Skip to content

පටුනට යන්න

මිනිසුන් බියෙන් සිටින්නේ ඇයි?

මිනිසුන් බියෙන් සිටින්නේ ඇයි?

මිනිසුන් බියෙන් සිටින්නේ ඇයි?

“ඉදිරියේදී මිනිස් සංහතියට මහත් විනාශයකට මුහුණ දීමට සිදු වෙනවා කියා විශ්වාස කරන්න ආගමක් දහමක් අදහන්න ඕනෙ නැහැ.”—දකුණු කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් ඔලියරි. *

ඉහත අදහසට ඔබත් එකඟ වෙනවාද? පෘථිවියත් එහි සිටින ජීවීනුත් යම් දිනක විනාශ වෙයි කියා බොහෝ මිනිසුන් බියෙන් සිටිනවා. නමුත් එවැනි දෙයක් ඇත්තටම සිදු වෙයිද? ඒ ගැන සලකා බැලීමට පෙර අනාගතයේදී මහත් විනාශයක් සිදු වෙයි කියා මිනිසුන් තුළ බියක් ඇති වීමට තිබෙන හේතු කිහිපයක් ගැන අපි සලකා බලමු.

න්‍යෂ්ටික යුද්ධ. වර්ෂ 2007දී පළ වූ එක් සඟරාවක මෙසේ සඳහන් වුණා. “හිරෝෂිමා සහ නාගසාකි යන නගර දෙකට පරමාණු බෝම්බ හෙළීමෙන් පසුව න්‍යෂ්ටික යුද්ධයකින් මහත් විනාශයක් සිදුවෙයි කියන බිය මිනිසුන් තුළ ඇති වුණා.” වර්ෂ 2007දී ලොව පුරා න්‍යෂ්ටික අවි 27,000ක් නිෂ්පාදනය කර තිබූ බවත් ඉන් 2,000ක් “ඕනෑම මොහොතක ප්‍රහාර සඳහා සූදානමින් තිබූ බවත්” එම සඟරාවේ තවදුරටත් සඳහන් වුණා. ඒ න්‍යෂ්ටික අවිවලින් ඉතා සුළු ප්‍රමාණයක් හෝ ප්‍රහාර සඳහා යොදාගැනුණා නම් එයින් සිදු වන විනාශය කොතරම්ද කියා කියන්න බැහැ.—එම සඟරාව, Bulletin of the Atomic Scientists.

වර්ෂ 2007න් පසුව න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙයි කියන බිය අඩු වී තිබෙනවාද? ස්ටොක්හෝම්හි ජාත්‍යන්තර සාම පර්යේෂණ ආයතනය 2009දී නිකුත් කළ වාර්ෂික පොතේ ඒ සම්බන්ධයෙන් මෙවැනි දෙයක් සඳහන් කර තිබුණා. න්‍යෂ්ටික අවි බලවතුන් ලෙස සැලකෙන චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය වැනි රටවල් “නවතම න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කර තිබෙන බව හෝ එසේ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව පවසා තිබෙනවා.” නමුත් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කරන්නේ ඒ රටවල් පමණක් නොවන බව එම පොතේ තවදුරටත් සඳහන් වුණා. පර්යේෂකයන් පවසන්නේ ඉන්දියාව, පකිස්තානය, සහ ඊශ්‍රායෙලය වැනි රටවල ඔවුන්ටම කියා න්‍යෂ්ටික බෝම්බ 60ත් 80ත් අතර ප්‍රමාණයක් තිබෙන බවයි. ඕනෑම මොහොතක ප්‍රහාර එල්ල කිරීම සඳහා ලොව පුරාම න්‍යෂ්ටික බෝම්බ 8,392ක් සූදානම් කර තිබෙනවා කියා එම පර්යේෂකයන් තවදුරටත් පවසනවා.—එම පොත, SIPRI Yearbook 2009.

දේශගුණික වෙනස්කම්. කලින් උපුටා දැක්වූ සඟරාවේ මෙවැනි දෙයක්ද සඳහන් වුණා. “න්‍යෂ්ටික යුද්ධයක් නිසා මහත් විනාශයක් සිදු වීමේ අවධානමක් තිබෙනවා හා සමානව දේශගුණික වෙනස්කම් නිසාත් මහත් විනාශයක් සිදු වීමේ අවධානමක් තිබෙනවා.” කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් හෝකිං සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට අයත් ත්‍රිත්ව විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කටයුතු කරන ශ්‍රීමත් මාටින් රීස් වැනි විද්‍යාඥයන් දේශගුණික වෙනස්කම් ගැන අනතුරු අඟවා තිබෙනවා. ඔවුන් පවසන්නේ මිනිසුන් තාක්ෂණය අයුතු ලෙස යොදාගෙන තිබෙන නිසාත් පරිසරයට මහත් හානියක් කර තිබෙන නිසාත් මතු දිනෙක මිනිස් සංහතිය පොළොවෙන් තුරන් වී යෑමට ඉඩ තිබෙනවා කියායි.—එම සඟරාව, Bulletin of the Atomic Scientists.

විනාශයක් සිදු වන බවට පල වී තිබෙන මත. වර්ෂ “2012දී ලෝක විනාශයක්” සිදු වන බවට බොහෝ අය තුළ බියක් තිබෙනවා. එවැනි බියක් මිනිසුන් තුළ ඇති වී තිබෙන්නේ ඇයි? ඊට හේතුව අතීතයේ සිටි මායාවරුන් ඔවුන්ගේ දින දර්ශනය වර්ෂ 2012න් අවසන් කර තිබීමයි. බොහෝ අය සිතන්නේ එය මිනිස් වර්ගයාගේ අවසානය සනිටුහන් කරනවා කියායි.

අපේ පෘථිවිය යම් දිනක විනාශ වන බව බයිබලයේ සඳහන් වෙනවා කියා ක්‍රිස්තියානියැයි කියාගන්නා ඇතැමුන්ද විශ්වාස කරනවා. යහපත් මිනිසුන් ඒ විනාශයෙන් බේරී ස්වර්ගයට යනවා කියාත් දුෂ්ටයන් සුන්බුන් ගොඩක් බවට පත් වූ පෘථිවියේ හෝ අපායක දුක් විඳිනවා කියාත් ඔවුන් සිතනවා.

කොහොමවුණත් බයිබලයේ සඳහන් උපදෙස මෙයයි. “දෙවිගෙන් ලැබූ බවට පවසන සෑම පණිවිඩයක්ම විශ්වාස නොකරන්න. එම පණිවිඩ ඇත්තටම පැමිණෙන්නේ දෙවිගෙන්ද කියා සෝදිසි කර බලන්න.” (1 යොහන් 4:1) ඒ නිසා ලෝක විනාශය ගැන අන් අය කියන කියන හැම දෙයක්ම විශ්වාස කරන්න එපා. ඒ වෙනුවට ඔබේම බයිබලය පෙරළා ලෝක විනාශය පිළිබඳව සත්‍යය දැනගන්න ඔබ කැමතිද? ඒ තොරතුරු දැනගැනීමෙන් සමහරවිට ඔබ පුදුම වෙයි!

[පාදසටහන]

^ 2 ඡේ. වර්ෂ 2005 ඔක්තෝබර් 19වන දා MSNBC වෙබ් අඩවියේ පල වූ “Disasters Fuel Doomsday Predictions” ලිපිය ඇසුරෙන්.

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Mushroom cloud: U.S. National Archives photo; hurricane photos: WHO/​League of Red Cross and U.S. National Archives photo