Skip to content

පටුනට යන්න

දරුවන්ට ඉගැන්විය හැකි සාර්ථක ක්‍රම මොනවාද?

දරුවන්ට ඉගැන්විය හැකි සාර්ථක ක්‍රම මොනවාද?

දරුවන්ට ඉගැන්විය හැකි සාර්ථක ක්‍රම මොනවාද?

“මා අද ඔබට කියා දෙන මේ වචන හොඳින් සිතේ තබාගන්න. ඒවා ඔබේ දූපුතුන්ගේ සිත්වලට කාවද්දන්න. නිවසේ සිටින විටත් ගමන්බිමන් යන විටත් විවේක සුවයෙන් සිටින විටත් අවදි වන විටත් ඔබ ඒ දේවල් ගැන කතා කරන්න.”—ද්විතීය කතාව 6:6, 7.

දරුවන්ව පුහුණු කිරීමේදී විවිධ අභියෝගවලට මුහුණ දෙන්න දෙමාපියන්ට සිදු වෙනවා. එවැනි අවස්ථාවලදී නෑදෑයන් හා හිතමිතුරන් ඉක්මනින්ම උපදෙස් දීමට පෙලඹෙන්න පුළුවන්. පොත් පත්වල, සඟරාවල සහ අන්තර්ජාලයේද ඒ සම්බන්ධයෙන් උපදෙස් රාශියක් තිබෙනවා. බොහෝවිට එම උපදෙස් එකිනෙකට පටහැනි නිසා දෙමාපියන් අධෛර්යයට පත් විය හැකියි.

බයිබලයේ ඇති උපදෙස් අදාළ කරගැනීමෙන් දෙමාපියන්ට බොහෝ ප්‍රයෝජන ලබාගත හැකියි. දරුවන්ට ඉගැන්විය යුත්තේ කුමක්ද කියා පමණක් නොව එය කරන්නේ කෙසේද කියාත් එහි සඳහන් වෙනවා. නමුත් ඒ සඳහා දිනපතාම කාලය සොයාගත යුතුයි. එසේ කිරීමෙන් ප්‍රයෝජන ලැබූ දෙමාපියන් දහස් ගණනක් සිටිනවා. දැන් දෙමාපියන්ට උපකාරවත් වන යෝජනා හතරක් සලකා බලමු.

1. දෙවිගේ නිර්මාණයන් යොදාගෙන උගන්වන්න. “දෙවිව නොපෙනුණත් ලෝකය සෑදූ දා පටන් ඔහුගේ බලය හා ගුණාංග ගැන අවබෝධයක් ලබාගැනීමට මිනිසාට පුළුවන. එය කළ හැක්කේ දෙවි නිර්මාණය කර ඇති දේවල් නිරීක්ෂණය කිරීමෙනි. එමගින් ඔහුගේ සදාතනික බලය හා ඔහු සැබවින්ම දෙවි බවට වූ කාරණය සියල්ලන්ටම පැහැදිලි වේ” කියා බයිබලයේ සඳහන් වෙනවා. (රෝම 1:20) දෙවි සැබෑ පුද්ගලයෙක් බව අවබෝධ කරගැනීමට දෙමාපියන් දරුවන්ට උපකාර කළ යුතුයි. ඒ සඳහා දෙවිගේ නිර්මාණයන් ගැන දරුවන්ට කියා දෙන්න. ඒවා අගය කරන්න ඔවුන්ව පුහුණු කරන්න. ඒ වගේම එම නිර්මාණයන් තුළින් දෙවි ගැන ඉගෙනගත හැක්කේ කුමක්ද කියා ඔවුන්ටම අවබෝධ කරගැනීමට උපකාර කරන්න.

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට උගන්වන විට දෙවිගේ නිර්මාණවලට ඔවුන්ගේ අවධානය යොමු කළා. උදාහරණයකට ඔහු එක් අවස්ථාවක මෙසේ පැවසුවා. “අහසේ කුරුල්ලන් දෙස හොඳින් බලන්න. උන් බීජ වපුරන්නේවත් කපන්නේවත් ගබඩාවලට රැස් කරන්නේවත් නැහැ. නමුත් ස්වර්ගයේ සිටින ඔබේ පියාණන් උන්ව පෝෂණය කරනවා. ඔබ උන්ට වඩා වටින්නේ නැද්ද?” (මතෙව් 6:26) යෙහෝවා දෙවි මොන තරම් ප්‍රේමණීය හා අනුකම්පාසහගත දෙවි කෙනෙක්ද කියා යේසුස් එහිදී අවධාරණය කළා. එසේ කිරීමෙන් දෙවි ඔහුගේ සේවකයන් ගැන කොතරම් සැලකිලිමත්ද කියා තේරුම්ගැනීමට යේසුස් ඔවුන්ට උපකාර කළා.

පුරාණයේ සිටි සලමොන් රජ අලස අයට වැදගත් කාරණයක් කාවැද්දීම සඳහා සහජයෙන්ම ප්‍රඥාවන්ත කුහුඹුවන් ගැන සඳහන් කරමින් මෙසේ පැවසුවා. “අලසය, කුහුඹුවා ළඟට ගොස් ඌ වැඩ කරන ආකාරය දෙස බලා ප්‍රඥාවන්ත වන්න. ඌට අණ දෙන්නෙක්වත් වැඩ බලන්නෙක්වත් පාලකයෙක්වත් නැත. එහෙත් ගිම්හාන කාලයේදී ඌ කෑම එකතු කරගනියි. අස්වැන්න නෙළන කාලයේදී ආහාර රැස් කරගනියි.” (හිතෝපදේශ 6:6-8) ප්‍රයෝජනවත් ඉලක්ක තබා ඒවා කරා ළඟා වීමට ක්‍රියා කිරීමේදී අලස නොවීමේ වැදගත්කම සලමොන් එහිදී කාවැද්දුවා. ඉගැන්වීමට ඔහු යොදාගත් ක්‍රමය මොන තරම් ප්‍රබලද!

දෙමාපියන්ටත් ඉහත සඳහන් ක්‍රමය භාවිත කළ හැකියි. ඒ සඳහා ඔවුන්ට උපකාරවත් වන කරුණු තුනක් සලකා බලමු. (1) දරුවන් වඩාත්ම ආශා කරන්නේ කුමන පැළ හා සතුන්ටද කියා ඔවුන්ගෙන් අසන්න. (2) එම පැළ හා සතුන් ගැන තොරතුරු සොයාගන්න. (3) ඒවායින් ඉගෙනගත හැකි පාඩම් ගැන දරුවන්ට කියා දෙන්න.

2. යේසුස්ව ආදර්ශයට ගන්න. පොළොව මත ජීවත් වූ ප්‍රඥාවන්තම පුද්ගලයා වූ යේසුස්ට, මිනිසුන්ට උගන්වන්න බොහෝ දේවල් තිබුණා. නමුත් ඔහු අන් අයගෙන් ප්‍රශ්න අසා ඔවුන්ගේ සිතුවිලි හා හැඟීම් පවසන්න ඔවුන්ට ඉඩ දුන්නා. (මතෙව් 17:24, 25; මාක් 8:27-29) දෙමාපියන්ටද දරුවන්ට ඉගැන්වීමට බොහෝ දේවල් තිබෙන බවට කිසිම සැකයක් නැහැ. ඒ වුණත් දෙමාපියන් යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරමින් දරුවන්ට හැඟෙන ආකාරය ගැන පැවසීමට ඔවුන්ව දිරිගැන්විය යුතුයි.

දරුවන් තුළ වැරදි ආකල්ප තිබෙනවා නම් හෝ ඔවුන් ඉක්මනින්ම දේවල් අවබෝධ කරගන්නේ නැත්නම් දෙමාපියන්ට කුමක් කළ හැකිද? යේසුස් එවැනි අවස්ථාවලදී ක්‍රියා කළ ආකාරය සලකා බලන්න. ඔහුගේ ගෝලයන් සමහර අවස්ථාවලදී ඔවුනොවුන් අතර වාද ඇති කරගත්තා. ඒ වගේම නිහතමානී වීමේ වැදගත්කම ඉගෙනගන්න ඔවුන්ට බොහෝ කාලයක් ගත වුණා. නමුත් යේසුස් ඉතා ඉවසිලිවන්තව නිහතමානී වීමේ වැදගත්කම නිතර නිතර ඔවුන්ට කියා දුන්නා. (මාක් 9:33, 34; ලූක් 9:46-48; 22:24, 25) යේසුස්ගේ ආදර්ශය අනුකරණය කරන්න දෙමාපියන්ටත් පුළුවන්. තමන්ගේ දරුවන් සමඟ ඉවසීමෙන් ක්‍රියා කරමින් ඔවුන් යම් කාරණා අවබෝධ කරගන්නා තුරු ඔවුන්ට ඒ ගැන නිතර නිතර කියා දීමට දෙමාපියන්ට හැකියි. *

3. ආදර්ශය වැදගත්. පාවුල්, රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට පැවසූ මෙම වචනවලට දෙමාපියන් කීකරු වීම ඉතා වැදගත්. “වෙන අයට උගන්වන ඔබ, ඔබ උගන්වන දේ පිළිපදිනවාද? ‘සොරකම් නොකරන්න’ කියා අනුන්ට දේශනා කරන ඔබ, සොරකම් කරනවාද?”—රෝම 2:21.

දෙමාපියන්ගේ ආදර්ශය දරුවන්ට විශාල බලපෑමක් ඇති කරනවා. ඒ නිසා දෙමාපියන් කියන දේවල් ක්‍රියාවෙනුත් පෙන්වන බව දරුවන් අවබෝධ කරගන්නා විට දෙමාපියන්ට කීකරු වීමට දරුවන් තුළ වැඩි පෙලඹීමක් ඇති වෙනවා.

4. බාල කාලයේ සිටම උගන්වන්න. යේසුස්ගේ අනුගාමිකයෙක් වූ තිමෝති අන් අය අතර හොඳ නමක් දිනාගෙන සිටි කෙනෙක්. (ක්‍රියා 16:1, 2) ඊට එක් හේතුවක් වූයේ “ළදරු කාලයේ පටන්” ඔහුට “ශුද්ධ ලියවිල්ල” පිළිබඳව ඉගැන්වීමයි. ඔහුගේ මව සහ ආච්චි ඔහුට ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේ ඉගැන්නුවා පමණක් නොව එහි ඇති දේ තර්කානුකූලව තේරුම්ගන්නත් ඔහුට උපකාර කළා.—2 තිමෝති 1:5; 3:14, 15.

උපකාර ලබාගන්න පුළුවන් කොහෙන්ද?

දෙවි ගැන සත්‍යය තොරතුරු දරුවන්ට කියා දීමට දෙමාපියන්ට උපකාරවත් වෙන පොත් පත් රාශියක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කුඩා දරුවන් සඳහාම ලියවුණු පොත් පත්ද ඒ අතර තිබෙනවා. ඊට අමතරව යෞවන දරුවන්ට සහ දෙමාපියන්ට හොඳින් අදහස් හුවමාරු කරගැනීමට මඟ පෙන්වීම් ඇතුළත් පොත් පත්ද ඒ අතර තිබෙනවා. *

තම දරුවන්ට දෙවි ගැන කියා දීමට පෙර දරුවන් ඇසිය හැකි වැදගත් ප්‍රශ්නවලට දෙමාපියන් පිළිතුරු දැනගැනීම ඉතා වැදගත්. උදාහරණයකට, මේ ප්‍රශ්න ගැන සිතා බලන්න. දෙවි, මිනිසුන් දුක් විඳිනවා බලාගෙන ඉන්නේ ඇයි? දෙවි පොළොව නිර්මාණය කළේ ඇයි? කෙනෙක් මැරුණාම මොකද වෙන්නේ? එම ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීම සඳහා ඔබට උපකාර කිරීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉතා කැමැත්තෙන් සිටිනවා. ඔබටත් ඔබේ පවුලේ අයටත් දෙවිට වඩාත් ළං වීමට එය බොහෝ සේ උපකාරවත් වෙයි.—යාකොබ් 4:8.

[පාදසටහන්වල]

^ 10 ඡේ. ද්විතීය කතාව 6:7හි “කාවද්දන්න” කියා සඳහන් කර ඇති හෙබ්‍රෙව් වචනයට නිතර නිතර පැවසීම යන අදහසද ඇතුළත් වෙනවා.

^ 15 ඡේ. කුඩා දරුවන්ට ඉගැන්වීම සඳහා යේසුස්ගේ ඉගැන්වීම් ගැන සඳහන් උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු නමැති පොත හෝ බයිබලයේ සඳහන් තොරතුරුවලින් ඉගෙනගත හැකි පාඩම් ඇතුළත්, ඉතා සරල බසින් ලියැවී තිබෙන මගේ බයිබල් කතන්දර පොත යොදාගත හැකියි. යෞවන දරුවන් සඳහා පිබිදෙව්! සඟරාවල පළ වන “යෞවන අය අසති” යන ලිපි යොදාගත හැකියි.