Skip to content

පටුනට යන්න

භාෂා ගණනාවකින් ශුභාරංචිය!

භාෂා ගණනාවකින් ශුභාරංචිය!

භාෂා ගණනාවකින් ශුභාරංචිය!

රුවන්ඩාවේ සිවිල් යුද්ධය පැවති කාලයේදී පරිවර්තකයන් කිහිපදෙනෙක් තමන්ගේ ගෙවල් දොරවල් අත්හැර අනාථ කඳවුරුවලට ගියා. ඒ වුණත් තමන් සතුව තිබූ පරිගණක රැගෙන යෑමට ඔවුන් අමතක කළේ නැහැ. ඒ ඇයි? ඊට හේතුව අනාථ කඳවුරේදී පවා බයිබලය ඇසුරෙන් ප්‍රකාශයට පත් කරන පොත් පත් කින්යාර්වන්ඩා භාෂාවට පරිවර්තනය කිරීමට ඔවුන්ට අවශ්‍ය වූ නිසයි.

ආසියාවේ ජීවත් වන කාන්තාවක් වෙහෙස නොබලා අවම පහසුකම් යටතේ රෑ බෝ වන තුරු පරිවර්තන කටයුතුවල නිරත වෙනවා. ඇතැම් අවස්ථාවලද විටින් විට විදුලිය ඇණහිටියත් ඇය නොනවත්වාම ඒ කාර්යය කරනවා. ඇය එසේ කරන්නේ පරිවර්තන කටයුතු නිසි වේලාවට අවසන් කිරීමටයි.

එලෙස වෙහෙස මහන්සිය නොතකා පරිවර්තන කටයුතුවල හවුල් වන පරිවර්තකයන් 2,300ක් පමණ සිටිනවා. ඔවුන් ලොව පුරා ස්ථාන 190කට වඩා වැඩි ගණනක විසිරී සිටින අතර භාෂා 500කින් බයිබලය මත පදනම් පොත් පත් පරිවර්තනය කරනවා. ඔවුන්ගේ වයස් පරතරය අවුරුදු 20ත් 90ත් අතර වෙනවා. බොහෝ අයට බයිබලයෙහි සඳහන් ප්‍රීතිමත් පණිවිඩය තමන්ගේම භාෂාවෙන් කියවීමට හැකි වී තිබෙන්නේ එම පරිවර්තකයන්ගේ කාර්යය නිසයි.—එළිදරව් 7:9.

භාෂා ගණනාවකින්

මෑත වර්ෂවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පරිවර්තන වැඩකටයුතුවල විශාල වර්ධනයක් සිදු වුණා. උදාහරණයකට 1985දී මුරටැඹ සඟරාව මාසිකව පළ වුණේ භාෂා 23කින් පමණයි. නමුත් දැන් එය භාෂා 176ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එකම කාල සීමාවක් තුළ එම සඟරා ලොව පුරා බෙදාහරින නිසා සියලුදෙනාටම එකම කාලයක් තුළ එම සඟරාව කියවා අධ්‍යයනය කළ හැකියි.

පොදුවේ ගත් කල සමහර භාෂාවලින් මාසිකව පොත් පත් මුද්‍රණය කරන්නේ නැහැ. ඊට හේතුව එවැනි භාෂාවලින් පොත් පත් මුද්‍රණය කිරීමෙන් මුද්‍රණ සමාගම්වලට ලාභයක් නොලැබීමයි. නමුත් එතරම් පොත් පත් මුද්‍රණය නොවන එවැනි භාෂා 50කින් පමණ මුරටැඹ සඟරාව ලබාගැනීමට හැකි වීම විශේෂ දෙයක්. එය කිරීමට හැකි වී තිබෙන්නේ ලොව පුරා සිටින සාක්ෂිකරුවන් කැමැත්තෙන්ම කරන පරිත්‍යාග නිසයි. (2 කොරින්ති 8:14) එමනිසා විවිධ භාෂාවලින් ශුභාරංචිය ගැන දැනගැනීමට මිනිසුන්ට අවස්ථාව ලැබෙනවා.

තමන්ගේම භාෂාවෙන් බයිබලයේ තිබෙන තොරතුරු දැනගැනීමට ලැබීම ගැන බොහෝ අය සතුටු වෙනවා. මෑතකදී නිකරගුවාවේ මිස්කිටෝ භාෂාවෙන්ද බයිබලය ඇසුරෙන් ප්‍රකාශයට පත් කරන පොත් පත් බෙදාහරිනු ලැබුවා. එම භාෂාව කතා කරන්නේ 2,00,000ක පමණ ජනගහනයක් පමණයි. මිස්කිටෝ භාෂාවෙන් පළ වී තිබෙන මගේ බයිබල් කතන්දර පොත * නමැති ප්‍රකාශනය ලබාගැනීමට දිනක් එක් කාන්තාවක් ඉල්ලුම්පතක් යවනු ලැබුවා. එම පොත ඇයට ලැබුණු අවස්ථාවේ ආගමික පූජකයෙක්ද එහි සිටියා. තමන්ගේම භාෂාවෙන් එම පොත තිබෙනවා දුටු ඔහු කෝපි කිලෝ 20ක් දී එම පොත ඇගෙන් ලබාගැනීමට කැමති වුණා. ඒත් පූජකයාට ඒ පොත දීමට ඇය කැමති වුණේ නැහැ.

ගෙවී ගිය දශකය තුළ මෙක්සිකෝවේ භාවිත වන විවිධ භාෂාවලින්ද බයිබලය මත පදනම් පොත් පත් පරිවර්තනය කර තිබෙනවා. ඒවා අතර මායා, නහුවාට්ල් සහ ට්සොට්සිල් භාෂා සඳහන් කළ හැකියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 72ක්ව තිබූ සභා ගණන දැන් 1,200කට වඩා ඉහළ ගොස් තිබෙනවා. ඊට සංඥා භාෂාව භාවිත කරන සභාද ඇතුළත්. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලයේ සඳහන් ශුභාරංචිය නමැති බීජය මිනිසුන්ගේ හදවත් තුළ රෝපණය කිරීමට ලොකු වෙහෙසක් දරනවා. කොහොමවුණත් ඒවා වර්ධනය වෙන්නේ යෙහෝවා දෙවි නිසයි.—1 කොරින්ති 3:5-7.

භාෂා 80කින් තිබෙන බයිබල් පරිවර්තනයක්

මෑත වර්ෂවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය භාෂා 80කින් පරිවර්තනය කර තිබෙනවා. මෙම පරිවර්තනය තමන්ගේම භාෂාවෙන් ලබාගැනීමට හැකි වීම ගැන බොහෝදෙනෙක් සතුටු වුණා. දකුණු අප්‍රිකාවේ සිටින ට්ස්වානා භාෂාව කතා කරන සාක්ෂිකරුවෙක් පැවසූ දේ සලකා බලන්න. “මේ බයිබල් පරිවර්තනය හුඟක් වටිනවා. දෙවිගේ වචනයේ සඳහන් දේවල් තවත් අගය කරන්න මේක මට ලොකු උපකාරයක් වෙයි. මේ බයිබලය තේරුම්ගැනීමටත් පහසු නිසා කියවන්නත් ආස හිතෙනවා.” මොසැම්බික්වල සිටින ට්සොංගා භාෂාව කතා කරන කෙනෙක්ද මෙසේ පැවසුවා. “බයිබලය මත පදනම් ප්‍රකාශන තිබුණත් අපේම භාෂාවෙන් බයිබලයක් නැත්නම් වැඩක් නැහැ. ඒත් දැන් අපේම භාෂාවෙන් නව ලොව පරිවර්තනය තිබෙන නිසා අපි ඒකෙන් හුඟක් ප්‍රයෝජන ලබනවා.”

යේසුස් පොළොවේ සිටි කාලයේදී මෙවැනි අනාවැකියක් පැවසුවා. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) එමනිසා බයිබලයේ තිබෙන ශුභාරංචිය විවිධ භාෂාවලට පරිවර්තනය කර ඒවා බෙදාහැරීමට දායක වන අය එම අනාවැකිය ඉටු කිරීමට විශාල වශයෙන් හවුල් වෙනවා.

[පාදසටහන]

^ 8 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[25වන පිටුවේ ප්‍රස්තාරය]

(මුද්‍රිත පිටපත බලන්න)

නව ලොව පරිවර්තනය

ම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන්

1950 1*

1970 7*

1990 13*

2000 36*

2010 80*

බයිබලය මත පදනම් පොත් පත්

1950 88*

1960 125*

1970 165*

1980 190*

1990 200*

2010 500*

*භාෂා ගණන

[24, 25වන පිටුවේ පින්තූර]

විවිධ භාෂා 500කින් පොත් පත් පරිවර්තනය කරන්න පරිවර්තකයන් 2,300ක් පමණ ස්වේච්ඡාවෙන් හවුල් වෙනවා

බෙනින්

ස්ලොවේනියාව

ඉතියෝපියාව

බ්‍රිතාන්‍යය