Skip to content

පටුනට යන්න

2. නරකාදිය

2. නරකාදිය

ඉගැන්වීම ඇරඹුණේ කෙසේද?

“නරකාදිය නමැති ඉගැන්වීම පැතිරවීමට ග්‍රීක දර්ශනවාදීන් අතරින් ප්ලේටෝ වැඩි දායකත්වයක් දැරුවා” කියා එක් පොතක සඳහන් වෙනවා.—ද හිස්ට්‍රි ඔෆ් හෙල්, 50වන පිටුව.

“ග්‍රීක දර්ශනවාදය පිළිබඳව හැදෑරූ ක්‍රිස්තියානීන් තම විශ්වාසයන් පහදා දීම සඳහා දර්ශනවාදී අදහස් යොදාගැනීමට පටන්ගත්තේ දෙවන සියවසේ සිටයි. ඒ සඳහා ඔවුන් වැඩියෙන්ම යොදාගත්තේ ග්‍රීක දර්ශනවාදියෙකු වූ ප්ලේටෝගේ අදහස්” බව එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා.—ද නිව් එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා (1988) 25වන වෙළුම, 890වන පිටුව.

“නරකාදියක් තිබෙන බව පල්ලිවලින් උගන්වනවා. පව්කාරයන් මිය ගිය සැණින් ඔවුන්ගේ ආත්ම නරකාදියේ ‘නොනිවෙන ගින්නෙන්’ සදහටම වධ වේදනා විඳිනවා. එහිදී ඔවුන් විඳින ලොකුම වේදනාව වන්නේ දෙවිගෙන් ඈත් වීමයි” කියා එක් පොතක සඳහන් වෙනවා.—කැටිකිසම් ඔෆ් ද කැතලික් චර්ච්, 1994 සංස්කරණය, 270වන පිටුව.

බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

‘ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති. මක්නිසාද නුඹ යන මිනී වළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.’—දේශනාකාරයා 9:5, 10, පැරණි අනුවාදය.

මිය ගිය අයගේ තත්වය විස්තර කිරීමට හෙබ්‍රෙව් භාෂාවෙන් යොදාගෙන තිබෙන්නේ ෂෙයෝලය යන වචනයයි. එම වචනයෙන් අදහස් වෙන්නේ මිය ගිය අයට කිසිවක් නොදැනෙන බවයි. මිය ගිය අය “කිසිවක් නොදනිති” කියා ඉහත බයිබල් ඡේදයේ සඳහන් වෙන්නේ ඒ නිසයි. මිය ගිය අයට කිසිවක් දැනෙන්නේ නැත්නම් ඔවුන් නරකාදියක දුක් විඳිනවා කියා පැවසිය හැකිද? බැහැ. අතීතයේ සිටි යෝබ්ද පීඩා රැසකට මුහුණ දුන් අවස්ථාවේදී ‘මා ෂෙයෝලයෙහි වසා තබන්න’ කියා දෙවිගෙන් ඉල්ලා සිටියේ ඒ නිසයි. (යෝබ් 14:13, පැ.අ) ෂෙයෝලය කියන්නේ මරණින් පසු මිනිසුන් දුක් විඳින ස්ථානයක් නම් තමන්ගේ පීඩාවලින් සහනයක් ලබාගැනීම සඳහා යෝබ් දෙවිගෙන් එවැනි දෙයක් ඉල්ලා සිටියිද?

ප්‍රේමණීය දෙවි කෙනෙක් වැරදි කරන අයව නරකාදියකට දමා සදාකාලයටම වධ වේදනා පමුණුවයි කියා සිතිය හැකිද? බැහැ. (1 යොහන් 4:8) ඒ අනුව නරකාදිය කියා ස්ථානයක් නැති බව පැහැදිලියි. කොහොමවුණත් පව් කරන අය නරකාදියට යන බවට වූ ඉගැන්වීම නිසා හොඳ මිනිසුන් ස්වර්ගයට යන බවට වූ ඉගැන්වීම ඇති වුණා. නමුත් ඒ ගැන බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද?

මෙම බයිබල් පද කියවා බලන්න. ගීතාවලිය 146:3, 4; රෝම 6:7, 23

නිවැරදි ඉගැන්වීම:

නරකාදිය කියා ස්ථානයක් නැහැ