ නිසා මට දැනගන්න ඕනේ වුණා මෙතරම් දුෂ්ට දේවල් වෙන්නේ ඇයි කියලා. ඒ වගේම සැබෑ දෙවිව හොඳින් හඳුනාගෙන සැබෑ ආගම මොකක්ද කියලා දැනගන්නත් මට ඕනේ වුණා. ඒ නිසා මම ඒ ගැන කතෝලික පූජකයන් දෙන්නෙකුගෙන් ඇහුවා. ඒත් ඒ අය කිව්ව දේවලින් මම තවත් කලකිරුණා. ඊටපස්සේ මම රෙපරමාදු පූජකයන්ව හමුවෙලා මගේ ප්‍රශ්න ගැන ඔවුන්ගෙන් ඇහුවා. ඒ අයගෙන්වත් මට සෑහීම ගෙන දෙන උත්තරයක් ලැබුණේ නැහැ. දවසක් මගේ යාළුවෙක් මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙකුව හඳුන්වලා දුන්නා. එයාගේ නම එඩී. අවස්ථා හතරකදීම මට තිබුණ ප්‍රශ්න ගැන මම එඩී එක්ක කතා කළා. ඒ හැම ප්‍රශ්නයකටම එඩී උත්තර දුන්නේ බයිබලයෙන්. එයා එක්ක කතා කළ මුල් දවසේම මට තේරුණා එයා කියන දේවල් ඇත්ත කියලා. ඒත් මගේ ජීවිතය වෙනස් කරගන්න මට වුවමනා වුණේ නැහැ.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මම හිතාගෙන හිටිය විදිහටම මගේ මෝටර් සයිකලයෙන් මම ඕස්ට්‍රේලියාව වටේ ගියා. ඒ ගමනේදී මට තවත් සාක්ෂිකරුවෙක් හමු වුණා. මම එයා එක්කත් යම් දේවල් ගැන කතා කළා. කොහොමවුණත් මම ආයෙත් ගෙදර ආවට පස්සේ මාස හයක් යන තුරු මට සාක්ෂිකරුවන් එක්ක කිසිම සම්බන්ධයක් තිබුණේ නැහැ.

දවසක් මම වැඩට ගිහින් එනකොට පිළිවෙළට ඇඳගෙන හිටිය මිනිසුන් දෙන්නෙක් බෑග් දෙකක් අරන් පාරේ යනවා මම දැක්කා. ඒ වෙලාවේ මට හිතුණා ඒ අය සාක්ෂිකරුවන් වෙන්න ඕනේ කියලා. ඒ අය එක්ක කතා කළාම මම දැනගත්තා ඒ අය ඇත්තටම සාක්ෂිකරුවන් කියලා. ඒ නිසා මම ඔවුන්ට කිව්වා මට බයිබලය ගැන කියලා දෙන්න කියලා. ඊටපස්සේ මම සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලටත් යන්න පටගන්ගත්තා. ඒ වගේම 1973දී සිඩ්නි නුවර පැවැත්වූ විශාල සමුළුවකටත් මම සහභාගි වුණා. ඒත් මම සාක්ෂිකරුවන්ව ඇසුරු කරනවාට අපේ පවුලේ අය කැමති වුණේ නැහැ. ඒ හේතුව සහ තවත් හේතු නිසා මම සාක්ෂිකරුවන්ව ඇසුරු කරන එක නතර කළා. ඊටපස්සේ අවුරුද්දක් පුරා මම මගේ සම්පූර්ණ කාලයම යොමු කළේ ක්‍රිකට් ක්‍රීඩාවටයි.

මම සතුටින් හිටියේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කළ කාලයේදී විතරයි කියලා මට තේරුණා. ඒ නිසා මම ආයෙත් සාක්ෂිකරුවන්ව හමු වෙලා රැස්වීම්වලට යන්න පටන්ගත්තා. ඒ වගේම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මගේ යාළුවන්ව ආශ්‍රය කරන එකත් නතර කළා.

මට බයිබලය ගැන කියලා දුන්නේ බිල් කියන සහෝදරයායි. එයා වැඩිහිටියෙක් වුණත් හරිම කරුණාවන්තව මට බයිබලයේ තියෙන දේවල් කියලා දුන්නා. මගේ ජීවිතය වෙනස් කරගන්න මට ලොකු ශක්තියක් වුණේ බයිබලයේ සඳහන් යෝබ්ගේ ආදර්ශයයි. දවසක් යෝබ් ගැන තිබුණු පාඩම ඉවර කළාට පස්සේ බිල් මගෙන් මෙහෙම ඇහුවා. ‘මිනිසුන් දෙවිට විශ්වාසවන්තව සේවය කරන්නේ නැහැ කියලා සාතන් නැඟූ චෝදනාව අදාළ වෙන්නේ වෙන කාටද?’ (යෝබ් 2:3-5) ඒ වෙලාවේ මම දැනගෙන හිටිය හැම බයිබල් චරිතයක් ගැනම කිව්වා. එතකොට බිල් මෙහෙම කිව්වා. “ඔව්, ඒ අයටත් අදාළයි. ඒ වගේම ඒක ඔයාටත් අදාළයි.” ඒක ඇහුණම මම පුදුම වුණා. බයිබලයෙන් ඉගෙනගන්න දේවල් සත්‍යයි කියලා මම දැනගෙන හිටියත් ඉගෙනගන්න දේවල් ජීවිතයට අදාළ කරගන්න එක කොච්චර වැදගත්ද කියලා මට තේරුණේ එදා තමයි. ඊට මාස හතරකට පස්සේ මම යෙහෝවා දෙවිට කැප වෙලා බව්තීස්ම වුණා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: මම බයිබලය ඉගෙනගත්තේ නැත්නම් මේ වෙනකොට මට මොනවා වෙලා ඇද්ද! මම කලින් ආශ්‍රය කළ හුඟක් යාළුවන් මත්පැන් සහ මත්ද්‍රව්‍ය නිසා මිය ගියා. ඒ වගේම ඒ අයගේ පවුල් ජීවිතවලත් හුඟක් ප්‍රශ්න තිබුණා. මමත් මගේ ජීවිතය වෙනස් කරගත්තේ නැත්නම් මටත් වෙන්නේ ඒ ටිකමයි.

මම දැන් මගේ බිරිඳ වන මාර්ග්‍රට් එක්ක සන්තෝෂයෙන් ජීවත් වෙනවා. ඒ වගේම අපි දැන් සේවය කරන්නේ ඕස්ට්‍රේලියාවේ පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේයි. ඒ පැවරුම ගැන අපි හුඟක් සතුටු වෙනවා. මගේ පවුලේ කිසිම කෙනෙක් සාක්ෂිකරුවන් වුණේ නැහැ. ඒ වුණත් පසුගිය අවුරුදු කිහිපය තුළ මමයි මගේ බිරිඳයි හුඟක් අයට බයිබලය ගැන කියලා දීලා ඔවුන්ගේ ජීවිත වෙනස් කරගන්න උදව් කරලා තියෙන නිසා අපිට දැන් හුඟක් යාළුවෝ ඉන්නවා. අපි දෙන්නා විවාහ වෙලා දැනට අවුරුදු 25ක් වෙනවා. සමහර අවස්ථාවලදී අපි දෙන්නා අතර යම් එකඟ නොවීම් ඇති වුණත් අපි කවදාවත් බැණගෙන නැහැ. මීට අවුරුදු 40කට ඉස්සෙල්ලා මගේ බිරිඳට මම කවදාවත් බණින්නේ නැහැ කියලා ගත්ත තීරණයට එකඟව කටයුතු කරන්න මාර්ග්‍රට් මට ලොකු සහයෝගයක් දුන්නා. මේ හැම දෙයක්ම අපිට කරන්න පුළුවන් වුණේ අපි බයිබල් ප්‍රමිතිවලට එකඟව ජීවත් වුණ නිසයි.

තොරතුරු

නම: මාසාහිරෝ ඕකාබායාෂී

වයස: 39

රට: ජපානය

අතීතයේදී: සූදුවේ නියැලුණා

මගේ අතීතය: මම ජීවත් වුණේ කුඩා ගමක. මගේ අම්මයි තාත්තයි හරිම කරුණාවන්තයි. කොහොමවුණත් මට දැනගන්න ලැබුණා මගේ තාත්තා ඉස්සර මැර කල්ලියකට සම්බන්ධ වෙලා හිටියා කියලා. ඒ වගේම සාමාජිකයන් පස්දෙනෙක් හිටිය අපේ පවුල බලාගන්න තාත්තා නීති විරෝධී දේවල් කළා කියලත් මම දැනගත්තා. අපේ තාත්තා පුරුද්දක් විදිහට හැමදාම මත්පැන් පාවිච්චි කළා. ඒ නිසා වැඩි කල් යන්න කලින් සිරෝසියාව කියන රෝගය හැදිලා තාත්තා මිය ගියා. ඒ වෙනකොට මට වයස අවුරුදු 20යි.

මගේ තාත්තා කොරියානු ජාතිකයෙක් නිසා අපේ පවුලේ අයට සමාජයෙන් එතරම් පිළිගැනීමක් තිබුණේ නැහැ. මේ හේතුව සහ වෙනත් හේතු නිසා මගේ යෞවන කාලය ගෙවුණේ හුඟක් ප්‍රශ්න ගැටලු මැද. මම උසස් අධ්‍යාපනය හදාරන්න පටන්ගත්තත් හැමදාම පාසැල් ගියේ නැහැ. කොහොම හරි අවුරුද්දකට පස්සේ මම ඒකත් නතර කළා. මම නීති විරෝධී වැඩ කරලා මාව පොලිසියෙන් අත්අඩංගුවට අරන් තිබුණ නිසාත් මම කොරියානු ජාතිකයෙක් නිසාත් මට රැකියාවක් හොයාගන්න එක ලේසි වුණේ නැහැ. කොහොම හරි අන්තිමට මට රැකියාවක් ලැබුණා. ඒත් අනතුරකින් මගේ දණහිස් දෙක හොඳටම තුවාල වුණ නිසා ලැබුණ රැකියාවත් කරගන්න බැරි වුණා.

ජීවත් වෙන්න මොනවා හරි කරන්න ඕනේ නිසා මම සූදුවට යොමු වුණා. ඒ වෙනකොට මම ගෑනු ළමයෙක් එක්ක ජීවත් වුණත් අපි විවාහ වෙලා හිටියේ නැහැ. ඒ නිසා එයා මට නිතරම කිව්වේ හොඳ රස්සාවක් හොයාගෙන අපි විවාහ වෙමු කියලයි. ඒත් සූදුවෙන් මට හුඟක් සල්ලි ලැබුණ නිසා ඒක අත්හරින්න මම කැමති වුණේ නැහැ.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: දවසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් අපේ ගෙදරට ඇවිල්ලා මට පොතක් දුන්නා. ඒ පොතේ සාකච්ඡා කරලා තිබුණේ මිනිසුන් බිහි වුණේ පරිණාමයෙන්ද නැත්නම් දෙවි මිනිසුන්ව නිර්මාණය කළාද යන ප්‍රශ්නය ගැනයි. ඒ ගැන මම කලින් හිතලා තිබුණේ නැහැ. කොහොමවුණත් ඒ පොත කියෙව්වට පස්සේ මට හිතුණා බයිබලය අධ්‍යයනය කරන්න ඕනේ කියලා. ඒ වගේම මැරුණට පස්සේ මොකද වෙන්නේ කියලාත් මට ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නයටත් මට තිබුණු වෙනත් ප්‍රශ්නවලටත් මට බයිබලයෙන්ම පිළිතුරු ලැබුණා.—එම පොත Life—How Did It Get Here? By Evolution or by Creation?

බයිබලයෙන් ඉගෙනගන්න දේවල් මගේ ජීවිතයට අදාළ කරගන්න ඕනේ කියලා මට තේරුණා. ඒ නිසා මම නීත්‍යානුකූලව විවාහ වුණා. ඊටපස්සේ මගේ දිග කොණ්ඩෙත් කපලා දැම්මා. ඒ වගේම සූදුවත් දුම්පානයත් නතර කළා.

ඒ වගේ වෙනස්කම් කරන එක මට ලේසි වුණේ නැහැ. ඒත් මම යෙහෝවා දෙවිට යාච්ඤා කරලා ඔහුගෙන් උපකාර ඉල්ලූ නිසා මට ඒ නරක පුරුදු අත්හරින්න පුළුවන් වුණා. ඊටපස්සේ මම රැකියාවක් හොයාගත්තා. ඒත් මගේ රැකියාවෙන් මට ලැබුණේ සූදුවෙන් ලැබුණ මුදල්වලින් භාගයයි. ඒක මට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ වගේම ඒ රැකියාව කරන්නත් හුඟක් මහන්සි වෙන්න ඕනේ. මේ තත්වයට හොඳින් මුහුණ දෙන්න මට උපකාරවත් වුණේ බයිබලයේ ෆිලිප්පි 4:6, 7හි සඳහන් මේ දෙයයි. “කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට, සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත.” ඒ වදන්වල සත්‍යයතාව මම මගේ ජීවිතයෙන්ම අද්දැකලා තියෙනවා.

මා ප්‍රයෝජන ලැබූ අයුරු: මම සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරනවාට මගේ බිරිඳ සතුටු වුණේ නැහැ. ඒත් මම මගේ ජීවිතය වෙනස් කරගන්නවා දැක්කම එයත් බයිබලය පාඩම් කරන්න කැමති වුණා. ඒ වගේම මාත් එක්ක සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලටත් සහභාගි වුණා. දැන් අපි දෙන්නම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට සේවය කරනවා. යුවළක් විදිහට යෙහෝවා දෙවිට සේවය කරන්න ලැබීම ඇත්තෙන්ම ලොකු ආශීර්වාදයක්!

බයිබලය පාඩම් කරන්න කලින් මම හිතාගෙන හිටියේ මම සන්තෝෂයෙන් ඉන්නවා කියලයි. ඒත් දැන් මට තේරෙනවා සැබෑ සන්තෝෂය කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම බයිබල් ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන එක පහසු දෙයක් නොවුණත් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් හොඳම ක්‍රමය එයයි.

තොරතුරු

නම: එලිසබෙත් ජේන් ස්කොෆිල්ඩ්

වයස: 35

රට: එක්සත් රාජධානිය

අතීතයේදී: යාළුවන් සමඟ අධික ලෙස විනෝද වුණා

මගේ අතීතය: මම ජීවත් වුණේ ස්කොට්ලන්තයේ කුඩා නගරයක. මගේ අම්මා යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. ඒ නිසා අම්මා මට බයිබලය ගැන කියලා දුන්නා. ඒ වෙනකොට මගේ වයස අවුරුදු හතයි. ඒත් අවුරුදු 17ක් වගේ වෙනකොට බයිබල් ප්‍රතිපත්ති අනුව ජීවත් වෙන්න මට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. එහෙම වුණේ මම පාසැලේ මිතුරන් එක්ක හුඟක් කාලය ගත කළ නිසයි. යාළුවෝ එක්ක රාත්‍රී සමාජ ශාලාවලට යන්නත්, නුසුදුසු සංගීතයට සවන් දෙන්නත්, මත්පැන් පානය කරන්නත් මම පුරුදු වුණා. මට ඕනේ වුණේ සති අන්තවල මගේ යාළුවන් එක්ක එකතු වෙලා උපරිමයෙන් විනෝද වෙන්නයි. ඒත් මට අවුරුදු 21දී මගේ ජීවිතය වෙනස් වෙන්න පටන්ගත්තා.

දවසක් මම මගේ ඥාතීන්ව හමු වෙන්න උතුරු අයර්ලන්තයට ගිය වෙලාවේ රෙපරමාදු ආගමික උත්සවයක් පැවැත්වුණා. එදා මට තේරුණා රෙපරමාදු ආගමිකයන් සහ රෝමානු කතෝලිකයන් අතර මොන තරම් වෛරයක් තියෙනවාද කියලා. මට ඒක අදහගන්නත් බැරි වුණා. මගේ අම්මා මට බයිබලයෙන් කියලා දුන්නේ දෙවිගේ ප්‍රමිති නොසලකාහරින අයව දෙවි පිළිගන්නේ නැහැ කියලයි. ඒ වෙලාවේ තමයි මට තේරුණේ මාත් මෙච්චර කල් දෙවිගේ ප්‍රමිති නොසලකාහැරලා ජීවත් වෙලා තියෙනවා කියලා. ඒ නිසා එදාම මම තීරණය කළා ආයෙත් ස්කොට්ලන්තයට ගියාම බයිබලයේ තියෙන දේවල් උනන්දුවෙන් අධ්‍යයනය කරනවා කියලා.

මගේ ජීවිතය වෙනස් වූ අයුරු: මම ආයෙත් සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගත්තම මට අමුත්තක් දැනුණත් රැස්වීම්වලට ඇවිත් හිටිය අය මාව ආදරයෙන් පිළිගත්තා. ඒ නිසා රැස්වීම්වලට යන්න තිබුණු භය නැතුව ගියා. ඒ වගේම එක සහෝදරියක් බයිබලයේ තියෙන දේවල් ජීවිතයට අදාළ කරගන්න මට උදව් කළා. මගේ පරණ යාළුවෝ රාත්‍රී සමාජ ශාලාවලට යන්න මට විටින් විට ආරාධනා කළත් මම බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන නිසා ඒ වගේ දේවලට හවුල් වෙන්නේ නැහැ කියලා ඒ අයට කිව්වා. ඊටපස්සේ ඒ අය මට ඒ වගේ දේවල්වලට කතා කළේ නැහැ.

ඉස්සර මම හිතාගෙන හිටියේ බයිබලය කියන්නේ නීති පොතක් කියලයි. ඒත් දැන් මට තේරෙනවා බයිබලය කියන්නේ ඊට වඩා වෙනස් පොතක් කියලා. එහි සඳහන් වෙන සමහර පුද්ගලයනුත් මං වගේම වැරදි කරලා තියෙනවා. ඒ වුණත් ඔවුන් පසුතැවිලි වුණාම දෙවි ඒ අයට සමාව දුන්නා. මාත් යෞවන වයසේදී වැරදි කළා. හැබැයි මම ඒ වැරදි හදාගෙන දෙවිව සතුටු කරන විදිහට ජීවත් වුණොත් දෙවි මට සමාව දෙයි කියලා මට තේරුණා. ඒක මට ලොකු ශක්තියක්.

මගේ අම්මගේ ආදර්ශයත් මට හුඟක් බලපෑවා. මම යෙහෝවා දෙවිව අමතක කළත් අම්මා දිගටම දෙවිට විශ්වාසවන්තව හිටියා. ඒ නිසා අම්මා වගේ මාත් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කරන්න ඕනේ කියලා මම හිතුවා. ඉස්සර මම ශුභාරංචිය දේශනා කරන්න ගෙයින් ගෙට ගියත් මට ඒකෙන් කිසිම සතුටක් ලැබුණේ නැහැ. මොකද පැය ගණන් තිස්සේ මිනිසුන්ට ශුභාරංචිය ගැන කියලා දෙන එක මට හරිම කම්මැලි වැඩක්. ඒත් මම යෙහෝවා දෙවිට කැප වෙලා බව්තීස්ම වුණාට පස්සේ උනන්දුවෙන් දෙවිට සේවය කරන්න තීරණය කළා. ඒ නිසා මම මගේ රැකියාවෙන් අයින් වෙලා අර්ධකාලීන රැකියාවක් හොයාගෙන දෙවිට පූර්ණකාලීනව සේවය කරන්න පටන්ගත්තා. මට ඒ වගේ තීරණයක් ගන්න උදව් වුණේ මතෙව් 6:31-33 දක්වා සඳහන් වන යේසුස් පැවසූ මේ දෙයයි. ‘කුමක් කමුද කියාවත් කුමක් බොමුද කියාවත් කුමක් අඳිමුද කියාවත් කිසිවිටක කනස්සලු නොවන්න. නමුත් මේ සියල්ල ඔබට අවශ්‍ය බව ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් දන්නේය. එබැවින් පළමුකොට රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද නොකඩවාම සොයන්න. එවිට මේ අන් සියලු දේත් ඔබට දෙනු ලැබේ.’

මා ප්‍රයෝජන ලැබූ අයුරු: මගේ යෞවන කාලේ මම සති අන්තවල යාළුවන් එක්ක විනෝද වුණත් මගේ ජීවිතයට අරමුණක් තිබුණේ නැහැ. ඒත් දැන් මම යෙහෝවා දෙවිට පූර්ණකාලීනව සේවය කරන නිසා මගේ ජීවිතයට අරමුණක් තියෙනවා. මම දැන් විවාහ වෙලා ඉන්න නිසා මායි මගේ ස්වාමිපුරුෂයායි හැම සතියකම විවිධ ප්‍රදේශවලට ගිහින් එහේ ඉන්න සාක්ෂිකරුවන්ව හමු වෙලා ඔවුන්ව දිරිගන්වනවා. මේ කාර්යයේ හවුල් වෙන්න ලැබුණ එක මගේ ජීවිතයේ මට ලැබුණ උතුම්ම වරප්‍රසාදය කියලයි මම හිතන්නේ. මගේ වැරදිවලට සමාව දීලා යෙහෝවා දෙවි නැවත මාව පිළිගැනීම එක ගැන මම දෙවිට ස්තුතිවන්ත වෙනවා.

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“එයා එක්ක කතා කළ මුල් දවසේම මට තේරුණා එයා කියන දේවල් ඇත්ත කියලා. ඒත් මගේ ජීවිතය වෙනස් කරගන්න මට වුවමනා වුණේ නැහැ”

[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඒ වගේ වෙනස්කම් කරන එක මට ලේසි වුණේ නැහැ. ඒත් මම යෙහෝවා දෙවිට යාච්ඤා කරලා ඔහුගෙන් උපකාර ඉල්ලූ නිසා මට ඒ නරක පුරුදු අත්හරින්න පුළුවන් වුණා”

[30වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ඉස්සර මම හිතාගෙන හිටියේ බයිබලය කියන්නේ නීති පොතක් කියලයි. ඒත් දැන් මට තේරෙනවා බයිබලය කියන්නේ ඊට වඩා වෙනස් පොතක් කියලා. එහි සඳහන් වෙන සමහර පුද්ගලයනුත් මං වගේම වැරදි කරලා තියෙනවා”