Skip to content

පටුනට යන්න

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

ඔබ දැන සිටියාද?

පාවුල් සඳහන් කළ ‘ජය පෙරහැරේ’ සැබෑ අර්ථය කුමක්ද?

එක් අවස්ථාවකදී පාවුල් මෙසේ පැවසුවා. ‘දෙවි අපව ක්‍රිස්තුස් සමඟ නිතරම ජය පෙරහැරකින් ගෙන යන අතර තමන් පිළිබඳ දැනුම නමැති සුවඳ අප මාර්ගයෙන් සෑම තැනම පතුරුවයි. දෙවි ඉදිරියෙහි ක්‍රිස්තුස් පිළිබඳ ශුභාරංචිය රැගෙන යන අප, ගලවනු ලබන අය අතරත් විනාශ වන අය අතරත් විහිදෙන මිහිරි සුවඳක් හා සමානය. විනාශ වන අයට නම් එය මරණය ගෙන දෙන මරණීය සුවඳකි. නමුත් ගලවනු ලබන අයට එය ජීවනය ගෙන දෙන ජීවනදායක සුවඳකි.’—2 කොරින්ති 2:14-16.

පාවුල් එහිදී යොමු දැක්වූයේ රෝමවරුන් යුධ ජයග්‍රහණ ලැබූ පසු සේනාධිපතිට ගෞරව කිරීම සඳහා පැවැත්වූ ජය පෙරහැරවලටයි. එම පෙරහැරවලදී ඔවුන් අත් කරගත් වස්තුවත් යටත් කරගත් මිනිසුන්වත් ප්‍රදර්ශනය කළා. ඒ අතරවාරයේදී යුධ සෙන්පතිට සහ සෙබළුන්ට ජය ඝෝෂා නැඟූ මිනිසුන් මඟ දිගට සුවඳ ද්‍රව්‍ය දැල්වූවා. පෙරහැර අවසානයේදී ඔවුන් ගවයන්ව පූජා කළ අතර බොහෝවිට ඔවුන් යටත් කරගත් මිනිසුන්වත් මරා දැමුවා.

පාවුල් පැවසූ දේ ගැන එක් විශ්වකෝෂයක මෙසේ සඳහන් වුණා. “ගලවනු ලබන අය අතරත් විනාශ වන අය අතරත් විහිදෙන මිහිරි සුවඳ ගැන සඳහන් කළ විට පාවුල්ගේ මතකයට නැඟෙන්න ඇත්තේ රෝමවරුන් සුවඳ ද්‍රව්‍ය දල්වමින් යුධ ජයග්‍රහණය සැමරූ ආකාරය විය හැකියි. ජයග්‍රහණය ලැබූ අයට මිහිරි සුවඳින් ජය සිහිපත් කෙරුණත් වහලුන්ට එම මිහිරි සුවඳින් සිහිපත් කෙරුණේ මරණයයි.” *The International Standard Bible Encyclopedia.

පැරණි ගිවිසුමේ අවස්ථා ගණනාවකම සඳහන් කර තිබෙන “පූජනීය ස්ථාන” මොනවාද?

පොරොන්දු දේශයට ළඟා වෙමින් සිටි ඊශ්‍රායෙල්වරුන්ට, කානානිවරුන්ගේ නමස්කාර ස්ථාන විනාශ කර දමන්න කියා යෙහෝවා දෙවි මෙසේ ආඥා කළා. “ඔවුන් සාදා තිබෙන ගල් හා ලෝහ රූප සියල්ල විනාශ කරන්න. ඔවුන්ගේ සියලු පූජනීය ස්ථානද සහමුලින්ම විනාශ කර දමන්න.” (ගණන් කතාව 33:52) බොහෝවිට යෙහෝවා දෙවි පිළිකුල් කළ එම පූජනීය ස්ථාන කඳු මුදුන්වල, ගස් යට හෝ නුවරවල පිහිටා තිබෙන්න ඇති. (1 රාජාවලිය 14:23; 2 රාජාවලිය 17:29; එසකියෙල් 6:3) එමෙන්ම එම ස්ථානවල පූජාසන, නමස්කාරය සඳහා ඉදි කළ කුලුනු, කණු, සුවඳ දුම් පූජාසන ඇතුළු තවත් දේවල්ද තිබෙන්න ඇති.

යෙරුසලමේ පිහිටි දෙවිගේ මාලිගාව ගොඩනැඟීමට කලින් ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවිට නමස්කාර කළේ දෙවි අනුමත කළ පූජනීය ස්ථානවලයි. උදාහරණයකට පුරාණයේ සිටි සාමුවෙල්, ෂුප් නම් පළාතේදී දෙවිට පූජාවක් ඔප්පු කළ බව බයිබලයේ සඳහන් වෙනවා. (1 සාමුවෙල් 9:11-14) කොහොමවුණත් දෙවිගේ මාලිගාව ගොඩනැඟීමෙන් අනතුරුව දෙවිට විශ්වාසවන්තව සිටි ඇතැම් රජවරුන් දේශයේ තිබූ යෙහෝවා දෙවි පිළිකුල් කළ “පූජනීය ස්ථාන” විනාශ කර දැමුවා.—2 රාජාවලිය 21:3; 23:5-8, 15-20; 2 ලේකම් 17:1, 6.

[පාදසටහන]

^ 5 ඡේ. ජය පෙරහැර ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා 1990 නොවැම්බර් 15 මුරටැඹ කලාපයේ 27වන පිටුව බලන්න. (සිංහලෙන් නැත)

[23වන පිටුවේ පින්තූරය]

රෝමවරුන්ගේ ජය පෙරහැරක් පෙන්නුම් කරන ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් කැටයමක්

[හිමිකම් විස්තර]

Photograph taken by courtesy of the British Museum

[23වන පිටුවේ පින්තූරය]

ගෙෂෙර් නගරයේ දැකිය හැකි නමස්කාරය සඳහා යොදාගත් කණු