Skip to content

පටුනට යන්න

පාඨකයන් අසයි

සියලුම මිනිසුන්ට දෙවිව දැන හඳුනා ගැනීමට එක හා සමාන ප්‍රස්තාවන් ලැබෙනවාද?

සියලුම මිනිසුන්ට දෙවිව දැන හඳුනා ගැනීමට එක හා සමාන ප්‍රස්තාවන් ලැබෙනවාද?

එක අවස්ථාවකදී නීතියේ උතුම්ම ආඥාව ගැන සඳහන් කරමින් යේසුස් මෙසේ පැවසුවා. “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබේ මුළු හදවතින්ම ප්‍රේම කරන්න.” (මතෙව් 22:37) කොහොමවුණත් දෙවිට ප්‍රේම කරන්න නම් මුලින්ම මිනිසුන් දෙවි ගැන දැනගත යුතුයි. (යොහන් 17:3) නමුත් සියලුම මිනිසුන්ට දෙවිව දැන හඳුනා ගැනීමට ප්‍රස්තාව තිබෙනවාද?

දෙවි ගැන ඉගෙනගැනීමට තිබෙන මූලිකම ක්‍රමය වන්නේ බයිබලය අධ්‍යයනය කිරීමයි. (2 තිමෝති 3:16) අද බොහෝ අයට තමන්ගේම භාෂාවෙන් බයිබලය කියවීමට අවස්ථාව තිබෙනවා. එමෙන්ම බයිබලයේ සඳහන් දේවල් ගැන ඉගෙනගන්න කියා සාක්ෂිකරුවන් නැවත නැවතත් මිනිසුන්ට කරන ආරාධනාවත් ඔවුන්ට ලැබී ඇති. (මතෙව් 28:19) තවත් අය හැදී වැඩී තිබෙන්නේ බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වන දෙමාපියන් යටතේ නිසා කුඩා කාලයේ සිටම දෙවි ගැන ඉගෙනගැනීමට ඔවුන්ට ප්‍රස්තාව ලැබී තිබෙනවා.—ද්විතීය කතාව 6:6, 7; එෆීස 6:4.

නමුත් ඇතැම් අයට එවැනි ප්‍රස්තාවන් ලැබී නැහැ. උදාහරණයකට සමහරුන්ට තම දෙමාපියන්ගෙන් කිසිම ආදරයක් ලැබී නැති නිසා යෙහෝවා දෙවිව ප්‍රේමණීය පියෙකු ලෙස සැලකීම ඉතා දුෂ්කර දෙයක් වී තිබෙනවා. (2 තිමෝති 3:1-5) තවත් අය පාසැල් අධ්‍යාපනය ලබා නැති නිසා බයිබලය කියවීමට ඔවුන්ට හැකියාවක් නැහැ. එමෙන්ම බොහෝ අය වැරදි ඉගැන්වීම්වලින් මුළාව ගොස් තිබෙන නිසා හෝ බයිබලයේ සඳහන් ඉගැන්වීම් හෙළාදකින රටක නැත්නම් එවැනි පවුලක ජීවත් වූ නිසා දෙවි ගැන ඉගෙනගැනීමට තිබෙන අවස්ථාව ගිලිහී ගොස් තිබෙනවා. (2 කොරින්ති 4:4) එවැනි අයට දෙවිව දැන හඳුනා ගෙන ඔහුට ප්‍රේම කිරීමට හැකියාව තිබෙනවාද?

ඇතැම් අයට විවිධ හේතු නිසා දෙවිව දැන හඳුනා ගැනීම අභියෝගයක් විය හැකි බව යේසුස් තේරුම්ගෙන සිටියා. (මතෙව් 19:23, 24) නමුත් එවැනි අභියෝග ජය ගැනීම සඳහා මිනිසුන්ට උපකාර කරන්න දෙවිට පුළුවන්. “දෙවිට සියල්ල කළ හැකියි” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි.—මතෙව් 19:25, 26.

තමාව දැන හඳුනා ගැනීම සඳහා දෙවි මිනිසුන්ට උපකාර කර තිබෙන ආකාරය ගැන මදකට සිතන්න. සියලුම මිනිසුන්ට තමා ගැන දැනගැනීමට හැකි වන ලෙස දෙවි බයිබලය ලොව පුරා ව්‍යාප්ත වීමට සලස්වා තිබෙනවා. එහි සඳහන් වෙන්නේ දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය “ජනාවාස වූ මුළු පොළොව පුරාම” දේශනා කරනු ලබනවා කියායි. (මතෙව් 24:14) ඒ නිසා සාක්ෂිකරුවන් රටවල් 230කට වැඩි ගණනක එම ශුභාරංචිය දේශනා කරන අතර භාෂා 500කින් පමණ බයිබලය මත පදනම් පොත්පත් බෙදාහරිනවා. ප්‍රතිඵලයක් ලෙස බොහෝ අයට දෙවිව දැන හඳුනා ගැනීමට ප්‍රස්තාව ලැබී තිබෙනවා. සමහර අයට බයිබලය කියවීමට අවස්ථාවක් නොලැබුණත් දෙවිගේ නිර්මාණයන් නිරීක්ෂණය කිරීමෙන් ඔහු මොන වගේ කෙනෙක්ද කියා දැනගත හැකියි.—රෝම 1:20.

බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “යෙහෝවා දෙවි සියලුදෙනාගේම සිත් සෝදිසි කර බලනවා. සෑම සිතුවිල්ලක්ම ඔහු හොඳින් තේරුම්ගන්නවා. ඔබ නිතරම ඔහුගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරන බව නිසැකයි.” (1 ලේකම් 28:9) සියලුම මිනිසුන්ට දෙවිව දැන හඳුනා ගැනීමට එක හා සමාන ප්‍රස්තාවන් ලැබෙනවා කියා දෙවි පවසා නැහැ. කොහොමවුණත් දෙවිව දැන හඳුනා ගැනීමට කැමති අයට ඒ සඳහා ප්‍රස්තාව ලබා දීමට දෙවි වගබලා ගන්නවා. එමෙන්ම දෙවි ගැන දැනුම නොලබා මිය ගිය අයටත් පාරාදීස පොළොවේදී තමා ගැන ඉගෙනගැනීමට දෙවි අවස්ථාව සලසනවා.—ක්‍රියා 24:15.