Skip to content

පටුනට යන්න

තීරණ ගැනීමට නිදහස දී තිබෙන දෙවි කෙනෙක්

තීරණ ගැනීමට නිදහස දී තිබෙන දෙවි කෙනෙක්

දෙවිට ළං වෙන්න

තීරණ ගැනීමට නිදහස දී තිබෙන දෙවි කෙනෙක්

ද්විතීය කතාව 30:11-20

“යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න බැරි වෙයි කියලා මට ලොකු භයක් තිබුණා.” එසේ පැවසුවේ ළමා වියේදී කටුක අද්දැකීම්වලට මුහුණ දුන් කාන්තාවක්. ඇත්තටම අපි කටුක දේවල් අද්දැක තිබෙනවා නම් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සිටින්න බැරිද? පුළුවන්. දෙවි අපි සියලුදෙනාටම තීරණ ගැනීමේ නිදහස දී තිබෙන නිසා දෙවිට විශ්වාසවන්තව ඉන්න අපට හැකියි. අපි ජීවිතයේ හොඳ තීරණ ගන්නවා දකින්න දෙවි කැමතියි. එමනිසා එය කළ හැකි ආකාරය ගැන ඔහු අපට පැහැදිලි කර තිබෙනවා.

යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වන දේ දැනගැනීම අපහසුද? * නැහැ. ඒ ගැන යෙහෝවා දෙවි පවසන්නේ “ඔබට කියා දෙන මේ අණපනත් ඔබට පිළිපදින්න බැරි තරම් අමාරු ඒවා නොවෙයි. ඒ නීති දැනගන්න දුර බැහැර ප්‍රදේශයකට යන්න අවශ්‍ය නැහැ” කියායි. (ද්විතීය කතාව 30:11, නව ලොව පරිවර්තනය, NW) දෙවි කිසිදාක තම සේවකයන්ට කළ නොහැකි දේවල් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහුගේ අණපනත් සාධාරණ නිසා ඒවා පහසුවෙන්ම තේරුම්ගැනීමටත් ඉටු කිරීමටත් අපට හැකියි. දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියා බයිබලයේ පැහැදිලිව සඳහන් වී තිබෙනවා. (මීකා 6:8) ඒ ගැන දැනගැනීමට ‘ඉහළ අහසට නඟින්නවත්’ ‘මහ සමුද්‍රය තරණය කරන්නවත් අවශ්‍ය නැහැ.’—ද්විතීය කතාව 30:12, 13NW.

තමන්ට කීකරු වන්න කියා දෙවි අපට බල කරන්නේ නැහැ. ඒ බව මේ බයිබල් පදයෙන් පැහැදිලි වෙනවා. “මා ඔබ ඉදිරියේ මාර්ග දෙකක් තබනවා. එකක් යහපත් ප්‍රතිඵල අත් කර දෙන ජීවනයට යන මාර්ගය. අනික නරක ප්‍රතිඵල අත් කර දෙන මරණයට යන මාර්ගය.” (ද්විතීය කතාව 30:15NW) ඒ අනුව අප තෝරාගන්නේ ජීවනයට යන මාර්ගයද නැත්නම් මරණයට යන මාර්ගයද කියා තීරණය කළ යුත්තේ අපමයි. අපි දෙවිට කීකරු වුණොත් යහපත් ප්‍රතිඵලවලටද දෙවිට අකීකරු වුණොත් නරක ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදු වෙනවා.—ද්විතීය කතාව 30:16-18, ගලාති 6:7, 8.

ඇත්තෙන්ම දෙවි කැමති වන්නේ අපි ජීවනයට යන මාර්ගය තෝරාගන්නවාටයි. ‘ඔබ තෝරාගත යුත්තේ ජීවනයට යන මාර්ගයයි’ කියා දෙවි පවසන්නේ ඒ නිසයි. (ද්විතීය කතාව 30:19NW) නමුත් අප එය කරන්නේ කෙසේද? ඒ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරන්න. ඔහුගේ හඬට සවන් දී ඔහුට ළංව සිටින්න.” (ද්විතීය කතාව 30:20NW) අපි දෙවිට ප්‍රේම කරනවා නම් ඕනෑම අභියෝගයක් හමුවේ දෙවිගේ අණපනත් පිළිපදිමින් ඔහුට විශ්වාසවන්තව සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පාරාදීස පොළොවේ සදාකාල ජීවනය ලබන්න අපට හැකියි.—2 පේතෘස් 3:11-13; 1 යොහන් 5:3.

අතීතයේදී අප කටුක අද්දැකීම්වලට මුහුණ දී තිබුණත් දෙවිට විශ්වාසවන්තව සිටීමට අපට හැකි බව පැහැදිලියි. තීරණ ගැනීමේ නිදහස දෙවි අපට දී තිබෙන නිසා දෙවිට ප්‍රේම කිරීමටත් ඔහුට කීකරුව සිටීමටත් අපට හැකියි. ඒ සඳහා අප දරන වෑයමට යෙහෝවා දෙවි ආශීර්වාද කරනවා.

ඒ බව දැනගැනීමෙන් මේ ලිපියේ මුලින් සඳහන් කළ කාන්තාව විශාල සහනයක් ලැබුවා. ඒ ගැන ඇය පවසන දෙය බලන්න. ‘යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න පුළුවන් වෙයිද කියලා මට භයක් තිබුණා. ඒත් දැන් මට තේරෙනවා යෙහෝවා දෙවි කෙරෙහි සැබෑ ප්‍රේමයක් තියෙනවා නම් ඕනෑම තත්වයක් යටතේ දෙවිට විශ්වාසවන්තව ඉන්න පුළුවන් කියලා.’ යෙහෝවා දෙවිගේ උපකාරය ඇතුව ඇය මෙන් අප සියලුදෙනාටත් දෙවිට විශ්වාසවන්තව සිටිය හැකියි.

[පාදසටහන]

^ 2 ඡේ. 2009 ඔක්තෝබර් 1 මුරටැඹ කලාපයේ “දෙවිට ළං වෙන්න—දෙවි අපෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?” නමැති ලිපිය බලන්න.